Airbus A350 XWB–( 2 කොටස)

 

මෙම ලිපියේ පළමු කොටස මෙතනින් බලන්න

ප්‍රති නිර්මාණය සහ දියත් කිරීම.

2006 වර්ෂයේ “ෆාන්බරෝ“ ගුවන් ප්‍රදර්ශණයේ දී ප්‍රතිනිර්මාණය කරන ලද ගුවන් යානය A350 XWB බවට එයාර් බස් සමාගම නිවේදනය කරනු ලැබූ අතර සමහර උපකල්පන වූයේ මෙම නව යානය A370 හෝ A280 ලෙස නම් කරනු ලැබිය හැකි බවයි. කෙසේ හෝ එම ප්‍රදර්ශණයේ දී මෙම ගුවන් යානා 20 ක් මිලදී ගැනීමට සිංගප්පූරු ගුවන් සමාගම තිරණය කරන ලද අතර තවත් 20ක් ඉදිරියේ දී මිලදී ගන්නා බව සදහන් විය. මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ සිංගප්පූරු ගුවන් සමාගම පවසා සිටියේ එයාර්බස් සමාගම පාරිභෝගික අදහස් සැළකිල්ලට ගෙන නව යානය සැළසුම් කිරීම තම මිලදී ගැනීමට හේතු වූ බවයි.

මෙම නව සැළසුමේ දී ගුවන් යානයේ ආසන සැළසුම එක් පෙළකට ආසන 10 ක් වන ලෙස සකස් කරනු ලැබූ අතර A330 යානයේ එය 8 ක් ලෙසද B787 යානයේ එය 8-9 ලෙසද සැකසී තිබිණ. මෙම නව සැළසුම අනුව නව A350 ගුවන් යානයේ මෙහෙයුම් දුර කිලෝමීටර් 15000 ක් විය.

2006 වර්ෂය වන විට එයාර්බස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් A350-800, A350 -900 සහ A350-1000 සැළසුම් අනුමත කරනු ලැබූ මුත් එය පුමාද විමට හේතු වූයේ ඒයාර් බස් 380 යානයේ දියත් කිරීමේ සැළසුම් හේතුවෙනි. කෙසේ හෝ 2013 වර්ෂයේ මැද භාගයේදී A350 -900 යානයක් එළි දැක් වීමට අදහස් කරනු ලැබූ අතර ඉතිරි වර්ග දෙක 2014 වර්ෂයේ ඉදිරිපත්කිරීමට සැළසුම් කෙරිණ. ස්ථිර වශයෙන් ම මෙම යානා මිළදී ගැනීමට පාරිභෝගිකයෙකු ඉදිරිපත් වූයේ 2007 වර්ෂයේ දීය. ඒ Pegasus Aviation Finance Company සමාගමයි.

මේ අතර නව XWB සැළසුම් හේතුවෙන් ගුවන් යානය නිපදවීමේ කාර්යයේ වසර දෙකක ප්‍රමාදයක් සිදු වූ මුත් එයාර්බස් සමාගම මුලින් සැළසුම් කළ පරිදි 2013 මැද භාගයේ දී නව යානය එළි දැක්වීමට අදහස් කරගෙන තිබිණ. ඒ වගේ ම මුලින් ඇස්තමේන්තු කළ මුදල වූ ඇමරිකන් ඩොලර් බිලියන 5.3 ක් වූ මුදල මෙම ප්‍රමාදය නිසා දෙගුණයකින් වැඩි වීම ද බලරපතල කාරණයක් විය.

Design phase සැළසුම් අවධිය

බෝයිං සමාගම විසින් එහි B787 ගුවන්යානයේ බඳ සැකසීම සඳහා යොදා ගන්නා ලද සංයුක්ත අමුද්‍රව්‍ය (composite materials) ඒ සඳහා සුදුසු නොවන බව සඳහන් කරමින් ඔවුන්ගේ නව නිර්මාණය වන A350 XWB සඳහා කාබන් තන්තු වලින් නිර්මිත පැනල යොදමින් බඳ සකසන බව සඳහන් කළේය. නමුත් නඩත්තු කටයුතු සම්බන්ධයෙන් පැන නැගුන විවිධ විරෝධතා හේතුවෙන් එම අදහස වෙනස් කරමින් ඔවුන් ද සංයුක්ත අමුදව්‍ය කෙරෙහි අවධානය යොමු කලෝය.

ගුවන් යානයක අතිශය වැදගත්ම කොටසක් වනුයේ එහි එන්ජිම වන අතර බෝයිං සමාගම විසින් නිර්මාණය කරන ලද B787 ගුවන් යානයේ එන්ජින් වලට වඩා වැඩි කාර්යක්ෂමතාවයකින් යුතු එන්ජිමක් සකස් කිරීමට ඔවුන් අදහස් කර තිබිණ. රෝල්ස් රොයිස් සමාගම විසින් නව එන්ජින් සැපයීමට එයාර් බස් සමාගම සමග ගිවිසුම් අත්සන් කෙරිණ.

