Prison Break වල D B Cooper මතකද?-ඇමරිකානු ගුවන් ඉතිහාසයේ නොවිසඳුණ ගුවන් මංකොල්ලය......

Prison Break නම් වන ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන ඔබට මතක ඇතිවාට සැකයක් නැහැ. 2009 වසරේ දී ඇමරිකාවේ විකාශය වූ මෙම රූපවාහිනි නාට්‍යය ශ්‍රී ලංකාවේ ද විකාශය විය. මෙම නාට්‍ය මාලාවේ පළමු නාට්‍ය ගොනුවේ (Season 1) සිටි එක් චරිතයක් ඔබට මතක ඇති. චාර්ලස් වෙස්ට්මෝලන්ඩ් Charles Westmoreland යනුවෙන් හැඳින්වූ මෙම චරිතය වැඩිහිටි එකක් වූ අතර නිතරම තනිව සිටියේය. ඔහුගේ තනියට සුරතලයට ඇති කරන බළලෙකු සිටි අතර මෙම නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතය වන මයිකල් ස්කොෆීල්ඩ් විසින් මෙම නිහඬ චරිතය හඳුනා ගන්නේ D.B. Cooper ලෙසිනි.
http://bloggersdelight-dk.bloggersdelight.netdna-cdn.com/wp-content/blogs.dir/81927/files/2015/04/prison-break-season1-episode8.png
(Charles Westmoreland චරිතය)

ඔබ දන්නවාද මේ D.B. Cooper යනුවෙන් හඳුන්වන පුද්ගලයා ඇමරිකානු ගුවන් ඉතිහාසයේ දශක ගණනාවක් තිස්සේ කථා බහට ලක්වන ඒ වගේම කිසිම දිනක හඳුනා නොගත් සත්‍ය ගුවන් මංකොල්ලකරුවෙක් බව. 

ඒ 1971 නොවැම්බර් මාසයේ 24 වන දින සවස් වරුව විය. Dan Cooper යනුවෙන් තමන්ව හඳුනා ගත් මනාව හැඳ පැළදි පුද්ගලයෙක් ඇමරිකාවේ ඔරිගොන් හි පිහිටි පෝට්ලන්ඩ් ගුවන් තොටුපලට පැමිණ වොෂින්ටන්හි සියැටල් වෙතට යාමට “නෝත් වෙස්ට් ඔරියන්ට්“ (North West Orient) ගුවන් සේවයේ අංක 305 දරණ ගුවන් යානයේ ටිකට්පතක් වෙන් කර ගත්තේය. මෙම ගමන සඳහා විනාඩි 30 ක් පමණ ගත වේ. මෙවර ගමන සඳහා යොදවා තිබුණේ බෝයිං 727-100 වර්ගයේ ගුවන් යානයකි. ඔහුට 18 C ආසනය වෙන් වී තිබිණ. අඩි 5 අඟල් 10 ක් පමණ උසවු මෙම පුද්ගලයා වයස අවුරුදු 45 ක් පමණ වුවෙකියි පසුව මගීන් විසින් සඳහන් කරන ලදී.

ගුවන් යානයේ ආසන වලින් තුනෙන් දෙකක් පමණ පිරුණ පසු හරියටම පස්වරු 2 යි30ට යානය ගුවන් ගත විය. මේ අවස්ථාවේ දී කූපර් තම ආසනයට ආසන්නයෙන්ම තිබූ කුඩා ආසනයේ වාඩි වී සිටි ෆ්ලොරන්ස් සැෆ්නර් (Florence Schaffner) නැමති ගුවන් සේවිකාවට යමක් සටහන් කළ කඩදාසි කැබැල්ලක් දුන්නේය. මේ තනිවූ ව්‍යාපාරිකයා තමාට ඔහුගේ දුරකථන අංකය දුන්නේ යැයි සිතූ ගුවන් සේවිකාව එය විවෘත නොකරම අතු බෑගය තුලට දමා ගත්තා ය. මෙය දුටු කූපර් ගුවන් සේවිකාවට කොඳුරමින් පවසා සිටියේ “ඔබ එම සටහන කියවීම සුදුසුයි. මා ළඟ බෝම්බයක් තිබෙනවා“ යනුවෙනි. 

සේවිකාව විසින් සටහන කියවනු ලැබීය. ඉතාම පැහැදිලිව ඉංග්‍රීසි කැපිටල් අකුරින් සටහනක් තබා තිබුනේ “මා සතුව බෝම්බයක් ඇත. අවශ්‍ය වුවහොත් එය භාවිතා කිරීමට හැකිය. ඔබ කළ යුත්තේ කලබල නොමැතිව මා අසලින් වාඩි වීමයි. දැනටමත් ඔබව ගුවන් කොල්ලකෑමකට හසු වී ඇත“ යනුවෙනි. 

මෙය කියවූ ගුවන් සේවිකාව ඔහු අසලින් වාඩි වී බෝම්බය පෙන්වන ලෙස ඉල්ලා සිටියා ය. ඔහු අත තිබූ බෑගය විවර කර ගුවන් සේවිකාවට බෝම්බය පෙන්වා යළිත් එය වසා දැමුවේය. ඉන්පසු ඔහුගේ ඉල්ලීම් ඉදිරිපත් කලේය. ඩොලර් ලක්ෂ දෙකක ඇමරිකාවේ හුවමාරු කළ හැකි මුදලකුත්( 2015 වර්ෂයේ වටිනා කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 1.2 ක පමණ ප්‍රමාණයකි) , පැරෂුට් 4 ක් සහ සියැටල් වෙත ගොඩ බෑ පසු යානයට ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන බවුසරකුත් ඔහුගේ ඉල්ලීම් විය. ගුවන් සේවිකාව විසින් ඒ ඉල්ලීම් ගුවන් යානයේ නියමුවාට දැනුම් දෙන ලදී. 

