ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු FACTS YOU MUST KNOW BEFORE YOU BUY AN AIR TICKET

අද පවතින ලෝකයේදී පෙර කා‍ලයේ මෙන් නොව ඔබට ද මතු යම් දිනක ගුවන් ගමනක් යාමට සිදු විය හැක. සමහර විට දැනටමත් ඔබ ගුවන් ගමනක නිරත වී ඇතිවාට සැකයක් නැහැ. සමහර විට ඔබ නිතර ගුවන් ගමන් වල යෙදෙන්නෙක් විය හැකිය.
අද මා ලියන්නට යන අදහස් මේ කුමන මට්ටමක හෝ සිටින ඔබ හට අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වනු ඇතැයි මා විශ්වාස කරමි.

පළමුව එබ ගමන් කිරීමට අදහස් කරන ගමනාන්තය පිළිබදව යම් හෝ දැනීමක් ඔබ සතුව තිබීම ප්‍රයෝජනවත්‍‍ විය හැක. ඒ මන්ද යත් ඔබගේ ගමනාන්තය ටිකට් පත ලබා ගැනීම සඳහා ඉතා වැදගත් වනු බැවිනි. කෙසේ වෙතත් ඔබට යම් දැනුමක් නොතිබුණත් ගුවන් ටිකට්පත ලබා ගන්නා ආයතන වල නිලධාරීන් ඔබ පවසන සුළු දෙයකින් පවා ඔබට යාමට අවශ්‍ය ස්ථානය ඔබට පැහැදිලි කර ගැනීමට උදව් කරාවි.

උදාහරණයක් ලෙස අපි සිතමු ඔබට යාමට අවශ්‍ය "වැන්කුවර්" නගරයට ය කියා. සමහර විට ඔබ ඒ නගරය මින් පෙර අසා නොමැති විය හැක. නැතහොත් එය පිහිටි ස්ථානය ඔබ නොදන්නවා විය හැක. නමුත් අදාළ ගුවන් ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලබන ආයතන ඔබට මෙහිදී උපකාර කරනු ඇති.

ඉන්පසුව ඔබ එහි යාමට අදහස් කරන දිනය, සමුළුවන් රැස්වීමක් වැනි දෙයක් නම් එහි සිටිය යුතු ‍දිනය සහ වේළාව ආදය පිළිබඳව ඔබ දැනුවත් විය යුතුය. එසේම ඔබ යළි ආපසු ඒමට අදහස් කරන දිනය ආදියද මෙහිදී ඉතා වැදගත් වේ. මේ විස්තරද ඔබ ගුවන් ටිකට් පත ලබා ගැනීමට අදහස් කරන ආයතනයට දන්වන්න.

එසේම ඔබ යම් ගුවන් සමාගමක සේවය ප්‍රිය කරන්නේ නම් එම සමාගම හෝ සමාගම් පිළිබඳවද ටිකට් පත ලබා ගන්නා ආයකනයට දන්වන්න.

ගුවන් යානයක බොහෝ විට විවිධ ආසන මට්ටම් (සුව පහසුව සහ අනෙකුත් පහසුකම් අනුව) ඇති ුතර ඔබගේ කැමැත්ත මත මෙම මට්ටම් තෝරා ගත හැක. සාමාන්‍යයෙන් අඩු මුදලට ගමන් කළ හැක්කේ පිරිමැසුම් (Economy) පන්තියේ ගමන් කිරීම වියදම් අඩුය. ව්‍යා‍පාරික පන්තියේදී මිළ අධික වුන මුත් පහසුකම් ඉතා ඉහළය. ඔබට වියදම් කිරීමට ඇති හැකියාව පරිදි අදාළ පන්තිය තෝරා ගන්න. නැතහොත් අවම මිළ ගණන් ඇති ආසනයක් අවශ්‍ය බව දන්වන්න.  

තවත් සැළකිය යුතු කරුණක් වන්නේ ඔබ විදේශ ගතවන්නේ යළි දිවයිනට ඒමේ අදහසින් ද නැතහොත් එහි නතර වීම‍ටද යන්නයි. නතර වීමට අදහස් කරන‍්නේ නම් වැඩි බර ප්‍රමාණයක් ඔබට ගෙන යා හැකියි.