ගුවන් සංතරණ සහ විද්‍යුත් උපකරණ සැපයීමට ප්‍රංශය මූලික කර ගත් සමාගමක් වන Thales Group සමග ගිවිසුම් ගත වූ එයාර් බස් සමාගම තිරස් ස්ථායිකාරකය (Horizontal stabilizer) සැපියීම සඳහා එක්සත් ජනපදය මූළික කර ගත් Rockwell Collins සමාගම සහ Moog Inc සමාගම සමග ගිවිසුම් ගත විය. මේ අතර ගුවන් යානයේ ඇතුළත සැකසුම නිර්මාණය කිරීම සඳහා BMW සමාගමට පැවරූ අතර අදාළ විනෝදාත්මක උපකරණ සහ සන්නිවේදන සැපයීම සඳහා Panasonic Avionics Corporation සමාගමට පැවරීය.

නිෂ්පාදනය සහ පරීක්ෂාව

එයාර් බස් සමාගමට ජාත්‍යන්තර සහායෝගය නිරන්තරයෙන් ලැබුණ අතර Flight Global සඟරාවට අනුව බටහිර යුරෝපයේ සහ ඇමරිකාවේ එහි නව කර්මාන්තශාලා 10 ක් පමණ ආරම්භ කරන ලදී. පියාපත් නිර්මාණය වෙනවෙන්ම වේල්සයේ “බ්‍රෝග්ටන්“ හි පවුම් මිලියන 570 ක වියදමින් නව කර්මාන්තශාලාවක් ආරම්භ කරන ලදී. ඒ වගේම 2011 වර්ෂයේ දී චීනයේද නව කර්මාන්තශාලාවක් ආරම්භ කරන ලදී. මෙම නව පහසුකම් යටතේ ගුවන්යානා එකලස් කිරීමේ කාලය අඩු කර ගැනීමේ උත්සාහයක එයාර්බස් මාගම නිරත වූ අතර මෙම නව කර්මාන්ත ශාලා වල A350 යානය සැකසීම ඇරඹිය. ඒ අනුව 2009 වර්ෂයේ දෙසැම්බර් මස දී පමණ ව්‍යුහාත්මක කොටස් සකස් කිරීම ඇරඹු අතර ස්පාඤ්ඤයේ ‘ඉලෙස්කාස්‘ (Illescas) කර්මාන්තශාලාවේ යානයේ බඳ කොටස නිර්මාණය කිරීම ආරම්භ කෙරිණ. ඒ වගේම 2010 අගෝස්තු වන විට ඔවුන් ගුවන් යානයේ පියාපත් බඳට සවි වන centre wingbox නම් කොටස සකස් කිරීම ආරම්භ කෙරිණ.

නව රෝල්ස් රොයිස් එන්ජින් පරීක්ෂා කිරීම 2011 වර්ෂයේ මුල් කාලයේ ආරම්භ කළ අතර එම වර්ෂය අවසානයේ එවා සහතික කිරීම අවසන් කර තිබිණ. එන්ජින් නිපදවීම සිදු කර තිබුනේ 2010 වර්ෂයේ ජූනි මාසයේ දීයි. A350 ගුවන් යානයේ ප්‍රථම ඉදිරිපස බඳ කොටස 2011 දෙසැම්බර් 289 වන දින කර්මාන්තශාලාවට ලැබුණ අතර 2012 අප්‍රේල් මාසයේ 5 වන දින එකලස් කිරීම ආරම්භ කරන ලදී.

 

තුන්වන කොටස බලාපොරොත්තු වන්න

Airbus A350 XWB–( 1 කොටස)

Airbus A350 XWB යානය පසුගිය 14 වන දින (14 ජූනි 2013) සිය මංගල ගමන සිදු කලේය. මේ සම්බන්ධයෙන් මින් පෙර ලිපියක් පළ විය. එහි සඳහන් කළ පරිදි මේ ලිපි පෙළින් එම යානය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ඔබ වෙත ගෙන එමි. ලිපිය දිගු නිසා කොටස් කීහිපයකට මෙහි පළ කරමි.

 

 

