පුම්බා උඩ අරින්න ගියෙමි–උණුසුම් වායු බැලුන් මෙහෙයුම–දඹුල්ල වීර මොහාන් විදුහල් ක්‍රීඩාංගනය–Hot Air Ballooning at Dambulla Veera Mohan School

ගුවන් යානා වල මූලාරම්භය ගැන කථා කරන විට උණු වායු බැලුන් (Hot Air Balloon) වලට මූලික ස්ථානයක් හිමි වෙනවා. මේක විනෝදාංශයක් විධියට දැන් කරන අතර වානිජ මට්ටමේ කටයුතුත් සිදු වෙනවා.

බැලූනයක් සමාන්‍ය සරල දෙයක් වගේ පෙණුනට එය මෙහෙය වීම ට යම් තරමකට ගුවන් යානා පැදවීමට අවශ්‍ය මූලික දැනුම අවශ්‍යයි. ඒ වගේම එහි සුරක්ෂාවත් අනෙක් භාහිර දේ වල ආරක්ෂාවත් බැලුම මෙහෙයවන්නාගේ (Pilot) වගකීමක්.

තවත් සරලව කියනවා නම් බැලුන් නියමුවා ඒ සඳහා සුදුසු කම් සම්පූර්ණ කළ බලපත්‍ර ලාභියෙක් විය යුතු වෙනවා. මේ බලපත්‍රය නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පවත් වනු ලබන පරීක්ෂණ කීපයකට පසුවයි.

ඒ වගේම ඔවුන් ඒ ප්‍රවීණතාවයත් බැළුමේ පියාසර යෝග්‍යතාවයත් ගුවන් යානා ඉංජිනේරුවෙක් ඉදිරිපිට සනාථ කළ යුතුයි. පසුගිය 2 වෙනිදා (2011 දෙසැම්බර් 02) මේ වගේ යෝග්‍යතාවය පරීක්ෂා කරන අවස්ථාවක් එළඹුණා.

ලංකාවෙ ලියාපදිංචි වී බලපත්‍ර ලබා ගත් බැලුන් වාණිජ මෙහෙයුම් කරුවන් 4 ක් සිටින අතර ඔවුන්ගෙන් එක් අයෙක් ර්‍ශී ලාංකිකයෙක්. ඒවගේම ලංකාවේ ගුවන් යානා ලියාපදිංචි ලේඛණයේ ලියාපදිංචි වී ඇති බැලුන් ගණන 9 ක්. මෙයින් 6ක් දැනට ක්‍රියාත්මක තත්වයේ පවතිනවා. ඒ වගේම තවත් බැලුන් දෙකක් ලියාපදිංචිය සඳහා අවසර ඉල්ලා තිබෙනවා. 

මේ එක් බැලුනයක සාමාන්‍ය වටිනාකම රුපියල් ලක්ෂ 35 ක් පමණ වෙනවා. ඒ වගේ ම බැලුනයක මගීන් 6 –16 වගේ ගණනක් යන්න පුළුවන්.

ඉතින් මම ඉහළින් සදහන් කළා වගේ මේ බැලුන් වල යෝග්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒ ප්‍රෙද්හයේ පාසැල් සිසුන් කීපදෙනකුටත් බැලුන් සවාරියක් ලබා දීමට අප තීරණය කළා. උතුරු මැද අධ්‍යාපන කලාපයේ පාසැල් සිසුන් අතර ගුවන් ක්ෂේත්‍රය පිළිබඳව රචනා තරඟයක් පවත්වා එයින් වැඩිම ලකුණු ලබා ගත් සිසු සිසුවියන් 5 දෙනකුට මේ අවස්ථාව ලබා දුන්නා.

ඒ වගේම මාධ්‍ය දැනුවත් කිරීමකුත් මේ සම්බන්ධයෙන් තිබුණා. පහළදැක්වෙන්නෙ ඒ අවස්ථාව ඡායාරූපයට නැගුණ ආකාරය.

DSC_0008

DSC_0009

DSC_0026

මේ තියෙන්නෙ ගෑස් පුරවන අවස්ථාව. වෙලාව උදේ 5.30 ට විතර ඇති.

DSC_0023

මෙන්න මේක ඇතුලෙ තමයි මගීන් යන්නෙ.

DSC_0038

මේ තියෙන්නෙ ඒ අවස්ථාවට සහභාගි වුණ ළමයි. අපි ඒ අයට තෑගිත් දුන්නා.

DSC_0067

අනෙක් බැලුණුත් දැන් වායුව පුරවමින් සිටින්නෙ.

DSC_0089

ඉස්කෝලෙ පුංචි දුවලා අපිට නැටුමකින් සංග්‍රහ කළා.

DSC_0108

මේ තියෙන්නෙ ඔය අවස්ථාවට සමගාමීව වීර මොහාන් විදුහලේ සිසුන් කල නිර්මාණ.

DSC_0136

තෑගිත් අරන් හරිම සතුටින්……..

DSC_0181

මේ දර්ශණය ලස්සනයි. ඔය ඉදිරියෙන්ම තියෙන බැලුම ලියාපදිංචි අංකය බලන්න. ලංකාවට හිමි 4R අංකයත් සමග BIG යනුවෙන් සඳහන්.

DSC_0234

කටිටිය නැගලා ඔය යන්නෙ. මේ ගමණට සහභාගි වුණ දරුවන්ට ඒ සදහා සහභාගී කරවා ගැනීමට ලිඛිත අවසරය දෙමව්පියන් ගෙන් ලබා ගත්තා.

DSC_0237

DSC_0282

බිම පෙණුනෙ මෙහෙම

DSC_0313

ඈතට පෙණුන සුන්දරත්වය

DSC_0397

මේ වගේ උඩදිත් ගෑස් දුන්නා.

 

DSC_0473

ඔන්න අපි බිමට ආවා.

DSC_0466

මේ ඉන්නෙ නියමුවා. මෙයා තමයි ලංකාවෙ එක්කෙනා. නම රිචර්ඩ්. අර වටේ තියෙන පාට පාට ලණු වලින් තමයි පාලනය කරන්නෙ.

DSC_0484

අපි සේරම එකතු වෙලා බැලුම හැකිලුවා.

මේක සේරටම අළුත්ම අත්දැකීමක් වුණා. පාසල් සිසුන්ට හරිම සතුටුයි.

ඒ බිහිසුණු රාත්‍රිය එළඹ අදට වසර 37 යි (2011 දෙසැම්බර් 04 ට)–Martinair DC8 Accident at “Anjimalay”, Maskeliya 04-December 1974


ඉන්දුනීසියාවේ සුරබායා ගුවන් තොටුපළ ක්‍රියාත්මකව පැවතියේ සාමාන්‍ය දිනයක පරිද්දෙනි. පසෙක නවතා තිබූ DC-8 වර්ගයේ ගුවන් යානය තවත් එක් මෙහෙවරක් ඉටුකිරීමට පිටත්ව යාමට සූදානමින් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටියේය. මගීන් 182 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකුත් ඒ සමග පිටත් වීමට සූදානමක් තිබු අතර මගීන් සියළු දෙනාම යානය කුලී පදනම මත ගනු ලැබූයේ මක්කම වන්දනාවට සහභාගී වීමටයි. කුඩා ළමුන් වැඩිහිටියන් සහ තරුණ තරුණියන් ඒ ගමනට එක්ව සිටියා.

යානයේ නියමුවා වූයේ නෙදර්ලන්ත ජාතිකයෙකු වන හෙන්ද්‍රික් ලැමී (Hendrik Lamme). ඔහු ගුවන් පැය 26770 ක් පමණ සම්පූර්ණ කර සිටි පළපුරුදු නියමුවෙක්. ඒ වගේම ඩී.සී. 8 (DC8) වර්ගයේ ගුවන් යානා වල පැය 4000 ක් පමණ පළපුරුද්දක් ඔහුට තිබේ. ඒ කියන්නෙ මේ යානය ඔහුට යම් තරමකට පළපුරුදු යානයක්. ඇසේ සුළු පෙනීමේ දුර්වලතාවයක් හැර ගුවන් යානයක් පැදවීමේ බලපත්‍රයක් නිකුත් නොකිරීමට තරමේ වෙනත් සෞඛ්‍යම ගැටළුවක් ඔහුට නැති බව 1974 නොවැම්බර් 13 වන දින පෙනී සිටි වෛද්‍ය පරීක්ෂණයෙනුත් පැහැදිලි වුණා. ඒ වගේම 1974 ඔක්තෝබර් 31 වන දින පැවැත්වූ DC8 යානා සඳහා වන ප්‍රවීණතා පරීක්ෂණයෙනුත් ඔහු සමත් වී තිබිණ. යානය පැදවීමට ඔහු අවශ්‍ය සුදුසුකම් සපුරා තිබූ බව එයින් පැහැදිලි වෙනවා. ඒත් මේ ගුවන් මාර්ගයේ ඔහු යානයක් පදවන පළමු අවස්ථාව මෙයයි. ඔහු මින් පෙර ලංකාවට පියාසර කර තිබේ.

යම් මාර්ගයක ගුවන් යානයක් පැදවීමට ප්‍රථම ඒ මාර්ගයේ ප්‍රවීණතාවක් ඇති අයෙක් සමග ගුවන් යානයක් මෙහෙයවීමට හවුල් විය යුතුයි. නමුත් ලැමී ඒසේ කර තිබුණේ නැහැ.

නියමු ලැමී ගේ සහායකයා වුණේ නෙදර්ලන්ත ජාතික රොබර්ට් බ්ලොම්ස්මා (Robert Blomsma). ඔහු ගුවන් පැය 2480 ක් පමණ සම්පූර්ණ කර තිබිණ. ඔහු DC8 යානා වල පැය 47 ක පමණ කාලයක් සම්පූර්ණ කර තිබුණා. 1974 සැප්තැම්බර් 4 වන දින වෛද්‍ය පරීක්ෂණයෙන් ද සමත් වී තිබුණා. නමුත් ඔහුටත් නියමු ලැමී ට මෙන්ම මේ ගුවන් මාර්ගයේ කළින් ගමන් කර පළපුරුද්දක් තිබුණේ නැහැ. ඒ වගේම මෙම යානය පැදවීමත් ඔහු කර නැහැ.

