ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– III කොටස

 මෙම ලිපියේ දෙවන කොටස මින් පෙර පළ වී ඇත

1939

මේ අතර 1939 දී පුත්තලම “පාලවී“ ගුවන් ධාවන පථය අමතර හා හදිසි ගොඩබෑමේ ගුවන් පථයක් ලෙස නිර්මාණය කරන ලද අතර දෙවන ලෝක යුද්ධයේ දී මෙය භාවිතයට ගැණින.
image
පුත්තලම පාලවී ගුවන් තොටුපලේ දී ගුවන් යානයත් අලියෙකු යොදාගෙන ඇදගෙන යන අයුරු.

1942

1942 වර්ෂයේ දී රත්මලාන ගුවන් තොටුපලේ පාලනය රාජකීය ගුවන් හමුදාව ලබා ගන්නා ලදී.
 

1943

1943 මාර්තු මස 30 වන දින කොග්ගල කලපුවට ජලයේ ගමන් කළ හැකි ගුවන් යානයක් ගොඩබස්සවන ලද අතර මෙම කාලයේ දෙවන ලෝක යුද්ධය පැවති හෙයින් ජපාන හමුදාවන්ගේ ඉදිරි ගමන නිසා ලංකාව හරහා මෙම ගුවන් ගමන් මහා බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව අතර පවත්වා ගන්නා ලදී. මෙහිදී භාවිතා කරන ලද්දේ “කැටලිනා ෆ්ලයින් බෝට්“ නම් යානාවක් වන අතර පැයට කිලෝමීටර 200 ක වේගයකින් ගමන් කළ හැකි යානාවක් විය. කපිතාන් රසල් ටැප් (Captain Russell Tapp) මෙම යානය මෙහෙයවන ලදී. මෙම කාලයේදී ලොව දිගුම ගුවන් ගමන මෙය වූ අතර පැය 28 ක ගුවන් ගමනකි. මෙම ගමන FLIGHT OF THE DOUBLE SUNRISE යනුවෙන් හැඳින්වූ අතර මෙම ගමනේ දෙවරක් හිරු නැගීම දැකිය හැකි වීම එයට හේතුවයි. දැනට Qantas ගුවන් සමාගමේ කැන්ගරුවෙකුගේ රූපය මුලින් ම මෙම ගුවන් යානා වල භාවිතා කරන ලදී.
image

 

1945

1945 දී “ලැන්කැස්ට්‍රියන්“ (LANCASTRIAN) ගුවන් සේවාව එක්සත් රාජධානියේ සිට ඕස්ට්‍රේලියාවට කොළඹ හරහා ගුවන් ගමන් ආරම්භ කරන ලදී.
 

1946

මේ අතර 1946 වර්ෂයේ දී සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලැබීය. ඒ වගේම රාජකීය ගුවන් හමුදාව (Royal Air Force) වෙතින් සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවට රත්මලාන ගුවන් තොටුපල සිවිල් ගුවන් මෙහෙයුම් සඳහා ලබා ගන්නා ලදී.
මේ අතර 1946 වර්ෂයේ දී සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලැබීය. ඒ වගේම රාජකීය ගුවන් හමුදාව (Royal Air Force) වෙතින් සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවට රත්මලාන ගුවන් තොටුපල සිවිල් ගුවන් මෙහෙයුම් සඳහා ලබා ගන්නා ලදී.
1946 වර්ෂයේ දී ම තවත් සුවිශේෂි සිදුවීමක් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රෙය් වාර්තා විය. ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයෙකු විසින් පදවන ලද ගුවන් යානයක් එම වර්ෂයේ නොවැම්බර් මස 13 වන දින දිවයිනට ළඟා වීම මෙම සුවිශේෂි සිද්ධියයි. මෙසේ ගුවන් යානයක් පදවාගෙන එනු ලැබූවේ ජේම්ස් පීටර් ඔබේසේකර (III) (Mr. James Peter Obeysekara III) වන අතර ඔහු ශිවා ඔබේසේකර මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයායි. ජේම්ස් මහතා අත්තනගල්ල ආසනයෙන් පාර්ලිමේන්තුවට පිවිස නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය පදවිය ද හෙබවීය. ඔහු විසින් පදවාගෙන එනු ලැබූවේ තනි එන්ජිමේ “ටේලර්ක්‍රාෆ්ට් ඔස්ටර්“ (Taylorcraft Auster) වර්ගයේ ගුවන් යානයක් වූ අතර මහා බ්‍රිතන්‍යයේ සිට මදුරාසිය හරහා ඔහු යානය පදවා ගෙන එනු ලැබිණ. එම දුර සැතපුම් 7000 ක් පමණ වූ අතර ගුවන් පැය 70 ක් ඒ සඳහා ගත වී තිබිණ. එවකට එම ගුවන් ගමනට තවත් සුවිශේෂිත්වයක් හිමිවීමට හේතු වූයේ සිවිල් පුද්ගලයෙකු විසින් එතරම් ඉහළින් පදවාගෙන ආ ගුවන් ගමනත් එය වීම නිසාවෙනි.
image
image
පැමිණි මාර්ගය හා නැවතුම් ස්ථාන
image














ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– II කොටස

 

මෙම ලිපියේ පළමු කොටස මින් පෙර පළවී ඇත.

 

1912

පළමු සාර්ථක ගුවන් ගමනක් සිදු කර ඇත්තේ ප්‍රංශ ජාතිකයෙකු වන “මාර්ක් පෝප්“ (Marc Poupe) විසිනි. ඒ 1912 දෙසැම්බර් 7 වන දින බව සඳහන් වේ. මෙහි දී මාර්ක් පෝපෙ විසින් තම ගුවන් යානය කොළඹ තුරඟ තරඟ පිටියෙන් ගුවන් ගත කර කොළඹ වටා ගමන් කර යළිත් සාර්ථකව තුරඟ තරඟ පිටියට ගොඩ බෑම සිදු කළ බව සදහන් වේ. මේ ගුවන් ගමන නිසි අවසරයතින් සිදු නොකළ බැවින් පොලිසිය විසින් තහනම් කරනු ලැබූ බවට ද තොරතුරු ඇත.
image
. මාර්ක් පෝප්
image
මෙම සිදු වීම “දිණමිණ“ වාර්තා කර තිබු අයුරු.
 

1931

1931 ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට සම්බන්ධ වූ වසරක් ලෙස ඉතිහාසයට එක්වන්නේ 1931 මැයි මස 7 වන දින දකුණු අප්‍රිකානු සම්භවයක් තිබූ ගුවන් නැවියෙකු වූ නෙවිල් වින්සන්ට් (Mr. Neville Vincent) බොම්බායේ සිට කොළඹ රාජකීය ගොල්ෆ් පිට්ටනියට “ඩි හැවිලන්ඩ් පුස් මොත්“ (de Havilland Puss Moth) යානාවක් මගින් පැමිණීම හේතුවෙනි.
image
ඩි හැවිලන්ඩ් පුස් මොත් යානාවක්
 

1932/1934

1932 දී එක්සත් රාජධානිය හා ඉන්දියාව අතර පැවති රාජකීය ගුවන් තැපැල් සේවාව ශ්‍රී ලංකාව දක්වා දීර්ඝ කිරීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කරනු ලැබූ අතර 1934 දී සෙනෙට් සභාව විසින් රත්මලානේ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් සකස් කරීමට තීරණය කරනු ලැබිණ.
 

1935

මේ කාලය වන විටත් ගුවන් ධාවන පථයක් නොතිබූ අතර 1935 දී නව ධාවන පථයක් රත්මලානේ දී සකස් කරන ලදී. මේ ධාවන පථයට මුලින්ම යානයක් ගොඩ බස්සවන ලද්දේ මදුරාසි ගුවන් සමාජයේ (Madras Flying Club) හැරල්ඩ් ටයන්ඩේල්-බිස්කෝ මහතා (Mr. Harold Tyndale-Biscoe) විසින් වන අතර ඒ 1935 නොවැම්බර් මස 27 වන දින දීය. මෙහි දී ගොඩබස්සවන ලද්දේ “හැවිලන්ඩ් පුස් මොත්“ (Havilland Puss Moth) යානයකි.
 