Airbus-A350XWB_02-Desktop_HD

දිනෙන් දින දියුණු වන ගුවන් සේවා ක්ෂේත්‍රයේ නව ගුවන් තොටුපල, තාක්ෂණය සහ නව ගුවන් යානා ආදිය ඉදිරිපත් වීම නිරන්තරයෙන් සිදුවේ. විශේෂයෙන් ලෝකයේ ප්‍රධාන ගුවන් යානා නිෂ්පාදන තරඟාකාරීත්වයේ දී යුරෝපයේ (ප්‍රංශයේ) “එයාර්බස්“ ගුවන් යානා නිෂ්පාදන ආයතනයත් ඇමරිකා එක්සත් ජනපදයේ “බෝයිං“ ගුවන් යානා නිෂ්පාද සමාගමත් අතර වඩා දියුණු ගුවන් යානා නිෂ්පාදනය සඳහා තරඟයක් ඇති වී තිබේ. “බෝයිං“ සමාගම එහි වඩා කාර්යක්ෂම ගුවන් යනා නිෂ්පාදනය වශයෙන් “බෝයිං 787“ ගුවන් යානය පසුගිය දිනක එළි දැක් වූ අතර එයට තරඟකාරීව “එයාර්බස්“ සමාගම විසින් නව ගුවන් යානයක් එළි දක්වන බව පසුගියා දා නිවේදනය කෙරිණ. එය නමින් “එයාර් බස් 350 එක්ස් ඩබිලිව් බී“ (Airbus A350 XWB ) වේ. මෙම ලිපියෙන් එම ගුවන් යානය ආශ්‍රිත විවිධ තොරතුරු විමසා බලමු.

මෙම ගුවන් යානය පිළිබඳ ව අප විමසා බැලීමට තවත් විශේෂ හේතුවක් වශයෙන් දැක්විය හැක්කේ “ශ්‍රීලන්කන්“ ගුවන් සමාගම විසින් ද මෙම ගුවන් යානා වර්ගයෙන් කීහිපයක් මිල දී ගැනීමට අදහස් කර තිබීමයි.

Airbus A350 XWB ගුවන් යානාය “දිගු දුර“ මෙහෙයුම් සඳහා භාවිතා කළ හැකි “පුළුල් බඳ“ සහිත ගුවන් යානයකි. එය නිෂ්පාදනය කරනු ලබන්නේ යුරෝපා ගුවන් යානා නිෂ්පාදන සමාගම වන ප්‍රංශයේ පිහිටි “එයාර් බස් ඉන්ඩස්ට්‍රීස්“ සමාගමයි. කාබන් තන්තු වලින් වැර ගන්වන ලද පොලිමර් වලින් පියාපත් සහ බඳ නිෂ්පාදනය කරනු ලබන පළමු “එයාර්බස්“ ගුවන් යානය මෙය වන අතර මගීන් 250 ත් 350 ත් අතර ප්‍රමාණයක් ගෙන යාමට සැළසුම් කරනු ලැබේ.

Airbus A350 ගුවන් යානය නිෂ්පාදනය පිලීබඳ මුල්ම අදහස ඇති වූයේ 2004 වර්ෂයේ දී වන අතර ඔවුන් මුලින්ම අදහස් කරනු ලැබූවේ Airbus A330 ගුවන් යානයේ බඳ කොටස යොදා ගිනිමින් නිෂ්පාදනය කිරීමට වුවද සමහර පාරිභෝගිකයින් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඉන්පසුව 2006 වර්ෂයේ දී යළි සැළසුම් කරන ලද අතර එයා Airbus A350 XWB ලෙස නම් කෙරණ. මෙහි XWB යනුවෙන් හඳුවනුයේ eXtra Wide Body (අමතර පුළුල් බඳ) යන්නයි. එයාර්බස් සමාගම පවසනුයේ මෙම නව ගුවන් යානය වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුතු වන අතර “බෝයිං 787“ යානයට වඩා 8% ක මෙහෙයුම් කාර්යක්ෂමතාවයක් ඇති බවයි.

මෙම ගුවන් යානයේ මුල්ම පාරිභෝගිකයා වීමට දැනට සුදුසුකම් ලබා ඇත්තේ ‘කටාර්“ ගුවන් සමාගම වන අතර ඔවුන් 2014 වර්ෂයේ මැද භාගයේ පමණ මෙම යානය සේවයේ යෙදවීමට අදහස් කරනු ලබයි. දැනට මෙම වර්ගයේ ගුවන් යානා 600 ට වැඩි ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බව එයාර්බස් සමාගම පවසයි.

ගුවන් යානයේ විකසනය

මුල් අවධියේ සැළසුම්

boeing-787-8-gossip-1884623089

Boeing 787 Dreamliner යානය

බෝයිං සමාගම විසින් නිෂ්පාදනය කිරීමට සූදානම් කර තිබූ Boeing 787 Dreamliner යානය ඔවුන් හඳුන්වා තිබුනේ එයාර් බස් සමාගමේ Airbus A330 ගුවන් යානයට අභියෝගයක් ලෙස වුවද එයාර්බස් සමාගම එය ප්‍රතික්ෂේප කරනු ලැබූවේ එම බෝයිං යානය Airbus A330 යානයට ප්‍රතික්‍රියාවක් පමණක් බවත් ඒ සඳහා වෙනත් තරඟකාරී යානයක් නිපදවීම අනවශය බවත්ය. එහෙත් ගුවන් සමාගම් වලින් බොයින් ඩ්‍රීම්ලයිනර් යානයට තරඟකාරී යානයක් නිපදවන ලෙස එයාර්බස් සමාගමට නිරන්තරයෙන්ම ඉල්ලීම් කරනු ලැබූ අතර එහි ප්‍රථිඵලයක් ලෙස එයාර් බස් සමාගම විසින් A330-200Lite යනුවෙන් වූ A330 යානයේ සුළු වෙනස්කම් කරමින් සැකසීමට යෝජනා ගෙන එන ලදී. එහෙත් එය ක්‍රියාවට නැංවීම සිදු නොවීය.

