සිවිල් ගුවන්යානා අනතුරු විමර්ශනය - Civil Aircraft Accident Investigation


අද මම කියන්න යන්නේ ගුවන් යානා අනතුරු විමර්ශණය ගැන කියලා මාතෘකාව දැක්කම පේනවානේ. හැබැයි මේ සටහන මම උපුටා ගත්තේ ගුවන් යානා අනතුරු විමර්ශණ නිලධාරී (Aircraft Accident Investigation Officer) විසින් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහා සකස් කරන ලද ලිපියකිනුයි. ඒ සඳහා ඇයට ස්තුතිවන්ත විය යුතුයි. 



ශ්‍රී ලංකාව තුල සිවිල් ගුවන්සේවාවෙහි නිරූපද්‍රිතතාව හා සුරක්ෂිතතාව (Safety and Security) ප්‍රවර්ධනයට බැඳී සිටින ආයතනය ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය (Civil Aviation Authority of Sri Lanka) වේ. සිවිල් ගුවන්සේවා අධිකාරිය පිහිටුවීමේ පනතෙහි සහ ගුවන්සංතරණ රෙගුලාසීන් හි අඩංගු නීතිමය කරුණු අනුව, ශ්‍රී ලංකාව තුළ සිදුවන සියලු සිවිල් ගුවන් අනතුරු විමර්ශනය කිරීමේ (Accident Investigation) සහ පිරික්සුම් හා මුදවාගැනීමේ (Search & Rescue) සංවීධානයක් ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ බලය පැවරී ඇත්තේ,  සිවිල් ගුවන් සේවා අධිකාරියටයි.
ගුවන් අනතුරක් විමර්ශනය කිරීමෙහි මූලික අරමුණ වන්නේ, අනතුරට පාදක වූ හේතූන් සහ තත්වයන් හෙලිදරවු කර ගැනීම සහ එවැනි කරුණු මත අනාගතයේදී සිදුවිය හැකි අනතුරු මඟහැරවීමට නිසි පිළියම් යෙදීමය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන්යානා (Military Aircraft) සම්බන්ධයෙන් සිදුවන අනතුරු වලදී විමර්ශනය කිරිමේ බලතල පැවරී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවටය.  
සිවිල් ගුවන්යානා යනුවෙන් අදහස් කරනු ලබන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන්යානා ලියාපදිංචි ලේඛණයේ ලියාපදිංචි කරන ලද ‍‍‍හෝ විදේශ රටක ලියාපදිංචි කරනු ලැබූ, මඟීන් හා භාණ්ඩ ප්‍රවාහනයේ යෙදෙන ගුවන් යානා වේ.
එවැනි සිවිල් ගුවන් යානාවකට ශ්‍රී ලංකාව තුල කිසියම් අනතුරක් සිදුවූ වහාම එම ස්ථානයට වාර්තා කර එහි විමර්ශන කටයුතු ආරම්භ කිරීම ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නොපමාව සිදුකළ යුතු අතර, සිද්ධියට අදාල සියලුම තොරතුරු (ලිඛිත, ද්‍රව්‍යමය, වාචික හා අනෙකුත් සියලු) හැකි ඉක්මනින් රැස්කර ගැනීම සහ ඒවා ආරක්ෂාකර ගැනීමද  අත්‍යවශ්‍යවේ.

එබැවින් එවැනි අනතුරක් සිදුවූ වහාම ඒ පිළිබඳව දන්නා සියලු තොරතුරු තම අනන්‍යතාවයද තමන් නැවත සම්බන්ධකර ගත හැකි දුරකථන අංකයන්ද සහිතව හැකි ඉක්මනින් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියට සහ ළඟම ඇති පොලිස් ස්ථානයට දැන්වීම මහජනතාවගෙන් කාරුණිකව අපේක්ෂා කරනු ලැබේ.
ඒ සඳහා පහත සඳහන් දුරකථන අංක ඔස්සේ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය සම්බන්ධ කර ගත හැකි වේ.
කාර්යාල වේලාවේදී
0815-1615 පැය (සති අන්ත හා නිවාඩු දිනවල හැර)
011 2333447 / 011 2391462 / 011 2 433213 දිගුව - 801/804
කාර්යාල වේලාවෙදී හෝ නොවන වේලාවේදී (පැය 24 තුළ)
0777 352081 / 0777 352082 / 0777 352083
ෆැක්ස් - 011 2424540 / 011 2440231

තවද, බොහෝ විට සිවිල් ගුවන් සේවා අධිකාරියේ විමර්ශන කණ්ඩායම අදාල ස්ථානයට ළඟාවීමට පෙර, අදාල ප්‍රදේශයේ පොලිස් නිලධාරි මහතුන් එම ස්ථානයට පැමිණෙන බැවින්, ඔවුන් පැමිණෙන තෙක් අනතුරු සිදුවූ ස්ථානයේ ඇති, විමර්ශන සඳහා වැදගත් වන සියලු ද්‍රව්‍යයන් (ගුවන්යානයේ කොටස්, වැනි දෑ) රැගෙනයාමට ඉඩ නොතබා එම ස්ථානය උපරිමයෙන් ආරක්ෂා කර දීමෙන් ඔබ‍ගේ දායකත්වය ලබාදීම මෙම විමර්ශන කටයුතු සාර්ථක කර ගැනීමට මහත් පිටිවහලක් වනු ඇත.    

