සේපාල ඒකනායක - Sepala Ekanayake


ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙන නිසා මා කැමතියි මේ ගැන ලියන්න.
සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට.  අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා.
ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා.
මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා.
ඔහු කීහිප විටක් ම උත්සාහ කරනු ලැබූ මුත් වීසා ලබා ගැනීමට ඔහුට නොහැකි වෙනවා. ඉන්පසුව තමයි ඔහු තීරණය කරන්නේ ඉතාලි ගුවන් යානයක් තමා යටතට ගෙන ඒ හරහා අදාළ ඉල්ලීම කරන්න.
ඒ අනුව 1982 ජූනි 30 ඔහු ඉන්දියාවේ නව දිල්ලියට ගොස් එහිදී ඉතාලියේ සිට ඉන්දියාව හා බැංකොක් හරහා ජපානය බලා යන “අලිටාලියා“ ගුවන් සේවයට අයත් බෝයිං 747 වර්ගයේ ගුවන් යානයකට ගොඩවෙනවා. මෙහි මගීන් 300 පමණ සිට තිබෙනවා.
ගුවන් යානය ගුවන් ගත වී අඩි 35000 ක් පමණ උසකට පැමිණ ස්ථායි වූ පසු සේපාල ගුවන් නියමුවා වෙත ලිපියක් යවමින් තම ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබූවා. පළමු ඉල්ලීම වුණේ ඔහුගේ පුතා සහ බිරිඳ බැංකොක් ගුවන් තොටුපළට ගෙනවිත් දීම. දෙවැන්න වුණේ ඩොලර් 300,000/- මුදලක් කප්පම් වශයෙන් ලබා දීම.
මීට අමතරව ඔහුගේ ලිපියේ පහත කරුණුත් සඳහන් වුණා.
“මෙම ගුවන් යානය බැංකොක් ගුවන් තොටුපළේ නැවැත්විය යුතුයි. සියළු දොරවල් විවෘත නොකළ යුතුයි.සියළුම ඉල්ලීම් බැංකොක් සහ ඉතාලි බලධාරීන් වෙත වහාම දැනුම් දිය යුතුයි. සියළු සන්නිවේදන කටයුතු ගුවන් විදුලි සන්නිවේදන මාර්ගයෙන් පමණක් විය යුතුයි. දැනට අප සතුව ඉතාලියේ නිෂ්පාදිත නවීන බෝම්බ ඇති අතර යම් හෙයකින් අපව මුලා කළ හොත් යානය සියළු මගීන් සමග එම බෝම්බ උපයෝගී කරගෙන පුපුරුවා හරිනු ලබන අතර ඊට සමගාමීව ඉතාලියේ මොඩෙනා නගරයේ සහ වෙනත් නගරයක ද පිපිරීම් සිදු කරනු ඇත.“
සේපාලගේ ලිපිය දුටු විගස ප්‍රධාන නියමු ජියෝර්ගෝ අමරෝසා ගුවන් යානය අඩි 25000 දක්වා පහතට ගනු ලැබූවා. ඒ විනාශය අවම කරන්න.
පැය කීපයකට පසුව ඔහු ඉල්ලා සිටි පරිදි ඔහුගේ බිරිඳ සහ දරුවාත් ඉල්ලූ මුදලත් බැංකොක් වෙත ගෙන එන බවට තොරතුරු ලැබුණා. පැය 30 ට පමණ පසු ඔවුන් බැංකොක් වෙත පැමිණියා. ඉන්පසුව සේපාල විසින් මගීන් මුදා හරනු ලැබු අතර ඔහු ගුවන් යානයෙන් පිටතට පැමිණියා.
නමුත් ඉන්පසුව සේපාලට ගැටළුවක් ඇති වුණා දරුවාත් බිරිදත් අළුතින් ලැබුණ ධනයත් රැගෙන යන්නේ කුමන ස්ථානයට ද කියා. මේ අවස්ථාවේ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන මානෙල් අබේසේකර මහත්මිය පැමිණ  ඔහුට බිය නොවන ලෙසත් ඔහුට ශ්‍රී ලංකාවට යා හැකි බවත් සදහන් කළා.
මේ අතර ඉතාලි රජය විසින් ශ්‍රී ලංකා රජයට බලපෑම් කරමින් සේපාලව ඔවුන්ට භාර දෙන ලෙස ඉල්ලා සිටියා. නමුත් පොදු මතය වූයේ එසේ නොකරන ලෙසයි. මෙහිදී ජේ. ආර්. ජයවර්ධන රජය උභතෝකෝටික ප්‍රශ්ණයකට මුහුණ දුන්නා. පසුව ගාල්ල පොලීසිය විසින් සේපාල ව අත් අඩංගුවට ගෙන වැලිකඩ සිරගෙයට ගෙන එනු ලැබූවා. මේ අතර සේ පාලගේ බිරිද සහ දරුවා ඉතාලිය වෙත යැවීමට ඉතාලි තානාපති කාර්යාලය ට හැකිවුණා.  

