අදට වසරයි

මේ ලියන්න යන්නෙ නම් ගුවන් සේවාව ගැන නොවේ. අදට වසරකට පෙර තමයි අපේ අහස‘ ට පළවෙනි පෝස්ට් එක දැම්මෙ. මේ වන විට ගුවන් සේවා සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ සටහන් 37 ක් පසුගිය වසර පුරාවටම එක් කීරීමට හැකියාව ලැබී තියෙනවා. ඒ සේරටම කමෙන්ට්ස් 173 ක් ලැබිලා තියෙනවා. හැබැයි මේ ගාණ ඇතුලේ තියෙනවා මම උත්තර දීපුවත්.
“බ්ලොගර් ස්ටැට්“ වලින් කියන්නෙ නම් 3156 ක් මේ බ්ලොග් එකට ඇවිල්ලා තියෙනවා කියලා. මම පවත්වාගෙන ගිය කවුන්ටර්ස් වල හැටියට ආසන්න වශයෙන් 4000 ක විතර සංඛ්‍යාවක් ඇවිත් තියෙනවා. වැඩිම ගණනක් ඇවිත් කියෙන්නෙ තියෙන්නෙ ලංකාවේ පළමු ගුවන් ප්‍රදර්ශනය කියන පෝස්ට් එක බලන්න. මේ කාල සීමාව තුළ ලැබුණ සියළු ප්‍රතිචාර මා ධෛර්යයට පත් කරවන ඒවා වීම ඉතාම සතුටට කාරණයක්. ඒ වගේම නිරන්තර සාමාජිකත්වයක් මේ සඳහා සිටින බව 30 ක් විතර වන සම්බන්ධකයින් (Join with this site) ගණනිනුත් 11 ක් වන Followers  ලා ගණනිනුත් පැහැදිලි වෙනවා. ඒ වගේම දුරකථන මාර්ගයෙනුත් මට ලැබී තිබෙන ප්‍රතිචාර අනුව පෙනෙන්නෙ ‘අපේ අහස‘ තවත් සාමාජිකයින් ඉන්නවා කියන එකයි.
මම මේ ක්ෂේත්‍රයට එන විට දැනගෙන හිටියෙ අහසේ ගුවන් යානා යන බව විතරයි. කටුනායක ගුවන් තොටුපළට ගිහින් තිබුණේ ජීවිතයේ එකම වතාවයි. ඒත් පෙර පාසැල් අවධියේ. මට මතකයි කටුනායක ගුවන් තොටුපළේ වැටක එල්ලිලා නවත්වලා තියෙන ගුවන් යානා දිහා බලන් සිටිය අවස්ථාව. ඒත් අද මට හැකියාව ලැබිලා තියෙනවා ගුවන් යානයක ගමන් කරන්න, කටුනායක ගුවන් තොටුපළේ සිත් සේ ඇවිදින්න. ලෝකයේ විවිධ ගුවන් සමාගම් එක්ක සම්බන්ධකම් පවත්වන්න.
ලංකාවේ ගුවන් සේවා දැනුම, රැකී රක්ෂා ආදියට එකතු වෙලා ඉන්නෙ ඉතා සුළු සංඛ්‍යාවක්. තවත් සරලව කියනවා නම් මීගමුවේ සිට මොරටුව දක්වා සිටින පුද්ගලයින් වැඩි ප්‍රමාණයක් තමයි සිටින්නෙ. නුවර පැත්තෙත් ටිකක් ඉන්නවා. මේකට හේතුව ඔවුන්ට නිතරම මේ දේවල් දකින්න පුළුවන් වීමත් ඔවුන්ගේ ආර්ථික, අධ්‍යාපනික  හා සමාජීය පසුබිමත්. නමුත් මම තාමත් තරයේම අදහනවා අපේ ලංකාවේ ඕනෙම පළාතක ඉන්න ඕනම පුද්ගලයෙකුට මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න හැකියාව තියෙනවා කියලා. මේක විශ්මිත ක්ෂේත්‍රයක්. විශාල රැකියා ගණනක් බිහි කරන්න පුළුවන්. අපේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දෙන්න පුළුවන් දෙයක්.
එසේ මේ ක්ෂේත්‍රයට අන් අයට පිවිසෙන්න උපකාරී වන උපරිම දේ මම කරනවා. මගේ රැකියාවෙන් මට කරන්න පුළුවන් දේවල් මම කරලා තියෙනවා. ගුවන් සේවා ක්ෂේත්‍රයට පිවිසෙන්න පහසුම මග තමයි ගුවන් සේවාවක හෝ නියෝජිත ආයතනයක ටිකට් නිකුත් කරන නිලධාරියෙකු වීම. මේ සඳහා දෙස් විදෙස් පාඨමාලා විශාල ගණනක් තිබෙනවා. නමුත් අධික වියදමක් යනවා. මට හැකියාව ලැබුණා මේ තත්වය මගේ ආයතනයට තේරුම් කර දී ඉතාමත් සහනදායී මිළකට ඉහළ දැනුමක් ලබා දෙන පාඨමාලාවක් ආරම්භ කරන්න. දැන් මේ දවස් වල එහි තෙවන කණ්ඩායම සඳහා අයදුම් පත් භාර ගන්නවා. කියන්න සතුටුයි පළමු කණ්ඩායම් දෙකෙන්ම බහුතරයක් දැනටමත් ක්ෂේත්‍රයට පිවිසිලා අවසන්.
අනික් දේ තමයි මේ “අපේ අහස“ සටහන්. මේවායින් ගුවන් සේවා දැනුම කියවන්නන්ට ලැබිලා තියෙන බව පැහැදිලි වෙනවා. ඉදිරියටත් තව තවත් දේවල් කියලා දෙන්න තමයි අදහස. තියෙන සැළසුම් වල විධියට වෙබ් සයිට් එකක් විධීයට යන්න කියලා තමයි අදහස. ඒත් මගේ පැත්තෙන් ඒ සදහා තිබෙන තාක්ෂණික දැනුම ටිකක් මදි. තව ටිකක් කල් යයි ඒ සඳහා.
තවත් දෙයක් කියන්න ඕනෙ. ඒ තමයි මම බ්ලොග් කරණයට පිවිසුනේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒත් සිංහල බ්ලොගර්ස් යුනියන් එක තමයි මාව යොමු කරේ මේ සිංහල බ්ලොග්කරණයට. ඒකෙන් මගේ බ්ලොග්කරණයට වටිනාකමක් එකතු වුණා. ඊට අමතරව කොත්තු සහ ලාංකීය යන සින්ඩිකේටර් දෙකක් ප්‍රයෝජනවත් වුණා සටහන් ප්‍රසිද්ධ කරන්න.   
අවසාන වශයෙන් සියළු දෙනාටම ස්තුතියි දක්වපු ප්‍රතිචාර වලට සහ ලබා දුන්න ධෛර්යට.      