ගුවන් ඉංජිනේරු ජොහැන්නස් ගිජ්බර්ටස් විජ්නන්ඩ්ස් (Johannes Gijsburtus Wijnands) ද නෙදර්ලන්ත ජාතිකයෙකු වුණා. DC8 වර්ගයේ ගුවන් යානා සඳහා පැය 3000 ක පමණ පුහුණුවක් ඔහු සතු විය. ඒ වගේ 1974 පෙබරවාරි 20 දින කරන ලද වෛද්‍ය පරීක්ෂණයෙන් ද ඔහු සමත් වී තිබුණා.
යානය ඩීසී 8 වර්ගයේ ගුවන් යානයක් වන මෙම යානය එවකට තිබූ ඉතාම හොඳ තත්වයේ එකක් විය. යානයේ අයිතිය තිබුණේ මාර්ටින් එයාර් (Martinair Holland NV) ගුවන් සමාගමට වන අතර ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සමාගම විසින් (Garuda Indonesian Airways) කුලී පදනම මත ලබා ගෙන තිබිණ. ලියාපදිංචි අංකය වුණේ PH-MBH. එන්ජින් 4 ක ගුවන් යානයක් වූ මෙය 1966 වසරේ නිෂ්පාදනය කර තිබිණ. මුලින්ම යානය අයත්ව තිබුණේ ඇමරිකා එක්සත් ජනපදයේ සීබෝඩ් වර්ල්ඩ් එයාර්ලන්ස් ගුවන් (Seaboard World Airlines) සමාගමට වන අතර 1973 වසරේ සැප්තැම්බර් 21 වන දින මාර්ටින් එයාර් ගුවන් සමාගම විසින් මිලදී ගනු ලැබුවා. මේ වන විට ගුවන්යානය පැය 35613 ක් පියාසර කර තිබූ අතර මාර්ටින් එයාර් ගුවන් සමාගම විසින් පැය 3347 ක් පියාසර කර තිබුණා. 1974 වර්ෂයේ මාර්ටින් එයාර් ගුවන් සමාගම විසින් නව එන්ජින් යානයට සවිකර තිබුණා.

පහතින් පළවෙන්නේ යානය අනතුරට ලක් වීමට ප්‍රථම ගන්නා ලද ඡායාරූපයකි.

(Photograph: Werner Fischdick Collection අනුග්‍රහයෙනි)

කාළගුණය සමාන්‍ය තත්වයෙන් පැවති අතර කොළඹ ගුවන් තොටුපළ ප්‍රෙද්ශයේ කි.මී. 10 ක පමණ දුරක් දර්ශණය වන තත්වයක් තිබිණ.

ගුවන් ගමන සැළසුම් කර තිබුණේ ඉන්දුනීසියාවේ සුරබායා ගුවන් තොටුපලින් පිටත්ව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා සවුදි අරාබියේ ජෙඩා ගුවන් තොටුපළ වෙත යාමටයි. යන අතරවාරයේ හදිසි ගොඩබෑමක් අවශ්‍ය වුවහොත් ඉන්දියාවේ මදුරාසි ගුවන් තොටුපල යාමටත් සැලසුම් කර තිබුණා. ඒ වගේ මුහුදු මට්ටමේ සිට අඩි 35000 ක පමණ ඉහළින් පියාසර කිරීමටයි සැලසුම තිබුණේ. කටුනායක ගුවන් තොටුපළේ යානය ගොඩබැස්සවීමට නියමිත වූයේ ඉන්ධන ලබා ගැනීමටයි.

සුරබායා ගුවන් තොටුපළින් සවස 7.03 ට පමණ ගුවන් යානය ගුවන් ගමන ආරම්භ කළ අතර සන්නිවේදන කටයතු අනුව නිවැරදිව ඒ ඒ ස්ථාන පසු කරමින් ගමන් කර නිවැරදි අයුරින් ශ්‍රී ලංකාවේ ගුවන් තොරතුරු කළාපයට ග්‍රිනිච් මධ්‍ය වේලාවෙන් 1557ට ඇතුළු විය.

එක් ගුවන් කළාපයක සිට වෙනත් ගුවන් කලාපයකට ඇතුලත් වීමේ දී එසේ කිරීමට විනාඩි විස්සකට ප්‍රථම අනෙක් ගුවන් කලාපයට පෙරකී ගුවන් කලාපය විසින් භාර දීම සිදු කළ යුතුයි. ඒ අනුව මෙම යානය ඉන්දුනීසියා ගුවන් පාලක මැදිරිය විසින් රත්මලාන ප්‍රාදේශිය ගුවන් පාලක මැදරියට නිවැරදිව යානය භාර දී තිබිණ.

ගුවන් යානයත් එක් ගුවන් කලාපයකට ඇතුළු වීමට විනාඩි 10 ට ප්‍රථම තම ඇතුලු වීමට දැනුම් දිය යුතු අතර මෙම යානයත් එසේ කර තිබිණ. ඒ අනුව ගුවන් යානය නිවැරදිව ගුවන් කලාපයට ඇතුලත් වී තිබේ.
මේ කාලය වන විට ශ්‍රී ලංකාවේ රේඩාර් යන්ත්‍ර පිහිටා නොතිබූ අතර ගුවන් යානයෙන් ලබා දෙන දුර , උස ආදී තොරතුරු මත යානය ගුවන් ගමන් පාලක මැදිරිය මගින් පාලනය කරනු ලබයි. ඒ අනුව ගුවන් යානයක් ශ්‍රී ලංකාවට ගොඩබෑමේ දී පළමුව රත්මලානේ පිහිටා ඇති ප්‍රාදේශිය ගුවන් ගමන් පාලක මැදිරිය මග සම්බන්ධතා ගොඩනගා ගත යුතුය.

නමුත් මාර්ටින් එයාර් ගුවන් යානය පළමුව සම්බන්ධය ගොඩ නගා ඇත්තේ කටුනායක පාලක මැදිරිය සමගයි. ඒ අවස්ථාවේදී යානය දැනුම් දී ඇත්තේ ඔවුන් නාවික සැතපුම් 130 ක් දුරින් හා අඩි 35000 ක් ඉහළින් සිටින බවයි. එහිදී කළ දැනුම් දීම අනුව ඔවුන් රත්මලාන සමග සම්බන්ධය ගොඩනගාගෙන තොරතුරු හුවමාරු කර ගන්නා ලදී.

මේ අවස්ථාවේ යානයෙන් දැනුම් දුන් තොරතුරු අනුව ගුවන් ගමන් පාලක මැදිරිය යානය තව දරටත් පහලට ගෙන ඒමට අවසර දෙන ලදී. ඒ සමගම යානය අඩි 6000 ක්පමණ පහළට ගෙන එන ලද අතර සාමාන්‍ය ක්‍රමය පරිදි රත්මලාන ගුවන් ගමන් පාලක මැදිරියෙන් කටුනායක පාලක මැදිරියට යානයේ පාලනය භාරදෙන ලදී. යානය දැන් දැනුම් දී ඇත්තේ තමන් කටුනායක ගුවන් තොටුපළෙන් නාවික සැතපුම් 14 ක් ඈතින් සිටින බවයි. ඒ අනුව යානය අඩි 2000 ක් දක්වා පහළට ගෙන ගොඩ බැස්සවීමට සූදානම් කරන ලදී.

මේ අවස්ථවේදී ක්ෂණිකව යානය සමග තිබූ සම්බන්ධය ගිලිහී ගිය අතර සන්නිවේදන සම්බන්ධය ගොඩනගා ගැනීමට දරණ ලද සියළු උත්සාහයන් අසාර්ථක විය. දැන් වේලාව රාත්‍රී 10 පසුවී විනාඪි 10 ක් පමණ විය. මද වේලාවකින් මැදිරියේ දුරකථනය නාද වන්නට වූ අතර ඒ ඇමතුම ලැබුණේ මස්කෙළිය තැපැල් කාර්යාලයේ රාත්‍රී සේවා මුරයේ නියැළි සිටි මල්දෙනිය මහතා ගෙනි. එම දුරකථන ඇමතුමෙන් ලද තොරතුර ගුවන් ගමන් පාලක මැදිරියේ සේවය කරන ලද නිළධාරීන් මොහොතකට වික්ෂිප්ත කිරීමට සමත් විය.

ඒ තොරතුර අනුව ශ්‍රී ලංකා ගුවන් සේවා ඉතිහාසයේ සිදු වූ බරපතළම ගුවන් අනතුර සිදු ඇත. මල්දෙනිය මහතා දැනුම් දී ඇත්තේ මස්කෙළිය තෙබර්ටන් වතු යායේ “අන්ජිමලේ“ නැතිනම් “සප්ත කන්‍යා“ කඳුවැටියේ වැදී යානයක් විනාශ වී ඇති බවයි. ඇසින් දුටු සාක්ෂි විමසීමේදී පුදේශවාසීන් විසින් පවසා ඇත්තේ ගුවන් යානයක් වෙනදාට වඩා පහතින් ගමන් ගත් බවත් එන්ජින් වල ශබ්ධයේ වෙනසක් ඔවුන්ට නොදැනුන බවත්ය. එනම් එන්ජින් වල දෝෂයක් නොතිබූ බවයි.

පහත දැක්වෙන්නේ පරිගණකයෙන් අනතුර පිළිබඳ අඳින ලද සිතුවමකි. (විකිපීඩියා)



ඉහත ඡායාරූපයේ ඉහළින් දැක්වෙන්නේ යානයේ සුන් බුන් අතින් ගත් ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකි. පහළ වම් පස රවුම් කර පෙන්වන්නේ යානය වැදුණ ස්ථානයකි. අනෙක් ඡායාරූපය දක්වන්නේ එකළ පුවත්පත් මෙම අනතුර වාර්තා කර තිබූ ආකාරයයි.


අනුතර සිදුවු ස්ථානය බැලීමට පැමිණි මහ සෙනග.

