Bag2Go - තනියෙන් යන නවීන ගමන් මලු

 

ගුවන් ගමනක් ගොස් ඇති පුද්ගලයෙකුට තම ගමන් මලු පිළිබඳ සමහර අවස්ථාවල ගැටළු පැන නැගී අතිවාට කිසි සැකයක් නැහැ. සමහර විට තමන් ගමන් මල්ල අස්ථාන ගත වීම, සම්පුර්ණයෙන් නැති වීම, අලාභ හානි වීම, භාණ්ඩ සොරකම් කිරීම, නිවැරදි වේලාවට ගමනාන්තයට ළග නොවීම ආදී දහසකුත් එකක් ගැටළු මේ අතර තිබෙන්න ට හැක. දැනට ගුවන් මගීන් සිදු කරනුයේ තම ගමන් මල්ල ටිකට්පත් පරීක්ෂා කරනු ලබන ස්ථානයේ දී ගුවන් සමාගමට භාර දීමයි. එහිදී ගුවන් සමාගම එහි කේත අංක සහිත “ටැගයක්“ සවිකරනු ලබයි. එහි බාර් කේතයෙහි ගමන් මල්ල යායුතු ස්ථානය ආදිය සඳහන් වේ. ගමන් මල්ල අදාල ස්ථානයට ගිය පසු මගියා විසින් එය ලබා ගත යුතුය. මෙහිදී ද මගියාට ගමන් මලු ලබා දීමට සහ ලබා ගැනීමට දිගු පෝලිමක සිටීමටද සිදු වේ.

tag

මෙම කටයුතු බොහෝ විට මගියාට අපහසුකම් ඇති කරන තත්වයන් වන අතර තම නිවසින්ම හෝ හෝටලයෙන් බෑගය ගෙන එය තම ගමනාන්තයේ නිවසට හෝ හෝටලයට ලබා ගැනීමට ක්‍රමයක් තිබේ නම් එය මගියාට මහත් වූ පහසුවකි. එමගින් ගුවන් තොටුපල වල දිගු පෝලිම් ද අඩු වේ. කාලය සහ මුදල් ඉතිරි වේ.

checking

මෙය මගීන්ගේ සිහිනයක් ලෙස හැඳින්විය හැකි අතර එය සැබෑ වන දිනය වැඩි ඈතක නොවන බව පසුගිය දා ප්‍රංශයේ දී පැවති 50 වන “පැරිස් ගුවන් ප්‍රදර්ශණයේ“ දී පැහැදිලි විය. මෙහිදී ගුවන් යානා නිෂ්පාදකයෙක්, බෑග් නිෂ්පාදකයෙක් සහ තොරතුරු තාක්ෂණ ආයතනයක් එක්ව මෙම නව නිපැයුම හඳුන්වා දීමට සමත් විය. මෙම සියළු දෙනාම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විය. නව හඳුන්වා දීම මගින් “බුද්ධිමත්“ බෑගය තනිව අවසන් ස්ථානයට ගමන් කරන අතර බෑගයත් සමග ගමන් කරන මගීන්ගේ අමිහිරි මතකයන් අතීතයට එක් කිරීමට හැකිය.

“බාර් කේතයේ“ සියළු තොරතුරු අඩංගු වේ.

bag

නව බෑගය

මෙම නව බුද්ධිමත් බෑගයට තිරයක් සහිත රේඩියෝ මොඩියුලයක් සවිකර ඇත. මගියා විසින් තම නවීන ජංගම දුරකථනයේ (smartphone) වැඩසටහනක් (app) මගින් තම ගුවන් ගමනේ විස්තර ඇතුල් කරනු ලබන අතර එය ගුවන් සමාගම වෙත ගමන් කරයි. එමගින් “බාර් කේතයක්“ නිපදවා බෑගයේ ඇති රේඩියෝ මොඩියුලයට එවයි. මෙම කේතය මගියාට ම පමණක් අනන්‍ය එකක් වන අතර ගමන් බෑගය පරීක්ෂා කිරීමට සහ ගමනාන්තය දක්වා යොමු කිරීමට එය වැදගත් වේ. එක් එක් ගුවන් යානය සඳහා වෙන් වෙන් වශයෙන් කේත නිපදවන අතර බෑගයේ බර, හිමිකරු සහ ගුවන් ගමනේ තොරතුරු එහි අඩංගු වේ. මෙම තොරතුරු නිසා ගුවන් ගමන ප්‍රමාද වුවත්, ගුවන් ගමන වෙනස් වුවත් නැතහොත් අවලංගු වුවත් එසේත් නැති නම් සම්බන්ධිත ගුවන් යානය (Connecting Flight) නොතිබුණා වුවත් මෙම බෑගය කලින් සඳහන් කළ ගමනාන්තයට ළඟා වේ.