ගුවන් යානයේ නියමුවා ලෙස කටයුතු කල විලියම් ස්කොට් සියැටල් හි ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය හරහා අධිකාරීන් දැනුවත් කළ අතර යානයේ සිටි ඉතිරි මගීන් 36 දෙනාට දැනුම් දුන්නේ සුළු කාර්මික දෝෂයක් හේතුවෙන් යානය ප්‍රමාද වන බවයි. ගුවන් සේවයේ සභාපති වරයා මෙම කප්පම් මුදල ලබා දීම අනුමත කරන ලද අතර සියළුම නිලධාරීන්ට කොල්ලකරුවා සමග සහයෝගයෙන් කටයතු කරන ලෙසට උපදෙස් දෙන ලදී. ගුවන් යානය පැය දෙකක් පමණ ගුවනේ සැරි සරමින් සිටියේ පොලිසියට සහ එෆ් බී අයි නිලධාරීන්ටත් අනෙකුත් හදිසි අවස්ථා නිලධාරීන්ටත් කප්පම් මදුල සහ පැරෂුට් සූදානම් කර ගැනීමට අවස්ථාව ලබා දීම සඳහා ය. 

සැෆ්නර් නැමති ගුවන් සේවිකාවට අනුව මෙම කොල්ලකරුවා ඉතා හොඳින් සහ පැහැදිලිව ඉංග්‍රීසි කථා කල අතර කලබලයකින් තොරව ප්‍රියමනාම ලෙස හැසිරී ඇත. තවත් ගුවන් සේවිකාවක් මෙය ස්ථිර කළාය.සියැටල් හි නිලධාරීන් ප්‍රදේශයේ බැංකු කිහිපයකින් ඩොලර් 20 නෝට්ටු 10,000 ක් ලබා ගෙන කප්පම් මුදල එකතු කළහ. ඒ බොහොමයක් මුදල් නෝට්ටු L අකුරින් ආරම්භ වූ අතර සියළුම නෝට්ටු ඡායාරූප ගත කරගන්නා ලදී. මේ අතර කූපර් විසින් හමුදාවෙන් ලබා දුන් පැරෂුට් ලබා ගැනීම ප්‍රතික්ෂේප කල අතර බලධාරීන් විසින් ප්‍රදේශයේ පැරෂුට් පුහුණු පාසලකින් ඒවා ලබා ගෙන කූපර් ට ලබා දුනි. 

යානයේ කාර්ය මණ්ඩලය

පස්වරු 5 24 ට පමණ කූපර්ගේ ඉල්ලීම් සියල්ල සූදානම් බව දන්වන ලද අතර 5 39 ට පමණ ගුවන් යානය සියැටල් ගුවන් තොටුපල වෙත ගොඩ බස්සවන ලදී. කූපර්ගේ ඉල්ලීම පරිදි හුදකලා වූ ස්ථානයක ගුවන් යානය නවත්වන ලදී. ඉන්පසු ඔහු ඉල්ලූ සියල්ල ඒ ආකාරයෙන්ම ඔහුට ලැබිණ. සියල්ල ලැබුණ පසු ඔහු විසින් සියලූ මගීන් සහ ගුවන් සේවිකා සැෆනර්ත් ප්‍රධාන ගුවන් සේවිකා ඇලිස් යන අයත් නිදහස් කරන ලදී. 

ගුවන් යානය ඉන්ධන ලබා ගන්නා අවස්ථාව

කූපර් විසින් ගුවන් සේවා ක්ෂේත්‍රෙය් පරිණත පුද්ගලයෙකු සේ සියළු තාක්ෂණික කරුණු දක්වමින් යානය පැදවිය යුතු ආකාරය පිළිබඳව නියමුවාට විස්තර කරන ලදි. ඒ අනුව පැය කිලෝමීටර් 190 ක පමණ වේගයෙන් අඩි 10000 ක් ඉහළින් පියාසර කළ යුතු වූ අතර “වින්ග් ෆ්ලැප්ස්“ අංශක 15 ක ආනතියට තබා ගත යුතු විය. ඒ වගේ ගුවන් යානයේ රෝද නොහැකිලිය යුතු වූ අතර පසුපස දොර විවෘතව තැබිය යතුය. (මෙම ගුවන් යානයේ පසුපසින් භාණ්ඩ ඇතුලත් කිරීම සඳහා විශාල දොරක් පිහිටා තිබුණේය. ) කෙසේ වතත් එසේ විවෘත ව තබා ගුවන් ගත වීම අනතුරුදායක බව බලධාරීන් සඳහන් කළ අතර කූපර් එය වාසා තබා ගුවන් ගත වීමට එකඟ විය. ගුවන් යානය තුළ වායු පීඩනයක් ඇති නොකල යුතු විය. ගුවන් යානයේ එක් වරක් ඉන්ධන ලබා ගැනීමෙන් පසු ගමන් කළ හැකි දුර කිලෝ මීටර් 1000 ක් පමණ වූ නිසා මෙක්සිකෝවට යාමට පෙර නෙවාඩා හි දී යලි ඉන්ධන ලබා ගැනීමට තීරණය විය. 

