ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– VIII කොටස


මෙම ලිපියේ හත්වන කොටස මින් පෙර පළ වී ඇත

2000
2000 වර්ෂයේ දී මාර්තු මස 24 වන දින “ස්කයිකැබ්“ සමාගමට අයත් AN12 වර්ගයේ ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට සූදානම් වන අවස්ථාවේ මීගමුව කදිරාන ප්‍රදේශයට කඩා වැටිණ. SCB 702 යනුවෙන් හැඳින්වූ මෙම යානය බැංකොක් නුවර සිට පැමිණ තිබිණ. මෙම අනතුරින් කාර්ය මණ්ඩලයේ 6 දෙනකුත් සමග පුද්ගලයින් 9 දෙනකු මරණයට පත්වූ අතර 5 දෙනකු තුවාල ලැබීය. නිවාස කීපයක් ද හානියට පත් විය.
image
2001
2001 ජූලි මස 24 වන දින කොටි ත්‍රස්තවාදීන් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන ලද අතර මෙම ප්‍රහාරයෙන් ගුවන් හමුදාව සතු ගුවන් යානා 8 ක් ද ‘ශ්‍රීලන්කන්“ ගුවන් සමාගමේ ගුවන් යානා 4 ක් ද විනාශයට පත් විය. විනාශයට පත් වූ “ශ්‍රීලන්කන්“ ගුවන් සමාගමේ ගුවන් යානා අතර ශ්‍රී ලංකාවට මුලින් ම ගෙන ලද “එයාර්බස්“ 320 වර්ගයේ ගුවන් යානයද විනාශයට පත් විය. මෙම ප්‍රහාරයේ දී A340 වර්ගෙය් යානා දෙකක් ද, A330 හා A320 යානාවක් බැගින් ද විනෘශ විය.
image
මුලින් ම ගෙන්වන ද ගුවන් යානය විනාශයට පෙර (4R-ABA)
image
විනාශ වූ යානයක්
2002
මෙම කාලය වන විට සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා කර්මාන්තය නියාමනය කරමින් සිටිමුත් අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කරන ලද විගණනයකින් පසු තව දුරටත් ඵලදායි ලෙස කර්මාන්තය නියාමනය කිරීමට නම් වඩා ස්වාධින ආයතනයක් පිහිටුවිය යුතු බවට රජයට නිර්දේශ කරනු ලැබීය. ඒ අනුව 2002 අංක 34 දරණ පණතින් එතෙක් පැවති සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව වෙනුවට “සිවිල් ගුවන් සේවා අධිකාරිය “ පිහිටුවන ලැබීය. එම පිහිටුවීමත් සමගම සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව සතුව තිබූ සියළු කාර්යයන් හා දේපල එම නව අධිකාරියට පවරන ලදී.
2003
2003 වර්ෂයේ දී ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයවන ලද මගීන් සංඛ්‍යාව 3,000,000 ඉක්මවන ලද අතර භාණ්ඩ මෙට්‍රික් ටොන් 112 ක් ද යානා මෙහෙයුම් 22500 ද ඉක්මවීය.
 
2004
2004 වර්ෂයේ දී තවත් වරක් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සුරක්ෂිතතාවය පිළිබඳව විගණනයක් සිදු කරන ලදී. එම වර්ෂයේ මගී මෙහෙයුම් 4,000,000 ක්ද භාණ්ඩ මෙට්‍රික් ටොන් 152 ක් සහ යානා මෙහෙයුම් 30000 ක් ද ඉක්මවීය.
“ශ්‍රීලන්කන්“ ගුවන් සමාගම විසින් 2004 වසරේ දී ප්‍රථම වරට “එයාර් ටැක්සී“ නමින් ජලචර ගුවන් යානා මෙහෙයුම් නම් කරන ලද අභ්‍යන්තර ජලශ වලට ආරම්භ කරන ලදී. නමුත් ආරක්ෂක හේතුන් මත වසර 3 ට පසුව මෙම මෙහෙයුම් නවතා දමන ලදී. මෙම මෙහෙයුම් සඳහා භාවිතා කරන ලද්දේ “ට්වින් ඔටර් ටර්බො ප්‍රොප්“ වර්ගයේ ගුවන් යානා වූ අතර වික්ටෝරියා, පොල්ගොල්ල යන ජලාශත්, කැළණි ගඟ සහ බෙන්තර ගඟත් මුල් අවධියේ දී මේ සඳහා භාවිතා කරන ලදී.
 