1936

1936 දී රත්මලාන ගුවන් තොටුපල සකස් කර අවසන් කරන ලද අතර “ලංකාවේ ගුවන් සමාජය“ (Aero Club of Ceylon) මහජනතාව සඳහා ගුවන් සේවා ආරම්භ කරන ලදී. මේ කාලයේදී ගුවන් යානා ආනයනය කිරීම වැඩි වීම නිසා සිවිල් ගුවන් යානා ලියා පදිංචි කිරීම ආරම්භ කරන ලද අතර කාන්තාවන් ද පෞද්ගලික නියමු බලපත්‍ර ලබා ගැනීම විශේයෙන් කැපී පෙනිණ.
image
රත්මලාන ගුවන් තොටුපල පර්යන්ත ගොඩනැගිල්ල
 

1937

1937 දී දේශීය ගුවන් සංතරණ නීති හඳුන්වා දෙනු ලැබූ අතර ගුවන් යානා 3ක් දේශීය ගුවන් යානා ලැයිස්තුවේ ලියාපදීංචි කරනු ලැබිණ.
 

1938

1938 වසරේ පෙබරවාරි මස 28 වන දින රත්මලාන ගුවන් තොටුපල එවකට ලංකාණ්ඩුකාරවරයාව සිටි ශ්‍රීමත් ඇන්ඩෘ කැල්ඩිකොට් (Sir Andrew Caldecott) මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී. එම වර්ෂයේ දී ම රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ වශයෙන් වැඩ බැලීමට පත් කරනු ලැබීය.
එම වසරේම පෙබරවාරි මස 28 වන දින ලංකාව සහ එක්සත් රාජධානිය අතර ගුවන් තැපැල් මෙහෙයුම් ආරම්භ කරන ලදී. මේ සඳහා ඉන්දියාවේ “ටාටා“ ගුවන් සමාගමේ (TATA Airlines) “වැකෝ බයිප්ලේන්“  (WACO Biplane)යානයක් උපයෝගී කරන ලදී.
image
image
image

image






















ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– I කොටස

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසයට වසර 100 ක් සැපිරු‍ණේ පසුගිය 7 වන දිනට. මේ වෙනුවෙන් විස්තරයක් “අපේ අහසේ“ පළ වුණා පසු ගිය දිනක. මේ තියෙන්නෙ ඒක. මේ විස්තරය ගැන ලියන විට අදහසක් ඇති වුණා අප රටේ ගුවන් ඉතිහාසය පිළිබඳ සම්පුර්ණ විස්තරයක් ලියන්න ඕනා කියලා. ලියා අවසන් වන විට පිටු 20 ක් විතර වුණ නිසා කොටස් වශයෙන් පළ කරන්න අදහස් කළා. අද සිට ඉදිරියට සතියට එක ගණනේ මෙම විස්තරය පල වේවි.

පසුබිම

ඓතිහාසික ලිඛිත සාක්ෂි නොමැති වුවද ලක් දෙරණෙහි ඉතිහාසයේ නොවෙනස් වන චරිතයක් වනුයේ සක්විති රාවණා රජුයි. රාමායනය සහ අප ජනවහරේ පවතින වෘත්තාන්ත අනුව රාවණා රජතුමා සතුව ගුවනින් ගමන් කළ හැකි දඬුමොණරය නම් වාහනයක් තිබූ බව කියවේ. ඓතිහාසික වෘතාන්ත බැහැර කළ නොහැකි වුවත් මේ වන තෙක් මෙම සිද්ධිය මනාව තහවුරු කළ හැකි සාක්ෂියක් හමු වී නොමැත.
image
 
