මෙම ලිපියේ පස්වන කොටස මින් පෙර පළවිය
1979
1979 වර්ෂයේ දී “එයාර් සිලෝන්“ සමාගම විසුරුවා හරිනු ලැබූ අතර එම වර්ෂයේ ම සැප්තැම්බර් මස 1 වන දින සිට “එයාර් ලංකා“ සමාගම පූර්ණ රජයේ සංස්ථාවක් ලෙස පිහිටුවන ලදී. මෙහි මුල් කාලීන කළමණාකාරීත්වය සහ තාක්ෂණික සහාය “සිංගප්පූරු“ ගුවන් සමාගම මගින් සිදු වූ අතර ඔවුන් විසින් “බෝයිං 707-300“ යානා 2 ක් ද සපයන ලදී. එම සමාගමේ මුල්ම ගුවන් ගමන තායිලන්තයේ බැංකොක් වෙත සිදු කෙරිණ. එම වර්ෂයේම නොවැම්බර් මස දී “බෝයිං 737 – 200“ වර්ගයේ ගුවන් යානා දෙකක් “එයාර් ලංකා“ සමාගම විසින් කලාපීය ගුවන් ගමන් සඳහා යෙදවීමට බදු පදනම යටතේ ලබා ගන්නා ලදී.
1980
තවද 1980 වර්ෂය වන විට “එයාර් ලංකා“ සමාගමේ මෙහෙයුම් ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින් ෆ්‍රැන්ක්ෆර්ට්, සුරිච්, පැරිස්, ලන්ඩන් (ගැට්වික්), බැංකොක්, සිංගප්පූරුව, ක්වාලාලම්පූර්, බහරේන්, ඩුබායි, බොම්බාය, මදුරාසිය හා මාලේ යන නගර වලට මෙහෙයුම් සිදු කරන ලදී.
එම වර්ෂයේදී 1979 අංක 46 දරණ පණත මගින් “ගුවන් තොටුපළ අධිකාරිය“ පිහිටුවමින් එම ආයතනයට එතෙක් සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව භාරයේ තිබූ සිවිල් ගුවන් තොටුපල නඩත්තුව හා සංවර්ධනය භාර කරන ලදී.
එම වර්ෂයේ සිදු වූ තවත් විශේෂ සිදු වීමක් වනුයේ පෞද්ගලික ගුවන් සමාගමක් වශයෙන් පිහිටුවා තිබූ “උපාලි ඒවියේෂන්“ සමාගම de Havilland DH-6 Twin Otter turbo prop ගුවන් යානයක් යොදා ගනිමින් රත්මලාන, පලාලි හා ත්‍රිකුණාමලය අතර දේශීය ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමයි.
1980 මැයි මාසයේ දී “එයාර් ලංකා“ ගුවන් සමාගමට “බෝයිං 707“ වර්ගයේ ගුවන් යානා දෙකක් “සිංගප්පූරු“ ගුවන් සමාගමෙන් ලබා ගන්නා ලදී. නොවැම්බර් මාසයේදී පළමු Lockheed L-1011 Tristar වර්ගයේ ගුවන් යානය ලබා ගන්නා ලදී. 1981 වර්ෂයේ දී තවත් එම වර්ගයේ ම යානයක් ලබා ගන්නා ලදී.
1982
1982 වර්ෂයේ දී රත්මලානේ “එයාර් ටැක්සී“ සමාගම මගින් “පියසර පුහුණු පාඨමාලාව“ ආරම්භ කරන ලදී. එම වර්ෂයේදීම “එයාර් ලංකා“ සමාගම මගින් L-1011-500 වර්ගයේ අළුත්ම ගුවන් යානා දෙකක් මිළ දී ගන්නා ලදී.
මෙම වර්ෂය තුලදීම ශ්‍රී ලංකාවේ මෙහෙයවන ලද මගීන් සංඛයාව 1,000,000 ක්ද භාණ්ඩ මෙට්‍රික් ටොන් 50 ක් ද ඉක්මවූ අතර ගුවන් යානා මෙහෙයුම් ගණන 11000 ඉක්මවිය.