2005
මෙම කාලය වන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් යානා සඳහා “ගුවන් පාලම්“ (Aerobridges) නොතිබූ අතර 2005 වර්ෂයේ නොවැම්බර් මස 15 වන දින වන විට “ගුවන් පාලම්“ 8 ක් සහිතව මගී පර්යන්තයක් ගුවන් තොටුපල ව්‍යාප්ත කිරීමේ පළමු අධියර වශයෙන් ඉදි කර විවෘත කරනු ලැබීය. එමගින් ගුවන් යානා වලට වඩා කාර්යක්ෂම සේවාවක්ද, මගීන් සඳහා සුවපහසු හා ආරක්ෂාකාරී සේවාවක් ද සැපයීමට හැකියාව ලැබිණ.
image
නව ගුවන් පාලම් ගුවනට පෙනෙන අයුරු
image
ඇතුළත දර්ශණයක්
2006
2006 වසර වන විටත් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය “එමිරේට්ස්“ ගුවන් සමාගමේ කළමණාකරණය යටතේ තිබූ බැවින් පූර්ණ වශයෙන්ම රජය සතු ආයතනයක් නොවීය. එම ගිවිසුම අවසන් වීමට තවත් වසර කීපයක් ඉතිරි වී තිබූ හෙයින් රජයට නව ගුවන් සමාගමක අවශ්‍යතාවය දැනෙන්නට විය. ඒ අනුව නව සංකල්පයක් අනුව සහ ජනතාවවට වඩා සහනදායි සේවාවක් ලබා දීමට හැකියාව ඇති වන නව “පිරිමැසුම්දායි ගුවන් සේවාවක් “ (Budget Airline) “මිහින් ලංකා“ (Mihin Lanka) නමින් ඇරඹීම 2006 ඔක්තෝබර් මස 27 වන දින සිදු විය. මෙය පූර්ණ ලෙසම රජය සතු පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි විය. ඉන්පසු එම සමාගමට බලපත්‍ර සහ ගුවන් යානා ලබා ගැනීමේ කටයුතු සිදු කරන ලදී.
image
image

2007

2007 අප්‍රේල් මස 24 වන දින මිහින් ලංකා සමාගම මුල්ම වාණිජ ගුවන් ගමන ආරම්භ කරන ලදී. ඉන්දියාව සහ ඩුබායි වලට මුල්ම මෙහෙයුම් දියත් කරන ලද අතර “එයාර්බස් 320“ වර්ගයේ යානාවක් ඒ සඳහා යොදා ගන්නා ලදී. මිහින් ලංකා සමාගමේ මූලික අරමුණ වූයේ වැඩි පහසුකම් සහිත අඩු මිළ සේවාවක් සැපයීමයි.
තවත් කොටසක් බලාපොරොත්තු වන්න






















ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– VII කොටස

 
මෙම ලිපියේ හයවන කොට මින් පෙර පළ විය
 

1986

1986 මැයි මස 3 වන දින ලන්ඩනයේ සිට සුරිච් හා ඩුබායි හරහා කොළඹට පැමිණ මාලදිවයින බලා පිටත් වීමට සුදානමින් තිබූ UL512 දරණ ලොක්හීඩ් “ට්‍රයිස්ටාර්“ වර්ගයේ “එයාර් ලංකා“ ගුවන් යානය ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයට ලක් වූ අතර එම ප්‍රහාරයෙන් යානය දෙකඩ වූ අතර මගීන් 21 දෙනෙකු මරණයට පත්විය. පසුව කරන ලද පරීක්ෂණ වලදී පැහැදිලි වූයේ එම බෝම්බය යානයේ භාණ්ඩ ප්‍රවාහන කුටියේ භාණ්ඩ සමග තිබූ බවයි. මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවේ ගුවන් යානා ලියාපදිංචි කිරීමේ ලේඛණයට ඇතුලත් කර තිබුණේ 4R-ULD යන නමිනි.

image

4R-ULD යානයේ 1983 දි ගත් ඡායාරූපයක්

image

4R-ULD යානයේ ප්‍රහාරයෙන් පසු

1986 නොවැම්බර් මස 22 වන දින ලෝකයේ පළමු සුපර් සොනික් ගුවන් යානා වර්ගයේ කොන්කෝර්ඩ් යානාවක් ඒවා භාවිතයෙන් ඉවත් කිරීමට පෙර ලොව වටා ගිය ගමනේ දී ශ්‍රී ලංකාවට ද පැමිණියේයය.

27

කොන්කෝර්ඩ් යානයක්

1988

1988 වන විට ගුවන් තොටුපළේ සංවර්ධන කටයතු අවසන් වූ අතර නව පහසුකම් සමග වසරකට මගීන් මිලියන 3.5 ක් ධාරීතාවක් එයට දරා ගැනීමට හැකියාව ලැබිණ. නව ධාවන පථයද විවෘත කෙරිණ. ඒ සමගම පැරණි ධාවන පථය “ටැක්සි“ පථයක් ලෙස භාවිතාව ආරම්භ කෙරිණ.

 

1990

1990 වසර වන විට රජය ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් වූ නීති රීති ලිහිල් කිරීමට තීරණය කළ අතර ඒ සඳහා “විවෘත ගුවන“ ප්‍රතිපත්තියක් (Open Skies Policy) අනුගමනය කිරීමට තීරණය විය. එය ගුවන් භාණ්ඩ ප්‍රවාහනයේ පිබිදීමක් ඇති කිරීමට සමත් වනු ඇතැයි විශ්වාස කෙරිණ.

1990 නොවැම්බර් 12 දින සිට 16 වන දින දක්වා ශ්‍රී ලංකාවේ දී “ආසියා - පැසිෆික්“ කලාපීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ 26 වන සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ දී පැවැත් විණ. මේ සඳහා රටවල් සහ වෙනත් සංවිධාන 31කින් නියෝජිතයින් 88 දෙනකු සහභාගී විය.