මේ අනතුරින් කිසිවෙකු දිවි ගලවා නොගත් අතර යානයේ මගීන් 181 දෙනාත් කාර්ය මණ්ඩලයේ 9 දෙනාත් මරණයට පත් වී ඇත. යානයේ සුන්බුන් සෑම තැනම විසිරී තිබූ අතර ඒවායින් සාක්ෂි ලබා ගැනීම ඉතා අපහසුවිය. කෙසේ වෙතත් බොහෝ දුරට විනාශ වී තිබූ “කළු පෙටිටිය“ හමු වූ නමුත් එයින් තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තිබී නොමැත.

මේ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරනු ලැබූ අතර එහිදී පැහැදිලි වූයේ යානයෙන් ලබා දුන් තොරතුරු නිවැරදී නොවූ නිසා ගුවන් තොටුපළ යයි වැරිදියට ගණනය කර ගොඩ බැස්සවීමට යාමේදී අනතුර සිදු වී ඇති බවයි. ඒ වගේම අනාවරණය වූයේ යානයේ දුර මැනීමේ උපකරණයේ දෝෂ සහිත බව මින් පෙර යානය පැදවී නියමුවන් දෙදෙනකු විසින් වාරතා කර ඇති බවයි.තවද යානයේ තිබූ රේඩාර් පද්ධතියද ක්‍රියාත්මක නොවූ බව පැහැදිලි වී ඇත.

මෙම අනතුර එවකට මුළු මහත් දිවයිනම කැළඹු සිද්ධියක් වූ අතර එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ සිදු වූ බරපතලම අනතුර මෙය බව සදහන් වේ. අනතුර සිදු වූ ස්ථානය ළඟා වීම ඉතාම අපහසුවී ඇති අතර පොලීසිය, ප්‍රදේශවාසීන් විසින් පරීක්ෂණ සඳහා ඉහළ සහයෝගයක් ලබා දී ඇත.
File:Tire and memorial of Martin Air flight 138.jpg
ඉහත දැක්වෙන්නෙ මස්කෙළිය අනතුර සම්බන්ධයෙන් නෝර්ටන්බ්‍රිජ් නගරයේ පිහිටුවා ඇති සිහිවටන ඵලකය සහ යානයේ හානියට පත්ව ඉතිරිවූ ටයරයකි.

මේ සම්බන්ධව නිකුත් කරන ලද වාර්තාව මෙම මෙතනින් ලබා ගත හැක. මේ වාර්තාව කියවීමේදී ඇතිම් පුවත්පත් වල මෙම අනතුර ගැන සඳහන් වන තොරතුරු වල යම් අඩුපාඩු තිබෙන බව පෙනේ. 

M අකුර ඉංග්‍රීසි හෝඩියේ 13 වන අකුරයි. මේ අනතුර සම්බන්ධයෙන්ද M අකුරු 13 සම්බන්ධ වී ඇති බවට යම් යම් සඳහන් කිරීම් තිබේ. අනතුරු විමර්ශණ වාර්තාව කියවීමේ දී මෙම ස්ථාන හඳුනා ගත හැකි අතර කීපයක් Martinair, Muslims, Maskeliya, ආදිය දැක්විය හැක. මෙහි යම් සම්බන්ධතාවක් හා සත්‍යතාවයක් තිබේ ද?

පුත්තලමේ සරුංගල් (Kites Competition at Puttalam)

සරුංගලය කියන්නේ අපි කුඩා කාලයේ භාවිතා කළ සමහර විට අදත් භාවිතා කරන විනෝදාත්මක උපකරණයක්. මේ සරුංගලය අපි හිතනවා ට වඩා ඉතිහාසයක් තිබෙන දෙයක්. මීට වසර 3000 ට විතර ඉස්සර චීනයේ විවිධ කටයුතු විශේෂයෙන් යුධ කටයුතු සඳහා සරුංගල් භාවිතා කර තිබෙනවා. සමහර විට කාළගුණ කටයුතු සඳහාත් එදා මෙන්ම අදත් භාවිතා වෙනවා.
සරුංගලය සරල නිර්මාණයක් වුණාට එය පිටුපස තිබෙන්නෙ ගුවන් යානයක් ඉහළ යන භෞතික විද්‍යාත්මක සිද්ධාන්තයමයි. එනම් පීඩන වෙනස තමයි ඉහළ යාමට භාවිතා කරන්නෙ.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සිවිල් ගුවන් සේවා සංවර්ධන සහ අධ්‍යාපන කමිටුව ගුවන් සේවා දැනුම පාසැල් දරුවන් අතර ව්‍යාප්ත කිරීමේ වැඩසටහනේ එක් අදියරක් ලෙස හඳුනා ගනු ලැබුවා සරුංගලය වැනි සරළ උපකරණයක් මගින් පාසැල් දරුවන්ට ගුවන් සේවා දැනුම ලබා දීමට. මේ අනුව පසුගිය දිනක එම කමිටුව විසින් පුත්තලම අධ්‍යාපන කලාපයේ උසස් පෙළ පාසල් වල පිහිටුවන ලද ගුවන් සේවා සමාජ අතර සරුංගල් තරඟයක් පැවැත්වීමට කටයුතු යෙදුවා.
මෙම තරඟයේ අරමුණ වුණේ ගුවන් සේවා දැනුම සරළ ආකාරයෙන් විනෝදාත්මකව පාසැල් ළමනු අතර ව්‍යාප්ත කිරීම. ඒ අනුව මූලිකවම ගුවන් සරුංගලය පිළිබඳවත් එහි තාක්ෂණික පසුබිම හා ඉතිහාසය පිළිබදවත් පාසැල් සිසුන් දැනුවත් කිරීම සැප්තැම්බර් 15 දින පුත්තලම නගර සභා ශාලාවේ දී සිදු වුණා. ඉන්පසුව ඔවුන් වර්ග කර කාණ්ඩ දෙකක් යටතේ සරුංගල් තරග පැවැත්වීමට කටයුතු යෙදුවා. එක් පාසැලකට උපරිම සරුංගල් 4 ක් ඉදිරිපත් කිරීමට අවස්ථාව දුන්නා.
මේ සම්බන්ධයෙන් ඉතා ඉහළ උනන්දුවක් මෙම සිසුන් අතර පැවතියා. තරඟය පසුගිය 26 වන දින පුත්තලම නගර සභා පිටියේදී පැවැත්වුණා. පාසැල් 19 කින් කණ්ඩායම් 75 ක් සරුංගල් ඉදිරිපත් කර තිබුණා.
මේ සරුංගල් වල නිර්මාණශීලීත්වයටත් තාක්ෂණික අතින්   ඉහළ   වීමටත්  කණ්ඩායම්  හැඟීමටත් ආදී බොහෝ දේට ලකුණු ලබා දීම සිදු වුණා. සිසුන් අතර ඉතා විශාල උනන්දුවක් මේ සඳහා තිබුණ බව පෙනී ගියේ ඔවුන් ඉදිරිපත් කළ සරුංගල් වල ස්වභාවය අනුව.
මේ තියෙන්නෙ ඒ අවස්ථාවෙ ඡායාරූප කීපයක්.
 DSC_0071 
DSC_0041

DSC_0241
එදින පුත්තලම නගර සභා පිටියේ ඉහළ අහස සරුංගල් වලින් පිරී තිබුණා. අලංකාර දර්ශණයක් මැවිලා තිබුණා. සිසුන් අතර ඉතා විශාල උද්යෝගයක් තිබුණ බව හොඳින්ම පැහැදිලි වුණා.
මේ තරගයට ඉදිරිපත් වුණ සරුංගල් ඇගයීමට ලක් කර ප්‍රථම දෙවන සහ තෙවන ස්ථාන තෝරා ගනු ලැබූවා. මේ පහළ තියෙන්නෙ ඒ ස්ථාන හිමිකර ගත් පාසැල්.
පළමු කාණ්ඩය – 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා
1. තලවිල ශාන්ත ආනා මහා විද්‍යාලය
ඩබ්ලිව්. ඒ. නිමේෂ් – කණ්ඩායම් නායක
ජේ. ඒ. ඩී. එස්. මධුශංක
ඉසුරු මධුශංක
ජේ. ඒ. ඩී. ඒ. දියලුම
ඩී. එස්. ප්‍රසංග
DSC_0409
2.මාම්පූරිය රෝමානු කතෝලික මහා විද්‍යාලය
තිලිණ පැතුම් – කණ්ඩායම් නායක
නිමේෂ් මධුශංක
නිමේෂ් රත්න
ග්‍රේෂන් චතුරංග
නිරන්ජන් වර්ණකුලසූරිය
3. මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලය
එම්. ටී. චතුර මධුෂාන් – කණ්ඩායම් නායක
ඩබ්ලිව්. සුපුන් දිල්හාර
ඩබ්ලිව්. ඒ. දිල්ෂාන් සුලක්ෂණ
එච්. ඩී. ගයාෂාන් පූර්ණ
කේ. ඩී. චමිත් අසංක
දෙවන කාණ්ඩය  - 10 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා
1. පාලියාගම සාරිපුත්ත මහා විද්‍යාලය
දිනේෂ් මධුශංක – කණ්ඩායම් නායක
අසේල පණ්ඩුක
උමේෂ් මිලින්ද
වී. ඒ. ජයසූරිය
DSC_0420
2. බණ්ඩාරනායකපුර ආදර්ශ විද්‍යාලය
ශානක නුවන් කුමාර – කණ්ඩායම් නායක
එච්. දිල්ශාන්
පී. රොෂාන්
ජනිත් මධුශාන්
ඩබ්ලිව් දිවිල් ෂිරාන්
3. මූන්දලම සිංහල මහා විද්‍යාලය
මහීෂ විදේශ් – කණ්ඩායම් නායක
සුරංග ප්‍රසාද්
අවිශ්ක ඉඳුනිල්
අන්ජුල මලිත්
ෂෙහාන් සන්දීප

මීට අමතරව සිවිල් ගුවන් සේවාව හා සරුංගලය අතර සම්බන්ධතාව මැයෙන් රචනා තරඟයක් ද පැවැත්වීමට කටයුතු යෙදුවා.
මේ සියළු දෙනාටම වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබූ අතර ඒ සිසුන්ගේ සතුට අපේ සතුටත් වුණා.