ගමන් බෑගය ගුවනේ තිබෙන අවස්ථාවේ හැර අන් ඕනෑම අවස්ථාවක ස්විචයක් ක්‍රියාත්මක කිරීම වැනි සරල ක්‍රියාවකින්ම මගියාට හෝ ගුවන් සමාගමට බෑගය තිබෙන ස්ථානය දැන ගැනීමට හැකියාව තිබේ. ඒ වගේම බෑගය ගුවන් ගමන අතරතුර විවෘත කලේ ද නැතිද යන වගත් එය සිදුවූයේ කුමන ස්ථානයකදී ද යන වගත් මෙම රේඩියෝ මොඩියුලය මගන් දැන ගත හැකි වේ. මෙම නව ක්‍රමය හඳුන්වා දීම මගින් මගියාට තම අත් බෑගය පමණක් රැගෙන ගුවන් ගමන යා හැකි අතර ටිකට් පරීක්ෂා කරන ස්ථානයේ හෝ ආපසු භාණ්ඩ ලබා ගන්නා ස්ථානයේ හෝ රැඳී සිටීමට අවශ්‍ය නොවේ. එමගින් මගියාට මෙන්ම ගුවන් සමාගමට ද වේලාව ඉතිරිකර ගැනීමට හැකිය. මීට අමතරව මගියාට තම බෑගය පිළිබඳ පූර්ණ හැසිරවීමේ බලය ලැබේ.

අස්ථානගත වූ ගමන් මලු සඳහා ගුවන් සමාගම් වලට ගෙවීමට සිදු වීම අවම වේ.

මෙම නව හඳුන්වා දීම මගින් ගුවන් සමාගමට ගමන් මළු හැසිරවීමේ වියදම අඩු වන අතර ගමන් මළු නැති වීම නිසා දරන්නට වන වන්දි ගෙවීම් අඩුවේ. ගුවන් තොරතුරු හා දත්ත සම්බන්ධ සුප්‍රසිද්ධ ආයතනයක් වන සීටා (SITA) ආයතනයට අනුව වසරකට ඩොලර් මිලියන 2.5 ක් පමණ නැතිවූ හෝ ප්‍රමාද වූ ගමන් මළු වෙනුවෙන් ගුවන් සමාගම් වලට මගීන් වෙත ගෙවීමට සිදු වේ.

T-Systems“ නැමති ආයතනය මෙම කටයුත්තේ දී තොරතුරු තාක්ෂණ අංශයෙන් කටයුතු කරන අතර ඔවුන්ගේ දත්ත මධ්‍යස්ථාන හරහා මෙම සම්බන්ධයන් ඇති වේ. මෙම කාර්යයේ අනෙක් හවුල් කරුවන් වන්නෙ එයාර් බස් ගුවන් යානා නිෂ්පාදන සමාගම සහ ජර්මනියේ RIMOWA බෑග් නිෂ්පාදන සමාගමයි. මෙම කාර්යයේ භාණ්ඩ ප්‍රවාහන සමාගම් වලට (Logistics Companies) සහ ගුවන් මාගම් වලට එක්ව මගීන්ගේ ගමන් මළු නිවසින් හෝ හෝටලයෙන් ලබා ගැනීම හා ගමනාන්තයේ නිවසට හෝ හෝටලයට ප්‍රවාහනය කිරීමට හැකියාව ලැබේ. තවත් එක් ව්‍යාපාරික අවස්ථාවක් වන්නේ ගමන් මළු බදු දීමයි.

මෙම නව හදුන්වා දීම බොහෝ විට මගීන් අතර ජනප්‍රිය වනවා සේම එය මගීන්ට පහසුවක් වනවා නොඅනුමානයි.

9 comments:

  1. වැදගත් තොරතුරක්! මෙහෙටත් මේ ක්‍රමය ඉක්මනටම එයි.

    මේ බෑග් ගැන මට අමතක නොවන අද්දැකීම් දෙකක් තියෙනවා. එකක් අපේ අයියා කෙනෙක් එයාගේ පුතාට එහෙන් එද්දි යමහා ඕගන් එකක් දාලා මෙහෙන් ගත්තේ ඕගන් මැල්ලුමක්. ඒකට ගුවන් සමාගම ගෙව්වේ නෑ.

    අනික මෙහේ එයාපොට් එකට ගිය වෙලාවේ දැක්ක සිද්දියක්. මැදපෙරදිග යන නෝනා කෙනෙක් කොස් ගෙඩියක් ගෙනල්ලා ගෙනියන්න. ඒක ගෙනියන්න නොදුන්නා කියලා හෙන කේස් එකක් දාගෙන අන්තිමේ ඒක නැවත ගමට ගෙනියන්න නැදැයින්ට දුන්නා. අර නෝනා පිටත් වෙනකල් කොස් ගෙඩිය පුටු පේලියක් යට පත්තරේකට කිරි බේරා බෙරා උන්නා.