සේපාල අත් අඩංගුවට ගත්ත ද ඔහුට විරුද්ධව නඩු පැවරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන එවකට තිබුණේ නැහැ. රජයට සිදු වුණා අළුතින් ම නීති සම්පාදනය කරන්න. ඒක තමා ලාංකීය ඉතිහාසයේ අතීතයට බලපාන ලෙස සකස් කරන ලද පළමු නීතිය.
සේපාල ගේ නඩුව නීතිපති වෙනුවෙන් ඉහළ උසාවියේ විනිසුරු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජේ. ජේ. එස්. ඒ. ඩයස් උපවංශ යාපා ඉදිරියේ විභාග කරනු ලැබූ අතර සේපාල ඒකනායක වෙනුවෙන් සුප්‍රසිද්ධ නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න පෙනී සිටියා. යානයේ ප්‍රධාන නියමුවා වූ අමරෝසා මහතා ද සාක්ෂි සදහා ශ්‍රී ලංකාවට පැමැණියා.
නඩු විභාගය අවසානයේදී සේපාල ඒකනායකට වසර 5 ක සිර දඬුවම් නියමු වුවා. සිර ගතව සිටින කාලයේ දී ඔහු විසින් නාට්‍ය නිෂ්පාදනය කරනු ලැබූ අතර ඒවා සිරකරුවන් අතර ඉතා ජනප්‍රිය වූවා. කෙසේ වෙතත් 1987 වසරේදී ඔහුව නිදහස් කරනු ලැබූවා.
පසුව ඔහු ඉංග්‍රීසි ගුරුවරියක් වූ යසංගනී මධුපාලි සමග විවාහ වූ අතර ඔවුන්ට දියණියක් සහ පුතෙක් සිටිනවා. පසුව ඔහු විසින් “උට සහ තොට“ නමින් පොතක් ද ලියා පළ කළා. ඔහු දැන් ව්‍යාපාරිකයෙක්.
මේ සිද්ධියේ යථාර්ථය වන්නේ ඔහු මේ කාර්ය සිදු කර තිබෙන්නේ දරුවාටත් බිරිඳටත් තිබූ අසීමිත සෙනෙහස නිසා. ඒ ආකාරයෙන් විමසා බලන කළ ඔහු යම් අගය කිරීමකට ලක් කළ යුතු පුද්ගයෙක්. ඒ වගේම 1982 වාගේ කාලයකදී ඔහු විසින් එය මැනවින් සංවිධානය කර තිබෙන බවත් පැහැදිලි වෙනවා.  එකළ පළවූ පුවත් පත් වලට අනුව ඔහු ලබා ගත් මුදල ලංකා බැංකුව විසින් තැන්පතුවක් ලෙස භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. නමුත් පසුව යම් කොටසක් ඔහු තැන්පත් කර තිබෙන බවටත් වාර්තා වී තිබෙනවා.

මේ ලිපිය සකස් කිරීමේ දී ගුණදාස ලියනගේ මහතා විසින් 1997 මැයි 04 වන දින සන්ඩේ ටයිම්ස් පුවත් පතට සපයන ලද ලිපිය ද උපයෝගී කර ගනු ලැබිණ.
මෙතනින් එම ලිපිය බලන්න 

"ගුවන්සර" - දෙවන කළාපය - "Guwansara" - Second Issue

මීට පෙර මා සඳහන් කළා දැයේ දරුවන්ගේ ගුවන් සේවා දැනුම වර්ධනය කිරීම උදෙසා "ගුවන්සර" නමින් සිංහල භාෂාවෙන් සඟරාවක් ආරම්භ කළ බව. ඉතිං දැන් එහි දෙවන කළාපය නිකුත් වී තිබෙනවා.