(පසුපස දොර බලන්න)

කෙසේ හෝ අවසානයේ දී සියල්ල සැළසුම් කිරීමෙන් පසුව පස්වරු 7 40 ට යානය ගුවන් ගත වූයේ නියමුවා , සහාය නියමුවා. ගුවන් ඉංජිනේරුවා සහ එක් ගුවන් සේවිකාවක් සමග ය. මේ අතර අසල ගුවන් හමුදා කඳවුරෙන් පිටත් වූ යුධ ගුවන් යානා දෙකක් මෙම ගුවන් යානයට ඉහළින් හා පහළින් ගමන් කිරීම සිදු විය. මෙම යානා එසේ ගමන් කලේ කූපර් ට නොපෙනෙන පරිදිය. 

යානය ගුවන් ගත වී ස්වල්ප වේලාවකින් සියළු දෙනාටම නියමු කුටියේ රැඳෙන ලෙස උපදෙස් දුන් කූපර් යානයේ පසුපසට ගියේය. රාත්‍රී 8 ට පමණ පසුපස දොර විවෘත වන බවට නියමු කුටියේ අනතුරු සංඥා දැල් විණ. ටික වේලාවකින් යානයේ පීඩන වෙනසක් සිදු වූයේ පසුපස දොර විවෘත වූ බව පසක් කරමින්.

කෙසේ හෝ රාත්‍රී 8 13 ට පමන යානයේ පසුපස කොටස ඉහළට එසවුණ බවක් නියමුවාට දැනී තිබිණ. අවසානයේ දී රාත්‍රී 1015 ට පමණ යානය කළින් සැළසුම් කළ පරිදි නෙවාඩා හි Reno ගුවන් තොටුපළ ට ගොඩ බැස්ස වීමට නියමුවන් ට හැකි විය. ඒ විගසම පොලිසියෙන් සහ අනෙක් නිලධාරීන් ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් විසින් යානය වට කර ගත් අතර ක්ෂණිකව සිදු කරන ලද පරීක්ෂෘවකින් පසුව කූපර් තව දුරටත් යානයේ නොමැති බව තහවුරු කර ගන්නා ලදී. 

ඉන්පසුව FBI නිලධාරීන් විසින් දිගින් දිගටම පරීක්ෂණ සිදු කරන ලද අතර බොහෝ තොරතුරු රැස් කර ගන්නා ලදී. බොහෝ පුද්ගලයින්ගෙන් ප්‍රශ්ණ කරන ලදී. D’ B Cooper යනුවෙන් හැඳින් වූ පුද්ගලයෙකුගෙනුත් ප්‍රශ්ණ කරන ලද අතර මාධ්‍යෙව්දියෙක් විසින් මේ බව විගසින් වාර්තා කරන ලදී. ඉන් පසු දිගින් දිගටම මෙම නම D.B. Cooper ලෙසටම භාවිතා කළ අතර අවසානයේ දී සෑබෑ කොල්ලකරුවා ටිකට් පත ලබා ගැනීමේ දී ලබා දුන් නම වූ Dan Cooper යන්න D B Cooper ෙලසටම ස්ථිර විය.

මේ අතර කොල්ලකාරුවා සමග කථා බහ කළ අය දුන් තොරතුරු අනුව FBI ආයතනය විසින් ඔහුගේ රුව සිතුවමට නගන ලදී. ලොව පුරාම මෙම රූපය ප්‍රසිද්ධ කළ අතර එයින්ද ඔවුන්ට හෝඩුවාවක් සොයා ගැනීමට අපහසු විය. 

DBCooper.jpg
1975 දී ඇමරිකානු අධිකරණයක් විසින් ගුවන් සමාගමේ රක්ෂණ නියෝජිතයාට ලබා දුන් උපදෙස් අනුව ඔවුන් විසින් ගුවන් සමාගමට ඩොලර් 180,000 ක මුදලක් වන්දි වශයෙන් ලබා දෙන ලදී. 

කෙසේ වෙතත් ඉතා පුළුල් ලෙස පරීක්ෂණ සිදු කල අතර අද වන තුරුත් මේ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගැනීමට ඇමරිකාව අසමත් වී ඇත. 1980 දී පමණ බ්‍රයන් ඉන්ග්‍රම් නැති පිරිමි ළමයෙක් මුදල් නෝට්ටු වලින් ඩොලර් 20 නෝට්ටු 100 ගොනු දෙකක් හා 90 සහිත ගොනුවක් වොෂින්ටනයේ කොළොම්බියා ගඟ අසලින් සොයා ගන්නා ලදී. ඉන්පසු ඒ ප්‍ර දේශයේ ද පිරික්සුම් කටයුතු සිදු කළද කිසිදු තොරතුරක් හමු නොවීය. 

1986 දී පමණ ඉහත සොයාගන්නා ලද මුදලින් අඩක් ඉන්ග්‍රම් ට ලබා දෙන ලද අතර ඉතිරි මුදල රක්ෂණ සමාගමට ලබා දෙන ලදී. FBI විසින් නෝට්ටු කීපයක් පරීක්ෂණ සඳහා තබා ගන්නා ලදී. ඉන්ග්‍රම් ට ලබා දෙන ලද මුදල් නෝට්ටු අතරින් 15 ක් වෙන්දේසි කරමින් ඩොලර් 37,000 ක් ලබා ගන්නා ලදී. 

