සොලමන් මෙහෙයුම - Operation Solomon



හිට්ලර් විසින් දෙවන ලෝක යුද්ධය ආරම්භ කරන ලද්දේ යුදෙව් ජාතිකයින් ලෝකයෙන් අතුගා දැමීම අරමුණු කර ගනිමිනි. යුදෙව් ජාතිකයින් අති විශාල සංඛ්‍යාවක් දෙවන ලෝක යුධ සමයේ දී නාසි හමුදා අතින් ක්‍රෑර ලෙස ඝාතනය විය. මේ යුදෙව්වන් වෙනුවෙන් පසු කාලීන ව වෙනම රටක් සකස් කළ අතර එය ඊශ්‍රායලය නමින් නම් විය. ඔවුන් ලොව පුරා විසිරී සිටි යුදෙව් ජාතිකයින් ඊශ්‍රායලයට ගෙන්වා ගත් අතර ඊශ්‍රායලය ලොව බලවත් ම සහ යුධ උපක්‍රමික ලෙස ඉතාමත් සාර්ථක රටක් බවට පත් විය. එන්ටෙබේ ගුවන් තොටුපලේ සිදු කරන ලද මුදා ගැනීමේ මෙහෙයුම වැනි සුවිශේෂී හමුදා මෙහෙයුම් ඔවුන්ගේ ඉතිහාසයේ වැදගත් ලෙස ලියැවී ඇත. ඇල්බර්ට් අයින්ස්ටයින්, සිග්මන් ෆ්‍රොයිඩ් වැනි ලෝ ප්‍රකට විද්වතුන් ද යුදෙව්වන් ය. 

ලොව පුරා විසිරී සිටි යුදෙව්වන් ඊශ්‍රායලය වෙත ගෙන්වා ගැනීම වරින් වර ක්‍රියාත්මක වූ අතර මෙම මෙහෙයුම් බොහෝ විට රහස් මෙහෙයුම් ලෙස සිදු විය. ඉතියෝපියාවේ ජීවත් වූ යුදෙව්වන් ගෙන්වා ගැනීමට ද ඔවුන් වරින් වර රහස් මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර 80 දශකයේ සිදු කල “මෝසෙස් මෙහෙයුම“ මාධ්‍යයට පවා වසන් වූවක් විය. මෙම මෙහෙයුම කරන අතරතුර මාධ්‍යයට තොරතුරු ලැබීම නිසා ඔවුන් එය නවතා දමන ලදී. එසේ වුවද මෙම යුදෙව්වන් ගෙන්වා ගැනීම සදාකාලිකව ම නවතා දැමීමට ඊශ්‍රායලය සුදානම් නොවුයේ තම ජාතිය සුරැකීමට අවශ්‍ය නිසා ය.
මෙවන් එක් මුදා ගැනීමේ මෙහෙයුමක් වන්නේ “සොලමන් මෙහෙයුම“ (Operation Solomon) යි. 1991 වසරේ මැයි මස සිදු කරන ලද මෙම මෙහෙයුම පැය 36 ක් පුරා පැවති අතර ගුවන් යානා 35 ක් පමණ යොදා ගන්නා ලදී. මෙම මෙහෙයුමෙන් ඉතියෝපියානු යුදෙව්වන් 14500 ක් පමණ මුදා ගැනීමට ඔවුන්ට හැකි විය. මෙම ඉතියෝපියානු යුදවේවන් “බීටා ඊශ්‍රායල්“ යනුවෙන් ද හඳුන්වයි. එම මෙහෙයුම ගුවන් ගමන් ක්ෂේත්‍රයේ ද වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබන්නේ එක් ගුවන් යානයකින් වැඩිම මගීන් ගණනක් ප්‍රවාහනය කිරීම හේතුවෙනි.
1991 වන විට ඉතියෝපියාව පාලනය කරමින් සිටියේ ඒකාධිපතියෙකු ලෙස හැඳින්වූ මෙන්ගිස්ටු (Mengistu Haile Mariam) ය. ඒ වන විට එරිත්‍රියා සහ ටයිග්‍රියන් කැරලිකරුවන්ගේ හමුදාමය නැගිටීම නිසා ඔහුගේ පාලනය දුර්වල වෙමින් තිබූ අතර ඉතියෝපියාව බරපතළ දේශපාලන අස්ථාවර භාවයකට පත් වී තිබිණ. මේ වන විට ඉතියෝපියාවේ වෙසෙන යුදෙව් ජාතිකයින්ගේ ආරක්ෂාව පිළිබඳ ව ඊශ්‍රායලයේ සහ වෙනත් යුදෙව් සංවිධාන වල අවධානය යොමු වී තිබිණ. මෙම ඉතියෝපියානු යුදෙව්වන්ට රටින් පිටවීම ද මැන්ගිස්ටු පාලනය විසින් සීමා කර තිබිණ. මෙම තත්වයන් යටතේ ඊශ්‍රායල රජය සහ එහි ආරක්ෂක අංශ විසින් මෙම ඉතියෝපියානු යුදෙව්වන් ගුවනින් මුදා ගැනීම සඳහා රහස් මෙහෙයුමක් සැලසුම් කිරීම 1990 දි පමණ ආරම්භ කරන ලදී. ඊට අමතරව ඇමරිකාවේ එවකට හිටපු ජනාධිපතිවරයෙකු වන ජෝජ් බුෂ් විසින් මැන්ගිස්ටු වෙත ලියන ලද ලිපියක් ද මෙම යුදෙව්වන් නිදහස් කිරීම සම්බන්ධයෙන් වූ ඉතියෝපියාවේ තීරණය ලබා ගැනීමට මහත් පිටිවහලක් විය. කෙසේ වෙතත් මුලින් මැන්ගිස්ටු ඊශ්‍රායලයෙන් මේ සඳහා ආයුධ හුවමාරුවක් ඉල්ලා සිටියේ ය. තවත් වාර්තා වලට අනුව මුදල් ද ඉල්ලා ඇත. 
සතුටු සිනා පිරි ඉතියෝපියානු යුදෙව්වන්.......(http://www.zionism-israel.com/dic/Operation_Solomon.jpg)