පහත දැක්වෙන්නෙ එහි මුල් පිටුව.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ගුවන් සේවා පිළිබඳ තොරතුරු මෙහි අඩංගු වෙනවා. මේක සිංහල භාෂාවෙන් ගුවන් සේවා ක්ෂේත්‍රය සම්බන්ධව පළවන සඟරාව.

මෙය ලබා ගන්න අවශ්‍ය අය සිටී නම් කොල්ලුපිටිය, ගාලු පාරේ අංක 64 දරණ ස්ථානයේ පිහිටි සිවිල් ගුවන්‍ සේවා අධිකාරියේ 5 වන මහලේ පිහිටි විශේෂ ව්‍යාපෘති අංශයෙන් ලබා ගත හැකියි. විස්තර විමසන්නේ නම් දුරකථන අංක 011 2394798 මගින් දේව් සමරජීව මහතා ඇමතීමෙන් ලබා ගත හැකියි.

මැදිරි සහායකයින්


මේ නම් මේ විධියට කිව්වට තේරෙන්නෙ නැහැනෙ. මේ අයට ඉංග්‍රීසියෙන් කියන්නෙ Flight Attendants එහෙමත් නැතිනම් Stewards ලා කියලා. තවත් විධියකට කියනවා නම් ඔය සරළවම අපි කියන්නේ Air Hostess ලා කියලා. අද මම කියන්න යන්නෙ මෙන්න මේ අය ගැන. මේක ගැන ලියන්න කියලා පසුගිය Post  එකට ප්‍රතිචාරයකුත් තිබුණානෙ.
ඔය ගුවන් යානා වල යන අය, ගිය අය දැකලා ඇති ගුවන් යානයට ගොඩ වෙන අවස්ථාවෙදි අපිව සාදරයෙන් පිළි අරගෙන ගුවන් ගමන පුරාවටම අප ගැන සොයලා බලන නිලධාරීන් පිරිසක් ඉන්න බව. මේ අය පිරිමි හා ගැහැණු යන දෙපක්ෂයෙන්ම සිටින බවත් ඔබ දැකලා ඇති. 

මේ මැදිරි සහායකයින් කියලා අපි සිංහලෙන් හඳුන්වන නිලධාරීන්ගේ ප්‍රධාන රාජකාරිය තමයි මගියාගේ ආරක්ෂාව (Safety) සම්බන්ධව ක‍ටයුතු කිරීම. ඊට අමතරව ඔවුන් ට පැවරිලා තියෙනවා මගීන් ට සේවා සැපයීමත්. ඒ වගේම ගුවන් සාමාගම ප්‍රචාරනය (Promote) කිරීමත් ඔවුන්ගේ අමතර කාර්යයක්. ඒත් මම මුලින් සඳහන් කළා වගේ මොවුන්ගේ ප්‍රධාන ම කාර්ය ය වන්නේ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. විශේෂයෙන් ම ගමන් කරන ගුවන් යානයක් වගේ සීමාසහිත ස්ථානයක සිරවී සිටින මගීන්ට සහාය වීම සහ ඔවුන්ගේ ආරක්ෂාව  තහවුරු කිරීම වැදගත් වෙනවා. 