තවද ඔබගේ ගමණ යාමට අවශ්‍ය වන්නේ සෘජුවමද නැතහොත් අතර මගදී ගොඩබැසීමෙන් පසුව ද යන්න ද දැනුවත් විය යුතුයය.

මේ සියළු දේ දැන්වීමෙන් පසුව ද ඔබට එම ස්ථානයෙන්ම ටිකට්පත මිළදී ගත යුතු නැත. පළමුව මිළ ඇස්තමෙන්තුවක් ඉල්ලා සිටින්න. ඉන්පසුව මෙවන් ආකාරයෙන්ම ගුවන් ටිකටි පත් නිකුත් කරනු ලබන වෙනත් ආයතන වෙතින් ද ඇස්තමේනුත්වක් ඉල්ලා සිටින්න. පසුව මෙම ආයතන අතරින් අඩුම මිළ ලබා දී ඇති ආයතනය වෙත යොමු වන්න.

විවිධ ආයතන ගුවන් ටිකට් පත් නිකුත් කිරීමේදී විවිධ මිළ ගණන් යටතේ මේ ටිකට් පත් විකුණයි. මෙට හේතු වන්නේ ඔවුන්ට විකට්පත් ලැබෙන්නේටිකටි පතේ මුළු වටිනාකමින් 93% ක මුදලකට‍ය. සමහර විට මෙම මුදල මීට වඩා වැඩි විය හැක.

මෙම ආයතන එසේ 93% ට මිළදී ගන්න ටිකට් පත් ඔවු‍න්ගේ ගාස්තු ලෙස මෙයට යම් මුදලක් එකතු කර (ප්‍රතිශතයක්) පාරිභෝගිකයාට විකුණනු ලබයි.

මෙහිදී පැහැදිලි වන්නේ ගුවන් සමාගම් වලින් මිලට ගන්නවාට වඩා වෙනත් නියෝජිත ආයතන වලින් මිලදී ගැනීම සුදුසු බවයි. මන්ද යත් ගුවන් සමාගම් ටිකට් පත් විකුණන්නේ 100% ක මුදලටය.

තවත් සැළකිය යුතු කරුණක් වන්නේ මෙම ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් යන වගයි. මෙම ආයතන සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ලියාපදිංචි කරනු ලබන අතර ඔවුන්ට බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ. ඔබට එය ඉල්ලා සිටීමට හැක.  එවන් ආයතන වලින් ටිකට් පත් මිලදී ගැනීම වඩා ආරක්ෂාකාරියි.

ඔබගේ ගමනාන්තයට යාමේදී අතරමගදී ස්ථාන වලින් වෙනත් ගුවන් යානා වලට මාරු වීමට සිදුවන්නේ නම් එසේ මාරු වන ස්ථාන වල තිබෙන වීසා නීති රීති පිලීබද සැළකිළිමත් විය යුතුය. මන්ද යත් සමහර රටවල සුළු කාලයක් වුව ගුවන් තොටුලලේ රැදී සිටීමට නොහැකිය. අනිවාර්යයෙන්ම හෝටලයක නැවති යුතුය.

ඔබට යම් ගැටළුවන් වේනම් එය එම ටිකට් පත් නිකුත් කරනු ලබන ආයතයෙන්ම විමසා සිටිය යුතුය. එසේම අනිවාර්යයෙන්ම ටිකට් පතේ ඔබ ගමන් කරන සෑම කොටසක්ම ස්ථිර (OK) කර තිබිය යුතුය. තවද ඔබට ලෙන යා හැකි උපරිම බර ප්‍රමාණයද දැනගත යුතුය. සාමාන්‍යයෙන් ගුවන් සමාගමක් 20kg-30kg අතර ප්‍රමාණයක් නොමිලේ ගෙන යාමට ඉඩ‍ දේ. වැඩි වන සෑම 1ක්‍ර.ග්‍රෑ එකකටම විශාල මුදලක් ගෙවීමට සිදු වේ. කෙසේ වෙතත් එක් බෑගයකට අඩංගු කළහැක්කේ උපරිම 33කි.ග්‍රෑ. පුමාණයක්  පමණි. (ජාත්‍යන්තර කම්කරු නීති) තවත 7කි.ග්‍රෑ. පුමා්‍යක් අතේ ගෙන යාහැකිය.