image
කෙසේ වෙතත් ආදී මානවයාගේ සිටම මිනිසා ගුවනින් යාමට උත්සුක වූ බවට විවිධ සාක්ෂි ලොව බොහෝ පෙදෙස් වලින් හමු වේ. ඒ බොහෝ උත්සාහයන් අසාර්ථක වූ නමුත් සාර්ථක වූ අවස්ථාත් තිබේ. කෙසේ වෙතත් සාර්ථක ගුවන් ගමනක් ජනතාව ඉදිරියේ සාක්ෂි සහිතව ඉදිරිපත් කරමින් ගුවන් සේවා ඉතිහාසය ලියවන්නට මුල් වූයේ විල්බර් රයිට් සහ ඕවිල් රයිට් යන බයිසිකල් වින්කල්කරුවන් දෙදෙනායි. 1903 දෙසැම්බර් මස 17 වන දින ඇමරිකාවේ කිටිහෝක් වලදී මිනිසකු සහිතව ගුවන් යානයක් පදවමින් ඔවුන් මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරනු ලැබූ අතර ඉන්පසුව විවිධ අයුරින් ලොව පුරා ගුවන් සේවා ව සීඝ්‍රයෙන් පැතිරෙන්නට විය. විශේෂයෙන් ඇමරිකාව සහ යුරෝපය පුරා පැතිරුණ මෙම කර්මාන්තය ඒ රටවල් වල යටත් විජිතයන්ව පැවති ආසියාකරයේ රටවලටද පැතිරිණ.
image

1911

1911සැප්තැම්බර් මස ඉංග්‍රීසි ජාතිකයෙකු වන කොලින් බ්‍රවුන් (Collin Browne) නැමැත්තෙකු විසින් අප රටට ගුවන් යානයක් නැව් මගින් ගෙන ආ අතර මෙරට දී ගුවන් යානයක් දිස්වූ ප්‍රථම අවස්ථාව ලෙස එය සනිටුහන් වේ. කෙසේ වෙතත් මෙම ගුවන් යානය පියාසර කර පෙන්වීමක් සිදු නොවූ අතර මහජන ප්‍රදර්ශණය සඳහා ගාලුමුවදොර ක්‍රීඩාංගනයේත් වෙනත් ස්ථාන කීහිපයකත් ස්ථාන ගත කරන ලදී. මෙම ගුවන් යානය “බ්ලැරියට්“ වර්ගයේ එකක් වූ අතර එක් අයෙකුට ගමන් කළහැකි එකකි.
image
මේ අතරේදී ජර්මානු ජාතිකයෙකු වන “ෆ්‍රාන්ස් ඔස්ටර්“ (Franz Oster) තවත් ගුවන් යානයක් ගෙන්වන ලද අතර මින් පසුව බ්‍රව්න් මහතා සහ ඔස්ටර් මහතා අතර ලංකාවේ පළමු ගුවන් ගත වීම සඳහා තරඟයක් තිබිණි. කෙසේ වෙතත් මොවුන් දෙදෙනාටම සාර්ථක ගුවන්ගත වීමක් (Take off) සහ ගොඩබෑමක් (Landing)සිදු කිරීමට අපහසු විය. ඔස්ටර් විසින් රාජකීය විදුහලේ දී සාර්ථක ගුවන් ගත වීමක් සිදු කර වටයක් කැරකැවුණ නමුත් ඔහුට ගොඩබෑම සාර්ථක කර ගැනීමට නොහැකි විණි. මෙහිදී අනතුරකට පත් වුණු යානය පිළීසකර කරන ලද්දේ වඩුබාස් කෙනෙකු විසින් බව පුවත්පත් වල සඳහන් වේ. ජර්මානු ජාතිකයෙකු වන ඔස්ටර් ජර්මනියේ සිට ලංකාවට පැමිණෙන්නේ චීනයට යන ගමනේ දී වන අතර වාර්තා අනුව පැහැදිලි වන්නේ 1912 ජනවාරි මස ඔහු ලංකාවෙන් පටත් වූ බවයි.
image
ෆ්‍රාන්ස් ඔස්ටර්
image
ෆ්‍රාන්ස් ඔස්ටර් වෙනත් රටකදී ගන්නා ලද ඡායාරූපයක් . ඔහු යානයේ සිටී