විවිධ ගුවන් සමාගම් සැළකූ විට ඒ ඒ ගුවන් සමාගමට උචිත පරිදි සහ රිසි පරිදි මේ නිළධාරීන් බඳවා ගැනීම සිදු කරනවා. බොහෝ ගුවන් සමාගම් මනා‍ පෙනුමක් සහිත පුද්ගලයින් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. සාමාන්‍යයෙන් ඔවුන්ගේ උස අඩි 5 කට වැඩි විය යුතුයි. හේතුව විවිධ ආරක්ෂක උපාංග ආදිය රඳවා තිබෙන ස්ථාන ආදයෙන් ලබා ගැනීමත් මගීන්ගේ ගමන් මළු ආදිය ඉහළ රාක්ක වල තැන්පත් කිරීමට මේ උස වැදගත් වීම.
සමහර ගුවන් සමාගම් තම මව් රටේ පුද්ගලයින්ම බඳවා ගැනීම සිදු කරනවා. උදාහරණයක් විධීයට අපේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සමාගම (Srilankan Airlines) අනිවාර්යයෙන්ම මැදිරි සහායකයින් ලෙස ශ්‍රී ලාංකිකයින්ම බඳවා ගනු ලබයි. නමුත් කටාර් ගුවන් සේවය (Qatar Airways), එමිරේට්ස් ගුවන් සේවය (Emirates) වගේ ගුවන් සමාගම් වෙනත් රටවල අයත් බඳවා ගන්නවා. මේ ආයතන වල ශ්‍රී ලාංකිකයිනුත් සේවය කරනවා.
මෙම නිළධාරීන්ට ඉතා විශිෂ්ඨ පුහුණුවක් ලබා දෙනවා. මේ පුහුණුව ඔවුන් සේවයේ යෙදවීමට බලාපොරොත්තු වන ගුවන් යනා වර්ගය අනුව වෙනස් වෙනවා. හේතුව එක් එක් ගුවන් යානා වර්ගයේ විවිධ උපකරණ තිබෙන ස්ථාන වෙනස් වීම සහ ආරක්ෂක උපක්‍රම එකිනෙකට වෙනස් වීම. ආරක්ෂක උපක්‍රම, ප්‍රථමාධාර, පාරිභෝගිකයින් හැසිරවීම, අන්තරායකාරී භාණ්ඩ (Dangerous Goods)  ආදිය මෙම පුහුණුව ට ඇතුළත් වෙනවා. මේ පුහුණුව සිදු කරන්නේ ඒ ඒ ගුවන් සමාගම විසින්මයි. ඒ කියන්නේ ඔවුන් පළමුව සුදුසුයයි සිතන පුද්ගලයින් බඳවා ගෙන ඒ ඒ ගුවන් යානා වර්ගයට පුහුණු වීම් ලබා දෙනවා. ඉන්පසුව ඒ පුහුණු වීම් ලබාගත් විස්තර සිවිල් ගුවන් සේවා අධිකාරියට දැනුම් දෙනු ලබන අතර ඒ අනුව ඔවුන්ට වසර පහක් සඳහා සහතිකයක් ලබා දෙනු ලබනවා. ඒ වගේම වසර 5 න් 5 ට ඒ සහතිකය යාවත්කාලීන කළ යුතු වෙනවා. ඒ ඒ අවස්ථාවේ දී අමතර ගුවන් යානා වර්ග සඳහා පුහුණු වීම් ලැබුවේ නම් ඒවා ද  ඇතුළත් කරනු ලබනවා.   ඒ වගේම මේ තනතුර සදහා වයස් සීමාවක් බලපාන්නේ නැහැ. නමුත් එය ගුවන් සමාගමෙන් සමාගමට වෙනස් වෙන්න පුළුවන්. 

ශ්‍රී ලංකාවේදී නම් ගුවන් යානයක තිබෙන දොරවල් සංඛ්‍යාවට සමාන නිලධාරීන් සංඛ්‍යාවක් සේවයේ යෙදවිය යුතු වෙනවා. ඒ කියන්නේ A340 වර්ගයේ ගුවන් යානයක නම් ‍දොරවල් 8 ත් තිබෙන නිසා අවම වශයෙන් නිළධාරීන් 8 ක්වත් සේවයේ වයදවිය යුතුය. නමුත් යුරෝපීය සංගමයේදී එය මගීන් 50ට එක් අයෙක් විය යුතුයි. මේ දෙකටම ප්‍රධාන හේතුව ආරක්ෂාව සැළසීම. ඒ කියන්නේ අනතුරකදී වඩා පහසුවෙන් මගීන් හැසිරවීම ට පහසු වීම.
කෙසේ වෙතත් ගුවන් සමාගමක මගීන් හා සෘජුවම සම්බන්ධ වන්නේ මෙම නිළධාරීන් නිසා සහ මගීන් ගේ ආරක්ෂාව සම්බන්ධව ඔවුන් ක්‍රියාකරන නිසාත් මෙම නිළධාරින් ඉතා ඉහළ සේවයක් ඉටු කරනු ලබනවා. ‍