කෙසේ වෙතත 2004 වර්ෂයේ දෙසැම්බර් මස අග භාගය වන විට එයාර්බස් සමාගම නව ගුවන් යානයක් සැකසීම පිළිබඳ තීරණයක් ගෙන තිබූ අතර එය මෙතෙක් නිපදවූ ගුවන් යානා වලට වඩා වෙනස් නව නිර්මාණයක් ලෙස එළි දැක්වීමට කටයුතු යොදා තිබිණ. ඒ වන විට එම නව යානය A350 ලෙස නම් කර තිබිණ.

ඉන්පසුව 2005 වර්ෂයේදී පැරිස් ගුවන් යානා ප්‍රදර්ශණයේ දී මෙම නව ගුවන් යානා 60 ක් මිළදී ගැනීමට කටාර් ගුවන් සේවය කැමැත්ත පළ කළ අතර 2006 වර්ෂයේ දී ඒ සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කරන ලදී. පසුව එමිරේට්ස් සමාගම ද මේ සඳහා කැමැත්ත පළ කරන ලදී.

කෙසේ වෙතත් 2005 වර්ෂයේ දී නව ගුවන් යානය නිපදවීමේ කටයුතු නිල වශයෙන් ආරම්භ වූ අතර මේ සඳහා ඇස්තමේන්තු ගත මුදල වූයේ යුරෝ බිලියන 3.5 ක වියදමකි. මූලිකවම ආසන 250 ත් 300 ත් අතර ගණනක යානයක් නිපදවීමට අදහස් කරනු ලැබූ අතර එය A330 යානයේ වැඩි දුර සංවර්ධනයක් ලෙස ක්‍රියාවට නැංවීමට අදහස් කෙරිණ. ඒ අනුව බඳ A330 යානයේ ආකාරයටම තබා එන්ජින් සහ පියාපත් නවතාවයකින් යුතුව සකස් කිරීමට තීරණය කෙරිණ. කෙසේ වෙතත් මෙම විවාදාත්මක සැළසුම නිසා යානය නිපදවීමට මූලික වශයෙන් ඇළුමිනියම්-ලිතියම් යොදා ගැණින. මූලික වශයෙන් ආකාර දෙකකට මෙම සැළසුම් සිදු කරනු ලෑබු අතර A350-800 වර්ගය කිලෝමීටර් 16300 ක දුරක් ධාවනය කළ හැකි සහ තෙවැදෑරුම් ආසන වර්ගීකරණය (පළමු පන්තිය, ව්‍යාපාරික පන්තිය සහ පිරිමැසුම් පන්තිය) අනුව ආසන 253 කින් සමන්විත විය. අනෙක් වර්ගය A350-900 වර්ගය වූ අතර එහි මෙහෙයුම් දුර කිලෝමීටර් 13900 ක් විය. තෙවැදෑරුම් ආසන සැළසුමේ දී ආසන 300 අඩංගු කිරීමට අදහස් කෙරිණ. මේ වන විට මෙම A350 යානය බෝයිං සමාගමේ B787 වර්ගයේ යානයට තරඟකාරී ලෙස ඉදිරිපත් කෙරිණ.

එසේ වුවද මෙම නව යානයට විවිධ ගුවන් සමාගම් විශේෂයෙන් සිංගප්පූරු ගුවන් සමාගමෙන් සහ එයාර් බස් සමාගමේ විශාලතම පාරිභෝගිකයින්ගෙන් විවිධ විවේචන එල්ලවූ අතර පාර්භෝගිකයින්ගෙ අවශ්‍යතා ඉටු කිරීමට එම නව යානා වල සැලසුම් පුමාණවත් නෙවෙන බවට චෝදනා එල්ල විය. මෙහිදී අදහස් දැක්වූ එයාර් බස් සමාගම පැවසූයේ තමන්ගේ අරමුණ දීර්ඝ කාළීන වශයෙන් වෙළඳපළට අවශ්‍ය ආකාරයට සහ පාරිභෝගිකයින් ට අවශ්‍ය ආකාරයට නිෂ්පාදනයක් එළි දැක්වීම බවයි.

