සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ ආචාර්ය අසාද් කොටෙයිට් (Dr. Assad Kotaite )මහතාගේ සමු ගැනීම

clip_image001

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ සහ පිළිගත් චරිතයක් වන ආචාර්ය අසාද් කොටෙයිට් මහතා පසුගිය පෙබරවාරි මස 27 වන දින ලොවෙන් සමුගත්තේ ය. ඒ වන විට එතුමා 89 වන වියේ පසු වූ අතර ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ කීර්තිමත් විශ්‍රාමික සභාපතිවරයෙක් විය.

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ වසර 50 ක පමණ කාලයක් තුළ සිවිල් ගුවන් සේවා කර්මාන්තයේ සුරක්ෂිත බව ඇති කර ලීම උදෙසා තම දිවියම කැප කළ අසහාය නායකයෙක් ලෙස කොටෙයිට් මහතා හඳුන්වා දිය හැක. ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රය ආර්ථික, සමාජීය හා සංස්කෘතික අංශයන්හි ප්‍රධාන නියමුවෙක් බවට පත් කිරීමට එතුමා අපමණ වෙහෙස වී කටයුතු කළේය.

1924 වර්ෂයේ ලෙබනනයේ දී උපත ලද කොටෙයිට් මහතා බේරූට් හි ප්‍රංශ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබා ගන්නා අතර පසුව ප්‍රංශයේ පැරිස් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගන්නා ලදී. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ එතුමාගේ කීර්තිමත් සේවා කාලය ඇරඹෙන්නේ 1953 දී එම සංවිධානයේ නීති කමිටුවට ඇතුලත් වීමත් සමගය. එතුමා 1970 වසර තෙක් එහි කටයුතු කළේය. 1956 සිට 1970 කාලයේ දී එතුමා සිවිල් ගුවන් සේවා කවුන්සිලයේ ලෙබනන නියෝජිතයා වූ අතර මෙම කාල සීමාව තුල වසර දෙකක් පමණක් ලෙබනනයේ ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල්වරයා ගේ කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා ලෙස කටයුතු කරනු ලැබීය. වසර 14 ක මෙම කාල සීමාව තුල අඛණ්ඩව සිවිල් ගුවන් සේවා සංවිධානයේ මහා සමුළුවේ සියළුම රැස්වීම් වල ලෙබනනය නියෝජනය කිරීම ද එතුමා විසින් සිදු කරන ලදි. 1970 දී එතුමා සිවිල් ගුවන් සේවා සංවිධානයේ මහා ලේකම් ලෙස පත්වන අතර 1976 දී සභාපති ලෙස තේරී පත් විය. ඉන් පසුව වසර 30 කාලයක දී 11 වතාවක් අඛණ්ඩව සභාපති ලෙස පත්වීම විශේෂත්වයක් වූ අතර 2006 වර්ෂයේ දී එතුමා සේවයෙන් විශ්‍රාම ගත්තේ ය. එතුමාගේ මෙම නිලය දැරීම එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ඉතිහාසයේ ඉහළ නිල දරන්නන් අතර වැඩිම කාලයක් එවන් නිලයක් දැරූ පුද්ගලයන් අතරට එතුමා ගෙන යාමට සමත් විය.

කෘතහස්ත රාජ්‍යතාන්ත්‍රිකයෙකු වූ කොටෙයිට් මහතා “චිකාගෝ සම්මුතිය“ ලෙසින් හඳුන්වනු ලබන ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සම්මුතියේ පූර්විකාව තම රාජකාරි දිවිය පුරාවට ම ආදර්ශයක් කර ගන්නා ලදි. ලෝකයේ ජාතීන් අතර සාමය, මිත්‍රශීලී බව සහ අවබෝධය ඇති කිරීමට සහ පවත්වා ගෙන යාමට ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයට උදව් කළ හැකි බව එම පූර්විකාවේ සඳහන් වේ. කොටෙයිට් මහතා සිවිල් ගුවන් සේවා සංවිධානයේ සාමාජික රටවල් අතර සහ සිවිල් ගුවන් සේවා සමාජයේ සහයෝගීතාවය පවත්වා ගැනීමට දක්ෂයෙකු වූවෙක් බවට හඳුනා ගෙන ඇත. ඒවගේ ම එතුමා සිවිල් ගුවන් සේවා නියාමනය පරිසරය සංකීර්ණ, ක්‍රමවත් සහ දේශපාලනික වශයෙන් අභියෝගාත්මක මට්ටමකට ගෙන ඒමටත් රටවල් අතර සුහදතාවය සහ එකඟත්වය ඇති කිරීමටත් දක්ෂයෙකු ලෙස පිළිගැනීමක් ඇති කර ගත්තෙකු විය.

එතුමාගේ සේවා කාලය තුල දී ඉහළ ගෞරව බහුමානයන් ගෙන් පිදුම් ලද බව 2013 වර්ෂයේ එළිදක්වන ලද My Memories නම් ග්‍රන්ථයේ විස්තරාත්මක ව සඳහන් වන අතර සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ ඉහළ ම සම්මානය වන “එඩ්වඩ් වර්නර්“ සම්මානයෙන් ද එතුමා පුදන ලදී.

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව එතුමා විසින් “අසාද් කොටෙයිට් උපාධි සහ පශ්චාද් උපාධි සහයෝගිතා අරමුදල“ පිහිටවනු ලදී. මෙම ශිෂ්‍යත්ව අරමුදල මගින් සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ සුරක්ෂිතභාවය වර්ධනය කිරීම උදෙසා වන පුහුණු වීම් සඳහා උපකාරී වේ.

 

“අපේ අහස“ එතුමාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරනු ලබන අතර ක්ෂේත්‍රයට කරන ලද අමිල සේවයට ආචාරය පුද කර සිටී.

තව විස්තර පහත සබැඳි වලින් බලන්න

1. ICAO

2. WIKIPEDIA

3. PDF

7 comments:

  1. නොදත් දෙයක් ස්තුතියි ඉෂාර..

    ReplyDelete
    Replies
    1. ඔව් මෙයා ගැන කර්මාන්තයෙන් පිට අය වැඩියෙ දන්නෙ නැහැ. හැබැයි විශාල සේවයක් කළ මනුස්සයෙක්

      Delete
    2. දන්නෑ නේන්නම්. ඇහුවෙත් අදයි..

      Delete
    3. දැන් දන්නවනෙ

      Delete
  2. මෙවැනි වටිනා කෙනෙක් ගැන මෙවැනි සටහනක් තැබීම ගැන සතුටු වෙනවා . ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝක වෙමි .

    ReplyDelete
  3. ඔහු ඇත්තටම වටිනා පුද්ගලයෙක්

    ReplyDelete
  4. ඇත්තටම අපි මේ බලාගෙන ඉන්නේ අර අතුරුදන් වුනු ප්ලේන් එක ගැන හැමෝම නොදන්න තොරතුරු ටිකක් ඉෂාර මහත්තයා කියනතුරුයි!

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....