තවත් වැදගත් දෙයක් වන‍්නේ තමන්ගේ දුරකථන අංකය හා ලිපිනය අනිවාර්යයෙන්ම එම ආයතනට ලබා දෙන්න. මන්ද හදිසි කාලසටහන් වෙනස්කම් ආදිය එම ආයතන මගින් දැනුම් දීමට එමගින් හැකියාව ලැබේ.

දැනට මා හට මතකයට එන්නේ මෙච්චරයි. මොනවා හරි තිබුණොත් පස්සේ ලියන්නම්.
ටිකට් පත් නිකුත් කිරීමේදී, ගමන් කිරීමේදී හෝ වෙනත් අවස්ථාවකදී එම ටිකට් පත් හා ගුවන් ටිකට්පත් නිකුත් එන ආයතන පිලිබදව,. ගුවන් සමාගම් පිලීබදව යම් පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් ප්‍රවාහන අංකයට දුරකථන අංක 0112441522 මගින් මගින් හෝ ලිපි මගින් හෝ ඊ මේල් මගින් (e-mail) දැනුම් දිය හැක. ddatla@caa.lk

පස්සේ තව ලියන්නම්.

ගුවන් ටිකට්පත් නිකුතුව පිළිබඳ පාඨමාලාව AIRLINE RESERVATION & FARES CALCULATION COURSE

ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ගුවන් සාමාගම් දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් ශ්‍රී ලන්කන් ගුවන් සාමාගම. අනෙක මිහින් ලංකා ගුවන් සමාගම. කවුරු කොහොම කිව්වත් මේවා ජාතිය සතු දේවල්. මීට අමතරව දැනට ශ්‍රි ලංකාවට අන්තර්ජාතික ගුවන් සමාගම් 30කට ආසන්න ප්‍රමාණයක් මෙහෙයුම් කරනු ලබනවා. මේවායේ දේශීය සේවකයින් විශාල ප්‍රමාණයක් සේවය කරනවා. මෙයිනුත් සැළකිය යුතු ප්‍රමාණයක් ගුවන්ටිකටිපත් නිකුත් කරන නිලධාරීන්. මේ ගුවන් ටිකට්පත් නිකුත් කිරීම ආවාට ගියාට කරන්න බැහැ. ඒකටත් හොද දැනුමක් අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් ලොවම පිළිගත් පාඨමාලා තිබෙනවා. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය මගින් මෙහෙය වනු ලබන ඩිප්ලෝමා පාඨමාලාව තමයි මෙහි බයබලය ලෙස පිළිගැනෙන්නේ. නමුත් වැය කුළ යුතු මුදල ඉතා විශාලයි. සමහර විට එය රු. 100000/- විතර වෙනවා.

මීට අමතරව දේශියව විවිධ ආයතන විසින් මේ හා සමාන පාඨමාලා විවිධ මට්ට්ම් වලින් පවත්වාගෙන යනු ලබනවා. ඒවායේ ජාත්‍යන්තර පිළිගැනීම නම් ප්‍රශ්ණකාරීයි. ලැබෙන දැනුමත් සාපේක්ෂව අඩුයි. ඒවගේම අඩු දැනුමක් ඇති අය ගුවන් සමාගම් වල සේව‍ය කිරීම නිසා පාරිභෝගිකයින්ටත් විවිධ අපහසුතා පැන නගිනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරියට ලැබෙන පැමිණිලි වලින්ම මෙය පැහැදිලි වෙනවා. මේ සම්බන්ධයෙන් කරන ලද දීර්ඝ කාලීන අධ්‍යයනයකින් පසුව සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කළා ගුවන් ටිකට්පත් නිකුතුව පිළිබඳව පාඨමාලාවක් ආරම්භ කරන්න. දැන් එහි පළමු කණ්ඩායම මුදාහැර අවසන්.