අපි ගුවනට නැගුණ හැටි - The Way we "Taken off"


රාවණාගේ යුගයේදී ලංකාවේ ගුවන ජයගත් බවට පුරාවෘත සහ යම් යම් සාක්ෂි තිබුණත් 1903 දී ඇමරිකාවේ දී ගුවන් යානය සොයා ගැනීමත් සමග ආරම්භ වන යුගයේ දී ලාංකික ගුවන් ක්ෂේත්‍රයේ පිබිදීම පිළිබද සාක්ෂි සහ වාර්තා තිබේ.  එනම් ගුවන් යානය සොයා ගැනීමෙන් දශකයකට පසුව ලාංකීය ගුවන පිබිදීම ආරම්භ විය. මුලින්ම 1911 කොලින් බ්‍රව්න් (Colin Browne ) නැමැති ඉංග්‍රීසි ජාතිකයා විසින් බ්ලැරියට් (Bleriot monoplane) වර්ගයේ ගුවන් යානයක් මෙරටට ගෙන්වන ලදී. මෙය ඉතා දුර්වල සහ සැහැල්ලු ගුවන් යානයක් වූ අතර මෙම යානය නැවෙන් ගොඩබාන ලද්දේ 1911 සැප්තැම්බර් 12 වන දින දීය. මෙම යානය එම වර්ෂයේ නොවැම්බර් මස මහජනයා සඳහා ප්‍රදර්ශණය කරන ලද අතර  මෙහිදී ද ගුවන් ගත වීමක් සිදු නොකරන ලදී. එහිදී ගුවන් යානය පණ ගන්වා පෙන්වීම පමණක් සිදු කරන ලදී. මේ පිළිබඳව පළකරන ලද දැන්වීම පහත දැක් වේ.


 බ්ලැරියට් වර්ගයේ යානයක්
මේ අතරේදී ජර්මානු ජාතිකයෙකු වන හර් ඔස්ටර් (Herr Oster) තවත් ගුවන් යානයක් ගෙන්වන ලද අතර මින් පසුව බ්‍රව්න් මහතා සහ ඔස්ටර් මහතා අතර ලංකාවේ පළමු ගුවන් ගත වීම සඳහා තරඟයක් තිබිණි. කෙසේ වෙතත් මොවුන් දෙදෙනාටම සාර්ථක ගුවන්ගත වීමක් (Take off) සහ ගොඩබෑමක් (Landing) සිදු කිරීමට අපහසු විය. කෙසේ වෙතත් ඔස්ටින් විසින් රාජකීය විදුහලේ දී සාර්ථක ගුවන් ගත වීමක් සිදු කර වටයක් කැරකැවුණ නමුත් ඔහුට ගොඩබෑම සාර්ථක කර ගැනීමට නොහැකි විණි. මෙහිදී අනතුරකට පත් වුණු යානය පිළීසකර කරන ලද්දේ වඩුබාස් කෙනෙකු විසින් බව පුවත්පත් වල සඳහන් වේ. කෙසේ වෙතත් පළමු සාර්ථක ගුවන් ගමනක් සිදු කර ඇත්තේ ප්‍රංශ ජාතිකයෙකු වන මාර්ක් පෝප් (Marc Poupe) විසිනි. ඒ 1911 දෙසැම්බර් 10 බව සදහන් වේ.
මේ කාලය වන විටත් ගුවන් ධාවන පථයක් නොතිබූ අතර 1935 දී නව ධාවන පථයක් රත්මලානේ දී සකස් කරන ලදී. මේ ධාවන පථයට මුලින්ම යානයක් ගොඩ බස්සවන ලද්දේ    මදුරාසි ගුවන් සමාජයේ (Madras Flying Club) හැරල්ඩ් ටයන්ඩේල්-බිස්කෝ මහතා (Mr. Harold Tyndale-Biscoe) විසින් වන අතර ඒ 1935 නොවැම්බර් මස 27 වන දින දීය. මෙහි දී ගොඩබස්සවන ලද්දේ “හැවිලන්ඩ් පුස් මොත්“ (Havilland Puss Moth) යානයක් විය.
  
මේ කාලයේදී ගුවන් යානා ගෙන් වීම වැඩි වීම නිසා සිවිල් ගුවන් යානා ලියා පදිංචි කිරීම ආරම්භ කරන ලද අතර කාන්තාවන් ද පෞද්ගලික නියමු බලපත්‍ර ලබා ගැනීම විශේයෙන් කැපී පෙනිණ. (ශ්‍රී ලංකාවේ ගුවන් ඉතිහාසයේ කාන්තා නියෝජනය පිළිබඳ ලිපියක් ඉදිරියේදී පළ කිරීමට අදහසක් ඇත)
ඉන්පසු 1938 වසරේ පෙබරවාරි මස 28 වන දින ලංකාව සහ එක්සත් රාජධානිය අතර ගුවන් තැපැල් මෙහෙයුම් ආරම්භ කරන ලදී. මේ සඳහා ඉන්දියාවේ “ටාටා“ ගුවන් සමාගමේ (TATA Airlines) “වැකෝ බයිප්ලේන්“  (WACO Biplane) යානයක් උපයෝගී කරන ලදී.


මේ කාලයේ දී ලංකාවේ උපත ලද කාන්තාවක් ද ගුවන් නියමුවරියක් ලෙස රාජකීය ගුවන් හමුදාවට බැඳී ඇත.
මින් පසුව ලංකාවේ ගුවන් ඉතිහාසයේ ඉදිරි දිග හැරුම මාගේ මීට කලින් පළ කරන ලද “එයාර් සිලෝන් ඉතිහාසය“ නැමැති ලිපියේ සඳහන් කර ඇත. දැනට මේ ඇති. තවත් විස්තර ඉදිරියෙදී බලමු.