    ඔන්න දැක්ක නේද? ඔය අලුත් කෙරුවාව වැඩියෙන් ම වටින්නේ අපටයි කියලා දැන් මට හිතෙනවා.!

    ReplyDelete
    Replies
    1. ඔව් බුද්ධි ඒ වගේ කැඩෙන බිඳෙන බඩු එනකොට ඒවා ගුවන් සමාගමට කියන්න ඕනා. මේ මේ මේවා ගෙනියනවා කියලා. හරි විධියට නම් වටිනා කියන බඩු සේරම ගැන කියන්න ඕනා. හැබැයි අපිවත් ඕක කරන්නෙ නෑ. අපි කලින් කියලා තිබුණා නම් කැඩුනොත් බිඳුනොත් වන්දි ගෙවනවා.
      ඔව් කොස් අන්නාසි ඔය වගේ දේවල් අනන්තවත් දාලා යනවා. සාමාන්‍යෙයන් මේ දේවල් ගුවන් තොටුපලේ සේවකයින්ටවත් ගන්න තහනම්. ඒ කියන්න අර අයින් කරන ඒවා. පුලුවන් වුනොත් එයාර් ඇරබියා ගුවන් යානයට මගීන් ඇතුලත් කරන වෙලාවට ගිහින් බලන්න මේ වගේ සිද්ධි අනන්තවත් තියෙනවා

      Delete
    2. මමත් ගෙනාවා මෙදා පාර ඕගන් එකක්.. පොඩි එකාට සෙල්ලම් එකක්. මම උන්ට ( Etihad ) කිවෙත් නෑ මොකක්ද තියෙන්නෙ කියලා, හැබැයි උන් මොලේ පාවිච්චි කරලා Fragile ස්ටිකර් එකක් එහෙම ගහලා තිබුනා. ඒක් හින්දා මට ඕගන් මැල්ලුමක රස විඳීමේ අවස්ථාව අහිමි වුනා. දැන් විදින කන්කරච්චලේ එක්ක බලද්දි ඕගන් මැල්ලුමක් හම්බුනානම් හොඳයි කියලා හිතෙනවා... හැක් හැක්..

      Delete
    3. ඔව් සමහර නිලධාරීන් එහෙම ඉන්නවා. අනික් දේ ඔය කන්කරච්චලේ නැතුවත් බෑ නේද සෙන්නා. ඕක නැතිවුනාම දැනෙන පාළුවවත් කියලා වැඩක් නෑ

      Delete
    4. අපොයි ඔව් ඉෂාර අනිවාර්‍යයෙන් ඒක එහෙම තමා. මම විහිළුවක් කළේ.. ඒ කරච්චලේ දාහෙන් සම්පතයි..

      Delete
  2. මේ ක්‍රමය නිසා විශාල පහසුවක් ඇති වේවි මගීන්ට . ගුවන් ගමන් වලදී මගියාගෙ සිතේ ලොකු බරක් ඇති කරනවා මේ ගමන් මලු . හොඳ සොයාගැනීමක් .

    …බොහොම අගය කරනවා මේ අලුත් තොරතුරු අපිට නිරතුරුව බෙදා දෙන්න ගන්න උත්සාහයට .

    ReplyDelete
  3. මටනම් තවමත් ගමන් මළු නැතීඑමේ කරදරයට මුහුණ දෙන්න වෙලා නෑ.. මේක බොහොම හොඳ ක්‍රමයක් වෙයි කියලා හිතෙනවා.. විශේෂයෙන්ම දොර ගාවටම ඇවිත් අරගෙන යනවනම්. මමත් ආසම නැති දෙයක් තමා මළු කරගහගෙන් එයාර් පෝර්ට් එකට යන එක. මට ඕනා පාස් පෝර්ට් එක විතරක් අතේ තියන් බොහොම සැහැල්ලුවෙන් යන්න.

    ReplyDelete
  4. මම නම් කලින්ම හිත හදා ගන්නවා. ගිය නිවාඩුවට ගෙදර යද්දී කටුනායකදී මම ගොඩක් පරක්කු උනා බඩු වගයක් ගන්න ගිහින්. ඇවිත් බලනකොට බෙල්ට් එකේ මගේ බෑග් එක නැ. හිත හදාගෙන ගෙදර යන්න ලෑස්ති වෙද්දී කොහොම හරි හොයලා දුන්න. නැති උන බැග් හොයලා දෙන කට්ටිය.

    ReplyDelete
    Replies
    1. නිශාන්ත මේකෙදි හොඳම දේ (කටුනායකදී) ඉස්සරලාම බෑග් එක අරන් උඩට ගිහින් ඩියුටි ෆ්‍රී යන්න. එතකොට අවුලක් නෑ

      Delete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....