 

මීළඟ කොටස බලාපොරොත්තු වන්න.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම නව එයාර්බස් 350 ගුවන් යානා 4 ක් සහ එයාර්බස් 330 යානා 6 ක් තෝරා ගනී. SriLankan Airlines opts for six A330’s and four A350 XWB’s

කාර්යක්ෂම දිගුදුර ගුවන් යානා ඇණිය සඳහා ජයග්‍රාහී සුසංයෝගය

Winning combination for efficient long haul fleet

A350-900_Srilankan

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම A350-900 යානා 4 ක් සහ A330-300 යානා 6 ක් මිල දී ගැනීම සඳහා එයාර්බස් සමාගම සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. එයාර්බස් ගුවන් යානා භාවිතා කරන ගුවන් සමාගමක් වශයෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම එහි දිගු දුර ගුවන් ගමන් සඳහා ඉහළ ශක්‍යතාවයක් ඇති එයාර් 330 යානා සහ නවතම හඳුන්වා දීම වන එයාර්බස් 350 යානා යොදා ගනිමින් එහි යානා ඇණිය යාවත්කාලීන කිරීමට අදහස් කරයි.

800x600_1371634164_Srilankan_announcement_3

“දැනටමත් අපගේ එයාර්බස් 330 යානා දිගුදුර මෙහෙයුම් ඉතා සාර්ථකව, කාර්යක්ෂමව සහ මගීන්ගේ සුවමහසුව වෙනුවෙන් සේවය කරමින් සිටිනවා. අළුතින් එයාර්බස් 330 යානා සහ නවතම කාර්යක්ෂම ගුවන් යානා හඳුන්වා දීමක් වන එයාර්බස් 250 ගුවන් යානා අපගේ ආර්ථික තත්වයන් තවදුරටත් ඉහළ නංවනු ඇත.“ යනුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පැවසීය.

“ අප ඉතාමත් සතුටුවෙනවා ශ්‍රීලන්කන් ගුවන් සමාගම අප කෙරෙහි තබා තිබෙන විශ්වාශය අළුත් කරවා ගැනීම සම්බන්ධයෙන්. ජයග්‍රාහී සුසංයෝගයක් වන එයාර්බස් 330 හා එයාර්බස් 350 යානා ශ්‍රීලන්කන් ගුවන් සමාගමට මගීන් වෙත ඉතා ඉහළ සුවදායී සේවයක් සැළසීමටත් සුපිරි කාර්යක්ෂමතාවයක් සෑම අවස්ථාවකම ළඟා කර ගැනීමටත් හැකියාව ලබාදෙනු ඇති.“ යනුවෙන් එයාර්බස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෝන් ලීහි (John Leahy) පැවසීය.

එයාර්බස් ගුවන් යානා අසහාය නියමු කුටියක් සහ පොදු මෙහෙයුම් තත්වයන් ලබා දෙමින් ගුවන් සමාගම් වල එකම කාර්ය මණ්ඩලය, නඩත්තු ඉංජිනේරුවන් යොදා ගැනීමත් සහ මෙහෙයුම් නම්‍යතාවයත් නිසා ගුවන් සමාගමට ආර්ථික වශයෙන් වාසී දායී තත්වයක් ඇති කිරීමට සමත් වේ.

අද වන විට එයාර් බස් ගුවන් යානා අතර A330 යානා වැඩියෙන්ම භාවිතා වන පුළුල් බඳ සහිත ගුවන් යානා වර්ගයයි. එයාර්බස් සමාගමේ ගුවන් යානා ලොව වටා ගුවන් සමාගම් 100 ට වැඩි ප්‍රමාණයක් විසින් 1000 ට වැඩි යානා ගණනක් භාවිතා කරයි. එලෙසම 1200 ක් පමණ ඇණවුම් ද ලැබී තිබේ. නව නිෂ්පාදන වැඩිදියුණු කිරීම් සමග එයාර්බස් 330 යානය එම වර්ගයේ අනෙකුත් යානා අතර වඩා පිරිමැසුම්දායක සහ විශ්වාසනීයත්වයෙන් ඉහළ යානය බවට පත්වෙමින් තිබේ. මගීන් 270ත් 350ත් අතර ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සඳහා සැළසුම් කරනු ලබන නවතම ගුවන් යානය වන A350 XWB යානය මධ්‍යම ප්‍රමාණයේ දිගුදුර මෙහෙයුම් සිදු කළහැකි යානයකි. ලොව වටා පාරිභෝගිකයින් දැනටමත් යානා 600 ට වඩා වැඩි ඉල්ලුමක් ඇති මෙම A350 XWB යානා වල ඉතා ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහ අඩු කාබන් ඩයි ඔක්සයිඩ් පිටකිරීමක් සහිතයි.

 

එයාර්බස් සමාගම විසින් නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනය මෙතනින් බලන්න. ඉහත පළවනුයේ එහි සිංහල පරිවර්තනයයි.