1992

1992 වසරේ දී “ගුවන් භාණ්ඩ ගම්මානය“ උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබිණ. මේ වසරේ දී ම ගුවන් සමාගම් සහ ගුවන් තොටුපළ ආයතනයෙන් සපයනු ලබන ආරක්ෂක සේවා සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂවරයාගේ නියාමනයට යටත් කරනු ලැබිණ. එලෙසම නෙදර්ලන්තයේ “හේග්“ නුවර දී සංශෝධනය කරන ලද “වෝර්සෝ“ ගිවිසුම ශ්‍රී ලංකාවේ ද ක්‍රියාත්මක කරනු ලැබීය. තවත් විශේෂ සිදු වීමක් වූයේ එතෙක් “සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂවරයා“ ලෙස හඳුන්වනු ලැබූ තනතුර “සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්“ ලෙස යළි නම් කරනු ලැබිණ. තවද ගුවන් ප්‍රවාහන පහසුකම් සපයන්නන් සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියාමනයට යටත් කරනු ලැබීමද මෙම වසරේ දී ම සිදු කරනු ලැබිණ.

1992 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී “එයාර් ලංකා“ ගුවන් සමාගම පළමු “එයාර්බස්“ වර්ගයේ ගුවන් යානාවක් මිලදී ගන්නා ලද අතර එය “එයාර්බස් 320“ වර්ගයේ විය. පසුව මෙම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට කොටි ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයේ දී විනාශයට ලක් විය. මෙම ගුවන් යානයේ ලියා පදිංචි අංකය වූයේ 4R-ABA ය.

image

පළමු එයාර් බස් ගුවන් යානය - 4R-ABA

 

1993

1993 වර්ෂයේ දී “ස්කයිකැබ්“ ගුවන් සමාගම විසින් ඇන්ටනොව් 12 වර්ගයේ ගුවන් යානාවක් උපයෝගී කර ගනිමින් ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා ආරම්භ කෙරිණ. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි පෞද්ගලික ගුවන් සමාගමක් විසින් ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කළ පළමු අවස්ථාව එය විය.

image

මේ අතර කටුනායක රේඩාර් පද්ධතිය වැඩි දියුණු කිරීම 1994 වසරේදී සිදු කළ අතර ද්විමාන රේඩාර් පද්ධතියක් සවි කිරීම සිදු කෙරිණ. එලෙසම “එයාර්ලංකා“ සමාගමට පළමු “එයාර්බස් 340“ වර්ගයේ ගුවන් යානා ලබා ගැනීමත් මේ වසරේ සිදු විය. දැනට ශ්‍රී ලංකාව සතු විශාලම ගුවන් යානා වර්ගය වන්නේ A340 වර්ගයේ මෙම ගුවන් යානාවන්ය. පහත දැක්වෙන්නේ මුල් ගුවන් යානාවකි.

1994

1994 වර්ෂයේ දී දේශීය ගුවන් ගමන් ක්ෂේත්‍රෙය් නව පිටුවක් පෙරළමින් දේශීය ව ලියාපදිංචි වූ “ලයන්එයාර්“,“එක්ස්පො එයාර්“, “ස්කයිකැබ්“, “එයාර් ටුවර්ස්“ වැනි ගුවන් සමාගම් රුසියාවේ නිෂ්පාදිත ගුවන් යානා සහ හෙලිකොප්ටර් යොදා ගනිමින් දේශීය ගුවන් ගමන් ආරම්භ කරන ලදී. විශේෂයෙන් රත්මලාන සිට පලාලි සහ ත්‍රිකුණාමලය දක්වා ඔවුන්ගේ මෙහෙයුම් සිදු කෙරිණ.

1995

1995 වසර වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මුළු මගී මෙහෙයුම 2,000,000 ඉක්මවා තිබූ අතර භාණ්ඩ මෙට්‍රික් ටොන් 76 සහ ගුවන් යානා මෙහෙයුම් 16500 ක් ඉක්මවා තිබිණ. එතෙක් “කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ“ වශයෙන් හැඳින්වූ ගුවන් තොටුපල “බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල“ ලෙස යලි නම් කරන ලදී. මේ වසරේ දීම ආරක්ෂක හේතු නිසා දේශීය ගුවන් ගමන් රජය විසින් නවතා දමන ලදී. නමුත් “ලයන් එයාර්“ සමගම හමුදාව වෙනුවෙන් මෙහෙයුම් සිදු කරන ලදී

1998

1998 පෙබරවාරි මස 10 වන දින ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ගුවන් සුරක්ෂිතතාවය පිළිබඳ විගණනයක් සිදු කරන ලදී.

“එයාර්ලංකා“ ගුවන් සමාගම 1998 අප්‍රේල් මස 1 වන දින ඩුබායි මූලික කරගත් මෙහෙයුම් සිදු කරන “එමිරේට්ස්“ ගුවන් සමාගමේ උපායමාර්ගික කළමණාකරනයට යටත් කරනු ලබන වසර 10 සඳහා වන ගිවිසුමකට ශ්‍රී ලංකා රජය එළඹි අතර එහි දී ගුවන් යානා බිම් මෙහෙයුම් හා ආහාර ලබා දීම එම ගිවිසුමට අදාළ විය. “එයාර්ලංකා“ සමාගමේ 51% ක් රජය සතු වූ අතර 43.6% ක්“එමිරේට්ස්“ සමාගම සතු විය. එම ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 70 ක් පමණ වටිනාකමකින් යුතු විය. මෙම ගිවිසුමත් සමගම 1999 වසරේ දී “එයාර්ලංකා“ සමාගම “ශ්‍රීලන්කන් එයාර්ලයින්ස්“ යනුවෙන් ප්‍රති නාමකරණය කරන ලදී.