ඊශ්‍රායල ගුවන් හමුදාවට අනුව මේ සඳහා සිවිල් සහ හමුදා ගුවන් යානා 35 ක් පමණ යොදා ගත් අතර ඉන් එකක් ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් විය. 

මගීන් වැඩි ප්‍රමාණයක් ගෙන ගිය ආකාරය ......(http://cdn1.tabletmag.com/wp-content/files_mf/shamir_airlift_070212_620px.jpg)

“එල් අල්“ (EL AL) ගුවන් සේවයට අයත් බෝයිං 747 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ද මේ සඳහා යොදා ගන්නා ලද අතර එහි මගීන් 1087 ක් එක් වරක දී ගෙන ගොස් තිබිණ. එය එතෙක් මෙතෙක් ගුවන් යානයකින් ප්‍රවාහනය කළ විශාලතම මගී සංඛ්‍යාව විය. නමුත් සැබෑවට ම මගීන් 1112 ක් එහි ගමන් කර තිබිණ. මේ වැඩි වීමට හේතුව මව්වරුන්ගේ ඇකයේ සිටි දරුවන් ලියාපදිංචියට එක් වී නොමැති වීමයි. මගීන් 760ක් පමණ යානයේ ගෙන යාමට සැලසුම් කල ද ඔවුන්ගේ බර ඉතා අඩු නිසා මෙතරම් මගීන් ප්‍රමාණයක් ගෙන යා හැකි විය.   එහි ගුවන් නියමුවා  Aryeh Oz වූ ඊශ්‍රායල ජාතිකයෙකි. 
මගීන් 1087 ක්....... (http://jetlinemarvel.net/wp-content/uploads/2014/11/operation-solomon.jpg)


සමහර භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා වල මගීන් බිම හිඳ ගෙන ගමන් කළ අතර ආසන තිබූ ගුවන් යානා වල තිදෙනෙක් ගමන් කළ හැකි ආසන පේලි වල මගීන් 5 ක් හෝ 6 ක් පමණ හිඳ ගත්හ.