අද වනතුරුත් මෙම කොල්ලකරුවා සොයා ගැනීමට ඇමරිකාව අසමත් වී ඇති අතර මුදල් නෝට්ටු වලින් 9710 ක් තවමත් සොයා ගෙන නොමැත. FBI ආයතනය විසින් තවමත් මේ පරික්ෂණය සිදු කරනු ලබන අතර පහත වෙබ් අඩවියෙන් මෙම මුදල් නෝට්ටු වල අංක පරීක්ෂා කිරීම සිදු කළ හැක.


ඩී බී කූපර් යන චරිතය ඇමරිකාව තුල තවමත් කථාවන එකකි. සමරු ඵලක, රාත්‍රී භොජන ආදිය ඔහු වෙනුවෙන් සිදු කරන දේවල් අතර වේ. ඒ වගේම Prison Break, White Collar, NewsRadio, සහ Numb3rs වැනි රූපවාහිනි මාලා නාටක වලට ඔහුගේ චරිතය දායක වී ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ ගුවන් යානය 1978 දී නෝර්ත් වෙස්ට් ගුවන් සමාගම විසින් වෙනත් ගුවන් සමාගමකට විකුණා දමන ලදී. ඔවුන්ද එය 1984 දී තවත් ගුවන් සමාගමකට විකුණන ලද අතර 1996 දී මෙම ගුවන් යානය අමතර කොටස් ලබා ගැනීම සඳහා කැබලි කරන ලදී. 

ඇමරිකානු ගුවන් සේවා අධිකාරිය විසින් මෙම ගුවන් යානා වර්ගයේ පසුපස දොර ගුවනේ දී විවෘත කිරීමට නොහැකි වන සේ තාක්ෂණ ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස බෝයිං සමාගමට දන්වන ලද අතර ඒ අනුව ඔවුන් විසින් ඒ සඳහා ස්විචයක් සකසන ලදී. ඒව නියමුවන් හා නිලධාරීන් අතර ජනප්‍රිය වූයේ “ඩී. බී. කූපර් “ ස්විචය ලෙසයි. ඉතා කුඩා ගුවන් සමාගම් ප්‍රමාණයක් මෙම හඳුන්වා දීම ඇතුලත් කර ගත් මුත් බොහෝ ගුවන් සමාගම් පසු පස දොර වෙල්ඩින් කර සම්පූර්ණයෙන් වසා දමන ලදී.

Ethiopian Airlines Flight 961ඉතියෝපියානු ගුවන් සේවයේ ලොමු දැහැගන්වන ගුවන් සැරිය - ෆ්ලයිට් 961



පහත වාර්තා කරන සිද්ධිය ඔබ සමහර විට වීඩියෝවකින් දැක ඇති. මෙම අනතුරු සිදු විට අසල සිටි කාන්තාවක් විසින් ගුවන් යානය අනතුරට ලක් වීම විඩියෝ කර ඇති අතර ඇය සිතා සිටියේ තමන් නැවතී සිටි හෝටලයෙන් ගුවන් යානා සන්දර්ශණයක් එහි සංචාරකයින් වෙනුවෙන් පවත් වන බවයි.  

  මෙම යානයේ ශ්‍රී ලාංකිකයින් 9 දෙනකු ගමන් කර ඇති අතර ඔවුන් 9 දෙනාම මිය ගොස් තිබෙන බවට වාර්තා වේ. ඔවුන් 9 දෙනා ඉන්දියාවෙන් ගුවන් යානයට ගොඩ වී ඇත.

ඒ 1996 නොවැම්බර් මස 23 වන දිනයයි. ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 767 වර්ගයේ ගුවන් යානය ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිට කෙන්යාවේ නයිරෝබි වෙත ගමන් කරමින් තිබිණ. මගීන් 163 ක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙක් ගුවන් යානයේ ගමන් කරමින් සිටියහ. මෙම සියළු දෙනා ගත් කල ජාතීන් 35 කට අයත් විය. ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 11පසු වී මිනිත්තු 20 ක් වන විට ගුවන් නියමුවෙකු අත් දකින අප්‍රසන්නම කරුණු වලින් එකක් යානය තුළ ආරම්භ විය. ඒ තරුණ ඉතියෝපියානු ජාතිකයින් තිදෙනෙක් විසින් යානය ගුවනේ පැහැර ගැනීමයි. ගුවන් ගමන ආරම්භ වී මිනිත්තු 20 ක් පමණ ගත වන විට මෙම තරුණ ඉතියෝපියානු ජාතිකයින් තිදෙනා ගුවන් යානයේ පසු පස සිට නියමු කුටිය දෙසට ගමන් කළහ. යානය ගුවන් ගත වීමට ප්‍රථම ඔවුන්ගෙන් දෙදෙනෙක් යානයේ වැසිකිලී වල සිටින්නට ඇතැයි පසුව සැක කෙරිණ. එක් අයෙක් ගුවන් යානයේ මැදීන් නියමු කුටිය වෙත දිවයන අතර නොදන්නා අපැහැදිලි භාෂාවකින් කෑ ගසමින් සිටියේය. ඒ විගසම ඔහුගේ සගයින් දෙදෙනාත් ඔවුන් පසුපස දිව ආහ. වයස අවුරුදු 20ත් 30 ත් අතර වූ ඔවුන් එතරම් පළපුරුද්දක් නොමැති මානසිකව ඇද වැටී සිටි සහ මත් ද්‍රව්‍ය භාවිතා කළ අය බව හැසිරීමෙන් පැහැදිලි විය. ඉතා මැනවින් රැවුල බා බටහිර පන්නයේ ඇඳුම් හැඳ පැළද සිටි ඔවුන්ගේ එක් අයෙක් මුහුණ වැහෙන සේ තොප්පියක් ද පැළඳ සිටියේය. 