“එයාර්ලංකා“ ලාංඡනය

 

image

නව සළකුණ

1998 සැප්තැම්බර් මස 29 දින “ලයන් එයාර්“ සමාගමට අයත් අංක 602 දරණ ඇන්ටනොව් 24 වර්ගයේ යානාව මගීන් සහ කාර්ය මණ්ඩලය සමග 55 දෙනෙකුත් සමග පලාලි ගුවන් තොටුපලෙන් ගුවන් ගත වී මිනිත්තු 10 ට පසු මන්නාරම් ද්‍රෝණියේ ඉරණතිව් අසල මුහුදට කඩා වැටින. මෙය කොටි ත්‍රස්තවාදීන්ගේ මිසයිල ප්‍රහාරයකින් සිදු වූ බව පසුව අනාවරණය කර ගන්නා ලදී. දැනට පවතින තොරතුරු අනුව මෙම අනතුරින් කිසිවකුත් දිවි ගලවා ගත්තේ නැත.

image

 

image

තව කොටසක් බලාපොරොත්තු වන්න

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– VI කොටස

 

මෙම ලිපියේ පස්වන කොටස මින් පෙර පළවිය

1979

1979 වර්ෂයේ දී “එයාර් සිලෝන්“ සමාගම විසුරුවා හරිනු ලැබූ අතර එම වර්ෂයේ ම සැප්තැම්බර් මස 1 වන දින සිට “එයාර් ලංකා“ සමාගම පූර්ණ රජයේ සංස්ථාවක් ලෙස පිහිටුවන ලදී. මෙහි මුල් කාලීන කළමණාකාරීත්වය සහ තාක්ෂණික සහාය “සිංගප්පූරු“ ගුවන් සමාගම මගින් සිදු වූ අතර ඔවුන් විසින් “බෝයිං 707-300“ යානා 2 ක් ද සපයන ලදී. එම සමාගමේ මුල්ම ගුවන් ගමන තායිලන්තයේ බැංකොක් වෙත සිදු කෙරිණ. එම වර්ෂයේම නොවැම්බර් මස දී “බෝයිං 737 – 200“ වර්ගයේ ගුවන් යානා දෙකක් “එයාර් ලංකා“ සමාගම විසින් කලාපීය ගුවන් ගමන් සඳහා යෙදවීමට බදු පදනම යටතේ ලබා ගන්නා ලදී.

 

1980

තවද 1980 වර්ෂය වන විට “එයාර් ලංකා“ සමාගමේ මෙහෙයුම් ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින් ෆ්‍රැන්ක්ෆර්ට්, සුරිච්, පැරිස්, ලන්ඩන් (ගැට්වික්), බැංකොක්, සිංගප්පූරුව, ක්වාලාලම්පූර්, බහරේන්, ඩුබායි, බොම්බාය, මදුරාසිය හා මාලේ යන නගර වලට මෙහෙයුම් සිදු කරන ලදී.

එම වර්ෂයේදී 1979 අංක 46 දරණ පණත මගින් “ගුවන් තොටුපළ අධිකාරිය“ පිහිටුවමින් එම ආයතනයට එතෙක් සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව භාරයේ තිබූ සිවිල් ගුවන් තොටුපල නඩත්තුව හා සංවර්ධනය භාර කරන ලදී.

එම වර්ෂයේ සිදු වූ තවත් විශේෂ සිදු වීමක් වනුයේ පෞද්ගලික ගුවන් සමාගමක් වශයෙන් පිහිටුවා තිබූ “උපාලි ඒවියේෂන්“ සමාගම de Havilland DH-6 Twin Otter turbo prop ගුවන් යානයක් යොදා ගනිමින් රත්මලාන, පලාලි හා ත්‍රිකුණාමලය අතර දේශීය ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමයි.

image

1980 මැයි මාසයේ දී “එයාර් ලංකා“ ගුවන් සමාගමට “බෝයිං 707“ වර්ගයේ ගුවන් යානා දෙකක් “සිංගප්පූරු“ ගුවන් සමාගමෙන් ලබා ගන්නා ලදී. නොවැම්බර් මාසයේදී පළමු Lockheed L-1011 Tristar වර්ගයේ ගුවන් යානය ලබා ගන්නා ලදී. 1981 වර්ෂයේ දී තවත් එම වර්ගයේ ම යානයක් ලබා ගන්නා ලදී.

 

1982

1982 වර්ෂයේ දී රත්මලානේ “එයාර් ටැක්සී“ සමාගම මගින් “පියසර පුහුණු පාඨමාලාව“ ආරම්භ කරන ලදී. එම වර්ෂයේදීම “එයාර් ලංකා“ සමාගම මගින් L-1011-500 වර්ගයේ අළුත්ම ගුවන් යානා දෙකක් මිළ දී ගන්නා ලදී.