එයාර්බස් A350 XWB යානයේ කුළුඳුල් ගුවන් ගමන (Airbus A350 XWB maiden flight )

Airbus-A350XWB_01-Desktop_HD

පසුගිය 14 වන සිකුරාදා (2013 ජූනි 14) දිනයේ දී නිරිතදිග ප්‍රංශයේ ‘ටුලූස්‘ (Toulouse ) හි පිහිටි ‘බ්ලැග්නැක්‘ (Blagnac ) ගුවන් තොටුපලෙන් පිටත් වී පැය 4 යි මිනිත්තු පහකට පසුව විශ්ෂ්ඨ ගොඩබෑමක් සනිටුහන් කරමින් එයාර් බස් සමාගමේ නවතම හඳුන්වා දීම වන A350 XWB ගුවන් යානයේ MSN1 යනුවෙන් හඳුන්වනු ලැබූ පරීක්ෂණ ගුවන් යානය කුළුඳුල් ගුවන් ගමන සම්පූර්ණ කළේය.

image

ගුවන් ගමන අතරතුර ප්‍රධාන පරීක්ෂණ නියමු Peter Chandler නියමු කුටියේ සිට ප්‍රකාශ කරනු ලැබූවේ “සියළු දේ ඉතාමත් හොඳින්“ සිදුවන බවයි.

එයාර් බස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Fabrice Brégier අදහස් දක්වමින් “ මෙම පළමු ගුවන් ගමන වාර්තාගත කාලයක් තුළ සම්පූර්ණ කිරීමට සහයෝගය දැක් වූ මෙම ව්‍යාපෘතියේ සියල්ලන්ටම මා ස්තූතිවන්ත වනවා. ඒ වගේම අද දින මෙම ගුවන් ගමනේ යෙදුන කාර්ය මණ්ඩලය යානය ගුවනේ යායුතු දිශාවට මෙහෙයවමින් සිදු කරනු ලැබූ කර්තව්‍ය ද අගය කරනවා.“ යනුවෙන් පැවසීය. නවීන තාක්ෂණය කැටි කරමින් සකස් කළ නව A350 XWB ගුවන් එහා සංවර්ධනයේ අවසන් අදියරට එළඹ ඇති බවත් සඳහන් කළේය. “ එය දැන් සූදානම්. සහතික කිරීම් අවසන් වීමෙන් පසුව 2014 වර්ෂයේ දෙවන භාගයේ දී පමණ සේවයට එක් වීමට සූදානම්“ යනුවෙන් ද ඔහු වැඩි දුරටත් පැවසීය.

A350 XWB ගුවන් යානය ගුවන් ගතවන අවස්ථාවේ බර ටොන් 221 ක් පමණ විය. නැගෙනහිර ප්‍රංශයේ ගුවනේ ගමන් කරමින් තිබූ අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලය ගුවන් යානයේ ක්‍රියාකාරීත්වය මැන බලන “ගුවන් ලිපි කවරය“ (flight envelope ) පරීක්ෂාවට ද ලක් කෙරිණ.

(Flight Envelope - ගුවන් යානයේ සැළසුම් හැකියාවන් එහි ගුවනේ වේගය සහ උස හෝ බර ඉහළට එසවීමේ අනුපාතයට සාපේක්ෂව විමසා බලන විශේෂ ක්‍රමයකි)

මෙම පරීක්ෂණ ගුවන් ගමන ඡායාරූප ගත කිරීම සහ නිරීක්ෂණය කිරීම සඳහා ද ගුවන යානයක් ගුවන් ගත කර තිබිණ.

A350 ගුවන් යානයේ මෙම පරීක්ෂණ ගුවන් ගමනත් සමග ම ගුවන් යානා 5 ක් පමණ යොදාගෙන ගුවන් පැය 2500 ක් පමණ පියාසර කරන පරීක්ෂණ ගුවන් ගමන් ව්‍යාපෘතිය ඇරඹිණ. මින්පසු අවශ්‍ය සහතික කිරීම් ආදිය සිදු කිරීමෙන් පසු මෙම ගුවන් යානයේ “දියත් කිරීමේ“ ගුවන් සමාගම වන “කටාර්“ ගුවන් සමාගම සමග 2014 වර්ෂයේ දෙවන භාගයේ දී පමණ සේවය ට එක් වීමට නියමිතය.

” A350 ගුවන් යානය නව එයාර් බස් සමාගම නිරූපණය කරනවා. මම දන්නවා මම මේ ව්‍යාපෘතියට වැඩි පීඩනයක් යෙදවූවා. නමුත් අපට අවශ්‍ය වුනේ මෙම යානය නිපදවන්න“ Brégier පවසා සිටියා. “මේ ව්‍යාපෘතිය වේගයෙන් ඉදිරියට යනවා. එහෙත් හදිසියක් නැහැ. අපි ලබන වසරේ දෙවන භාගයේ දී මෙම යානය වෙළඳපලට යොමු කරනවා. එය අපේ මීළඟ අභියෝගය. අප එයට උත්සාහයක් දරනවා. අපි ඉදිරි වසර 20 තුළදී දිගු දුර ගුවන් යානා 6000 ක් පමණ වෙළඳපලට ගෙන ඒමට අදහස් කරන අතර 50%ක පමණ වෙළඳපල කොටසක් තබා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා“ ඔහු වැඩි දුරටත් පැවසීය..