“යාපනය“ නම් වූ ගුවන් යානය Airplane called “Jaffna”

අද මැලේසියාවේ සහ සිංගප්පූරුවේ වෙසෙන ජනතාවගෙන් සැළකිය යුතු ප්‍රමාණයක් දමිළ වැසියන්. මේ දමිළ වැසියන්ගෙනුත් සැළකිය යුතු ප්‍රමාණක් ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූවන්ගෙන් පැවත එන්නන් බව ඔබ දන්නවාද?
1850 පමණ වන විට අපට රට පාලනය කරනු ලැබූවේත් එවකට මලයාව යනුවෙන් හැඳින්වූ මැලේසියාවත් පාලනය කරනු ලැබුවේ බ්‍රිතාන්‍ය ජාතිකයින්. මොවුන්ට මලයාව දියුණු කිරීමට අවශ්‍ය වුණා. ඔවුන් ඔවුන්ගේ යටත් විජිත වලින් ශ්‍රමිකයින් ගෙන යාමට තීරණය කරනු ලැබූවා.
අප දන්නවා යාපනයේ දමිළ වැසියන් ඉතා දක්ෂ පුද්ගලයින් බව. අප රටේත් ඉතා දක්ෂ නිලධාරීන් යාපනය ප්‍රදේශයෙන් බිහිවී තිබේ. ජාතික නායකයින් පවා ඔවුන් අතර සිටි. එවකට බ්‍රිතාන්‍ය පාලකයින් විසින් කරන ලද ඉල්ලීමක් අනුව අප රටේ පුද්ගලයින් ද මලයාව වෙත සංක්‍රමණය වූ අතර විශේෂයෙන් යාපනයේ දක්ෂ දමිළ පුද්ගලයින් පවුල් පිටින් ගොස් මලයාවේ පදිංචි විය. මුල් කාලයේ සිංගප්පූරුවද මලයාවේ කොටසකි.
මෙසේ අප රටේ යාපනය ප්‍රදේශයෙන් සංක්‍රමණය වූවන්ගෙන් වැඩි දෙනෙක් මලයාවේ පරිපාලන කටයුතු වලට සම්බන්ධ වූ අතර විශේෂයෙන් කෘෂිකාර්මික අධ්‍යාපන හා තාක්ෂණික අංශ වල ඔවුන් කටයුතු කර තිබෙනවා. අදටත් මැලේසියාවේ ඉහළ තනතුරු වල දමිළ පුද්ගලයින් දැකිය හැකියි.
1914 දී පමණ පළමු ලෝක යුද්ධය ඇරඹි අතර බ්‍රිතාන්‍ය ද එම යුද්ධයට පැටලී සිටියේය. මේ කාලයේදී ගුවන් යානයේ මුල් අවධිය වුවද යුද්ධය සඳහා ඔවුන් ගුවන් යානා යොදා ගැනීම මගින් සාර්ථක ප්‍රතිපල අත්කර ගැනීමට සමත් වී තිබිණ. මේ කාලයේ ගුවන් යානා දැව, රෙදි වැනි සැහැල්ලු ද්‍රව්‍ය වලින් සකසා තිබූ අතර යුධ කටයුතු සඳහා ඔරොත්තු දීම යම් පමණකට පහත මට්ටමක තිබිණ.
