“ෆෙඩෙක්ස්“ හි ජීවිත සටන “ - ෆෙඩෙක්ස්“ 705 ගුවන් යානයේ බිහිසුණ සටන -- 3 කොටස





මෙම්පිස් හි ගුවන් ගමන් පාලක කුළුණ

සෑන්ඩර්ස් සහ පීටර්සන් තම ආසන වලින් නැගිට පිටුපසට ඒමට පෙර කැලෝවේ යළිත් නියමු කුටියට පැමිණියේ spear gun” යනුෙවන් හඳුන් වන උල් ඊ හිස් විධින ආයුධයක් අතැතිවය. මුලින් ඔහු මේ ආයුධය භාවිතා නොකළේ ගුවන් අනතුරක් සිදු වූ විට ඇති වන තුවාල මොට ආයුධයකින් ඇති වූවාක් මෙන් පෙනිය යතු වූ නිසාය. කැපුම් තුවාල අනතුර පිළිබඳ සැක ඇති විය හැකි තත්වයක් බව කැලෝවේ සිතුවේය. ඔහු spear gun එකක් ගෙන ආවේ යම් හෙයකින් කාර්ය මණ්ඩලය මිටි මගින් පාලනය කර ගත නොහැකි වුවහොත් සිතුණ නිසාය.  “ඉඳ ගන්නවා, ඉඳ ගන්නවා. ආපසු ආසන වලට යනවා මේක ඇත්ත තුවක්කුවක්. මම උඹලාව මරා දානවා“ යනුවෙන් ඔහු අණ කරමින් නියමු කුටියට පිවිසිණ. ටකර්ටත්, සෑන්ඩර්ස් ට සහ පීටර්සන් ටත් දැන් වඩාත් පැහැදිලි වූයේ කැලෝවේ විසින් තමන් ව මරාදැමීමට උත්සාහ කරන බවයි. 

කැලෝවේ විසින් spear gun හි තුඩ සෑන්ඩර්ස් වෙත යොමු කරන විටම  පීටර්සන් ඒ දෙසට පැන spear gun තදින් අල්ලා තම නියමුවාගෙන් බවතට එය යොමු කර වීය.

 “ මම උඹලව මරණවා.“ 

“හේයි හේයි මම උඹළව මරණවා“

කැලෝවේ කෑ ගසන්නට විය. සෑන්ඩර්ස් විසින් මේ අවස්ථාව ප්‍ර යෝජනයට ගෙන තම ආක්‍රමණිකයාව මෙල්ල කිරීමට උත්සාහ ගත්තේය. ගණනින් කාර්ය මණ්ඩලය ට වාසි විය. එහෙත් ආත්මාරක්ෂක සටන් ක්‍රම, ආයුධ සහ හානි නොවූ ශරීරය කැලෝවේ ට වාසියක් විය. 

මේ රැවුම් ගෙරවුම් මැදම ටකර් විසින් යානයේ මෙහෙයුම් දණ්ඩ (flight yoke) ඉහළට ඇද යානය ක්ෂණිකව හා සෘජුව ඉහළ නැගීමකට යොමු කලේය. ටකර් කලක් ප්‍රහාරක යානා පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ නිසා මෙවන් ක්ෂණික ඉහළ නැංවීම් ඔහුට සුපුරුදු දේවල් විය. මේ උත්සාහය සාර්ථක කරමින් කැලෝවේ ගේ සමබරතාව බිඳී යානයේ පසුපසට ඔහු විසිවිය. ඒ සමගම පීටර්සන් සහ සෑන්ඩර්ස් ඔහු පසුපස ලුහුබැන්දේය. ඔවුන් උත්සාහ කලේ පොර බදා ඔහුව මෙල්ල කර ආයුධ උදුරා ගැනීමටයි. නමුත් ඔවුන්ට එය අපහසු දෙයක් වුණා. 

ජිම් ටකර් ට තවමත් කලහය පවතින බව ඇසේ. ඔහු තවත් පියවරක් ඉදිරියට තබමින් මෙහෙයුම් දණ්ඩ වම් පසට කරකවා යානය කැරකැවීම සිදු කළේය. දැන් යානය ගමන් කරන්නේ පැත්තට හැරී ගුවන් කරණම් සංදර්ශනයක මෙනි. මේ අවස්ථාවේ දී DC-10 ගුවන් යානයේ අනතුරු හැඟවීමේ පද්ධතිය ක්‍රියාත්මක වී ගැහැණු කටහඬකින් “ඇළවුණ කෝණයක්“ (“bank angle“) යනුවෙන් නොනවත්වා අනතුරු හඟවන්නට වූයේ යානයේ සුපුරුදු මෙහෙයුම් පරාමිතයන්ගෙන් පරිබාහිර සිදු වීමක් සිදුවන නිසාවෙනි. දැන් කලහය පවතින්නේ යානයේ වම් පසට වන්නට ය. යානය ඒ පසට කරකැවූ නිසා ඔවුන් වමට තල්ලු වී ගොසින්ය. 