A350 XWB ගුවන් යානය මධ්‍යම ප්‍රමාණයේ සහ දිගු දුර මෙහෙයුම් සිදු කළ හැකි ගුවන් යානයකි. එය සංස්කරණ 3කින් එළි දක්වන අතර ආසන පන්ති 3 ක සැලසුමේදී මගීන් 270 ත් 350 ත් අතර ප්‍රමාණයකට පහසුකම් සලසයි. සාපේක්ෂව25% ක පමණ ඉන්ධන ඉතිරියක් ද එවැනිම වූ කාබන්ඩයොක්සයිඩ් නිකුතුවේ අඩුවීමක් ද තිබීම මෙම යානාවේ විශේෂත්වයකි.

මේ වන විට ලොව වටා පාරිභෝගිකයින් 33 කින් ගුවන් යානා 613 ක ඇණවුම් ලැබී තිබෙන බව එයාර් බස් සමාගම පවසයි.

 

මෙම ප්‍රථම ගුවන් ගමන මෙතනින් නරඹන්න.

 

මෙම නව ගුවන් යානය ශ්‍රීලන්කන් ගුවන් සමාගමට ලබා ගැනීමේ අදහසක් ද තිබුණ අතර ඉදිරියේ දී ලිපියකින් මේ යානයේ සම්පූර්ණ විස්තරයක් ගෙන ඒමට අදහස් කරමි.

Bag2Go - තනියෙන් යන නවීන ගමන් මලු

 

ගුවන් ගමනක් ගොස් ඇති පුද්ගලයෙකුට තම ගමන් මලු පිළිබඳ සමහර අවස්ථාවල ගැටළු පැන නැගී අතිවාට කිසි සැකයක් නැහැ. සමහර විට තමන් ගමන් මල්ල අස්ථාන ගත වීම, සම්පුර්ණයෙන් නැති වීම, අලාභ හානි වීම, භාණ්ඩ සොරකම් කිරීම, නිවැරදි වේලාවට ගමනාන්තයට ළග නොවීම ආදී දහසකුත් එකක් ගැටළු මේ අතර තිබෙන්න ට හැක. දැනට ගුවන් මගීන් සිදු කරනුයේ තම ගමන් මල්ල ටිකට්පත් පරීක්ෂා කරනු ලබන ස්ථානයේ දී ගුවන් සමාගමට භාර දීමයි. එහිදී ගුවන් සමාගම එහි කේත අංක සහිත “ටැගයක්“ සවිකරනු ලබයි. එහි බාර් කේතයෙහි ගමන් මල්ල යායුතු ස්ථානය ආදිය සඳහන් වේ. ගමන් මල්ල අදාල ස්ථානයට ගිය පසු මගියා විසින් එය ලබා ගත යුතුය. මෙහිදී ද මගියාට ගමන් මලු ලබා දීමට සහ ලබා ගැනීමට දිගු පෝලිමක සිටීමටද සිදු වේ.

tag

මෙම කටයුතු බොහෝ විට මගියාට අපහසුකම් ඇති කරන තත්වයන් වන අතර තම නිවසින්ම හෝ හෝටලයෙන් බෑගය ගෙන එය තම ගමනාන්තයේ නිවසට හෝ හෝටලයට ලබා ගැනීමට ක්‍රමයක් තිබේ නම් එය මගියාට මහත් වූ පහසුවකි. එමගින් ගුවන් තොටුපල වල දිගු පෝලිම් ද අඩු වේ. කාලය සහ මුදල් ඉතිරි වේ.

checking

මෙය මගීන්ගේ සිහිනයක් ලෙස හැඳින්විය හැකි අතර එය සැබෑ වන දිනය වැඩි ඈතක නොවන බව පසුගිය දා ප්‍රංශයේ දී පැවති 50 වන “පැරිස් ගුවන් ප්‍රදර්ශණයේ“ දී පැහැදිලි විය. මෙහිදී ගුවන් යානා නිෂ්පාදකයෙක්, බෑග් නිෂ්පාදකයෙක් සහ තොරතුරු තාක්ෂණ ආයතනයක් එක්ව මෙම නව නිපැයුම හඳුන්වා දීමට සමත් විය. මෙම සියළු දෙනාම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විය. නව හඳුන්වා දීම මගින් “බුද්ධිමත්“ බෑගය තනිව අවසන් ස්ථානයට ගමන් කරන අතර බෑගයත් සමග ගමන් කරන මගීන්ගේ අමිහිරි මතකයන් අතීතයට එක් කිරීමට හැකිය.