ඔවුන් නියමු කුටිය වෙත පැමිණෙන විට අයෙක් හෝ දෙදෙනෙක් ඔවුන්ගේ මග අවහිර කළද ඔවුන් නියමු කුටියට ඇතුළු වීමට සමත් විය. විනාඩි 15 කට පමණ පසු සහාය නියමුවාට පහර දී ඔහු නියමු කුටියෙන් ඉවත් කරනු ලැබිණ. ගිනි නිවන උපකරණයකින් සහ ගිනි නිවීමේ දී යම් යම් දේ බිඳීමට භාවිතා කරන පොරවකින් සන්නද්ධ වී සිටි ඔවුන් ගුවන් යානය බෝම්බයකින් පුපුරුවා හරින බවට තර්ජනය කළහ. පසුව ඔවුන් යානයේ අභ්‍යන්තර ඇමතුම් පද්ධතිය තුළින් ඉතියෝපියානු භාෂාවෙන් ප්‍රංශ භාෂාවෙන් සහ කැඩුණ ඉංග්‍රීසි භාෂාවෙන් අමතමින් සඳහන් කලේ ඔවුන් ඉතියෝපියානු රජයට විරුද්ධ බවත් ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ ඉල්ලන බව සහ ළඟක දී සිරගතව නිදහස ලැබූ බවයි. ඒ වගේම ඔවුන් යානයේ මඟ වෙනස් කරන බවත් එය විරුද්ධ වුවහොත් යානය පුපුරුවාහරිණ බවත් සඳහන් කළහ. පසුව අණාවරනය වූ පරිදි ඔවුන් සතු වූ “බෝම්බය“ යනු ආවරණයක දැවටූ මත් පැන් බෝතලයක් බවයි. 


කොල්ලකරුවන් අඩි 39000 ක ඉහළ දී නියමුවාට පවසා තිබුනේ ගුවන් යානය ඕස්ට්‍රේලියාව කරා පියාසර කරවන ලෙසත් මෙම ගුවන් යානයට පැය 11 ක් ගමන් කළ හැකි බව තමන් දන්නා බවත් ය. කෙසේ වෙතත් මෙම අවස්ථාවේ නියමුවා විසින් කරුණු පහද දීමට උත්සාහ කළ අතර මෙම ගමන සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති බව මෙම තරුණයින් ඔහු විසින් පැහැදිලි කර ඇත. ඒ වන විටත් යානයේ ඉන්ධන අවසන් වෙමින් පැවතින. 


එක් කොල්ලකරුවෙක් පිටත රැඳී සිටින අතර තුර අනෙක් දෙදෙනා නියමු කුටිය තුළ රැඳී සිටියහ. පැය හතරක් පමණ වූ මෙම අප්‍රසන්න කාර්යාවලියේ දී කොල්ලකරුවන් නියමු කුටිය හා ඒ ආශ්‍රීත  කලාපය කලබලයකින් තොරව පවත්වා ගැනීමට කැමති වූ අතර ගුවන් යානයේ අනෙක් කොටස් වලට ඔවුන් කිසි විටකත් නොපැමිණිය හ. සමහර අවස්ථාවල නියමු කුටියේ සිටි දෙදෙනා පිටත සිටි පුද්ගලයා සමග ද කථා කළහ. මෙම කොල්ලකරුවන් අනෙක් මගීන් පිළිබඳව කිසිදු උනන්දුවක් නොදැක් වූහ. මගීන් සමග ඔවුන් කිසිදු සම්බන්ධයක් නොපැත් වූ අතර ගුවන් ගමන් බලපත්‍ර හෝ වෙනත් කිසි දෙයක් ලබා ගැනීමට හෝ උනන්දුවක් නොදැක් වූහ. මෙම කොල්ලකෑම අසාමාන්‍ය වූ  අතර මගීන්ට එතරම් එය නොදැණින. ඔවුන් සාමාන්‍ය පරිදි ආහාර ගැනීම නිදාගැනීමය පොත්පත් කියවීම වැනි දේ සිදු කරමින් සිටියහ. 


මෙම කොල්ලකරුවන් සූදානමක් නොමැති අයලෙස මගීන්ට හැඟිණ. මගීන්ගේ මතය වූයේ කොල්ලකරුවන් යානය පිපිරවීමට ඉඩ ඇති බැවින් ගුවන් යානය ගොඩ බෑමෙන් පසුව සිදු කරනවාට වඩා ගුවනේ දී මෙම කොල්ලකරුවන් සමග ගැටීම එතරම් සුදුසු නොවන බවයි.සමහර මගීන් අදහස් කර තිබුනේ ගුවන්  යානය ඉන්ධන ලබා ගැනීමට නැවැත් වූ පසු හිදිසි දොරටුවලින් යානයෙන් පිටතට පලා යාමටයි. කෙසේ වෙතත් කොල්කරුවන් සහ නියමුවන් අතර ඇති වූ සංවාදයත් යානයේ ගමන් දිශාව සහ යානයේ ඉන්ධන අඩුවෙමින් පැවති බවත් මගීන් නොදැන සිටියහ. ඔවුන් සිතා සිටියේ යානය නැගෙනහිර සයරය (Zaire)දෙසට ගමන් කරන බවකි. 


