අමාරුවෙන් බස්සන පාරෝ ගුවන් තොටුපල – Paro International Airport

හිමාල කඳුවැටිය පාමුල තිබෙන භූතානය ස්වභාවික සෞන්දර්යයෙන් අනූන ඒ වගේම පරිසර දූෂණයෙන් අවම වූ මනස්කාන්ත දේශයක්. ස්වභාවයෙන්ම කඳු වලින් ගහන වූ මේ රටේ සියල්ලන්ම බෞද්ධයින්. ඒ වගේම ඉතාම සාමකාමී රටක්. ප්‍රවාහන ක්ෂේත්‍රය ගත හොත් ඉතාමත්ම පහල මට්ටමක සංවර්ධනයක් තිබෙන මෙහි කඳු සහිත භු විෂමතාව හේතුවෙන් මාර්ග පද්ධතියක් සකස් කිරීමට ඉතා අපහසු තත්වයක් තිබේ. ඒ සඳහා අධික වියදමක් දැරීමට සිදුවේ. ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යන් අතරින් ගුවන් හා මාර්ග ප්‍රවාහන ය තිබුණත් දුම්රිය ප්‍රවාහනයක් ඇත්තේ නැහැ.

මම අද මේ භූතානය පිළිබඳ පිවිසුමක් ලබා ගත්තේ මේ දිනවල භූතානයේ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක් කිරීමට සැළසුම් කර තිබෙන නිසා. එපමණක් නොව මේ දිනවල ලෝකයේ ගුවන් අනතුරු කිපයක්ම වාර්තා වුණා. එයත් එක් හේතුවක් අද ප්‍රධාන කාරණයට යොමු වීමට.
භූථානයේ කඳු සහිත භූ විෂමතාවය හා නිරන්තර වෙනස් වන කාළගුණය නිසා ගුවන් යානා ගොඩ බැස්සවීම ඉතාමත් අනතුරුදායකයි. ඒ සඳහා විශේෂ පුහුණුවක් නියමුවන්ට අවශ්‍ය වනවා. භුතානය සතුවන්නේ එකම එක ජාත්‍යන්තර ගුවන් තොටුපළක් පමණයි. එයට ද යානා ගොඩ බැස්සවීම ඉතාමත් අභියෝගාත්මකයි. 

අද අපි මේ භූතානයේ එකම එක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සම්බන්ධ විස්තර ටිකක් දැන ගනිමු. 

ගුවන් තොටුපළ පිහිටා තිබෙන්නේ භුතානයේ පාරෝ දිස්ත්‍රික්කයේ පාරෝ නිම්නයේ. මේ ගුවන් තොටුපල අසලින් “පාරෝ චූ“ ගංගාව ගලා බසින අතර වටපිටාව ඉතාමත් සුන්දරයි. ගුවන් තොටුපල මුහුදු මට්ටමේ සිට අඩි 7300 ක් පමණ ඉහළින් පිහිටා ඇති අතර ධාවන පථයේ දිග මීටර් 1985 ක් වේ. ඒ වගේම ගුවන් තොටුපලේ මෙහෙයුම් සිදු වන්නේ දිවා කාලයේ දී පමණයි.
ගුවන් තොටුපළ ආරම්භ වි තිබෙන්නේ 1968 දී පමණ වන අතර මුලින්ම එය භාවිතා කර ඇත්තේ ඉන්දියානු ගුවන් හමුදාව විසින්. පසු කාලීනව ගුවන් තොටුපළ සංවර්ධනය වූ අතර ධාවන පථයේ දිග අද තිබෙන ප්‍රමාණයට ගෙන ආවේ 1990 දී පමණය. 

ගුවන් තොටුපලේ මගී පර්යන්ත එකක් පමණක් ඇති අතර එය භුතානයේ පාරම්පරික කලාවන් පිලිඹිබු වන ආකාරයෙන් අලංකාරව සකසා තිබෙනවා. 

විශේෂයෙන් සඳුහන් කළ යුතුවන්නේ මෙම ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩ බැස්සවීම සඳහා සුදුසුකම් ලත් ගුවන් නියමුවන් සිටින්නේ ඉතාමත් අතලොස්සක් පමණයි. පසුගිය කාලයේ වාර්තා අනුව එසේ සුදුසුකම් ලත් නියමුවන් ගණන 8 ක් පමණ විය.

මෙම ගුවන් තොටුලේ ජාත්‍යන්තර මෙහෙයුම් සිදු කරනු ලබන්නේ භුතානයේ ජාතික ගුවන් සේවය වන “ඩෘක් එයාර්“ ගුවන් සමාගමයි. ඉන්දියාව, බංගලිදේශය, නේපාලය, තායිලන්තය හා සිංගප්පූරුව යන රටවලට මෙම ගුවන් තොටුපලේ සිට මෙහෙයුම් සිදු වේ. ඊට අමතරව දේශීය ගුවන් මෙහෙයුම් ද සිදුවේ.

මේ තියෙන්නෙ ගුවන් තොටුපලේ පර්යන්ත ගොඩනැගිල්ල

මේ තියෙන්නෙ ධාවන පථය

මෙතන ක්ලික් කරලා බලන්න මේ ගුවන් තොටුපලට ගුවන් යානයක් ගොඩ බැස්සවීමට දරණ උත්සාහය.

කුඩා ගුවන් යානා මෙහෙයුම් සිදු වන නිසාත් මෙහෙයුම් ප්‍රමාණය අඩු නිසාත් ගුවන් ටිකත් ලබා ආසන වෙන් කරවා ගැනීම කල් වේලා ඇතිව සිදු කළ යුතු වන අතර ඔබ භුතානයට යාමට සැළසුම් කරන්නේ නම් එයත් සිහිතබා ගත යුතුය.