අපේ රටට ගුවන් යානයක් ඇවිත් අදට වසර 100 - (2011 සැප්තැම්බර් 12)

අපි අද අපේ රටේ ගුවන් ක්ෂේත්‍රයේ දියුණුව සහ දියුණු කළ යුතු ආකාරය පිළිබඳ විවිධ දේ සාකච්ඡා කරනු ලබනවා. දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළත් ඉදි වෙමින් පවතිනවා. අපේ ගුවන් සේවා ඉතිහාසය රාවණා යුගය දක්වා වූ ඈත ඉතිහාසයකට දිව යනවා. ලෝකයේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමීන් අපි කියලා කිව්වොත් නිවැරදියි. මේ සඳහා යම් යම් සාක්ෂිත් තිබෙනවා. 

කොහොම වුනත් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශේෂ දිනයකට උරුම කම් කීමට අද දිනය සමත් වෙනවා. ඉතිහාස ගත සටහන් අනුව ලංකාවට මුලින් ගුවන් යානයක් ගෙනවිත් තිබෙන්නේ අද වැනි දිනකයි. එනම් 1911 සැප්තැම්බර් මස 12 වන දිනයේදී යි. 

මේ ගුවන් යානය ලංකාවට ගුවනින් ගෙන ඒමට හැකියාව තිබී නැහැ. මොකද ඒ කාලයේ එතරම් දියුණු මට්ටමේ ගුවන් යානා තිබිලා නැහැනෙ. එය ගෙනවිත් තිබෙන්නේ “රැබෙන් ෆැල්ස්“  (Rabenfels)  කියන නැවෙන්.  මේ යානය දෙදෙනෙකුට ගමන් කළ හැකි “බ්ලැරියට්“ මොනෝප්ලෙන් (Bleriot Monoplane) වර්ගයේ යානයක් තමයි ගෙනත් තියෙන්නෙ. මේ යානය ගෙනවිත් තිබෙන්නේ කොලින් බ්‍රවුන් (Collin Browne) කියන යුරෝපීය ජාතිකයෙක්. ඒ වගේම ඒ යානය මුලින්ම ගෙනවිත් තියෙන්නේ රු. 7490/- ට. වඩාත් සිත්ගන්නා සුළුදෙය වන්නේ මේ යානය මිළ දී අරන් තියෙන්නේ යම් ආයතනයකින් ලබා ගත් ණය මුදලකින්.
මේ තියෙන්නෙ ඒ පිළිබඳ පුවත් පත් වාර්තාව
මේ යානය අශ්ව බල 50 කින් යුතු එන්ජිමක් සහිත වූ අතර එන්ජිම සිලින්ඩර් 7 න් යුක්ත වී ඇත. යානයේ පළල අඩි 28 ක් පමණ ද දිග අඩි 32 ක් පමණ ද වී ඇති අතර එක් තටුවක දිග අඩි 13 ක් පමණ විය. යානයේ වේගය පැයට සැලතපුම් 100 ක් පමණ වී ඇත. 

මේ වගේ ගුවන් යානයක් තමයි එද ගෙනවිත් තිබෙන්නෙ.

ඉතින් මේ වසර 100 ක කාලය තුල ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය ඉතා විශාල දියුණුවක් ලබලා තියෙනවා. අද ජාත්‍යන්තර මට්ටමේ මගී ගුවන් සමාගම් දෙකකුත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් සමාගම් දෙකකුත් සේවයේ යෙදෙනවා. මීට අමතරව අභ්‍යන්තර ගුවන් ගමන් සදහා ගුවන් සමාගම් කීපයක් තිබෙනවා. තවත් කීපයක් ආරම්භ කිරීමට කටයුතු සම්පාදනය වෙමින් තිබෙනවා. ඒවගේම දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉදිකෙරෙමින් පවතිනවා.  තවද රත්මලාන ගුවන් තොටුපල නවීකරණය වෙමින් තිබෙනවා. අනෙකුත් අභ්‍යන්තර ගුවන් පථ ද වැඩි දියුණු කිරීමට අවශ්‍ය කටයුතු දැන් සිදු කරමින සිටිනවා. ඒ කියන්නේ මේ වසර 100 ක කාල සීමාව තුල අපේ ගුවන් ක්ෂේත්‍රය දියුණු වෙලා තියෙනවා.

ඉතින් මේ සටහන  වසර 100 ක් සිපිරෙන අපේ ගුවන් සේවා ඉතිහාසය “අපේ අහස“ හි සනිටුහන් කිරීමටයි.

මේ ඉතිහාසය ගැන වැඩිදුර මෙතනින් කියවන්න පුළුවන්.


හෙලිකොප්ටරයක් ගමන් කරන්නේ කෙසේද? (How helicopter Fly)–1 කොටස –හෙලිකොප්ටරයේ ඉතිහාසය

මම මීට පෙර ලිපියක සදහන් කළා මතක ඇති ගුවන් යානයක් ගමන් කරන්නේ කොහොමද කියලා. ඉතින් සමහර විට හිතන්න ඇති හෙලිකොප්ටරය ගමන් කරන්නේත් මේ වගේ වෙන්න ඇති කියලා. අපි අද බලමු හෙලිකොප්ටරය ගමන් කරන්නේ කොහොමද කියලා. බැලු බැල්මට දෙකම උඩ යන ඒවා නිසා හිතෙන්න පුළුවන් මේ දෙකේම ක්‍රියා කාරීත්වය එක වගේ කියලා. පසුබිමේ තිබෙන සිද්ධාන්තය එකම වුවත් එය යොදා ගැනීම මේ දෙකේ දි, ඒ කියන්නෙ ගුවන් යානයේදීයි හෙලිකොප්ටරයේ දි යි වෙනස්. මේකට ඉස්සරලා ගුවන් යානය ගමන් කරන ආකාරය කියවලා බලන්න.
ගුවන් යානයක් සහ හෙලිකොප්ටරයක් ගත්තම ප්‍රධාන වෙනස්කම් දෙකක් හඳුනා ගන්න පුළුවන්. ගුවන් යානයක් ගත්තම ඒකෙ තියෙන පියාපත් එහි බදට සවි කර තිබෙනවා. ගමන් කරන විට ඒවා බඳට සාපේක්ෂව වෙනස් වෙන්නේ නැහැ. නමුත් හෙලිකොප්ටරයක පියාපත් ඇක්සලයකට සවි කර තිබෙන අතර ඒවා බඳට සාපේක්ෂව චලනය වෙනවා. පියාපත් කියන්නෙ අර ඉහලින් තිබෙන අවර පෙති වලට. අනෙක් වෙනස තමයි ගමන් කරන විලාශය. හෙලිකොප්ටරයකට සිරස් අක්ෂයක ගමන් කළ හැකි මුත් ගුවන් යානයකට එසේ ගමන් කිරීම අපහසුයි.
දැන් බලමු හෙලිකොප්ටරයේ ඉතිහාසය ටිකක්. ලෝකයේ වෙනසකට භාජනය කිරීමට සමත් වූ බොහෝ දේවල් වල මූලාරම්භය වගේම මේ දේත් ආරම්භ වන්නේ චීනයෙන්. ක්‍රි. පූ. 400 දී විතර චීනයේ ළමයින් භාවිතා කරන ලද උණ පතුරු ආශ්‍රයෙන් සකස් කර ගන්නා පියාඹන සෙල්ලම් බඩුව හෙලිකොප්ටරයේ ආරම්භය ලෙස සළකනවා. මේ පහත තියෙන්නෙ එහි ඡායාරූපයක්
Bamboocopter
ඉන්පස්සේ 1480 දී විතර ලියනාඩෝ ඩාවින්චි විසින් වාතය විදගෙන ඉහළට යන යන්ත්‍රයක සටහනක් සකස් කර තිබෙනවා. ඔය පහළ තියෙන්නෙ ඒකෙ පින්තූරයක්.
Leonardo_da_Vinci_helicopter
මේකෙදි වෙන්නෙ මුළු යන්ත්‍රය ම කැරකැවෙමින් ඉහළ යාමයි. මේ යන්ත්‍රයෙන් සුළු නිර්මාණ කළත් මේක සාර්ථක වුනේ නැහැ. මෙහි දුර්වලතාවයක් තමයි යානයම කරකැවෙන එක නවත්වන්න අපහසු වීම. කෙසේ වෙතත් පසුකාලීනව මේ සටහන් අනුව යානා සකස් කිරීම වෙනුවට අර චීනයේ උණ පතුරු උපකරණය දියුණු කිරීමක් තමයි සිදු වුනේ. විවිධ අය විසින් විවිධ නිර්මාණ කළත් සාර්ථක වුනේ බොහොම අඩුවෙන්. 1861 ගුස්ටාව් ඩි පොන්ටන් කියන ප්‍රංශ ජාතික නව නිර්මාණකරුවා විසින් මුලින්ම “හෙලිකොප්ටර්“ යන නම භාවිතා කරනු ලැබූවා. ඔහු විසින් තමයි පළමුවෙන් ම වාෂ්ප එන්ජිමක් මේ සදහා භාවිතා කළේ. ඉන්පසුව අනෙක් අයත් වාෂ්ප එන්ජින් භාවිතයට යොමු වුනා. 1878 එන්රිකෝ ෆොර්ලානිනි (Enrico Forlanini) විසින් ද වාෂ්ප එන්ජිමක් යොදා ගෙන නිර්මාණයක් කරන ලද අතර එම වර්ගයේ පළමුවෙන්ම සාර්ථක වූ යානය ලෙස වාර්තා වුනා. එය මිනිසුන් රහිත යානයක් වූ අතර මීටර් 12 ක් පමණ උසකට ගමන් කිරීමට හැකියාව ලැබී ඇත. ලෝ ප්‍රකට විද්‍යාඥයෙක් වූ තෝමස් එඩිසන් ද හෙලිකොප්ටර් නිර්මාණය සදහා දායකත්වය ලබා දුන් නමුත් සාර්තකත්වයක් ලබා ගැනීමට ඔහුට හැකියාවක් නොලැබුණි. කෙසේ වෙතත් එඩිසන්ගේ තාක්ෂණය අනුව ජෑන් භයිල් නම් ස්ලෝවැකියානු ජාතික විද්‍යාඥයා විසින් හෙලිකොප්ටරයක් සකස් කරන ලද අතර 1905 දි එය මීටර් 4ක් ඉහළට ගමන් කළ අතර මීටර් 1500 ක් පමණ ඉදිරියට ගමන් කළේය.
1907 දී පමණ ප්‍රංශ ජාතික සොහොයුරන් දෙදෙනකු වන ජැකුවස් සහ ලුවිස් බ්‍රිජට් (Jacques and කරන ලද අත්හදා බැලීමක දී ඔවුන්ගේ යානය විනාඩියක පමණ කාලයක් අඩි 2 ක් පමණ ඉහළට එසවී තිබී ඇති අතර යානය ස්ථායිව තබා ගැනීමට මිනිසුන් දෙදෙනෙක් දෙපස සිටිය යුතුවිය. කෙසේ වෙතත් මෙය සම්පූර්ණ නිදහස් ගුවන් ගමනක් නොවු මුත් මිනිසුන් යානය තුළ සිටි නිසා මිනිසුන් ගමන් කළ මුල්ම යානය ලෙස ඉතිහාසයට එක් විය. එම වසරේ දී ම ප්‍රංශ ජාතික පෝල් කෝර්නු ( Paul Cornu) විසින් විරුද්ධ දිශාවට භ්‍රමණය වන අඩි 20 ක් පමණ දිග තල සහිත යානයක් නිපදවන ලද අතර අඩි 6-7 ක් පමණ ඉහළට ගමන් කිරීමට සමත් විණ. මේ තියෙන්නෙ එහි ඡායාරූපයක්.
paul
ඉන්පසුව 1912 දී පමණ ජේකබ් එලිහැමර් (Jacob Ellehammer) විසින් යානයක් නිපදවන ලද අතර එය නිදහස් ගුවන් ගතවීම් කීහිපයක් සාර්ථකව සිදු කරන ලද මුත් පරීක්ෂණ අවධියේදීම විනාශ විය.1920 දී රෝල් පැටරාස් පෙස්කාරා විසින් ඉදිරියට ගමන් කල හැකි හෙලිකොප්ටරයක් නිපදවූ අතර ඔහුගේ සමකාලිනයෙකු වූ Etienne Oehmichen විසින් නිපදවන ලද යානය මීටර් 350 ක් පමණ ගමන් කිරීමට සමත් විය. එය ලෝක වාර්තාවක් වූ අතර ජාත්‍යන්තර ගගන නාවික ෆෙඩරේෂණය මගින් ද එය පිළිගන්නා ලදී. පෙස්කාරා විසින් එම වාර්තාව ද බිඳ හෙලූ මුත් යළිත් අඩි 5550 ක් පමණ ගමන් කිරීමෙන් ඔයිමිචෙන් විසින් වාර්තාවක් තබන ලදී. මේ තියෙන්නෙ ඒ යානය.
oehmichen
ඒ අතර කාලයේ දී ම එනම් 1923 දීම ජුවාන් ඩි ලා සියර්වා ( Juan de la Cierva) විසින් ද යානා ගැන පරීක්ෂණ කරන ලද අතර ඔහු විසින් අද දක්නට ලැබෙන ආකාරයේ යානා නිපදවීමට උත්සහ කරන ලදී. ඉහළට එසවීමට හා ඉදිරියට යාමට එතෙක් තිබූ බාධා ඔහුගේ පර්යේෂණ නිසා මඟහරවා ගැනීමට හැකි විය.
මින් පසුව විවිධ වකවානු වල විවිධ රටවල් වල විශේෂයෙන් ඇමරිකාවේ සහ සෝවියට් සමූහාණ්ඩුවේ රටවල හෙලිකොප්ටරය සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ සිදු කළ අතර ඇමරිකානු-රුසියානු ජාතිකයෙකු ලෙස සැළකෙන ඉගෝර් සිරෝස්කි විසින් වඩා සාර්ථක හෙලිකොප්ටරයක් නිපදවනු ලැබූ අතර ඔහු විසින් 100 පමණ විශාල සංඛ්‍යාවක් යානා නිපදවන ලදී. සමහර ලේඛණ වල ඔහු හෙලිකොප්ටරයේ පියා ලෙසද හඳුන්වා දෙනු ලැබේ. මෙසේ නිපදවනු ලැබු යානා විශාල වශයෙන් දෙවන ලෝක යුධ සමයේදී භාවිතයට ගනු ලැබිණ.
මා මෙහිදී සඳහන් කළේ හෙලිකොප්ටරයේ මූලික අවධිය පිළිබඳ විස්තර වන අතර මේ කොටස සැකසීමේ දී විකිපිඩියා පහත සබැඳියේ තොරතුරු ‍උපයෝගී කර ගන්නා ලදී. මෙහි අඩංගු ඡායාරූප ද එම සබැදියේ අඩංගුයි.
http://en.wikipedia.org/wiki/Helicopter
මීළඟ ලිපියෙන් අපි හෙලිකොප්ටරය ගමන් ගන්නා ආකාරය බලමු.