“බාර් කේතයේ“ සියළු තොරතුරු අඩංගු වේ.

bag

නව බෑගය

මෙම නව බුද්ධිමත් බෑගයට තිරයක් සහිත රේඩියෝ මොඩියුලයක් සවිකර ඇත. මගියා විසින් තම නවීන ජංගම දුරකථනයේ (smartphone) වැඩසටහනක් (app) මගින් තම ගුවන් ගමනේ විස්තර ඇතුල් කරනු ලබන අතර එය ගුවන් සමාගම වෙත ගමන් කරයි. එමගින් “බාර් කේතයක්“ නිපදවා බෑගයේ ඇති රේඩියෝ මොඩියුලයට එවයි. මෙම කේතය මගියාට ම පමණක් අනන්‍ය එකක් වන අතර ගමන් බෑගය පරීක්ෂා කිරීමට සහ ගමනාන්තය දක්වා යොමු කිරීමට එය වැදගත් වේ. එක් එක් ගුවන් යානය සඳහා වෙන් වෙන් වශයෙන් කේත නිපදවන අතර බෑගයේ බර, හිමිකරු සහ ගුවන් ගමනේ තොරතුරු එහි අඩංගු වේ. මෙම තොරතුරු නිසා ගුවන් ගමන ප්‍රමාද වුවත්, ගුවන් ගමන වෙනස් වුවත් නැතහොත් අවලංගු වුවත් එසේත් නැති නම් සම්බන්ධිත ගුවන් යානය (Connecting Flight) නොතිබුණා වුවත් මෙම බෑගය කලින් සඳහන් කළ ගමනාන්තයට ළඟා වේ.

ගමන් බෑගය ගුවනේ තිබෙන අවස්ථාවේ හැර අන් ඕනෑම අවස්ථාවක ස්විචයක් ක්‍රියාත්මක කිරීම වැනි සරල ක්‍රියාවකින්ම මගියාට හෝ ගුවන් සමාගමට බෑගය තිබෙන ස්ථානය දැන ගැනීමට හැකියාව තිබේ. ඒ වගේම බෑගය ගුවන් ගමන අතරතුර විවෘත කලේ ද නැතිද යන වගත් එය සිදුවූයේ කුමන ස්ථානයකදී ද යන වගත් මෙම රේඩියෝ මොඩියුලය මගන් දැන ගත හැකි වේ. මෙම නව ක්‍රමය හඳුන්වා දීම මගින් මගියාට තම අත් බෑගය පමණක් රැගෙන ගුවන් ගමන යා හැකි අතර ටිකට් පරීක්ෂා කරන ස්ථානයේ හෝ ආපසු භාණ්ඩ ලබා ගන්නා ස්ථානයේ හෝ රැඳී සිටීමට අවශ්‍ය නොවේ. එමගින් මගියාට මෙන්ම ගුවන් සමාගමට ද වේලාව ඉතිරිකර ගැනීමට හැකිය. මීට අමතරව මගියාට තම බෑගය පිළිබඳ පූර්ණ හැසිරවීමේ බලය ලැබේ.

අස්ථානගත වූ ගමන් මලු සඳහා ගුවන් සමාගම් වලට ගෙවීමට සිදු වීම අවම වේ.

මෙම නව හඳුන්වා දීම මගින් ගුවන් සමාගමට ගමන් මළු හැසිරවීමේ වියදම අඩු වන අතර ගමන් මළු නැති වීම නිසා දරන්නට වන වන්දි ගෙවීම් අඩුවේ. ගුවන් තොරතුරු හා දත්ත සම්බන්ධ සුප්‍රසිද්ධ ආයතනයක් වන සීටා (SITA) ආයතනයට අනුව වසරකට ඩොලර් මිලියන 2.5 ක් පමණ නැතිවූ හෝ ප්‍රමාද වූ ගමන් මළු වෙනුවෙන් ගුවන් සමාගම් වලට මගීන් වෙත ගෙවීමට සිදු වේ.

T-Systems“ නැමති ආයතනය මෙම කටයුත්තේ දී තොරතුරු තාක්ෂණ අංශයෙන් කටයුතු කරන අතර ඔවුන්ගේ දත්ත මධ්‍යස්ථාන හරහා මෙම සම්බන්ධයන් ඇති වේ. මෙම කාර්යයේ අනෙක් හවුල් කරුවන් වන්නෙ එයාර් බස් ගුවන් යානා නිෂ්පාදන සමාගම සහ ජර්මනියේ RIMOWA බෑග් නිෂ්පාදන සමාගමයි. මෙම කාර්යයේ භාණ්ඩ ප්‍රවාහන සමාගම් වලට (Logistics Companies) සහ ගුවන් මාගම් වලට එක්ව මගීන්ගේ ගමන් මළු නිවසින් හෝ හෝටලයෙන් ලබා ගැනීම හා ගමනාන්තයේ නිවසට හෝ හෝටලයට ප්‍රවාහනය කිරීමට හැකියාව ලැබේ. තවත් එක් ව්‍යාපාරික අවස්ථාවක් වන්නේ ගමන් මළු බදු දීමයි.

මෙම නව හදුන්වා දීම බොහෝ විට මගීන් අතර ජනප්‍රිය වනවා සේම එය මගීන්ට පහසුවක් වනවා නොඅනුමානයි.