කොල්ලකරුවන්ගේ උපදෙස් අනුව ඉන්දියන් සාගරය මතින් නැගෙනහිර දෙසින් ඕස්ට්‍රෙලියාව දෙසට පදවනවා වෙනුවට ගුවන් නියමුවා විසින් යානය අප්‍රිකාවේ නැගෙනහිර වෙරළ දිගේ දකුණු දෙසට පදවමින් සිටියේය. ගුවන් ගමන ආරම්භ වී පැය තුනහමාරක් ගත වන විට යානය අඩි 39000 සිට 25000 දක්වා පහතට හෙලමින් ගුවන් යානයේ ඉන්ධන අවසන් වීම නිසා එක් එන්ජිමක් ක්‍රියා විරහිත විය. ගුවන් නියමුවා කොල්ලකරුවන්ගේ උපදෙස් පිළිපැද නොමැති බව දැනගත් කොල්ලකරුවන් කලහකාරි ලෙස හැසිරීමට පටන් ගත් අතර බොහෝ දෙනෙකු සිතුවේ ඔවුන් විසින් යානය පුපුරුවා හරිනු ඇතැයි කියාය. මේ අවස්ථාවේ ගුවන් නියමුවා විසින් පළමු වරට මගීන් අමතමින් කියා සිටියේ යානයේ ඉන්ධන අවසන් වෙමින් පවතින බවත් එක් එන්ජිමක් දැනටමත් ක්‍රියා විරහිත වී ඇති බවත්ය. ඔහු තවදුරටත් සඳහන් කලේ කලබල නොමැතිව ඉන්නා ලෙසත් හදිසි ගොඩබෑමකට සූදානම් වන ලෙසත්ය. එසේම ජීවිත ආරක්ෂක කබා වලට හුළං පිරවීමෙන් වැලකී සිටින ලෙස ත් දැනුම් දෙන ලදී. 


මෙම දැනුම් දීමත් සමගම සාමකාමීව සිටි මගීන් නොසන්සුන් වන්නට විය. මුලින්ම ව්‍යාපාරික පන්තියේ මගියෙකු විසින් ජීවිත ආරක්ෂක කබා සොයන්නට විය. කලබල වූ අනෙක් මගීන් අස්වසන්නට ගුවන් සේවිකාවන් උත්සාහ දරන අතරතුර පෙර කී මගියා විසින් ජීවිත ආරක්ෂක කබා සොයාගත් අතර ඔහු විසින් ඒවා බෙදා දෙන ලදී. 


ගුවන් යානය දිගටම පහළට ගමන් කිරීම සිදු වූ අතර සෙළවීමට පටන් ගැණින. මගීන් කීප දෙනෙකු විසින් කොල්ලකරුවන් ට අභියෝග කිරීමට උත්සාහ කලද අනෙක් මගීන් විසින් එසේ නොකරන ලෙස ආයාචනය කෙරිණ. මෙම කාලසීමාවේ දී බොහෝ වේලාවක් ගන්නා ලද්දේ ජීවිතාරක්ෂක කබා පලදින ආකාරය දැනුවත් කිරීමටයි. කෙසේ වෙතත් ගුවන් සේවිකාවන්ගේ උපදෙස් නොතකා මගීන් විසින් ජීවිතාරක්ෂක කබා වලට හුළං පිරවීම ආරම්භ කරන ලදී. (සාමාන්‍ය උපසෙ වන්නේ වතුරට වැටුන පසු ගුවන් යානයේන් පිටතට පැමිණ එසේ කරන ලෙසයි. මන්ද හුලං පිරවූ කබා සමග යානයෙන් පිටතට පැමිණීම අපහසු බැවිනි.)

පළමු දැනුම් දීමෙන් පසුව නියමුවා විසින් ඉතා ඉක්මනින් දෙවන සහ අවසාන දැනුම් දීමත් සිදු කරමින් මගීන්ට දැනුම් දෙන ලද්දේ හදිසි ගොඩ බැසීමකට සූදානම් වන ලෙසයි.ඉදිරියට නැමී හිස පහතට කර ගෙන සිටින ලෙස මගීන් ට දැනුම් දෙන ලදී. මෙම දැනුම් දීමත් සමග යළිත් මගීන් නොසන්සුන් වන්නට විය. මේ අවස්ථාවේ දී ද මහත ශරීරයක් ඇති මගියෙකු කොල්ලකරුවන්ට පහර දී යටත් කර ගනිමු යැයි යෝජනා කළද අනෙක් මගීන් යළිත් වරක් එය ප්‍රතික්ෂේප කරන ලද්දේ කොල්ලකරුවන් යම් පිපිරීමක් සිදු කරනු ලැබුවහොත් එය සියළු මගීන් අනතුරකට ලක් කිරීමක් විය හැකි බවයි. නියමුවා තව දුරටත් සඳහන් කරන ලද්දේ කොල්ලකරුවන් මතක තබා ගන්නා ලෙසත් හදිසියේ පසු අවස්ථාවක දී ඔවුන් හඳුනා ගැනීමට එය උපකාරී වනු ඇති බවත්ය.  