ගුවන් තොටුපලෙන් එන්නේ මෙහෙමයි.

මීට පෙර පළ කරපු ලිපියේ සදහන් කළා මගියෙක් කොහොමද ගුවන් තොටුපළට ඇතුළු වෙලා ගුවන් යානයකට ගොඩ වෙලා ගමන් කරන්නේ කියලා. අද මේ ලිපියෙන් බලමු විදේශයක සිට පැමිණෙන මගියෙක් ගුවන් තොටුපලෙන් පිට වෙන්නේ කොහොම ද කියලා. 

ගුවන් යානය ගුවන් තොටුපලේ පර්යන්ත ගොඩනැගිල්ලේ නවතා අවසන් වී ගුවන් සේවිකාවන් විසින් මගින් ට බැසීමට සුදානම් වන ලෙස දන්වන තෙක් මදක් ගුවන් යානයේ රැඳී සිටින්න. ඉන්පසුව තමන්ගේ ගමන් මල්ල (උඩ රාක්කයේ තැන්පත් කළ)  පරිස්සමින් රැගෙන ගුවන් සේවිකාවන් පෙන්වන දොරෙන් හෝ තමන්ගේ ආසනයට ආසන්නම දොරෙන් පිට විය යුතුයි. යානය ගුවන් තොටුපළට සම්බන්ධ කර ඇති අවස්ථාවකදී නම් කෙළින්ම පර්යන්තයට පිවිසිය හැකියි. ඒ “එයරෝ බ්‍රිජ්“ මගින්. පහත රූපය බලන්න.

IMG_0152

එහෙම නැති නම් පුළුවන් පඩි පෙළකින් බැහැලා එතන සිට පර්යන්ත ගොඩනැගිල්ල දක්වා බස් රථයකින් පැමිණෙන්න. ඔය පහළ තියෙන්නෙ ඒ වගේ ඡායාරූපයක්.

bus

මේ වාහනය සහිත පඩිපෙළට කියන්නෙ “ස්ටෙප් ලැඩර්“ කියලා.

ඔය මොන විධියෙන් හරි  ගුවන් යානයෙන් එළියට ඇවිත් පරියන්තයේ ඇවිදින කොට ඉස්සරලාම හමු වන්නෙ ආගමන විගමන කවුළු. මේ ස්ථානයේදී තමන්ගේ ගමන් බලපත්‍රය ඉදිරිපත් කර අවශ්‍ය ලියවිලි මගින් සනාථ කර  ගුවන් තොටුපලේ  ඉදිරියට ගමන් කළ හැකියි.

ඉන් පසුව හමු වන්නේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයයි. .

 Duty Free

මෙහිදී තමන්ට අවශ්‍ය භාණ්ඩ තීරුබදු රහිතව මිළ දී ගත හැකියි. නමුත් විදේශ ගත වී සිටි කාලය අනුව තමයි තීරණය වන්නේ තමන්ට කොපමණ ප්‍රමාණයක භාණ්ඩ ලබා ගත හැකිද කියා. ඒ වගේම මුදල් ගෙවිය හැක්කේ විදේශ මුදල් මගින්. මෙහිදී ටොෆි, චොකලට්, මත්පැන් වගේ දේවලුත් අනෙකුත් ගෘහ විදුලි උපකරණත් තීරු බදු රහිතව මිළ දී ගත හැකියි. ඒ භාණ්ඩ මිළ දී ගැනීම සඳහා අනිවාර්යයෙන් ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතුයි.

Duty Free 2

දැන් මේ බඩුත් අරගෙන පහළට එනවිට ගුවන් යානයට ඇතුල් කළ ගමන් මල්ල ලබා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඔය පහළ තියෙන්නෙ ඒ ගමන් මළු ලැබෙන ආකාරය.

Convey Belt1

මේ වගේ පටි බොහෝ ගනනක් තියෙන්න පුළුවන්. ඉතින් එතකොට ප්‍රශ්ණයක් වෙනවානෙ තමන්ගෙ ගමන් මල්ල තියෙන්නෙ මොන පටියෙද කියන එක. ඒකට විසඳුමක් ලෙස සෑම පටියක් අසලම ඒ පටියේ පැමිණෙන්නෙ කුමන ගුවන් යානයේ මගීන්ගේ ගමන් මළුද යන්න සඳහන් වෙනවා. මේ පහළ තියෙන ඡායාරූපයේ තියෙන්නෙ ඒ වගේ තිරයක්.

baggage Display

දැන් මෙතනදී තමන්ගේ ගමන් මල්ල නිවැරදිව තෝරා ගත යුතු වෙනවා. ඒසේ තෝරා ගත් ගමන් මළු අවශ්‍ය නම් ට්‍රොලියක් භාවිතයෙන් ගෙන යා හැකියි. මෙහිත් පෝටර් වරුන් සිටිනවා.