මෙම වර්ෂය තුලදීම ශ්‍රී ලංකාවේ මෙහෙයවන ලද මගීන් සංඛයාව 1,000,000 ක්ද භාණ්ඩ මෙට්‍රික් ටොන් 50 ක් ද ඉක්මවූ අතර ගුවන් යානා මෙහෙයුම් ගණන 11000 ඉක්මවිය.

1982 වර්ෂය ශ්‍රී ලාංකීය නාමයත් ශ්‍රී ලංකාවේ ගුවන් සේවාවත් ජාත්‍යන්තරව කතිකාවකට පාත්‍රවන තරමේ වර්ෂයක් බවට පත් වන්නේ ඉතිහාසයේ අන් කවර දිනයකවත් සිදු නොවූ ආකාරයේ සිදුවීමක් හේතුවෙනි. එය සමහර පුද්ගලයින් වීර ක්‍රියාවක් ලෙස ද සඳහන් කරන ලදී. ඉතාලියේ සිට ඉන්දියාව හරහා බැංකොක් සහ ජපානය බලා පියාසර කරමින් තිබූ අලිටාලියා ගුවන් සමාගමට අයත් මගීන් 300 දෙනෙකු රැගත් ගුවන් යානය අඩි 35000 ක් ඉහළ අහසේදී පැහැර ගැනීමකට ලක් විය. ඒ පැහැර ගැනීම සිදු කරනු ලැබූවේ 1982 ජූනි 30 වන දින වන අතර සේපාල ඒකනායක නම් තරුණයකු විසිනි. මෙහිදී යානය පුපුරුවා හරිනු ලබන බවට තර්ජනය කිරීමෙන් පසු බැංකොක් ගුවන් තොටුපලට ගොඩබැස්සවීම සිදු කරනු ලැබූ අතර එහිදී සේපාල ඒකනායක විසින් ඔහුගේ ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබිණ. ඔහුගේ බිරිඳ වන ඉතාලි ජාතික ඇනා ත්, පුතා වන ෆ්‍රී ත් ඔහුට ලබා දෙන ලෙසත් රු. 300,000 ක මුදලකුත් ඔහු ඉල්ලා සිටි අතර පැය 30 ක් ඇතුළත සියළු ඉල්ලීම් ඉටු වූ අතර ආරක්ෂිතව ශ්‍රී ලංකාවට පැමැණින. නමුත් ජාත්‍යන්තරව ඔහු කරන ලද ක්‍රියාව ගුවන් සේවා ක්ෂේත්‍රයට තර්ජනයක් වූ බැවින් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට අවශ්‍ය විය. නමුත් එවකට මේ සඳහා ශ්‍රී ලංකාවේ නීති ප්‍රතිපාදන නොතිබූ බැවින් අතීතයට බලපාන පරිදි නීති සම්පාදනය කරමින් ඔහුට නීති ක්‍රියාමාර්ග ගනු ලැබිණ. එම පණත 1982 අංක 24 දරණ Offences against Aircraft යනුවෙන් නම් කරනු ලැබීය. ඔහු ගත් මුදල් රාජසන්තක වූ අතර වසර 5 ක සිර දඬුවම් නියමු විය. 1987 වසරේ දී නිදහස ලබූවා. (මෙම සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ ලිපියට මෙතනින් යන්න)

image

සේපාල මහතා සහ ෆ්‍රී (සේපාල මහතාට වමෙන් සිටී)

 

1983

1983 වසරේදී රජයට අයත් පෞද්ගලික සමාගමක් ලෙස “සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම“ පිහිටුවන ලැබූ අතර ගුවන් තොටුපළ අධිකාරියේ තිබූ කාර්යයන් ද සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව සතුව තිබූ යම් යම් කාර්යයන්ද මෙම සමාගමට පැවරිණ. විශේෂයෙන් සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව සතුව තිබූ ගුවන් සංතරණ සේවා සහ පහසුකම් සැපයීම ද ගුවන් ගමන් පාලනය ද මෙම සමාගමට පැවරිණ.

1984

ශ්‍රී ලංකාව සතුව තිබූ එකම ජාත්‍යන්තර ගුවන් තොටුපල වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වැඩිවන මගී සහ ගුවන් යානා ප්‍රවාහනය හමුවේ නවීකරණය කිරීමකට ලක් කිරීම 1984 වර්ෂයේ දී ආරම්භ වු අතර ඒ අනුව නව ධාවන පථයක් සකස් කිරීම, මගී පර්යන්ත ගොඩනැගිල්ල සකස් කිරීම, භාණ්ඩ මෙහෙයුම් පර්යන්තය සහ නව ගුවන් ගමන් පාලක කුළුණ ඉදිකිරීමත් ගුවන් සංතරණ සේවා පහසුකම් වැඩි දියුණු කිරීමත් මේ සංවර්ධන කටයුතු වලට අයත් විය. නව ධාවන පථය භාවිතය නිසා පැරණි ධාවන පථය සමාන්තර “ටැක්සි“ පථයක් ලෙස භාවිතා කිරීමට එමගින් අවස්ථාව ලැබේ.

image

නව ධාවන පථය ගොඩනගන අවස්ථාව

 

image

නව ධාවන පථය සහ සමාන්තර “ටැක්සි“ පථය

 

