"අයිජැෆ්ජලා‍ජොකුල්" ගිනි කන්ඳේ අළු - Ash of the Eyjafjallajokull Volcano

දැනටම ඔබ දන්නවා ඇතිනෙ අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරලා ඒකෙ අළු යුරෝපය පුරාම විසිරිලා කියලා. මේ සිද්ධිය නිසා බොහෝ අකර්මන්‍ය තත්වයට පත් වුනේ ගුවන් සේවා ක්ෂේත්‍රය. දැනට දින 07 ක් පමණ කාලයක් යු‍රෝපයේ බොහෝ ගුවන් තොටුපළවල් වසා දමා ගුවන් යානා මෙහෙයුම් නවත්වා තිබෙනවා. මේකට හේතු වෙලා තියෙන්නෙ අර අළු වළාව. 
 
දැනට ගුවන් ගමන් වාර 5000 ක‍ට වඩා අවලංගු කර තිබෙනවා. දැනට තිබෙන තිබෙන තොරතුරු වල හැටියට විශාල ප්‍රමාණයත් අතරමැදි ගුවන් තොටුපළවල් වල සිරවී සිටිනවා. ඩුබායි වල 80000 ක් පමණ සිර වී සිටින බවයි දැනගන්නට ලැබී තිබෙන්නෙ. අපේ ගුවන් තොටුපළින් යුරෝපය වෙත ගමන් කරන ගුවන් ගමන් ද නවතා තිබෙනවා. මෙම අළු පැතිරීම නතර වුවහොත් ඩුබායි වගේ ගුවන් තොටුපලක සිරවී සිටින මගින් පළමුව ගමනාන්ත වෙත යවා ඉන් පසුව පිළිවෙළින් අ‍පේ රටේ වගේ ගුවන් තොටුපළ වල සිටින මගීන් ගෙනයාම සිදුවේ.

මෙතනින් ගිහින් බලන්න රටවල් ඉහළින් වලාව පැතිරී ඇති අයුරු. 


මේ තියෙන්නෙ අළු වළාව නිසා ගුවන් යානා සිරවී ඇති අයුරු.

මේ අළු පැතිරීම නිසා ගුවන් ගමන් මෙහෙයුමට බාධා ඇති වන්නේ ‍කොහොම ද කියලා බලමු. 

ගුවන් යානයක් ඉහළ නගින ආකාරය ගැන මම මීට පෙර පැහැදිලි කරලා තියෙනවානෙ. එන්ජින් මගින් පිටුපසට ඇති කරන තෙරපුම මගින් යානාය අධික වේගයන් ලබා ගෙන යානයේ තටු මත පීඩන වෙනසක් ඇති කර එමගින් ඉහළ යාමක් සිදු වෙනවා.

නවීන ගුවන් යානා වල බොහෝ විට භාවිතා කරන්නෙ "ටර්බෝ ෆෑන්" එන්ජින්. පහත දක්වලා තියෙන්නෙ ඒ එන්ජින් එකක සටහනක්.

දැන් බලන්න මේ එන්ජිමේ Primary Air Stream  යනුවෙන් දක්වා ඇත්තේ ඒ තුළට ඇද ගන්නා වාතයයි. මේ වාත ධාරාව 'දහන කුටිය' (Combustion Chamber) තුළදී දහනය වී අධික වේගයක් සහිතව උණුසුම් වාතය එන්ජිමේ පසුපසින් මුදා හරිනවා. මෙහි දී ඇතිවන තෙරපුම මගින් යානාය ඉදිරියට ගමන් කරනවා. 

 මේ එන්ජින් තුළ තිබෙන්නේ ඉතාම සංකීර්ණ ඒ වගේම සියුම් කොටස්. දැන් සිතන්න මේ එන්ජිම තුළට වාතය හැර ඝණ ද්‍රව්‍යක් ඇතුළු වුවහොත් වෙන දේ. සමහර වෙලාවට කුරුල්ලන් පවා මෙසේ ඇද ගනු ලබනවා. ඒ අවස්ථා වලදී මෙම එන්ජිම අක්‍රිය වීම සිදු වෙනවා. 

ඉතිං අර ගින් කන්දේ අළුත් මේ එන්ජින් ඇතුලෙන් යන්න ගිහාම වෙන්නෙත් ඔන්න ඔය දේමයි. එන්ජින් නතර වුනාම යානය නිකන්ම බිමට වැටෙනවානෙ.

මෙන්න මේ හේතුව නිසා තමයි ඒ අළු වළාව තිබෙන ප්‍රදේශයෙන් ගුවන් යානා ගමන් නොකරන්නෙ.