හදිසියේවත් තමන්ගේ ගමන් මල්ල මේ පටියේ පැමිණියේ නැති නම් ඒ බව එතන තියෙන කවුන්ටරයට පැමිණිලි කරන්න පුළුවන්. ඒ අය එවිට එය සොයා ගැනීමට උදව් කරාවි. යම් හෙයකින් ගමන් මල්ල නැතී වී තිබුණහොත් ඒ බව අදාල ගුවන් සමාගමට දැනුම් දිය හැකියි. එවිට ඔවුන් එය සොයා බලා ඒ සඳහා සුදුසු වන්දි මුදලක් ගෙවාවි.  එ‍සේ නොගෙව්වොත් හෝ සොයා නොබැළුව හොත් ඒ බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට පැමිණිලි කළ හැකියි.

කෙසේ හෝ මෙම ස්ථානයෙන් ගමන් මලු රැගෙන ඉදිරියට එන විට හමු වන්නේ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්. සාමාන්‍යයෙන් ඔවුන් සෑම මගියෙකු්ම පරීක්ෂා කරන්නේ නැහැ. ඒත් ඒක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට දැනුමක් .තිබෙනවා යම් අකටයුත්තක් සිදු වෙනවනම් ඒ බව හඳුනා ගන්න. යම් හෙයකින් ඔවුන් ඔවුන්ගේ රාජකාරිය කිරීමට උත්සාහ කළොත් ඒ සඳහා ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන්න. මේ අවස්ථාවේදී සමහර ඔබ මිළ දී ගත් භාණ්ඩ හා ඒවායේ බිල් පත් ආදිය පෙන්වීමට සිදුවේවී. ඒ වගේම ඔබගේ භාණ්ඩ වලට යම් බදු මුදලක් ගෙවිය යුතු නම් ඒ බවත් ඔවුන් දැනුම් දේවි.

මේ සියල්ල අවසන් කර  ඉදිරයට යන විට ඔබට සංචාරක නියෝජිත ආයතන කීපයක කවුන්ටරුත් කුලී රථ  ලබා ගැනීඹ සඳහා කවුන්ටරුත් පිහිටා තිබෙනවා. ඔබට අවශ්‍ය නම් කුලී රථයක් ලබා ගත හැකියි. නැති නම් තමන්ගේ රථයක් පැමිණ තිබෙනවානම් ඒ වෙත ගමන් කළ හැකියි.  නැතහොත් ගුවන් තොටුපලේ සිට ඇවරිවත්ත/කටුනායක බස් නැවතුම් පළ වෙත පැමිණීමට බස් රථයට ගොඩවිය හැකියි. එලෙසම අවශ්‍ය නම් පයින් ඇවිදගෙන ගොස් ඉදිරිපස පාරේ ත්‍රිරෝද රථයක් ලබා ගැනීමත් කළ හැකියි.

මේ ස්ථානයෙන් එළියට පැමිණිය විට අවශ්‍ය නම් දේශීය බැංකු කීපයක ටෙලර් යන්තු පිහිටා තිබෙන නිසා ඒවායින් මුදල් ලබා ගැනීමටත් හැකියාව තිබෙනවා.

මා මෙහි සඳහන් කලේ අපේ ගුවන් තොටුපලට පැමිණි පසු එයින් පිටතට එන ආකාරයයි. වෙනත් රටවලත් මෙයට සමාන ආකාරයෙන්ම සිදුවෙනවා. ඒ වගේම විදේශයකදී මුදල් මාරු කර ගැනීමේ හැකියාවත් ලැබෙනවා. අපේ ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේත් මේ පහසුකම් තිබෙනවා. තමන් ළග තිබෙන විදේශ මුදල් දේශීය මුදල් බවට පරිවර්ථනය කර ගැනීමට හැකියාව තිබෙනවා.

මේ ලිපියෙන් ඔබට යම් දැනුමක් ලැබෙන්න ඇති. ඒ වගේම මේ කියපු සරල ආකාරයට වඩා වෙනස් විධියේ සිද්ධිත් සිදු වන්න පුළුවන්.

“ගුවන්සර“ වෙබ් අඩවිය අද දියත් කෙරේ!

මෙතෙක් කාලයක් ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳව සිංහල භාෂාවෙන් තොරතුරු සොයා බැලීමට මාධ්‍යක් නොතීබු අතර ඒ අඩුව පුරවාලමින් “ගුවන්සර“ සඟරාව එළි දැක්වීමට හැකියාව ලැබුණා. එයට ඉමහත් ප්‍රතිචාර ලැබුණ අතර එය පාසැල් දරුවන් අතර ඉතා ජනප්‍රිය විය. මීට සමගාමීව පාසැල් වල ගුවන් සේවා සමාජ පිහිටු වීමටද කටයුතු කළ අතර එය ද වඩාත් ජනප්‍රිය විය.

මේ සේවය දැන් වඩාත් ඉහළ අඩියකට ගෙන එමින් තොරතුරු තාක්ෂණය ද එයට එකතු කිරීමට අප උත්සහ ගෙන තිබෙනවා. එනම් “ගුවන්සර“ නමින් වෙබ් අඩවියක් දියත් කිරීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.

එම වෙබ් අඩවිය අද (2011 පෙබරවාරි 23 දින) උදෑසන 11.00 ට කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ට් හෝටලයේ පැවැත්වෙන උත්සවයකදී ගුවන් සේවා ගරු අමාත්‍ය ප්‍රියන්කර ජයරත්න මැතිතුමා විසින් දියත් කරනු ඇත.

මේ වෙබ් අඩවියෙන් ගුවන් සේවා පිළිබඳ සියළු තොරතුරු, ඉතිහාසය, නව සොයා ගැනීම් ආදී සියලු දේ ද ලබා ගත හැකියි. ඒ වගේම ඉදිරියේදී මේ අඩවියට නව අංග එකතු කිරීමටත් නියමිතයි.

වෙබ් අඩවියට පහත ලිපිනයෙන් පිවිසිය හැකියි. මේ අඩවිය තවමත් ළදරු අවිධියේ පවතින්නෙ. ඔබගේ අදහසුත් රැගෙන මෙය වඩා හරවත් සහ ක්‍රමවත් ආකාරයෙන් සංවර්ධනය කිරීමටයි අපේ අදහස.

www.si.guwansara.lk

මෙය සිංහල හා ඉංග්‍රීසි භාෂා මාධ්‍යන්ගෙන් දැනට ප්‍රකාශයට පත් වන අතර ඉදිරියෙදී දෙමළ භාෂාවත් එහි ඇතුළත් වේවි. ඒ වගේම මේක සිංහල යුනිකෝඩ් භාවිතයෙන් සහ වර්ඩ්ප්‍රෙස් මෘදුකාංගය භාවිතයෙන් සකස් කර තිබෙනවා. එයත් සිංහල යුනිකෝඩ් භාවිතා කරන්නන්ට සුභ ආරංචියක් වේවි.

image

ඔබටත් ආරාධනා කරනවා මේ අඩවියට පිවීසී නව දැනුම ලබා ගන්නා ලෙසත් එහි ඔබගේ අදහස් සටහන් කරන ලෙසත්.

ටිකට් නැතිව වීසා නැතිව ප්ලේන් එකේ යන්න එන්න

මෙහෙම කිව්වම හිතනව ඇති පිස්සු තද වෙලා ඇති කියලා. නෑ ඇත්තටම මේක පොඩි ආරාධනාවක්. ඔය කට්ටිය දන්නවානේ මේ සැරේ දැයට කිරුළ ප්‍රදර්ශණය තියෙන්නෙ බුත්තල. ඒකෙ තියෙනවා අපේ ප්‍රදර්ශන කුටියක්. ඒ කියන්නෙ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රදර්ශණ කුටිය.

මේ සැරේ අපි කල්පනා කළා ඔබට නවමු අත්දැකීමක් දෙන්න. මේ වෙනුවෙන් අපි විශේෂ ප්‍රදර්ශණ කුටියක් සකස් කළා. ඇත්තටම මේක ගුවන් යානයක්. සාමාන්‍ය ගුවන් යානයක දකින්න පුළුවන් හැම දෙයක්ම මේකෙ තියෙනවා. මේ ගුවන් යානය සිවිල් ගුවන් සේවා අධිකාරියට ත්‍යාගයක් විධියට ලැබුණු දෙයක් පෞද්ගලික  ආයතනයකින්. එය අපි යොදා ගන්නෙ ගුවන් සේවා ගැන සාමාන්‍ය ජනතාවට අවබෝධයක් දෙන්න. එය කලක් ගුවන් ගත වූ යානයක් දැනට නම් ප්‍රෙයා්ඩානයක් ගන්න බැහැ. ඒ කියන්නෙ පියාසර කරන්න බැහැ. ඉතින් අපි ඒක දැන් සකස් කරලා තියෙනවා අධ්‍යාපන කටයුතු සදහා.

IMG_1482 

මේ ගුවන් යානය රත්මලාන ගුවන් තොටුපළේ සිට බුත්තල දක්වා ගුවන් හමුදාවෙ ප්‍රයිම් මුවර් රථ මගින් කැබලි වශයෙන් ප්‍රවාහනය කරනු ලැබ යළි එහි ප්‍රතිනිර්මාණය කරනු ලැබුවා. එය සම්පූර්ණයෙන් තීන්ත ආලේප කර ස්ටිකර් අලවා ආසන සවි කර ඇතුළත අනෙකුත් උපකරණ සවි කරනු ලැබ ඇත.

ගුවන් යානයට ගොඩ වීමට යන අතර තුර ගුවන් තොටුපළට යන ආකාරය පිළිබඳ හැඳින්වීමක් සිදුකරනු ලබන අතර ඉන්පසු යානය ඇතුළතදී ගුවන් යානය මත්තල ගුවන් තොටුපලෙන් ගුවන් ගත වී වරාය, ලුණු ලේවාය, කතරගම ආදී පුදේශ හරහා ගුවනින් ගමන් කර  යලී ගුවන් තොටුපලට ගොඩබෑම දැක ගත හැකිය.ඇත්තටම කියනවනම් එය දැනේවි.

IMG_1486

මේ දේට අප සියළු දෙනාම මාස දෙකක් පුරාවට දිවා රාත්‍රී වෙහෙස මහන්සි වී කටයුතු කරනු ලැබූවා. ඉතින් අපි හිතනවා අපිට හැකි වේවි එය බලන්න එන ඔබට යම් දැනුමක් සහ නවමු අත්දැකීමක් ලබා දිය හැකි වේවි කියලා.