සෑම ගුවන් යානයකම වෛද්‍යවරුන් සහ ප්‍රථමාධාර කණ්ඩායමක් සිටියහ. බොහෝ ඉතියෝපියානුවන් අසනීප තත්වයේ සිටීම මෙයට හේතු වූ අතර මෙහෙයුම අවසානයේ මගීන් 140 ක් පමණ සෘජුවම රෝහල කරා ගෙන යන ලදී. මීට අමතරව ගර්භනී කාන්තාවන් ද සිටි අතර ගුවනේ දී දරුවන් 5 දෙනකු උපදින ලදී. මේ සියල්ලන් පිලිගැනීම සඳහා ගුවන් තොටුපලේ හෙදියන් බලා සිටි අතර ඔවුන් අතර අතේ ගෙන යා හැකි “ඉන්කියුබේටර්“ ද විය. මෙම සියළු මගීන් ගෙන යාම සඳහා බස් රථ 400 ක් සේවයේ යොදවා ගැණින. මේ මෙහෙයුම ඉතාමත් සංකීර්ණ කාල සටහනකට අනුව රාත්‍රී කාලයේ සිදු කල අතර ගුවන් යානා 35 ක්, බස් රථ 400 ක් සහ ඊශ්‍රායලයේත් ඉතියෝපියාවේත් මිනිසුන් දහස් ගණනක් ද මේ සඳහා සම්බන්ධ විය. 

මෙම මෙහෙයුම සිදු කරනු ලැබූයේ යුදෙව්වන් දෙවියන් වෙනුවෙන් කටයුතු කරන “සබාත්“ දිනයේයි. සබාත් සෑම සතියක ම සිකුරාදා සවස ඇරඹී සෙනසුරාදා සවස් වනතුරු සිදු කරනු ලබන අතර මෙම දිනයේ මෙවන් මෙහෙයුමක් සිදු කරනු ලැබීම පිළිබඳ ව ආගමික අංශයන්ගෙන් බලපෑමක් සිදු නොවූයේ ජීවිත ආරක්ෂාවක් සම්බන්ධ කටයුත්තක දී සබාත් වලින් වැලකී සිටිය හැකි වීම නිසාය. ඒසේම මෙම දිනයේ මෙහෙයුම් සිදු කිරීම මගින් වාසියක් වූයේ සබාත් අවස්ථාවේ බස් රථ සහ ගුවන් යානා එතරම් භාවිතයක් සිදු නොවන නිසාය.

ඊශ්‍රායලය විසින් මෙම සමස්ත මෙහෙයුම ම හමුදාව වෙත පවරා තිබූ අතර එය සිදු වන අවස්ථාව වන විටත් ලෝකයේ බොහෝ දෙනෙක් එය නො දැන සිටියහ. ඒ වගේම මෙහෙයුමෙන් පසුව ද ඊශ්‍රායලය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර කථා නො කරන ලදී. කෙසේ වෙතත් ඉතියෝපියාවේ සිටි දූෂිත නායකයා මෙම ජනයා තමන්ගේ අවස්ථාවාදී හෙට්ටු කිරීම් සඳහා යොදා ගන්නා ලද මුත් මෙම මෙහෙයුම් සිදුවන විට එම නායකයා පාලනයෙන් ඉවත්ව තිබිණ. එවකට ඇමරිකානු ජනාධිපති බුෂ් විසින් ඉතියෝපියාවේ නව නායකත්වයට යොමු කරන ලද ලිපියකින් මෙම මෙහෙයුම සඳහා ඉතියෝපියාවේ සහායද ලබා ගැනීමට ඊශ්‍රායලයට හැකි විය.