මේ අවස්ථාව වන විට ගුවන් යානයේ ඉන්ධන තව දුරටත් අඩු වෙමින් පැවති අතර දෙවන එන්ජිමද ක්‍රියා විරහිත විය. ගුවන් යානය ක්‍රමයෙන් පහළට එමින් තිබිණ. විදුලිය ක්‍රියා විරහිත වී තිබූ යානය අඳුරේ ගිලි තිබිණ. ගුවන් යානය කෙමොරොස් දිවයින දෙසට ගමන් කරමින් තිබිණ. කොමොරෝ හි “මොරෝනි“ ගුවන් තොටුපලට ගොඩ බෑමට නියමුවාට අවසර දී තිබුණ මුත් ඒ වෙත ළඟා වීමට යානයට නොහැකි බව ඔහු දැන සිටියේය. ඔහු යානය “ගලවා“ සංචාරක නිකේතනය අසල මුහුදට ගොඩ බෑමට උත්සාහ කරමින් සිටියේය. මේ අවස්ථාව වන විට කොල්ලකරුවන් ඔවුන්ගේ උත්සාහය අසාර්ථක බව තේරුම් ගෙන සිටි අතර යානයේ මෙහෙයුම් උපකරණ හැසිරවීමට උත්සාහ කළහ. ඔවුන් උත්සාහ කරන ලද්දේ යානය “ගලවා“ හෝටලයට කඩා වැටීමට සලස්වා කොල්ලකෑම මරාගෙන  මැරෙන මෙහෙයුමක් බවට පත් කීරීමටයි. ගුවන් යානයේ නියමු කුටියේ පැවති කළහකාරී තත්වය පිළිබඳව පැහැදිලි වන්නේ ගුවන් යානය ගොඩ බැස්සවීමකදී පහතට හෙලන පියාපත් වල තිබෙන “ෆ්ලැප්ස්“ එසේ පහතට නොහෙළා පැයට කිලෝමීටර් 200 ක පමණ වේලයෙන් ගුවනේ පාවී යාම නිසාය. කෙසේ වෙතත් මේ ආකාරයට ගුවන් යානය මුහුද වෙත සමීප වෙමින් පැවතිණ. අවසානයේ දී ගුවන් යානයේ එක් පියාපතක අග කොටස මුහුද තුළට කිඳා බැසීම නිසා ඇතිවූ අසාමාන්‍ය තත්වය හේතුවෙන් යානය කැබලි 3 කට කැඩී බිඳී ගියේය. “ගලවා“ හෝටලයට යාර 500 ක් පමණ දුරින් මෙම අනතුර සිදු වූ අතර “මොරෝනි“ ගුවන් තොටුපලට තිබුනේ කිලෝමීටර් 16 ක දුරකි. 175 ක් වූ මගීන් සහ කාර්ය මණ්ඩලයෙන් 123 දෙනකු මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්විය. දිවි ගලවා ගත් බොහෝ දෙනෙකු පාවෙමින් තිබූ ගුවන් යානයේ බඳ කොටසේ එල්ලී සිටියහ. යානයේ පසුපස කොටස දියේ ගිලී ගියේය. බොහෝ දෙනකු ජීවිතක්ෂයට පත් වී තිබුනේ සෘජුවම ගුවන් අනතුර හේතුවෙනි. සමහරක් මියගොස් තිබුනේ පිම්බී තිබූ ජීවිතාරක්ෂක කබා නිසා යානය තුල හිරවීමෙනි. නියමුවා සහ සහායක නියමුවා දිවි ගලවාගත්තවුන් අතර සිටි මුත් කොල්ලකරුවන් ජීවිතක්ෂයට පත් විය. මුල් අවස්ථාවේදී සැකකරුවන් දෙනෙකු පිළිබඳ අවධානය යොමු වූ මුත් පසුව ඔවුන් කොල්ලකරුවන් ලෙස හඳුනා ගැනීමට ජීවත්ව සිටි මගීන්ට නොහැකි විය. ඒ නිසා ඔවුන් නදහස් විය.  


බෝට්ටු සහ යාත්‍රා කිහිපයක් අසල වූ හෝටලයෙන් අනතුරු සිදු වූ ස්ථානයට යවන ලදී. හෝටලයේ විවෘත භෝජන ශාලාව හදිසි ප්‍රතිකාර සහ උපකාරක සේවා මධ්‍යස්ථානයක් බවට පත් කරන ලද අතර සංචාරයක් සඳහා පැමිණි ප්‍රංශ සහ දකුණු අප්‍රිකානු වෛද්‍යවරුන් දසදෙනෙක් මෙහි සේවය සඳහා යොදවන ලදී. රෝගීන් පසුව “මොරෝනි“ රෝහල වෙත මාරු කරන ලදී. ඉතිරි වූ මගීන් සහ ගුවන් යානයේ ඉතිරි වූ කොටස් කොල්ල කෑම ද සමහර දේශීය පුද්ගලයින් විසින් කරන ලදී.



මෙම ගුවන් අනතුරු ඉතිහාසයේ වාර්තා වන මාරාන්තික පැහැර ගැනීම් වලින් එකකි. 1990 සිට 1995 දක්වා කාල සීමාවේ දී දේශපාලන රැකවරණ සහ දුප්පත්කමින් මිදී රටින් පළා යාම අරමුණු කරගත් මෙවන් ගුවන් යානා කොල්ල කෑම් 10 ක් ඉතියෝපියාවෙන් වාර්තා වී ඇත. මෙම කොල්ලකෑම් සියල්ලෙන්ම එක් තුවාල සිදු වීමක් වාර්තා වී ඇති අතර සියළු ම කොල්ලකරුවන් යටත් කර ගනිමින් ආරක්ෂා සහිතව ගුවන් ගමන් සිදු කිරීමට හැකියාව ලැබී ඇත. මේ කාල සීමාව තුල එම කලාපයේ සිවිල් ගුවන් සේවය ඉතා බරපතල අනතුරුදායක තත්වයකට මුහුණ දුන් අතර ඉතාමත් අභියෝගාත්මක කාලයක් විය. ඒ වගේම සෑම අවස්ථාවක දීම කොල්ලකරුවන් විසින් වෙනස් ක්‍රමවේද භාවිතා කිරීම නිසා තත්වය තවත් අසීරු තත්වයකට පත් විය.