තව කොටසක් බලාපොරොත්තු වන්න

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– V කොටස


මෙම ලිපියේ හතරවන කොටස මින් පෙර පළවී ඇත
1957
1957 නොවැම්බර් 01 වන දින එක්සත් රාජධානිය විසින් කටුනායක ගුවන් තොටුපල ලංකාවට භාරදෙනු ලැබූ අතර 1959 දී කටුනායක ගුවන් තොටුපලේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරනු ලැබිණ.
image
කටුනායක ගුවන් තොටුපළ 1957/58 වර්ෂ වලදී
1960
1960 වර්ෂයේ දී ලංකාවේ පළමු දේශීය පෞද්ගලික ගුවන් සමාගම වන “උපාලි එයාර්“ අරඹන ලදී.
Upali
1961
1961 වර්ෂයේ දී අනුරාධපුරයට ගුවන් ගමන් පවත්වා ගනිමින් දේශීය ගුවන් ගමන් ආරම්භ කරන ලද බවට තොරතුරු සඳහන් වන අතර පසුව ගල් ඔය (අම්පාර), මඩකලපුව, ත්‍රිකුණාමලය ආදී ස්ථාන වලට මෙය ව්‍යාප්ත විය.
1963
1963 වර්ෂයේදී කටුනායක ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු ආරම්භ කරන ලදී. රාජකීය ගුවන් හමුදාව සතුව තිබූ මීටර් 1840 ක් වූ කටුනායක ගුවන් ධාවන පථය මීටර් 3350 ක් දක්වා දිගු කරනු ලැබූ අතර ඒ කැනේඩියානු ආධාර යටතේයි. මේ අවස්ථාවේදී පර්යන්ත ගොඩනැගිල්ල වර්ෂයකට මගීන් 150000 ක් මෙහෙය වීම සඳහා ඉඩකඩ ඇතිව සකස් කරනු ලැබිණ. අදටත් මීගමුව කොළඹ මාර්ගයෙන් ගුවන් තොටුපළට පිවිසෙන මාර්ගය කැනඩා මිත්‍රත්ව මාර්ගය ලෙස හඳුන්වන්නෙ මේ නිසාය.
මේ අතර 1962 වර්ෂයේ දී “කේ. එල්. එම්.“ ගුවන් සමාගම සමග “එයාර් සිලෝන්“ සමාගම තිබූ ගිවිසුම අවලංගු වූ අතර “එයාර් සිලෝන්“ සමාගම බ්‍රිතාන්‍යයේ “බී. ඒ. ඕ. සී“ (BOAC – British Overseas Airways Corporation) සමග ගිවිසුමට එළඹිණ. “බී. ඕ. ඒ. සී.“ ගුවන් සමාගම පසුව “බ්‍රිටිෂ් එයාර්වේස්“ නමින් වෙනස් විය.
1968
1968 නොවැම්බර් 15 වන දින කටුනායක ගුවන් තොටුපලේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරන ලද අතර එම වර්ෂයේම කටුනායක ගුවන් තොටුපලේ පර්යන්ත ගොඩනැගිල්ල තව දුරටත් විශාල කිරීමත් “ඒප්‍රනය“ සහ “ටැක්සි“ මාර්ග සකස් කිරීමත් සිදු කරනු ලැබීය. මේ අවස්ථාව වන විට ක්‍රමයෙන් ගුවන් ගමන් වැඩි වෙමින් තිබූ අවධියක් වූ අතර ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය ද වඩ වඩාත් ව්‍යාප්ත වෙමින් පැවතිණ. 1971 සැප්තැම්බර් 09 වන දින තවත් සුවිශේෂි සිදුවීමක් ලෙස සනිටුහන් වනුයේ එවකට ඉතා ඉහළ පිළිගැනීමක් තිබූ “කොන්ඩෝර්“ ගුවන් සමාගමට අයිති “බෝයිං 747“ වර්ගයේ “ජම්බෝ ජෙට්“ ගුවන් යානාවක් ශ්‍රී ලංකාවට පැමිණීමයි. එය එවකට ලොව තිබූ විශාලම ගුවන් යානය වූ අතර එම යානා භාවිතා කළ මුල්ම ගුවන් සමාගම වූයේ “කොන්ඩෝර්“ සමාගමයි.
22
කොන්ඩෝර් සමාගමේ බෝයිං 747 වර්ගයේ යානයක්
1972
1972 වර්ෂයේදී ශ්‍රී ලංකාව ජනරජයක් වූ අතර “බී.ඕ. ඒ. සී.“ සමාගම සමග තිබූ ගිවිසුම අවලංගු විය. නමුත් ඒ වන විටත් එනම් 1971 දීම “එයාර් සිලෝන්“ සමාගම එහි 4 වන සහකරු ලෙස Union de Transports Aériens (UTA) සමග ගිවිසුමට එළඹී තිබිණ.
23
21
1972
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 1972 වසරේ දී “හෙලිටුවර්ස්“ නමින් සමාගම් ලියාපදිංචි කර සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමේ අරමුනින් දේශීය ගුවන් ගමන් සිදු කරන ලදී. පසු කාලීනව මාලදිවයික දක්වාද ඔවුන්ගේ මෙහෙයුම් සිදු කරනු ලැබීය. හෙලි ටුවර්ස් ආයතනය පිහිටුවීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූවේ එයාර් චීෆ් මාෂල් පද්මන් මෙන්ඩිස් මහතා විසිනි.