ධාවන පථයේ රබර් ඉවත් කිරීම Runway Rubber Removal

ගුවන් යානා ඉහළට නැංවීම සහ ගොඩබැස්සවීම සඳහා භාවිතා කරන ධාවන පථ (Runways)කොන්ක්‍රීට් වලින් හෝ “ඇස්ෆාල්ට්“ (Asphalt) වලින් සකස් කිරීම සිදු කරනවා. අපේ ධාවන පථය ගත හොත් එය “ඇස්ෆාල්ට්“ වලින් සකසන ලද එකක්. ඇත්තටම ඇස්ෆාල්ට්-කොන්ක්‍රීට් මිශ්‍රණයක් තමයි තියෙන්නෙ. මේ භාවිතා කරන අමුද්‍රව්‍ය මොනවද කියලා තීරණය කරන්න බොහෝ දේවල් භාවිතා කරනවා. ධාවන පථය පිහිටන ස්ථානයේ දේශගුණය, කාලගුණය, උෂ්ණත්වය, පසේ ස්වභාවය, ගොඩ බැස්සවීමට බලාපොරොත්තු වන යානා වර්ග, එක් කාල පරාසයකදී මෙහෙයුම් කරනු ලබන යානා සංඛ්‍යාව ආදි බොහෝ දේ ඒ අතර වෙනවා. විශේෂයෙන් ශීතල දේශගුණයක් තිබෙන රටවල කොන්ක්‍රීට් ධාවන පථ භාවිතය උණුසුම් දේශගුණයක් තිබෙන රටවලට වඩා වැඩියි.
ධාවන පථයේ ශක්තිමත් බව එය සකස් කරන අවස්ථාවේදී තීරණය කරනු ලබන අතර මෙහිදි යම් විශාල යානයක් ගොඩබැස්සවීමට අවශ්‍ය ශක්තිමත් භාවයක් ඇතිවන විධියට එය සකස් කරනු ලබනවා.
ධාවන පථයක යානයක් ගොඩබැස්සවීමේදී යානයේ රෝද ධාවන පථය හා ගැටීම නිසා රෝදයේ රබර් ධාවන පථය මත තැන්පත් (Rubber Deposit) වීමක් සිදු වෙනවා. සාමාන්‍ය බෝයිං 747 (B747) වර්ගයේ යානයක් එක් වරක් ගොඩ බැස්සවීමේදී රබර් කිලෝ 3 ක් පමණ තැන්පත් වීමක් සිදු වෙනවා. දීර්ඝ කාලීනව මෙසේ රබර් තැන්පත් වීම නිසා ධාවන පථයේ ඝර්ෂණය අඩු වීමක් සිදු වෙනවා. එවිට ඉතිං කියන්න ඕනෙ නැහැනෙ. ලිස්සලා යනවා.