එල් අල් ගුවන් සේවයේ ලාංඡනය මුද්‍රිත බෝයිං 757 ගුවන් යානයක් ගුවන් යානා අංක 9 ලෙස හඳුන්වා මෙම ගමනට එක් කර තිබුණේ එහි ආසන ඝන පොලිතීන් වලින් ආවරණය කරමින්ය. එසේ කර තිබුණේ මෙම ඉතියෝපියානු යුදෙව්වන් විසින් කොළරාව වැනි රෝග බීජ රැගෙන පැමිණිය හැකි බැවිණි. එලෙසම 5 දෙනෙකුගෙන් යුතු චෛද්‍ය කණ්ඩායමක් ද එම යානා වල සිටියෝය. 

ප්ලයිට් අංක 9 යනුවෙන් හඳුන්වනු ලැබූ යානය අනෙක් යානා මෙන්ම සැළසුම් කර තිබූ පරිද්දෙන්ම ඊශ්‍රායලයෙන් පිටත්ව සයුර තරණය කරමින් ඉතියෝපියානු වෙරළ තීරය හරහා පෙරවරු 4 30 ට පමණ අඩිස් අබාබා“  ගුවන් තොටුපළ වෙත පැමිණියේ ය. ගොඩබෑමෙන් අනතුරුව යානය තරමක් ඈතින් පිහිටි නිස්කලංක තැනකට නියමුවා විසින් ගෙන යන ලද අතර එහි බිම තණකොළ ද වැවී තිබිණ. කෙසේ වෙතත් යානයෙන් පිටත ඉතියෝපියානු සංක්‍රමණිකයින් ආරක්ෂක අංශ සමගම රැඳී සිටියෝය. 

යානයේ දොර විවෘත කරමින් අවිගත් ආරක්ෂකයින් සහ වෛද්‍ය කණ්ඩායම් බිමට ගොඩ බැස්සෝය. අඳුරේ සිටි සෑම සංක්‍රමණිකයෙක්ම කණ්ඩායම් වශයෙන් ලණු වලින් වෙන් කර තිබූ අතර හඳුනා ගැනීම පහසුව සහ වෙන් කර ගැනීමේ පහසුව සඳහා සෑම සංක්‍රමණිකයෙකුගේම නළලේ අංකයක් අලවා තිබුණි. 

සංක්‍රමණිකයින් අංකනය කර ඇති ආකාරය   (http://www.jewishvirtuallibrary.org/jsource/images/os.jpg)


ලද විධානයෙන් ඉතා සන්සුන්ව සංක්‍රමණිකයින් ගුවන් යානයට ඇතුළු විය. අනෙක් ගුවන් යානා වලට ද එසේ ඇතුලත් කර ගන්නා ලද අතර කලින් ලබා දෙන ලද උපදෙස් අනුව ගුවන් යානා පිටත් වීම අරඹන ලදී. මේ සංක්‍රමණිකින් සතුව “ෂොපින් බෑගයක්“ හෝ අත දරුවෙකු හැරුණ විට වෙනත් කිසිවක් නොවීය. එසේම ඔවුන් කිසි දිනයක ගුවන් යානයකට ගොඩවී තිබුනේ ද නැත. සෑම මුවකම සිනාව පිරී තිබිණ. සාමාන්‍යෙයන් 3 දෙනෙකු හිඳ ගන්නා ආසන පෙලක මගීන් 5-6 ක් පමණ අසුන් ගෙන සිටියෝය.

කෙසේ හෝ අවසානයේ දී ඉතියෝපියානු යුදෙව්වන් 14500 ක් පමණ මෙම සොලමන් මෙහෙයුමෙන් ඊශ්‍රායලය වෙත ගෙන එන ලද බව ඊශ්‍රායල රජය තහවුරු කරන ලදී. මෙම මෙහෙයුම දේශපාලනික, මානුෂික සහ යුදමය මෙහෙයුම් අනුව වැදගත් ස්ථානයක් ගන්නා ලද සේම ගුවන් ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවනු ලැබුවේ ගුවන් යානයක ගෙන ගිය වැඩි ම මගීන් ප්‍රමාණය ගෙන යාම නිසා වෙනි.