අපේ මේ ගුවන් යනය තිබෙන්නෙ නාවික හමුදාවේ ප්‍රදර්ශණ කුටිය අසලමයි.

ඉතිං ඔබ සියළු දෙනාටම ආරාධනා කරනවා එන්න මේ අත් දැකීම විඳ ගන්න. නව දැනුමක් ලබා ගන්න. ඒ වගේම අප සූදානම් ගුවන් සේවා ගැන ඔබට තිබෙන ගැටළු නිරාකරණය කර දෙන්නත්. ඇවිත් අපිව හමු වන්න.

IMG_1485

පෙබරවාරි 4 සිට 6 දක්වා කාලයේ දී මමත් මේ ස්ථානයේ සිටිනවා.

මා යලීත් ඔබට ඇරයුම් කරනවා අපේ ප්‍රදර්ශණ කුටියටත් එන්න කියා.

ගුවන් තොටුපළේ යන්නෙ මෙහෙමයි

අදට වසරයි කියන‍ පෝස්ට් එකට සංජු දාලා තිබ්බ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් විධියට මේ පෝස්ට් එක දාන්න හිතං හිටියත් දවසෙන් දවස ඒක කල් ගියා. අද ටිකක් වෙලාව අරන් කොහොම හරි මේක ලියන්න ඕනා.
දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් විදේශ ගත වෙනවා කියලා. මුලින්ම මේ පුද්ගලයා කරන්න ඕනෙ ගුවන් ප්‍රවේශ පතක් ලබා ගැනීම සහ අදාළ රටට වීසා ලබා ගැනීම.  මේ ගුවන් ටිකට් පත් ලබා ගැනීම පිලිබඳව මම කලින් දාපු ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු කියන පෝස්ට් එක බලන්න. ඒ වගේම යාමට නියමිත රටට වීසා ලබා ගැනීමත් සිදු කළ යුතුයි. මේ සඳහා සුදුසුම දේ ගුවන් ටිකටිපත් ලබා ගන්නා ස්ථානයෙන්ම ඒ විස්තර ලබා ගන්න එක.
දැන් අපි හිතමු ගුවන් ටිකට් පත ලබා ගැනීමත් වීසා ලබා ගැනීමත් සිදු කර ුවසානයි කියලා. ඉන් පසුව තිබෙන්නේ ගුවන් ගමන පිටත් වීමට ගුවන් තොටුපළට යාමටයි. මෙහිදී ගුවන් ටිකට් පතේ සඳහන් වන පිටත් වන වේලාවට අවම වශයෙන් පැය 3ට වත් කලින් ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තයට පැමිණ සිටිය යුතුයි. ගුවන් තොටුපලට ඇතුල් වන විට පළමුවෙන්ම හමු වන්නේ පිටත්වීමේ පර්යන්තයයි.
ගුවන් ගත වීමේදී ගෙන යන භාණ්ඩ ද සමග මේ පර්යන්තයට ඇතුළු විය යුතු අතර තමා සමග පැමිණි අයටද ඇතුල් වීමේ හැකියාව ඇත. නමුත් මෙහිදී ගමන් මළු හා පුද්ගලයින් ගුවන් හමුදාව විසින් පරීක්ෂාවට ලක් කරනු ලබයි.
ඔය පහළ තියෙන්නෙ ඒ අවස්ථාව.
IMG_1123IMG_1129
ඔය වම් පැත්තෙ තියෙන පින්තූරෙ තියෙන උපකරණය තුළින් තමන්ගේ ගමන් මළු, දුරකථන හා වෙනත් උපකරණ යැවිය යුතු වන අතර ඒවා සිසාරණය වේ. මේ පරීක්ෂා කිරීම් සිදු කරන්නෙ ගුවන් තොටුපළ ආරක්ෂක අංශය. මේ ආරක්ෂක අංශය ‍ඉතා විශිෂ්ඨ දෙස් විදෙස් පුහුණුවක් ලත් නිලධාරීන්ගෙන් සමන්විතයි. ගුවන් තොටුපළේ සෑම අංශයකම ආරක්ෂක කටයුතු සිදු කරන්නෙ ඔවුන්. ඔය ඉහල වම් ඡායාරූපයේ තද නිල් පැහැ නිළ ඇඳුම් හැඳ සිටින්නෙ ඔවුන්. ගුවන් හමුදා නිලධාරීන් ඔවුන්ට සහාය වේ.
මෙහිදී තමන්ගේ ගමන් මළු ගෙන යාම සඳහා ට්‍රොලි භාවිතා කළ හැකි අතර අවශ්‍ය නම් පෝටර් වරයෙකුගේ සහාය ද ලබා ගත හැකියි. මොවුන්ට මුදල් ගෙවිය යුතු වෙනවා. මේ ගෙවන මුදල ගුවන් තොටුපළේ විවිධ ස්ථාන වල සඳහන් කර තිබෙනවා. ඊට අමතරව ඔවුන්ගේ ඇඳුමේත් සඳහන් කර තිබෙනවා. ඔවුන් යම් ආයතනයකට අයත් පුද්ගලයින් නොවන අතර ඔවුන් ගුවන් තොටුපළෙන් වැටුපක් ගෙවීමක් සිදු කරන්නේ නැහැ. ඔවුන්ට ගෙවීමට නියමිත මුදලට වඩා අඩුවෙන් ගෙවීමට නොහැකි අතර අවශ්‍ය නම් වැඩි මුදලක් ගෙවිය හැකියි. 
IMG_1122
ඔය ඉහළ පින්තූරෙ තියෙන්නෙ ඒ ට්‍රොලි. ඔය ඉන්නෙ ගුවන් හමුදා නිළධාරීන්.
දැන් අපි ඔය ස්ථානයත් පසුකරගෙන යනවා ගමන් මළුත් අරගෙන, තනියට ආපු අයත් එක්ක ටිකට් පරීක්ෂා කරන ස්ථානයට.  ඒ කියන්නෙ Check – In කවුන්ටර්ස් තියෙන තැනට. එතෙන්ට යන්න ඉස්සරලා අපිට හමු වෙනවා විදේශ නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් හමු වෙනවා. රැකියා සදහා විදේශගත වන මෙම ස්ථානයට වාර්තා කළ යුතු වෙනවා.
ඉන් පසුව හමු වන්නේ විදේශිය මුදල් ලබා ගැනීම සඳහා වන දේශිය බැංකු.රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු ශාඛාවන් මෙහි තිබෙනවා.  ඒ වගේම  කාර්ගිල්ස් සමාගමේ කුඩා ෆුඩ් සිටි ශාඛාවකුත්  ආහාර වර්ග විකුණන ආයතනයකුත් මෙහි තිබෙනවා. මේවායේ තිබෙන්නේ සාමාන්‍ය මිළ ගණන්. P1090100
මේ තියෙන්නෙ ඒ බැංකු සහිත පුදේශය
දැන් ඔබ සූදානම් ටිකට්පත් පරීක්ෂා කරන ස්ථානයට පිවිසීමට. එසේ පිවිසීමට ප්‍රථම ඔබගේ ටිකට් පත සහ ඔබ එහි හිමිකරුවා බවට සුළු තහවුරුකර ගැනීමක් සිදුකර ගන්නවා. එසේ කරනුයේ මගියා පමණක්ම ටිකට් පරීක්ෂා කරන ස්ථානයට යැවීම සඳහා. තවත් අයුරකින් කියනවා නම් මේ ස්ථානයෙන් පසුව මගියා සමග පැමිණි අනෙක් පුද්ගලයින්ට ගමන් කළ නොහැකියි.
දැන් මගියා ගමන් මළු සමග ටිකට් පරීක්ෂා කරන ස්ථානයට ඇතුළු වෙනවා. ඒ ඇතුළු වන ස්ථානයේම ශ්‍රී ලංකා රේගුව පරීක්ෂණ කටයුතු සඳහා සූදානමින් සිටිනවා. නමුත් මෙම නිළධාරීන් සියළුම මගීන් පරීක්ෂා කිරීමක් සිදු කරන්නෙ නැහැ. ඒ වෙනුවට යම් සැක සහිත මගීන් සහ අහඹු ලෙස තෝරා ගත් මගීන් පරීක්ෂාවට ලක් කරනවා.
එසේ පරීක්ෂාවෙන් පසුව මගියා ගමන් කිරීමට නියමිත ගුවන් සමාගම අනුව අදාළ Check-In කවුන්ටර් වෙත ගමන් කළ යුතු වෙනවා. අපේ ගුවන් තොටුපළේ Check-in කවුන්ටර්ස් වල එක් පසක් වෙන් කර තිබෙන්නේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහායි. අනෙක් කොටස විදේශිය ගුවන් සමාගම් සහ මිහින් ලංකා සමාගම සඳහා වෙන් කර තිබෙනවා. හරියටම කියනවා නම් දකුණු පස කවුන්ටර්ස් ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහාත් වම් පස කවුන්ටර්ස් අනෙක් ගුවන් සමාගම් සඳහාත් වෙන් කර තිබෙනවා.
දැන් මගියා තමන්ට අදාළ ගුවන් සමාගමේ ටිකට් පරීක්ෂා කරන කවුන්ටරය වෙත යා යුතු වෙනවා. මේ සියළුම කවුන්ටර්ස් වල සේවය කරන්නෙ  ශ්‍රීලන්කන් ගුවන්සමාගමේ සේවකයින්  වන අතර ව්දේශිය ගුවන් සමාගම් වල නියෝජිතයිනුත් එම ස්ථානයේ රැඳී සිටිනවා.
IMG_1138
P1090104
ඔය තියෙන්නෙ ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා වන Check-in කවුන්ටර්ස් ඉදිරියේ මගීන් සිටින ආකාරය.