සතුටුදායකම දෙය තමයි ඔවුන් සියළු දෙනාම රැකියාවන් කරනවා. දැන් ඒ පාඨමාලාවේ දෙවන කණ්ඩායම ආරම්භකිරීමට අයදුම්පත් භාර ගන්නවා. මේ සම්බන්ධයෙන් වැඩි විස්තර 0112441522 න් හරි සිවිල් ගුවන් සේවා අධිකාරියේ www.caa.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

රාජ්‍ය ආයතයක පාඨමාලාවක් නිසා ජාත‍‍‍්‍යන්තරවත් මෙය පිළිගැනීමට ලක් වෙනවා.

නව ගුවන් සමාගමක් අපේ රටට එන්නේ මෙහෙමයි! How to come a new airline to Sri Lanka

මේ Post එක මම ඉස්සරලාම ලියපු එක. ඒත් "සිංහල බ්ලොග් කියවනය"  ට ආවෙ නැහැ. ඒක නිසා ‍අද මේක ආයිත් Publish කරන්න හිතුවා. 


අපේ රටට ගුවන් යානාවක් එනවා කියන්නේ පිට ඉඳන් බලන කෙනෙකුට සරල දෙයක් වුනාට ඒක පිටුපස්සේ තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් තිබෙනවා. අනෙක තමයි ආවාට ගියාට මෙහෙයුම් කරන්නත් බැහැ.

මේ ක්‍රියාවලිය ගැන කියන්න ඉස්සරලා තව දෙයක් ගැන විස්තරයක් කරන්න ඕනි. ඒ තමයි ද්වි පාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම හා ද්විපාර්ශ්වික ගුවන් සේවා සාකච්ඡා යන කරුණු දෙක.
රටවල් දෙකක් අතර ගුවන් සේවා මෙහෙයුම් සිද්ධ විය යුත්තේ කුමන ආකාරයෙන් ද යන්න සඳහන් කර දෙපාර්ශ්වයේම එකඟත්වය මත ඇති කරගන්නා ගිවිසුම තමයි ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම කියන්නේ. මේ ගිවිසුමට එළඹීමට පෙර රටවල් දෙකේ නියෝජිතයින් අතර ඒ සම්බන්ධයෙන් එකඟතා සඳහා වන සාකච්ඡාව තමයි ද්විපාර්ශ්වික ගුවන් සේවා සාකච්ඡා යනුවෙන් සඳහන් වන්නේ.

මෙම ගිවිසුමේ සදහන් වෙනවා ඒ රටවල් දෙක අතර සතියකට මෙහෙයුම් කල හැකි ගුවන් ගමන් වාර ගණන කීයද, කුමන වර්ගයේ ගුවන් යානා යොදා ගත හැකිද, භාවිතා කළ හැක්‍කේ කුමන ගුවන් තොටුපළවල් ද( අපේ නම් එකයි නෙ), එම ගුවන් තොටුපළට පෙර හා පසු මෙහෙයුම් කළ හැකි ගුවන් තොටුපළවල් මොනවාද ඒවායින් මගීන් නග්ගවා ගත හැකිද යනාදී විස්තර මෙහි ඇතුළත් වෙනවා. මීට අමතරව තව තොරතුරුත් ඇතුලත් වෙනවා.

දැනට ශ්‍රී ලංකාව රටවල් 60 ක පමණ සංඛ්‍යාවක් සමග මෙවන් ගවිසුම් වලට එළඹි තිබෙන අතර තවත් රටවල් සමග සාකච්ඡා පවත්වමින් සිටිනවා.