1982 වර්ෂය ශ්‍රී ලාංකීය නාමයත් ශ්‍රී ලංකාවේ ගුවන් සේවාවත් ජාත්‍යන්තරව කතිකාවකට පාත්‍රවන තරමේ වර්ෂයක් බවට පත් වන්නේ ඉතිහාසයේ අන් කවර දිනයකවත් සිදු නොවූ ආකාරයේ සිදුවීමක් හේතුවෙනි. එය සමහර පුද්ගලයින් වීර ක්‍රියාවක් ලෙස ද සඳහන් කරන ලදී. ඉතාලියේ සිට ඉන්දියාව හරහා බැංකොක් සහ ජපානය බලා පියාසර කරමින් තිබූ අලිටාලියා ගුවන් සමාගමට අයත් මගීන් 300 දෙනෙකු රැගත් ගුවන් යානය අඩි 35000 ක් ඉහළ අහසේදී පැහැර ගැනීමකට ලක් විය. ඒ පැහැර ගැනීම සිදු කරනු ලැබූවේ 1982 ජූනි 30 වන දින වන අතර සේපාල ඒකනායක නම් තරුණයකු විසිනි. මෙහිදී යානය පුපුරුවා හරිනු ලබන බවට තර්ජනය කිරීමෙන් පසු බැංකොක් ගුවන් තොටුපලට ගොඩබැස්සවීම සිදු කරනු ලැබූ අතර එහිදී සේපාල ඒකනායක විසින් ඔහුගේ ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබිණ. ඔහුගේ බිරිඳ වන ඉතාලි ජාතික ඇනා ත්, පුතා වන ෆ්‍රී ත් ඔහුට ලබා දෙන ලෙසත් රු. 300,000 ක මුදලකුත් ඔහු ඉල්ලා සිටි අතර පැය 30 ක් ඇතුළත සියළු ඉල්ලීම් ඉටු වූ අතර ආරක්ෂිතව ශ්‍රී ලංකාවට පැමැණින. නමුත් ජාත්‍යන්තරව ඔහු කරන ලද ක්‍රියාව ගුවන් සේවා ක්ෂේත්‍රයට තර්ජනයක් වූ බැවින් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට අවශ්‍ය විය. නමුත් එවකට මේ සඳහා ශ්‍රී ලංකාවේ නීති ප්‍රතිපාදන නොතිබූ බැවින් අතීතයට බලපාන පරිදි නීති සම්පාදනය කරමින් ඔහුට නීති ක්‍රියාමාර්ග ගනු ලැබිණ. එම පණත 1982 අංක 24 දරණ Offences against Aircraft යනුවෙන් නම් කරනු ලැබීය. ඔහු ගත් මුදල් රාජසන්තක වූ අතර වසර 5 ක සිර දඬුවම් නියමු විය. 1987 වසරේ දී නිදහස ලබූවා. (මෙම සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ ලිපියට මෙතනින් යන්න)
සේපාල මහතා සහ ෆ්‍රී (සේපාල මහතාට වමෙන් සිටී)
1983
1983 වසරේදී රජයට අයත් පෞද්ගලික සමාගමක් ලෙස “සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම“ පිහිටුවන ලැබූ අතර ගුවන් තොටුපළ අධිකාරියේ තිබූ කාර්යයන් ද සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව සතුව තිබූ යම් යම් කාර්යයන්ද මෙම සමාගමට පැවරිණ. විශේෂයෙන් සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව සතුව තිබූ ගුවන් සංතරණ සේවා සහ පහසුකම් සැපයීම ද ගුවන් ගමන් පාලනය ද මෙම සමාගමට පැවරිණ.
1984
ශ්‍රී ලංකාව සතුව තිබූ එකම ජාත්‍යන්තර ගුවන් තොටුපල වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වැඩිවන මගී සහ ගුවන් යානා ප්‍රවාහනය හමුවේ නවීකරණය කිරීමකට ලක් කිරීම 1984 වර්ෂයේ දී ආරම්භ වු අතර ඒ අනුව නව ධාවන පථයක් සකස් කිරීම, මගී පර්යන්ත ගොඩනැගිල්ල සකස් කිරීම, භාණ්ඩ මෙහෙයුම් පර්යන්තය සහ නව ගුවන් ගමන් පාලක කුළුණ ඉදිකිරීමත් ගුවන් සංතරණ සේවා පහසුකම් වැඩි දියුණු කිරීමත් මේ සංවර්ධන කටයුතු වලට අයත් විය. නව ධාවන පථය භාවිතය නිසා පැරණි ධාවන පථය සමාන්තර “ටැක්සි“ පථයක් ලෙස භාවිතා කිරීමට එමගින් අවස්ථාව ලැබේ.
නව ධාවන පථය ගොඩනගන අවස්ථාව
නව ධාවන පථය සහ සමාන්තර “ටැක්සි“ පථය
තව කොටසක් බලාපොරොත්තු වන්න
ඉතාම වටිනා ලිපියක්.
ReplyDeleteමරු. වටිනා විස්තර....
ReplyDeleteකටුනායක ගුවන්තොටුපල දැන් ප්‍රමාණවත් නෑ කියලයි මට හිතෙන්නෙ..
ඔව් සෙන්නා, කටුනායක වාර්ෂික උපරිම ධාරිතාව මගීන් මිලියන 6 ක් විතර. 2011 දී මේක ඉක්මවා ගියා. ඒ කියන්නෙ මිලියන 6.1 ක් වුණා
Deleteදැන් කටුනායක ගුවන් තොටුපලේ සංවර්ධනයේ දෙවන අධියර ආරම්භ කිරීමට ආසන්නයි. එය 2015 දී නිමකිරීමට නියමිතයි. මෙහිදී දැනට ඉදිවන අධිවේගී මාර්ගය ගුවන් තොටුපලේ ඉහළ මහළට සම්බන්ධ වීමට නියමිතයි.