යුද්ධයේ දී බ්‍රිතාන්‍යයට සහාය ලබා ගැනීමට අවශ්‍ය වූ අතර මේ සඳහා පැමිණි යෝජනා වලින් වඩා සාර්ථකම යෝජනාව වූයේ බ්‍රිතාන්‍ය යටත් විජිත වලින් සහාය ලබා ගැනීමයි. මේ අනුව ලොව විවිධ ප්‍ර දේශ වලින් විවිධ සහායන් ලැබුණ අතර මලයාවේ සිටි ඉංග්‍රීසි ජාතිකයෙක් වූ අල්මා බේකර් නැමැත්තෙකු විසින් ද මලයාවේ මෙම මුදල් සොයා බ්‍රිතාන්‍යයට සහාය දැක්වීම කාර්යය සිදු කළ අතර ඔහු විසින් බ්‍රිතාන්‍ය හමුදාවට මලයාවෙන් ගුවන් යානා 94 කට පමණ මුදල් සොයා සපයා දී තිබිණ.
බ්‍රිතාන්‍ය හමුදා විසින් මෙසේ ලබා දුන් ගුවන් යානා වලට ඒ පරිත්‍යාග කරන ලැබූවන්ගේ නම් හෝ ඔවුන් නියෝජනය කරන ලබන නමක් යෙදු අතර “අල්මා බේකර්“, “මලක්කා චයිනීස්“ වැනි නම් ඒ අතර තිබිණ. මැලේසියාවේ මිනින්දොරු දෙපාර්තමේන්තුවේ සේවය කල “සුබ්‍රමනියම්“ නැමති යාපනයෙන් සංක්‍රමණය වූ පුද්ගලයෙකුගේ මූලිකත්වයෙන් එහි විසු දමිළ ජාතිකයින්ගේ මූල්‍ය දායකත්වයෙන්ද ගුවන් යානයක් පරිත්‍යාග කළ අතර එය සුවිශේෂි ගුවන් යානයකි.මෙම යානය ලබා ගැනීම සඳහා ස්ටර්ලින් පවුම් 2250 ක් පමණ එකතු වී තිබේ.
F.E.2b වර්ගයේ යානාවක් වූ මෙහි අවර පෙත්ත පසිපසින් පිහිටා තිබීම ම විශේෂත්වයක් විය. එවකට නිෂ්පාදනය කළ ගුවන් යානා වලට පොදු ලක්ෂණයක් වූ ද්විත්ව පියාපත් සහිත වීම මෙහිද දක්නට ලැබුණ අතර අශ්ව බල 120 ක එන්ජිමක් සවි කර තිබිණ. නියමුවා සහ තවත් පුද්ගලයෙකුට ගමන් කළ හැකි මෙම යානය ගුවනේ සිට වෙඩි තැබීම හෝ බෝම්බ දැමීම සිදු කළ හැකි ආකාරයට සකස් කර තිබිණ. යානය නිෂ්පාදනය කරනු ලැබූවේ බ්‍රිතාන්‍ය යේ රාජකීය ගුවන් යානා කර්මාන්තශාලාවේදීය.
මෙසේ සකස් කරන ලද ගුවන් යානය 1915 දෙසැම්බර් මස 22 වන දින රාජකීය හමුදාවට භාර දෙනු ලැබූ අතර මෙම යානය පරිත්‍යාග කරන ලද්දවුන්ට උපහාරයක් වශයෙන් “JAFFNA“ යනුවෙන් නම් කරන ලදී. මෙම යානය බොහෝ කාලයක් රාජකීය හමුදාවට සේවය කරන ලදී.
පහත දැක්වෙන්නේ එම යානයේ සැබෑ ඡායාරූපයකි
JaffnaFighter_001_100854_200
පහත දැක්වෙන්නෙ එම යානා වර්ගයේ ප්‍රති නිර්මාණයකි
F.E.2b Jaffna
මේ තිබෙන්නේ එවන් සැබෑ යානයක ඡායාරූපයකි.
F.E.2bs
ශ්‍රී ලාංකීය ගුවන් සේවා ඉතිහාසයේ සියවස සමරණ මෙම අවස්ථාවේ මෙම තොරතුරත් ඔබට වැදගත් වේවි යයි සිතමි.