24112009063
මේ තියෙන්නෙ අනෙකුත් ගුවන් සමාගම් සදහා වෙන් කර ඇති කවුන්ටර්ස්.
දැන් මගියා මේ අදාළ කවුන්ටරයට තමන්ගේ ටිකට්පත සහ ගමන් බලපත්‍රය ඉදිරිත් කළ යුතු අතර තමන්ගේ ගමන් මළු බර කිරීම සදහා ඒ කවුන්ටර් දෙපස ඇති තරාදි මත තැබිය යුතුය. මෙය අවශ්‍ය වන්නේ ගෙන යා හැකි භාණ්ඩ පුමාණය සීමා සහිත වන නිසායි. එය කි. ග්‍රෑ 20 –40 ත් අතර ගණනක් වෙනවා.
IMG_1145 මේ තියෙන්නෙ බර කිරන ලද බෑගයක් ගුවන් යනාව වෙත යොමු වෙන අවස්ථාව
තමන්ගේ බෑග් වල ආරක්ෂාව සඳහා ඒවා අගුළු දමා තිබීම වැදගත්. ඒ වගේම තවත් විශේෂිත සෙලෝෆේන් ආවරණයකින් ආරක්ෂා කිරිමත් කල හැකියි. මේ සඳහා පහසුකම් ගුවන් තොටුපලේ තිබෙන අතර එක් බෑගයක් සඳහා රු. 500/- ක මුදලක් අයකෙරේ. මෙම කුමයෙන් බෑගය සීරීම හා අපිරිසිදු වීමත් වළකිනවා.
IMG_1146
මේ ඉහළ තිබෙන්නෙ ඒ පහසුකම.
මෙසේ බර කිරා අවසන් කල බෑග් ඒ නිළධාරීන් විසින් සළකුණු කිරීමෙන් පසු ගුවන් යනාව වෙත යවනවා. මගියාගේ තොරතුරු තහවුරු කර ගැනීමෙන් පසු මගියාට යම් කාඩ් පතක් නිකුත් කර ඔහු හෝ ඇය ගමන් කල යුතු ගුවන් යානාව නවත්වා ඇති ගේට්ටු අංකය දන්වනු ලබනවා. මෙහිදී මගියාට කුඩා පත්‍රිකාවක් ලැබෙනවා. ඒකෙ ගේට්ටු අංකයත් ආසන අංකයත් සඳහන් වෙනවා. මෙය මුද්‍රණය කිරීමට ප්‍රථම අවශ්‍ය නම් තමන්ට අවශ්‍ය ආසනය ලබා ගත හැකියි. උදාහරණයක් විධියට ජනේලයක් අසල ආසනයක් ලබා ගැනීම දැක්විය හැකියි. දැන් මගියාට තමන්ගේ අතේ ගෙන යන ගමන් මල්ල ද සමග ඒ වෙත ගමන් කළ හැකි වෙනවා. අවශ්‍ය නම් රෝද පුටු ආදි පහසුකමුත් ලබා ගත හැකි වෙනවා. ඒ ගමන් කරනු ලබන අතරේ දී ආගමන විගමන  නිලධාරීනුත් තමන්ගේ රාජකාරිය කිරීමට සැදී පැහැදී සිටිනවා. මෙම අවස්ථාවට ප්‍රථම පිටත්ව යාමේ පත්‍රිකාව (Disembarkation Card) පුරවා සූදානම් කර ගත යුතු වෙනවා. මෙම කාඩ්පත සෑම මගියෙකුම විසින් පුරවා ආගමන විගමන නිළධාරීන් වෙත භාර දිය යුතු අතර එහි තමන්ගෙ නම, ගමනේ විස්තර ආදි සුළු තොරතුරු ප්‍රමාණයක් තමයි ඇතුළත් කිරීමට තිබෙන්නෙ. ඒ පත්‍රිකා සමහර විට ටිකට් පත ලබා ගන්නා ආයතනයෙනුත් ලබා දෙනවා. නැතිනම් ගුවන් තොටුපලේ ආගමන විගමන කවුන්ටර් අසලත් තිබෙනවා.  
දැන් ආගමන විගමන නිළධාරීන්ට තමන්ගේ වීසා බලපත්‍රය සහිත විදේශ ගමන් බලපත්‍රය ලබා දිය යුතු අතර ඔවුන් යම් යම් ප්‍රශ්ණ කීපයකුත් ඔබගෙන් අසාවි. අවසානයේදී ඔවුන් ඔබගේ ගමන් බලපත්‍රයේ ඔවුන්ගේ මුද්‍රාව තබා ඔබට යාමට ඉඩ හරීවි. දැන් ඔබට පිටත් වීමේ ගුවන් යානය නවතා ඇති ස්ථානයට යාමට හැකියි. මේ අවස්ථාවේදීද ඔබට අවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමට සාප්පු කීපයක් තිබෙනවා.
අවසානයේ ඔබ ගුවන් යානා නවතා ඇති ගොඩනැගිල්ලට පිවිසෙනවා. පහළ පින්තූරයේ තිබෙන්නෙ ඒ ස්ථානයේ  ඡායාරූපයක්.
IMG_0150
මේ ස්ථානයේත් වැසිකිළි පහසුකම් හා සුළු සුළු බීම වර්ග ආදිය මිළදී ගැනීමේ පහසුකමුත් තිබෙනවා.
ඔබට මතක ඇති ඔබ ටිකට් පත පෙන්වූ අවස්ථාවේ එම නිලධාරීන් යම් පත්‍රිකාවක් ඔබ අත තබා ගේට්ටු අංකයක් සඳහන් කළා. මේ අංකය ඔබ අත ඇති පත්‍රිකාවෙත් ම්‍රදුණය කර තිබෙනවා. ඔබ දැන් අන්න ඒ ගේට්ටු අංකය සොයා යා යුතුයි. මේ අංක පුවරු වල පෙන්වා තිබෙනවා. ඔය ඉහළ තිබෙන පින්තූරෙත් තිබෙන්නෙ දැන්වීමක් ‘Gate 8-14’ කියලා. අපේ ගුවන් තොටුපලේ මේ වගේ ගේට්ටු 14 ක් තිබෙනවා. දැන් මගියා අදාළ ගේට්ටු අංකය තිබෙන තැනට යා යුතු අතර සමහර විට ඒ කාමරය විවෘත නොකර තිබෙන්නට පුළුවන්. ඒසේ නම් මදක් රැඳී සිටින්න.
එයට ඇතුළු වන විට ඔබගේ භාණ්ඩ හා ඔබව ඉතා දැඩි පරීක්ෂාවකට ලක් කරන අතර ඔබගේ සපත්තු මේස් පවා ගලවා පෙන්විය යුතුයි. මෙය සාමාන්‍ය තත්වයක්. ඒ සඳහා මගියාගේ සහාය ඉතාම වැදගත් වෙනවා. ඒ කටයුතු අවසන් වීමෙන් පසුව මගියා අත ඇති පත්‍රිකාව එහි සිටින නිලධාරියෙකුට පෙන්වීමට අවස්ථාව ලැබන අතර මගියාට එහිදී තමන්ගේ ආසන අංකය සහිත කුඩා පත්‍රිකාවක් ලැබෙනු ඇති. දැන් මේ පත්‍රිකාවත් සමග මදක් රැඳි සිටිය යුතු වෙනවා ගුවන් යානයට මගීන් නංවා ගැනීමේ අවස්ථාව වනුතුරු.
මෙහිදී ඔවුන් යම් අංක පිලීවෙලකට කථා කර මගීන් නැංවීම සිදු කරනු ලබන අතර කලබල නොවී තමන්ගේ වාරය පැමිණෙනතුරු සිටිය යුතුයි. කිසිම අයුරකින් දැන් මගියාව දමා යාමට නොහැකි නිසා බිය විය යුතු නැති අතර අවශ්‍ය නම් එම ස්ථානයේ සිටින නිලධාරීන්ගෙන් ඒ පිලීබඳව විමසිය හැක.
IMG_0155
ඔය ඡායාරූපය එසේ මගීන් රැඳි සිටින ස්ථානයයි
අවසානයේදී මගියාට ගුවන් යානයට ගොඩවීමට හැකි අතර ගුවන් සේවිකාවන් විසින් තමන්ගේ ආසනය පෙන්වා දෙනු ඇත නැතහොත් තමාට ම වුවත් ආසනය සොයා ගත හැකි අතර ආසන අංක ආසනයට ඉහළින් රාක්ක වල මුදුණය කර තිබෙනවා. එය කියවිය යුත්තේ පළමුව අංකයත් දෙවනුව අකුරත් ලෙසයි. අංකය වන්නේ යානයේ ආසන පේළි අංකයයි. අකුර එම පේළියේ ආදාළ ආසනයට හිමි හදුනා ගැනීමේ අකුරයි. තමා හිද ගැනීමට පෙර අතේ තිබෙන බෑගය ආසනයට ඉහළින් ඇති රාක්කයේ තැන්පත් කළ යුතු අතර මේ සහා අවශ්‍ය සහාය ගුවන් සේවිකාවන් විසින් ලබා දෙනු ඇත.
IMG_0179
මේ පින්තූරෙ ඒ අංකය සහ අකුර බලන්න.
ගුවන් ගමන තුළදී ගුවන් සේවිකාවන් විසින් ලබා දෙන උපදෙස් තරයේ පිලීපැදිය යුතු අතර අවශ්‍ය සහාය ඔවුන් ලබා දේවි. ගුවන් සමාගම විසින් ඔබට ආහාර පාන අදිය නොමිලේ ලබා දිය හැකියි. සමහර විට අඩු මිළ ගුවන් සමාගම් වල තත්වය මීට වෙනස් විය හැකියි. ගුවන් යානය ගුවන් ගත වූ පසු අනෙක් මගීන්ට කරදරයක් නොව අයුරින් ඔබ මොබ ගමන් කල හැකියි. වැසිකිලි යාමට පවා යානයේ පහසුකම් තිබෙනවා.
ගුවන් යානය ගමනාන්තයේ දී නැවැත්වූ පසු යානයෙන් බැස යාම පිළිබඳ විස්තර වෙනත් සටහනකින් දැන ගනිමු. විදේශ ගුවන් තොටුපළකින් පිටවීමත් මේ වගේම සිදු වෙනවා. ගුවන් තොටුපළක ගමන් කිරීම තමාගේ නිවසේ ගමන් කරනවා වගේම පහසු දෙයක්.