ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– IV කොටස

1947

1947 වර්ෂයේ ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂි සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස “එයාර් සිලෝන්“ ගුවන් සමාගම සන්නිවේදන සහ වැඩ අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලැබූ අතර ප්‍රථම වරට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරමින් යාපනය හරහා රත්මලානේ සිට මදුරාසිය දක්වා ගුවන් ගමන් අරඹන ලදී. මෙම අවස්ථාව සනිටුහන් වූයේ එම වර්ෂයේ දෙසැම්බර් මස 10 වන දින වන අතර “එයාර් සිලෝන්“ සමාගමට ලබා ගන්නා ලද ඩී.සී. 3 වර්ගයේ යානා මේ සඳහා උපයෝගී කර ගන්නා ලදී. මෙම යානා තුන “සීතා දේවී“, “විහාරමහා දේවී“ හා “සුනේත්‍රා දේවී“ ලෙස නම් කරනු ලැබූ අතර ප්‍රථම ගුවන් ගමන සඳහා යොදා ගන්නා ලද්දේ “සීතා දේවී“ ගුවන් යානයයි. එය පදවනු ලැබූවේ පීටර් ප්‍රනාන්දු නැමැති ගුවන් නියමුවා වූ අතර මුල්ම ගමන සඳහා මගීන් 16 දෙනෙකු සහභාගී වී තිබිණ.
“එයාර් සිලෝන්“ ඉතිහාසය මෙතනින් බලන්න
image
image
image
image
 

1948

1948 වර්ෂයේ ජූනි මස පළමුවන දින ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී. එමගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා වන “චිකාගෝ සම්මුතිය“ ට එකඟත්වය පළ කර තිබිණ.
 

1949

1949 දී ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් සේවයත් (ANA-AustralianNational Airways)  සමඟ “එයාර් සිලෝන්“ සමාගම එක් වී‍මෙන් පසුව ජාත්‍යන්තර දිගු ගුවන් ගමන් සේවා ආරම්භ කරන ලදී. ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් සමාගමේ කළමණාකරන සහ තාක්ෂණික දායකත්වය හේතුවෙන් “ඩග්ලස් ඩී. සී. 4 ස්කයිමාස්ටර්ස්” ගුවන් යානා දෙක උපයෝගී කර ගනිමින් කොළඹ සිට බොම්බාය, කරච්චි, ටෙල් අවිව් සහ රෝමය හරහා ලන්ඩන් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට එයාර් සිලෝන් සමාගම සමත් විය. පසුව මෙම සේවය සිංගප්පූරුව සහ ජකර්තා හරහා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙත ද ක්‍රියාත්මක විය.
1949 දෙසැම්බර් මස 21 වන දින“එයාර් සිලෝන්“ සමාගමේ ඩකෝටා ගුවන් යානයක් ඉන්දියාවේ තිරුචිරාපලි (Tiruchirapalli) ගුවන් තොටුපලේදී අනතුරට ලක් වූ මුත් ජීවිත හානි සිදු වූයේ නැත. යානයේ බඳ පෙදෙසට හානි සිදු විය.
 

1950

මේ අතර 1950 වර්ෂයේ 1950 අංක 15 දරණ ශ්‍රී ලංකාවේ ගුවන් සංතරණ පණත සම්මත විය. එම වර්ෂයේ දීම ලංකාවත් ඕස්ට්‍රේලියාවත් අතර ගුවන් ගමන් ආරම්භ කරන බව “එයාර් සිලෝන්“ සමාගම විසින් නිවේදනය කරන ලදී. 1950 නොවැම්බර් 6 වන දින “ලංකා ගුවන් සේවා පුහුණු පාසැල“ (Ceylon Aviation Academy) ආරම්භ වීමත් සුවශේෂත්වයකි. එහි ගුවන් නියමුවන් පුහුණු කිරීම අරඹන ලදී.
 

1951

1951 වර්ෂයේදී “එයාර් සිලෝන්“ සමාගම රාජ්‍ය සංස්ථාවක් බවට 1951 අංක 7 දරණ පණත මගින් පරිවර්තනය කරන ලද බවට තොරතුරු තිබේ.
 

1953

1953 දී ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් සමාගම එයාර් සිලෝන් සමාගම සමග තිබූ ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසුව එම සහකාරීත්වය 1955 දී “කේ.එල්. එම්. රාජකීය ඩච් ගුවන් සමාගම“ විසින් හිමි කර ගන්නා ලදී.
 

1956

1956 දී “කේ. එල්. එම්.“ සමාගමෙන් කල්බදු ක්‍රමයට ලබා ගන්නා ලද “ලොක්හීඩ් කොන්ස්ටලේෂන්” යානයෙන් “සැෆායර් සර්විස්” ලෙස හඳුන්වනු ලැබූ සේ‍වයක් ලෙස  යළි ආරම්භ කළ ජාත්‍යන්තර ගුවන් සේවාවන් නව ගමනාන්තයක් වන ඇම්ස්ට්‍රඩෑම් වෙත සිදු කිරීමට එයාර් සිලෝන් සමාගම සමත් විය. එලෙසම බොම්බාය, කරච්චි, කයිරෝ, බහරේන්, ලන්ඩන් සහ රෝම් යන නගර වලට ද මෙහෙයුම් පවත්වා ගන්නා ලදී.
 
පස්වන කොටස බලාපොරොත්තු වන්න

















3 comments:

  1. හ්ම්ම්ම් අදමයි ආවේ වැඩත තොරතුරු රැසක් තියෙනවා. අනිවා දිගටම එනවා. ලියපු ලිපිත් ඉඩකඩ ඇති වෙලාවට බලන්නම්. දිගටම ලියන්න සුභ නව වසරක් වේවා
    කෝරලේ වලව්ව

    ReplyDelete
  2. දැන් තමා ඔක්කොම ටික කියෙව්වෙ... හැම ලිපියකම අවසානයෙ ඊලඟ ලිපියට ලින්ක් එක දුන්නනම් හොඳයි. සෑහෙන කට්ටක් කන්න වුනා.

    දුර්ලබ ඡායාරූප සමඟින් ඉතා වටිනා ලිපියක් ඉෂාර..

    Air Celon, Air Lanka හෝ Srilankans යටතේ ගුවන් යානා මාරාන්තික අනතුරු වලට මුහුණ දී නැත්ද ? ඒ ගැනත් විස්තරයක් කරයි කියලා හිතනවා..

    ReplyDelete
  3. ඔන්න ලිපි සෙට් එකම කියෙවුවා

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....