ලකඹර ගුවන් ගමන් සාර්ථක වී ශතවර්ෂයයි. (Centenary Celebrations of Civil Aviation of Sri Lanka)

1903 දී රයිට් සහෝදරයින් ගුවන් යානය සොයා ගත්තේ යයි සඳහන් වන්නේ ඔවුන් විසින් පළමුවෙන් ම මිනිසකු සහිතව හා බලය සහිත ගුවන් යානයක් සාර්ථකව ඉහළ නංවා ගුවනේ ගමන් කර යළි සාර්ථකව ගොඩබෑම හේතුවෙනි.

1911 සැප්තැම්බර් මස 12 වන දින පළමුවෙන්ම “ලංකාවට“  ලුවිස් බ්‍රවුන් නම් මහතෙක් “බ්ලැරියට්“ වර්ගයේ ගුවන් යානයක් ගෙන ආවද එය නිවැරදිව ඉහළ නංවා ගුවනේ ගමන් කරවා අනතුරක් නැතිව ගොඩබෑම සිදු කිරීමට හැකියාවක් තිබුණේ නැත. එළෙසම 1911 දෙසැම්බර් මාසයේ දී ද ජර්මානු ජාතික හර් ඔස්ටර් විසින් ද බොහෝ උත්සාහන් දැරුවද ඉහළ නැංවීම, ගුවනේ ගමන් කිරීම හා ගොඩ බෑම යන සාර්ථක ගුවන් ගමනක මූලික අංග තුනම සාර්ථක කර ගැනීමට අසමත් විය. 

මෙම කාලසීමාවේ විවිධ පුද්ගලයින් විසින් වරින් වර යානා ගෙන ආවද සාර්ථක ගුවන් ගමනක් යාමට ඔවුන්ට හැකියාවක් නොලැබිණ.

කෙසේ වෙතත් 1912 වර්ෂයේ දෙසැම්බර් මස 7 වන දින ඒ ඓතිහාසික ගුවන් ගමන යාමට ප්‍රංශ ජාතිකයින් දෙදෙනෙක් සමත් විය. ඔවුන් විසින් ද භාවිතා කරන ලද්දේ “බ්ලැරියට්“ වර්ගයේ ගුවන් යානාවක් වූ අතර මා මුලින් සඳහන් කළ සාර්ථක ගුවන් ගමනක අදියරයන් 3 ම සාර්ථක සිදු කිරීමට ඔවුන් සමත් විය. මේ හේතුවෙන් ලොව ප්‍රථම සාර්ථක ගුවන් ගමන රයිට් සහෝදරයින් 1903 දී සිදු කල ආකාරයෙන්ම මෙම ප්‍රංශ ජාතිකයින් දෙදෙනාද සාර්ථක වු නිසා ලක් ඉතිහාසයේ ප්‍රථම සාර්ථක ගුවන් ගමන ලෙස සැළකිය හැක්කේ එම ප්‍රංශ ජාතිකයින් දෙදෙනාගේ ගුවන් ගමනයි.

මෙම ගුවන් ගමන 1912 දෙසැම්බර් මස 10 වන දින “දිණමිණ“ පුවත්පත වාර්තා කර තිබුණේ පහත ආකාරයටයි.

First Flight Dinamina

ඒ අනුව මෙම වසරේ එනම් 2012 වර්ෂයේ දෙසැම්බර් 7 වන දිනට ගුවන් යානය ලකඹර ජයගෙන ශතවර්ෂයක් සපිරේ.

එදින මෙම ඓතිහාසික ගුවන් ගමන් සිදු කළ ද ඒ සඳහා නිවැරදිව අවසරයක් රැගෙන සිදු කළ වගක් නොපෙනෙන්නේ පහත සටහන් කියවීමෙනි.

13 1

එළෙසම අය කරන ලද මුදල් ඉල්ලා සිටි විට එම මුදල් පොලිසියෙන් ඉල්ලා ගන්න යයි දන්වා සිටීම ජුගුප්සාජනකයි. කෙසේ වෙතත් මෙම තහනමට හේතුව වශයෙන් සඳහන් වන්නේ ඔවුන් ගුවනින් ගොස් එකවට පිහිටුවා තිබූ කාලතුවක්කු බතරොයි තිබන ස්ථාන ඔවුන් දැනගනීවි යයි තිබූ සැකය නිසාවෙනි.

කෙසේ වෙතත් පසුව මෙම දෙදෙනාට යම් සීමා සහිත ප්‍රදේශයක ගුවන් ගමන් සිදු කිරීමට අවසර ලබා දී ඇති බව පසුව පළවූ වාර්තා වලද සඳහන් වේ.