ෆෙඩෙක්ස් ගුවන් යානයක්

 “ඒකාව අල්ලා ගන්න, ඒකාව අල්ලා ගන්න ඇන්ඩි“ යනුවෙන් ටකර් නියමු කුටියේ සිට කෑ ගැසුවේය. “මම යානය හසුරුවා ගන්නම්“ යනුවෙන් පවසමින් තවත් වරක් යානය කරකැවීය. දැන් යානය ගමන් කරන්නේ උඩු යටිකුරු වීය. බිම පතිත වී තීබු රුධිරය දැන් සිවිලිමට වැටෙයි. කෙසේ හෝ යළිත් මිටියක් අල්ලා ගැනීමට සමත් වූ කැලෝවේ කපිතාන් සෑන්ඩර්ස් ගේ හිසට පහරක් එල්ල කලේය. 

ජිම් ටකර් තව දුරටත් තම උපායශීලී මෙහෙයුම සිදු කරමින් යානය ක්ෂණිකව පහළට යොමු කරවීය. දැන් පීටර්සන්, කැලෝවේ සහ සෑන්ඩර්ස් යානයේ නියමු කුටියේ පසුපස බිත්තියට හේත්තු වී සිටී. DC-10 යානයේ නියමිත උපරිම වේගයට වඩා වේගයෙන් යානය ගමන් කරයි. ඒ බව දැනෙන්නේ “ අධික වේගය“ යනුවෙන් ස්වංක්‍රීය අනතුරු හැඬවීම් වලින් සහ යානයේ බඳ අධික වේගය නිසා වන දෙදරුම හේතුවෙනි. යානයේ වදින වාතය නිසා කෙඳිරිලි හඬක් නිකුත් වේ. මේ ගුවන් යානයට මෙතරම් කරදරයක් උහුලා ගැනීමට සකස් කර නැත. දැන් යානය ගමන් කරන්නේ පැයට කිලෝමීටර් 600 ක පමණ වේගයකිනි. මේ අවස්ථාවේ දී ටකර් ගේ ශරීරයේ වම් පස අප්‍රාණික වන්නට පටන් ගත්තේය. ඔහු ක්ෂණිකව යානයේ වේගය අඩු කර යානය යළි සාමාන්‍ය තත්වයට ගන්නට කටයුතු කලේය.

මේ අතර යානයේ පසුපස කොටමේ සටන තවමත් සිදු වෙමින් තිබිණ. සෑන්ඩර්ස් ගේ හිසට තවත් මිටි පහරක් එල්ල වූ අතර ඔහුට සම්පූර්ණයෙන් අකර්මණ්‍ය විය. පීටර්සන්ගේ රුධිර වහනය අධික විය. ඔහු වේගයෙන් ශක්ති හීන බවට පත්වන්නට විය. යානය යළිත් යථා පියාසැරි තත්වය පත් වූ පසු ටකර් විසින්  හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කලේය.
මේ අවස්ථාවේ රේඩියෝ සන්නිවේදනයේ දෙබසයි.