ඔය පහළ තියෙන්නෙ අපේ ධාවන පථයේ චන්ද්‍රිකා ඡායාරූපය (Google Earth). මේකෙ පළමු පින්තූරය තියෙන්නෙ ධාවන පථයේ එක් කොනක රබර් තැන්පත් වීම. බලන්න අනෙක් තැන් වලට වඩා මේ ස්ථාන කළු පැහැය වැඩියි. අනෙක් කොනත් ඒ වගේ. මොකද මේ දෙපසේ තමයි යාන ගොඩ බැස්සවීමේදී පළමුවෙන්ම ගැටීම සිදුවන්නෙ.  යටින් තයෙන්නෙ සම්පූර්ණ ධාවන පථය. එහි දෙපස අනෙක් ස්ථාන වලට වඩා කළු පැහැය වැඩියි. 


මෙන්න මේ තැන්පත් වන රබර් අනිවාර්යයෙන් ඉවත් කිරීමක් සිදුකළ යුතු වෙනවා. මේකට ක්‍රම කීපයක් භාවිතා කරනවා. අධි පීඩන ජල ධාරාවක් එල්ල කීරීම, වැලි වැනි රළු ද්‍රව්‍යක් අධික පීඩනයක් යටතේ එල්ල කිරීම, රබර් දිය වන ආකාරයේ රසායන ද්‍රව්‍ය භාවිතා කිරීම, රබර් ඉවත් කිරීම සඳහා නිපදවා ඇති උපකරණ භාවිතා කිරීම ආදිය මේ ක්‍රම ලෙස දක්වන්න පුළුවන්.

මේ තියෙන්නෙ ඒ වගේ රබර් ඉවත් කරන වාහන. පේනවනේ රබර් තැන්පත් වෙලා තියෙන විධිය. 


මේ පහළ තියෙන්නෙත් ඒ වගේ තරමක් මිළ අධික වාහනයක්.

මේ තියෙන්නෙ අධි පීඩන ජල ධාරා මගින් රබර් ඉවත් කිරීම.

බ්‍රසීලය වගේ නිතර වැසි ලැබෙන රටවල ධාවන පථයේ ලිස්සන සුළු ස්වභාවය අඩු කිරීම සඳහා කුඩා වලවල් (Graves) ඇති කරනු ලබනවා. මේ ධාවන පථ වල රබර් තැන්පත් වීම අධිකයි. ඒවායේ රබර් ඉවත් කිරීම සදහා පහත ආකාරයේ උපකරණයක් භාවිතා කරනවා.

අපේ රටේ මේ සඳහා කරන්නේ රසායන දුව්‍ය භාවිතා කර අතින් රබර් ඉවත් කිරීමේ ක්‍රමයයි. මේ ක්‍රමයේදී රසායන ද්‍රව්‍ය යොදා පසුව ඒවා සෝදා ඉවත් කළ යුතුයි. එතෙක් ධාවන පථය භාවිතය ගැනීම අනතුරුදායකයි.  අධි තාක්ෂණික උපකරණ භාවිතා කිරීම අධික වියදම් සහිත දෙයක්. අපේ රටට මෙවන් උපකරණයක් ලබා ගැනීම තරමක් අපහසුයි.
වෙනත් රටවල මෙසේ ධාවන පථ වල නඩත්තු කටයුතු සඳහා වෙනම වේලාවක් වෙන් කර තිබෙනවා. තවත් රටවල රාත්‍රියට ගුවන් තොටුපළවල් වසා දමන නිසා රාත්‍රියේ දී ඒ නඩත්තු කටයුතු සිදු කරනවා.   කටුනායක අපේ ගුවන් තොටුපළේ මෙතුවක් කාලයකට මේ සඳහා කාල සීමාවක් වෙන් කර තිබුණේ නැහැ. මේකට බොහෝ හේතු තිබෙනවා. ඒ කියන්නෙ අපේ ධාවන පථයට මෙහෙයුම් අඩු වීම ආදිය තමයි. 

නමුත් දැන් මේ කාල සීමාව වෙන් කර තිබෙනවා.

නොවැම්බර් මස 3 වන දින සිට සෑම බදාදා දිනකම පස්වරු 2.30 සිට 5.30 දක්වා ධාවන පථය වසා දැමීමට තීරණය කර තිබෙන අතර ඒ කාල සීමාවේ දී මේ නඩත්තු කටයුතු සිදු කිරීමට නියමිතයි. මේ නඩත්තු කටයුතු යනුවෙන් අදහස් කරන්නේ රබර් ඉවත් කිරීම පමණක්ම නොව ධාවන පථය මත අදාළ සළකුණු පින්තාරු කිරීම ආදියයි. 

මෙම වේලාව වෙන් කිරීම පිළිබඳව දැනටමත් ගුවන් සමාගම් ඇතුළු අදාළ ආයතන වෙත NOTAM මගින් දැනුම් දී තිබෙනවා. NOTAM යනුවෙන් අදහස් කරන්නේ Notice to Airmen කියන එකයි. මේ වෙලාවෙදි දැනට එන්නෙ ඉන්දියාවෙ සිට පැමිණෙන ගුවන් යානායි. මේ නව ක්‍රමය යටතේ ඒවායේ කාලසටහන් වෙනස් වීමක් සිදු වෙනවා.