ශ්‍රී ලාංකිකයින් 9 දෙනාගේ නම් සහ ආසන අංක අනතුරේ අවසන් වාර්තාවේ සඳහන් වන්නේ මෙසේ ය.



මේ වාර්තාව මෙතනින් බලන්න. 

Leul Abate නම් වන මෙම යානයේ නියමුවා මින් පෙර දෙවතාවක්ම කොල්ලකරුවන්ගෙන් තමන් පැදවූ යානය බේරාගෙන ප්‍රවේශමෙන් ගොඩබැස්ස වීමට සමත් වී ඇත. මෙම අනතුරද වලක්වා ගැනීමට ඔහු උපරිම උත්සාහ දරා ඇත.
 
 

අපිත් ප්ලේන් එකක් සල්ලී දිලා ගමුද?

ගුවන් යානා ගැන විවිධ දේ කථා කරන අපිට ඒවායේ මිළ ගණන් ගැන කථා කරන්න අවස්ථාවක් ලැබුනෙ නැහැ. පසුගිය කාලයේ අපේ රටේ විවිධ කථ බහ ඇති වුණා ගුවන් යානා මිල දී ගැනීම් ආදී දේ පිලිබඳව සහ ඒවායේ මිළ ගණන් ආදිය පිළිබඳව.

මේ ලිපියේ මම පහත දක්වන්නේ ලෝකයේ ප්‍රධාන ගුවන් යානා නිෂ්පාදන සමාගම් දෙක වන ප්‍රංශයේ Airbus ගුවන් සමාගමේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ Boeing ගුවන් යානා නිෂ්පාදන සමාගමේ ගුවන් යානා වල සාමාන්‍ය මිළ ගණන්.



Airbus
ගුවන් යානා වර්ගය
ඇමරිකන් ඩොලර් මිලියන
රුපියල් බිලියන
A318
74.3
10.0
A319
88.6
12.0
A320
97
13.1
A321
113.7
15.3
A319neo
97.5
13.2
A320neo
106.2
14.3
A321neo
124.4
16.8
A330-200
229
30.9
A330-800neo
249.6
33.7
A330-200 Freighter
232.2
31.3
A330-300
253.7
34.2
A330-900neo
284.6
38.4
A350-800
269.5
36.4
A350-900
304.8
41.1
A350-1000
351.9
47.5
A380-800
428
57.8

Boeing
ගුවන් යානා වර්ගය
ඇමරිකන් ඩොලර් මිලියන
රුපියල් බිලියන
737-700
78.3
10.6
737-800
93.3
12.6
737-900ER
99
13.4
737 MAX 7
87.7
11.8
737 MAX 8
106.9
14.4
737 MAX 9
113.3
15.3
747-8
367.8
49.7
747-8 Freighter
368.4
49.7
767-300ER
191.5
25.9
767-300 Freighter
193.7
26.1
777-200ER
269.5
36.4
777-200LR
305
41.2
777-300ER
330
44.6
777 Freighter
309.7
41.8
777-8X
360.5
48.7
777-9X
388.7
52.5
787-8
218.3
29.5
787-9
257.1
34.7
787-10
297.5
40.2



ලෝකයේ විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානය නිෂ්පාදනය කලේ ඒයාර් බස් සමාගම. A380 යන මේ ගුවන් යානයේ මිල රුපියල් බිලියන 57 ක් විතර වෙනවා. දක්ෂිණ අධි වේගී මාර්ගය ට ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් පමණ වියදම් වී තිබෙනවා. ඉතින් ඒ මුදලින් අපිට මේ විශාල ගුවන් යානා දෙකක් පමණයි මිළ දී ගන්න පුළුවන්. 

මේ හා සමානව බෝයිං සමාගමේ විශාලතම යානය වන්නෙ B747 යානය. එහි මිල රුපියල් බිලියන 50 ක් පමණ වෙනවා. 

ලංකාවට වැඩියෙන්ම එන්නෙ A320 වර්ගයේ ගුවන් යානා. ඒ වර්ගයේ ගුවන් යානයක සාමාන්‍ය මිල රුපියල් බිලියන 13 ක් පමණ වෙනවා.

එයාර්බස් සමාගම අළුතින් හඳුන්වා දුන් ගුවන් යානය වන්නෙ A350 ගුවන් යානය. එහි සාමාන්‍ය මිල රුපියල් බිලියන 37 ත් 47 ත් අතර වෙනවා. මේ යානයට සමගාමීව බෝයිං සමාගම ඉදිරිපත් කලේ B787 යානය එහි මිල සාමාන්‍යයෙන් රුපියල් බිලියන 30ත් 40ත් අතර වෙනවා. 

ඉතින් මේ අළුත්ම ගුවන් යානා වල සාමාන්‍ය මිළ ගණන්. මේ මිල ගණන් වල වෙනස් වීම් සිද්ධ වෙනවා ඒවායේ පාර්භෝගිකයින් ඉල්ලන පහසුකම් අනුව. බොහෝ ගුවන් සාමාගම් කරන්නෙ කල් බදු ක්‍රමයට ගුවන් යානා බදු ගැනීම. ඒක ආර්ථික වශයෙන් වාසි දායකයි.