මෙම ගුවන් ගමනින් පසුව ක්‍රම ක්‍රමයෙන් ලක් ගුවන් ඉතිහාසය දිග හැරීම ආරම්භ වුවද 1912 සිට 1931 දක්වා කාල සීමාවේ සිවිල් ගුවන් සේවා කටයුතු සිදු වී ඇති බවට වාර්තා සොයා ගැනීම අපහසුයි. ඉන්පසුව යළිත් ජව ගැන්වුණ ලක් ගුවන ජය ගැනීම අපටම අයත් වූ “එයාර් සිලෝන්“ ගුවන් සමාගමත් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලත් දිවයිනේ නන් දෙස ඉදිවු තවත් ගුවන් තොටුපල සහා ගුවන් ක්ෂේත්‍රයේ වෙනත් ප්‍රවර්ධනයන්ද සමග 2012 දෙසැම්බර් මස 7 වන දින වන විට වසර සියයක් සමරයි.

මේ අවස්ථාව වන විට අප රටේ ගුවන් ක්ෂේත්‍රය සීඝ්‍ර දියුණුවතට පත් වෙමින් තිබේ. අප ගුවන් තලයේ සහ අප ගුවන් ක්ෂේත්‍රය ආසියා පැසිපික් කලාපයේ සුරක්ෂිත බවින් 4 වන ස්ථානයේ පවතින බව ජාත්‍යන්තර ගුවන් සේවා සංවිධානය තහවුරු කර අවසන්. එලෙසම මුලු ලොවින්ම එය 17 වන ස්ථානයයි. නව ගුවන් තොටුපලක් ඉදිවෙමින් පවතී. නව දේශිය ගුවන් සමාගම් රටතුළ බිහිවෙමින් පවතී. බ්‍රිතාන්‍ය ගුවන් සමාගම ආදී ලොව පිළිගත් ගුවන් සමාගම් දිවයිනට මෙහෙයුම් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබේ. ගුවන් සේවා ක්ෂේත්‍රය අපරටේ ආර්ථිකයට ඉතා විශාල දායකත්වයක් මෙන්ම විදේශ විනිමයක් ලබා දෙමින් සිටී. මේ නිසා මෙම වසර සියය සැමරීම ඉතාම ඉහළින් සිදු කිරීම සිදු කළ යුතුය.

ඒ අනුව අද දින එනම් දෙසැම්බර් මස 7 වන දින අතිගරු ජනාධිපතිතුමන් සහ ගුවන් සේවා අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී මෙම සැමරුම සිදු කිරීමට කටයුතු සිදු සංවිධානය කර ඇත.

මේ වෙනුවෙන් සමරු මුද්දර හා මුල් දින කවර නිකුත් කිරීමත්, ගුවන් සේවා ඉතිහාසය සම්බන්ධයෙන් රචිත ඉතා වටිනා ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කිරීමත් ඒ වගේම අප ඉතිහාසය සම්බන්ධයෙන් වාර්තා වැඩසටහනක් සකස් කර ප්‍රචාරය කිරීමත් ඇතුළු බොහෝ වැඩ කටයුතු සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

ඉතින් මේ වසර සියය තුළ සිදු වූ විවීධාරකාර සිදුවීම් වලට විවිධ අය සහයෝගය දක්වා ඇති අතර ඔවුන් කළ කී දෑ නිසා අද මෙම කර්මාන්තය ඉතා ඉහළ පිළිගැනීමක් සහිත ස්ථානයක් බවට පත්ව ඇත. ඔවුන් වෙනුවෙන් මේ අවස්ථාවේ දී “අපේ අහස“ ශීර්ෂ ප්‍රණාමය සිදු කරනු ලබන අතර තවත් වසර දස දහස් ගණනක් ඉදිරියට කර්මාන්තය ප්‍රවර්ධනය වීමට හැකියාව ලැබේ යයි ප්‍රාර්ථනා කරමු.