දැන් අපි හිතමු යම් කිසි රටක ගුවන් සමාගමකට අපේ රටට හෝ අපේ රටේ ගුවන් සමාගමකට හෝ එම රටට හෝ මෙහෙයුම් ආරම්භ කිරීමට අවශ්‍යයයි කියලා. මෙහිදී අදාළ ගුවන් සමාගම විසින් අනෙක් රටේ තිබෙන ගුවන් සේවාව සම්බන්ධ රජයේ ආයතනයට (අමාත්‍යාංශයට හෝ ගුවන් ‍සේවා අධිකාරියට හෝ දෙපාර්තමේන්තුවට) ලිඛිත ඉල්ලීමක් කරනු ලබනවා. මෙම ඉල්ලීම අදාළ ආයතනය විසින් එම රටවල් දෙක අතර තිබෙන ගුවන් සේවා ගිවිසුම සමග සංසන්දනය කරනු ලබනවා.

අපි හිතමු අදාල රටවල් දෙක අතර එම ගිවිසුමක් තිබෙනවා කියලා. දැන් බලනවා ඒ අදාල ගුවන් සමාගම තම රටට මෙහෙයුම් කිරීම සඳහා ගුවන් සමාගම අයිති රට විසින් එම සමාගම නම් කර තිබෙනවාද යන වග. මේ ගිවිසුමේ අදාල ගුවන් සමාගම නම් කර තිබිය යුතුයි. එසේ නොමැති නම් පළමුව රටවල් දෙක අතර සාකච්ඡා කර දෙපාර්ශ්වයේම එකඟත්වය මත අදාළ නම්කිරීම සිදු කරනු ලබනවා. දැන් ගුවන් සේවා ගිවිසුමේ ප්‍රකාර, එහි සදහන් සීමාවන්ට යටත්ව අදාළ මෙහෙයුම් සඳහා අනුමැතිය ලැපබනවා.

අපි දැන් හිතමු ගුවන් සේවා ගිවිසුමක් නැති රටක් සම්බන්ධයෙන් අදාළ ඉල්ලීම ලැබුණා කියලා. එතකොට වෙන්නේ රටවල් දෙකේ ආයතන දෙක කථා කරලා අවශ්‍යතාවය මත තාවකාලික අනුමැතියක් ලබා දෙනවා. නමුත් යථා කාලයේදී ගුවන් සේවා ගිවිසුමකට යා යුතු වෙනවා.

දැන් මේ විධියට අදාළ අනුමැතිය ලැබුණාට තවත් කරුණු කීපයක් සම්පූර්ණ විය යුතු වෙනවා. ඒ තමයි බලපත්‍ර ලබා ගැනීම. ගුවන් සමාගමේ සුදුසුකම් පරීක්ෂා කර අදාළ මෙහෙයුම් සඳහා සුදුසුකම් සපුරා තිබේ නම් පමණක් අදාළ බලපත්‍ර නිකුත් කරනු ලබනවා. නැති නම් එම අඩුපාඩු සපුරා ගත යුතු වෙනවා.

එසේ බලපත්‍ර ලබා ගත්තායින් පසුව එම සමාගමේ මෙහෙයුම් සඳහා වන කාල සටහනට අනුමැතිය දිය යුතු වෙනවා. එයත් අදාළ ගිවිසුමේ තිබෙන කරුණු පදනම් කර ගනිමින් (වාර ගණන, ගුවන් යානා වර්ගය, අතරමැදි සහ පසුව මෙහෙයුම් කරන ගුවන් තොටුපළ ආදිය) ලබා දෙනවා.

මින් පසුව අදාළ ගුවන් තොටුපළ සඳහා වන ගෙවීම් ආදිය පිළිබඳව එකඟතාවයකට පැමිණියයින් පසුව තම මෙහෙයුම් ආරම්භ කළ හැකිය.

අදාළ බලපත්‍ර, කාල සටහන් අවසරයන් ආදිය කලින් කළට යාවත් කාලීන කළ යුතු වෙනවා.

මේකෙන් යම් කිසි දැනුමක් ලැබන්න ඇති. මේ සම්බන්ධ තවත් දේවල් තියෙනවා. ඒවා වෙලාව ලැබෙන විධියට මම කියලා ලියන්නම්. විශේෂ දෙයක් තියෙනවා නම් හරි ලියමු දේවල් ගැන යමක් කියන්න තියෙනවා නම් හරි දන්වන්න