ටකර් විසින් මධ්‍යස්ථානයට:           මධ්‍යස්ථානය. මධ්‍යස්ථානය. හදිසියක්!
මධ්‍යස්ථානය:                                    ගුවන් යානය හදිසි අවස්ථාවක. පවසන්න. යළිත්
කියනවා ගුවන් යානය හදිසි අවස්ථාවක.
ටකර් විසින් මධ්‍යස්ථානයට:           මධ්‍යස්ථානය මට සවන් දෙන්න. ෆෙඩෙක්ස් 705. මම
තුවාල වෙලා.  අප ගුවන් යානය අල්ලා ගැනීමට උත්සාය කලා. අපට
ඉක්මනට මෙම්පිස් වලට ගොඩබාන්න විස්තර දෙන්න.
මධ්‍යස්ථානය:                                    එක්ස්ප්‍රස් 705 බින්දුව නවය පහ දෙසට ගමන් කරන්න.
සෘජුවම මේමපිස් වෙත.
ටකර් විසින් මධ්‍යස්ථානයට:           මාව දැනුවත් කරන්න!. මෙම්පිස් කොහෙද?
මධ්‍යස්ථානය :                                   එක්ස්ප්‍රස් 705, බින්දුව නවය බින්දුව දෙසට යන්න.
සැතපුම් 43 ක් ඈතින් මෙම්පිස්. වේලාව 12 යි.
ටකර් විසින් මධ්‍යස්ථානයට:           මෙම්පිස් වෙත යන ආකාරය කියන්න.
මධ්‍යස්ථානය:                                    එක්ස්ප්‍රස් 705, ඔබ නැගෙනහිර දෙසට දැන් ගමන්
කරන්නේ. ගුවන් තොටුපලට දොළහයි තිහට හෝ එකට
පමණ යා හැකියි.
ටකර් විසින් මධ්‍යස්ථානයට:           මේ බලන්න. දිගටම මා එක්ක සම්බන්ධ වී සිටින්න
සෑන්ඩර්ස් :                                         ජිම්
ටකර් විසින් මධ්‍යස්ථානයට :          ඔව් අපිට ගිලන් රථයක් අවශ්‍යයි. ආරක්ෂක අංශ
මැදිහත් වීමකුත් අවශ්‍යයි. ගුවන් තොටුපළ පහසුකම් සූදානමින් තබන්න.

මධ්‍යස්ථානයට විස්තර සැපයූ පසු ටකර් විසින් යානය අඩි 10,000 ට වඩා පහළට ගෙන ආවේය. මේ අතර යානයේ පසු පස යළිත් කැලෝවේ නැගී සිටින්නට විය. පීටර්සන් සහ සෑන්ඩර්ස් අධික රුධිර වහනය නිසා බරපතල තත්වයක සිටියේය. පීටර්සන් කෑගසමින් ටකර් ට පැවසුවේ “ස්වංක්‍රීය නියමු පද්ධතිය ක්‍රියාත්මක කරන්න.“ “අපට උදව් කරන්න. මේ අවලම් බල්ලා අපව හපා කන්න සූදානම් වෙන්නෙ“ යනුවෙනි. 

 “ඇන්ඩි,“ 

ටකර් නියමු කුටියේ සිට කෑ ගැසුවේය. 

“කෙහොම හරි ඕකාව නවත්වා ගන්න. මම ගුවන් යානය පදවන්නම්“. 

එසේ පවසමින්ම ඔහු යානය වමටත් යළි දකුණටත් කරකවන්නට වූයේ කැලෝවේ ගේ සමබරතාවය බිඳින්නටයි. 

 “ඉක්මන් කරන් ජිම්“ 

පීටර්සන් කෑ ගැසුවේය. මේ අවස්ථාවේ මිටියක් අල්ලා ගත් සෑන්ඩර්ස් විසින් කැලෝවේට පහරක් එල්ල කළේය. 

 “යානය ස්වයංක්‍රීය නියමුවාට යොමු කර ඉක්මනින් මෙහාට එන්න.“ 

සෑන්ඩර් කෑ ගැසුවේය. 

“ඉක්මන් කරන්න ජිම්, මෙහාට ඉක්මනට එන්න“. 

තවත් හයියෙන් ඔහු කෑ ගැසුවේය. 

ජිම් ටකර් විසින් ස්වයංක්‍රීය නියමු පද්ධතිය ක්‍රියාත්මක කර යානයේ පසු පසට යාමට උත්සාහ කළ ද එය ඉතා අපහසු කාර්යයක් වූයේ දැනටමත් ඔහුගේ ශරීරයේ කොටස් අප්‍රාණික වීමට පටන් ගෙන තිබු නිසාය. දැනටමත් උදව් ඉල්ලා ගුවන් ගමන් පාලක මැදිරිය දැනුවත් කර තිබූ නිසා ටකර් පසුපසට ගොස් විපරම් කර බැලීය. ඇන්ඩි පීටර්සන් මංකොල්ලකරු වන කැලෝවේ ගේ ඇඟ මත නිදා සිටි අතර සෑන්ඩර්ස් විසින් කැලෝවේගේ තියුණු ආයුධයක් ඔහුගේම බෙල්ලට තබා තර කරගෙන සිටියේය. දකින දකින සෑම තැනම ලේ විසිරී තිබු අතර විවිධ අපද්‍රව්‍ය තැන තැන විසිරී තිබින. 