24
old3
old4
1974
1974 වර්ෂය ශ්‍රී ලාංකීය ගුවන් ක්ෂේත්‍රයේ එදා මෙදා තුර සිදුවී අති දැවැන්තම ඛේදවාචකය සිදු වූ වසරක් ලෙස ඉතිහාසයේ සනිටුහන් වී ඇත. ඉන්දුනීසියාවේ සුරබායා ගුවන් තොටුපලේ සිට ශ්‍රී ලංකාව හරහා මක්කම වෙත ගමන් කරමින් තිබූ ඩී.සී. 8 වර්ගයේ යානාවක් මස්කෙළිය නෝර්ටන්බ්‍රිජ් හි පිහිටි සප්ත කන්‍යා කඳුවැටියේ ගැටීම නිසා සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව එහි ගමන් කළ කාර්ය මණ්ඩලය හා මගීන් සියළු දෙනා මරණයට පත්විය. මෙම අනතුර සිදු වූයේ 1974 වර්ෂයේ දෙසැම්බර් 4 වන දින දීය. (මේ සම්බන්ධ ලිපියක් පසුගිය මෙහි පලවිය)
25
අනතුරට පෙර ගත් ඡායාරූපයක්
ශබ්ධයේ වේගය මෙන් දෙගුණයකින් පියාසර කල හැකි ගුවන් යානයක් වූ “කොන්කෝඩ්“ ගුවන් යානයක් ප්‍රථම වතාවට 1976 වර්ෂයේ ශ්‍රී ලංකාවට පැමිණි අතර දැනට “කොන්කෝඩ්“ ගුවන්යානා සේවයේ යෙදෙන්නේ නැත. එවකට සුපිරි තාක්ෂණයකින් යුතු ගුවන් යානාවක් ලෙස මෙය හඳුන්වනු ලැබූ අතර “බ්‍රිටිෂ් එයාර්වේස්“ ගුවන් සමාගමට අයත් එකකි.
27
1976
1976 දී නොබැඳි ජාතීන්ගේ සමුළුව වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපලේ ප්‍රාථමික රේඩාර් පද්ධතියක් සවිකරන ලදී.
1977
1977 වර්ෂයේදී “ඇලෝයි හර්ස්මන්“ නැමැත්තෙකු විසින් ගාලු මුව දොර පිටියේදී පැරෂුට් සන්දර්ශණයක් පැවැත්වූ අතර එය එවකට ශ්‍රී ලංකා වාසීන්ට නැවුම් අත්දැකීමක් විය.
1978
1978 වර්ෂයේ සැප්තැම්බර් 7 වන දින “එයාර් සිලෝන්“ සමාගමට අයත් Hawker Siddeley HS 748 (registered 4R-ACJ) වර්ගයේ යානය බෝම්බ පිපුරුමකින් විනාශයට පත්විය. මෙම බෝම්බය එම යානයේ භාණ්ඩ බහාලන කුටියේ තිබූ අතර ගුවන් නියමුවන් විසින් යානය පියාසර කිරීමට පෙර සිදු කරනු ලබන පරීක්ෂණ සිදු කරන අතරතුර දී මෙම පිපිරීම සිදු වී ඇත.
මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවේ ගුවන් යානා ලියාපදිංචි ලේඛණයේ ලියාපදිංචි කර තිබුණේ 4R-ACJ අංකය යටතේ වන අතර ලාංකීය ඉතිහාසයේ බෝම්බයකට හසු වූ පළමු ගුවන් යානය එයයි.
image
image
මේ අතර 1978 වර්ෂයේ නොවැම්බර් මස 15 වන දින “අයිස්ලෑන්ඩික්“ ගුවන් සමාගමට අයත් අංක LL 001 දරණ “ඩී.සී. 8 “ වර්ගයේ යානයක් කටුනායක ගුවන් තොටුපලට ගොඩබෑමට උත්සහ කිරීමේ දී අනතුරට ලක් විය. මෙම ගුවන් යානය ඉන්දුනීසියාවේ “ගරුඩා“ ගුවන් සමාගම මගින් කුලී පදනම මත ලබා ගෙන තිබූ එකක් වූ අතර සවුදි අරාබියේ සිට ඉන්දුනීසියාව දක්වා මුස්ලිම් බැතිමතුන් ප්‍රවාහනය කරමින් තිබිණ. මෙම යානයේ මගීන් 249 ක් හා කාර්ය මණ්ඩලය 13 ක් සිටි අතර අනතුරින් කාර්ය මණ්ඩලය සහ මගීන් 183 ක් ජීවිතක්ෂයට පත් වූ අතර 79 දෙනෙකු දිවි ගලවා ගැනීමට සමත් විය. මෙම අවස්ථාවේ අධික වර්ෂාවක් ද දැඩි සුලං තත්වයක් තිබූ බව වාර්තා වේ. යානයේ ලියාපදිංචි අංකය TF-FLA වූ අතර Leifur Eiríksson ලෙස හඳුන්වනු ලැබිණ.
අනතුර සිදු වීමට පෙර මෙම යානයේ ඡායාරූපයක් පහත දැක්වේ.
Ice Landic TL FLA 1978 Accident
තව කොටසක් බලාපොරොත්තු වන්න



































ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– IV කොටස

1947

1947 වර්ෂයේ ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂි සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස “එයාර් සිලෝන්“ ගුවන් සමාගම සන්නිවේදන සහ වැඩ අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලැබූ අතර ප්‍රථම වරට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරමින් යාපනය හරහා රත්මලානේ සිට මදුරාසිය දක්වා ගුවන් ගමන් අරඹන ලදී. මෙම අවස්ථාව සනිටුහන් වූයේ එම වර්ෂයේ දෙසැම්බර් මස 10 වන දින වන අතර “එයාර් සිලෝන්“ සමාගමට ලබා ගන්නා ලද ඩී.සී. 3 වර්ගයේ යානා මේ සඳහා උපයෝගී කර ගන්නා ලදී. මෙම යානා තුන “සීතා දේවී“, “විහාරමහා දේවී“ හා “සුනේත්‍රා දේවී“ ලෙස නම් කරනු ලැබූ අතර ප්‍රථම ගුවන් ගමන සඳහා යොදා ගන්නා ලද්දේ “සීතා දේවී“ ගුවන් යානයයි. එය පදවනු ලැබූවේ පීටර් ප්‍රනාන්දු නැමැති ගුවන් නියමුවා වූ අතර මුල්ම ගමන සඳහා මගීන් 16 දෙනෙකු සහභාගී වී තිබිණ.
“එයාර් සිලෝන්“ ඉතිහාසය මෙතනින් බලන්න
image
image
image
image
 

1948

1948 වර්ෂයේ ජූනි මස පළමුවන දින ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී. එමගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා වන “චිකාගෝ සම්මුතිය“ ට එකඟත්වය පළ කර තිබිණ.
 

1949

1949 දී ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් සේවයත් (ANA-AustralianNational Airways)  සමඟ “එයාර් සිලෝන්“ සමාගම එක් වී‍මෙන් පසුව ජාත්‍යන්තර දිගු ගුවන් ගමන් සේවා ආරම්භ කරන ලදී. ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් සමාගමේ කළමණාකරන සහ තාක්ෂණික දායකත්වය හේතුවෙන් “ඩග්ලස් ඩී. සී. 4 ස්කයිමාස්ටර්ස්” ගුවන් යානා දෙක උපයෝගී කර ගනිමින් කොළඹ සිට බොම්බාය, කරච්චි, ටෙල් අවිව් සහ රෝමය හරහා ලන්ඩන් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට එයාර් සිලෝන් සමාගම සමත් විය. පසුව මෙම සේවය සිංගප්පූරුව සහ ජකර්තා හරහා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙත ද ක්‍රියාත්මක විය.
1949 දෙසැම්බර් මස 21 වන දින“එයාර් සිලෝන්“ සමාගමේ ඩකෝටා ගුවන් යානයක් ඉන්දියාවේ තිරුචිරාපලි (Tiruchirapalli) ගුවන් තොටුපලේදී අනතුරට ලක් වූ මුත් ජීවිත හානි සිදු වූයේ නැත. යානයේ බඳ පෙදෙසට හානි සිදු විය.
 

1950

මේ අතර 1950 වර්ෂයේ 1950 අංක 15 දරණ ශ්‍රී ලංකාවේ ගුවන් සංතරණ පණත සම්මත විය. එම වර්ෂයේ දීම ලංකාවත් ඕස්ට්‍රේලියාවත් අතර ගුවන් ගමන් ආරම්භ කරන බව “එයාර් සිලෝන්“ සමාගම විසින් නිවේදනය කරන ලදී. 1950 නොවැම්බර් 6 වන දින “ලංකා ගුවන් සේවා පුහුණු පාසැල“ (Ceylon Aviation Academy) ආරම්භ වීමත් සුවශේෂත්වයකි. එහි ගුවන් නියමුවන් පුහුණු කිරීම අරඹන ලදී.
 

1951

1951 වර්ෂයේදී “එයාර් සිලෝන්“ සමාගම රාජ්‍ය සංස්ථාවක් බවට 1951 අංක 7 දරණ පණත මගින් පරිවර්තනය කරන ලද බවට තොරතුරු තිබේ.
 

1953

1953 දී ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් සමාගම එයාර් සිලෝන් සමාගම සමග තිබූ ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසුව එම සහකාරීත්වය 1955 දී “කේ.එල්. එම්. රාජකීය ඩච් ගුවන් සමාගම“ විසින් හිමි කර ගන්නා ලදී.
 

1956

1956 දී “කේ. එල්. එම්.“ සමාගමෙන් කල්බදු ක්‍රමයට ලබා ගන්නා ලද “ලොක්හීඩ් කොන්ස්ටලේෂන්” යානයෙන් “සැෆායර් සර්විස්” ලෙස හඳුන්වනු ලැබූ සේ‍වයක් ලෙස  යළි ආරම්භ කළ ජාත්‍යන්තර ගුවන් සේවාවන් නව ගමනාන්තයක් වන ඇම්ස්ට්‍රඩෑම් වෙත සිදු කිරීමට එයාර් සිලෝන් සමාගම සමත් විය. එලෙසම බොම්බාය, කරච්චි, කයිරෝ, බහරේන්, ලන්ඩන් සහ රෝම් යන නගර වලට ද මෙහෙයුම් පවත්වා ගන්නා ලදී.
 
පස්වන කොටස බලාපොරොත්තු වන්න