“සිල්ක් රූට්“ පිටවීමේ ගිමන් හල (Silk Route Lounge)

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම (Airport and Aviation Services (Sri Lanka ) Ltd – AASL) වාණිජමය වශයෙන් වැදගත් වන මගීන් (Commercially Important Passengers – CIPs) වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා “සිල්ක් රූට්“ නමින් නව ගිමන් හලක් (Lounge) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයේ විවෘත කර ඇත. මින් පෙර 2009 වසරේ පැමිණිමේ පර්යන්තයේ මෙවන් වූ ගිමන් හලක් විවෘත කරනු ලැබූ අතර එය මගීන් අතර ඉතා ජනප්‍රිය විය. 

මෙම ගිමන් හලේ දී ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය මගීන් විසින් පිටවීමේ හා පැමිණීමේ පර්යන්තයේදී ඉටු කළ යුතු සාමාන්‍ය කාර්යයන් ඉටුකර දෙනු ලබන අතර ඒ කාලය තුල මගියාට මෙම ගිමන් හලේ විවේක ගැනීම කළ හැක. ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය විසින් මගීන් ගේ ටිකට්පත් පරීක්ෂාව (Check-In), ආගමන විගමන කාර්යයන්, ගමන් මළු ලබා ගැනීම හා ඒවා පරීක්ෂාව ආදී සියළු දේ සිදු කරන දෙනු ලබන අතර මගියාට එය මහත් පහසුවක් ගෙන දෙනු ලබන බව ගුවන් තොටුපල නිලධාරීන් පවසයි.

මෙම සේවා ලබා ගැනීම සඳහා www.airport.lk යන වෙබ් අඩවියේ ලියා පදිංචි විය යුතු අතර එක් මගියෙක් සඳහා පැය 4 ක කාලයකට ඇමරිකානු ඩොලර් 50 සිට 115 දක්වා වූ පැකේජ අනුව සේවා ලබා ගත හැක. සෑම පැකේජයකදීම වයස අවුරුදු 2 ට අඩු ළමයින් සඳහා මුදල් අය නොකෙරේ.

මෙම ශාලා වල අන්තර්ජාල පහසුකම්, ආහාර පාන ලබා ගැනීම, රූපවාහිනී නැරඹීම සහ පුවත් පත් කියවීම වැනි කාර්යයන් කල හැක.

මීට අමතරව “ලෝටස්“(Lotus), “එක්සකියුටිව්“(Executive), හා “අරලිය“ (Araliya) නමින් තවත් ගිමන්හල් පහසුකම් ගුවන් තොටුපළේ ක්‍රියාත්මක වේ.