ජිම් ටකර් තම කපිතාන් වරයා “ආරක්ෂක“ සේවයෙන් ඉවත් කරනු ලැබූ අතර කැලෝවේ රඳවා ගැනීම ඔහු භාර ගත්තේය. කපිතාන් සෑන්ඩර්ස් ඒ අවස්ථාවේ නියමු කුටියට පැමිණියේය. ඔහු යළිත් රේඩියෝ සන්නිවේදනයෙන් පාලක කුලුණ වෙත අවධාරණය කලේ ආරක්ෂාව අවශ්‍ය බවයි. පාලක කුළුණෙන් දැන් තත්වය පිළිබඳව විමසා සිටි විට “ම්... හොඳයි....යම් තරමකට එය අපි පාලනය කර ගත්තා..“ යනුවෙන් ඔහු පැවසීය. ඔහුගේ හිසෙහි තුවාල වලින් ගලා ගිය අධික රුධිරය නිසා ඔහු අපහසුතාවයෙන් පෙළිණ. එක් ඇසක් නොපෙනී ගොස් තිබිණ. දකුණ කණ බරපතල ලෙස ආබාධයට ලක් වී තිබිණ. ඇස් කණ්නාඩි සොයා ගැනීමටවත් තිබුණේ නැත. 

සෑන්ඩර්ස් විසින් යානය මෙම්පිස් වෙත යොමු කෙරිණ. යානය තවමත් ඉන්ධන වලින් පිරි තිබිණ. කෙසේ වෙතත් එය ආරක්ෂිතව ගොඩ බෑමකට සුදුසු ප්‍රමාණයට වඩා වැඩි  විය.  නමුත් මේ පළපුරුදු නියමුවාට තවත් අවස්ථාවක් තිබිණ. ඔහු විසින් දිගම ධාවන පථය තෝරා ගන්නා ලදී. ඒ වැඩිම කාලයක් ගෙන යානය නවත්වා ගැනීම සඳහායි.



6 comments:

  1. හරිම රසවත් ඊළග කොටසත් ඉක්මණින් දාන්න ...

    ReplyDelete
    Replies
    1. ඊළඟට අන්තිම කොටසනෙ!

      Delete
  2. කුතුහලය පිරුණු ත්‍රාසජනක කතාවක්. මෙහෙමත් ආත්මාර්ථකාමී මිනිසුන් ඉන්නවද කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉන්නවා ඉන්නවා. ඔය ප්ලේන් වල යනකොට පරිස්සමින් යන්න ඕනා.........

      බය වෙන්න එපා මේ වගේ නැහැ හැමෝම

      Delete
  3. සාමාන්‍ය ප්ලේන් එකකට උඩ යට මාරු වෙලා ගමන් කරන්න පුලුවන්ද? අංශක 45 කට වඩා හැරුනොත් පාලනය කරන්න අපහසුයි කියලයි මම දැනගෙන උන්නෙ.

    ReplyDelete
    Replies
    1. අළුතින් එන ගුවන් යානා පරිගණක මගින් ක්‍රියාත්මක වෙන නිසා අංශක 60ට වඩා හරවන්න දෙන්නෙ නැහැ පරිගණක. ඒත් පරණ ඒවායේ එහෙම තත්වයක් තිබුණෙ නැහැ. කොහොම වුණත් ඒක ඉතාම අනතුරුදායක දෙයක්. ඒවගේ ගුවන්යානයේ විශාලත්වය වැඩිවෙනකොට මේ අවදානමත් වැඩියි. කොහොම වුණත් නියමුවාගේ උපරිම දක්ෂතාවය සහ හැකියාව මත මේ දේ රැඳී තිබෙන්නෙ. 1955 දි බෝයිං 707 යානය හඳුන්වාදීමේ දී පරීක්ෂක නියමු ටෙක්ස් ජොන්ස්ටන් විසින් මේ වගේ දෙයක් කරලා තියෙනවා. මේක බැරල් රෝලින් කියලා හඳුන්වන්නෙ. පස්සේ සවුදියෙදි මේ වගේ දෙයක් කරන්න ගිහින් අනතුරු වෙලා තියෙනවා.
      මෙන්න බලන්න 1955 සිද්ධිය මෙතනින්
      http://www.seattletimes.com/seattle-news/60-years-ago-the-famous-boeing-707-barrel-roll-over-lake-washington/

      Delete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....