මේ Post එක මම ඉස්සරලාම ලියපු එක. ඒත් "සිංහල බ්ලොග් කියවනය" ට ආවෙ නැහැ. ඒක නිසා අද මේක ආයිත් Publish කරන්න හිතුවා.
අපේ රටට ගුවන් යානාවක් එනවා කියන්නේ පිට ඉඳන් බලන කෙනෙකුට සරල දෙයක් වුනාට ඒක පිටුපස්සේ තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් තිබෙනවා. අනෙක තමයි ආවාට ගියාට මෙහෙයුම් කරන්නත් බැහැ.
මේ ක්‍රියාවලිය ගැන කියන්න ඉස්සරලා තව දෙයක් ගැන විස්තරයක් කරන්න ඕනි. ඒ තමයි ද්වි පාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම හා ද්විපාර්ශ්වික ගුවන් සේවා සාකච්ඡා යන කරුණු දෙක.රටවල් දෙකක් අතර ගුවන් සේවා මෙහෙයුම් සිද්ධ විය යුත්තේ කුමන ආකාරයෙන් ද යන්න සඳහන් කර දෙපාර්ශ්වයේම එකඟත්වය මත ඇති කරගන්නා ගිවිසුම තමයි ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම කියන්නේ. මේ ගිවිසුමට එළඹීමට පෙර රටවල් දෙකේ නියෝජිතයින් අතර ඒ සම්බන්ධයෙන් එකඟතා සඳහා වන සාකච්ඡාව තමයි ද්විපාර්ශ්වික ගුවන් සේවා සාකච්ඡා යනුවෙන් සඳහන් වන්නේ.
මෙම ගිවිසුමේ සදහන් වෙනවා ඒ රටවල් දෙක අතර සතියකට මෙහෙයුම් කල හැකි ගුවන් ගමන් වාර ගණන කීයද, කුමන වර්ගයේ ගුවන් යානා යොදා ගත හැකිද, භාවිතා කළ හැක්‍කේ කුමන ගුවන් තොටුපළවල් ද( අපේ නම් එකයි නෙ), එම ගුවන් තොටුපළට පෙර හා පසු මෙහෙයුම් කළ හැකි ගුවන් තොටුපළවල් මොනවාද ඒවායින් මගීන් නග්ගවා ගත හැකිද යනාදී විස්තර මෙහි ඇතුළත් වෙනවා. මීට අමතරව තව තොරතුරුත් ඇතුලත් වෙනවා.
දැනට ශ්‍රී ලංකාව රටවල් 60 ක පමණ සංඛ්‍යාවක් සමග මෙවන් ගවිසුම් වලට එළඹි තිබෙන අතර තවත් රටවල් සමග සාකච්ඡා පවත්වමින් සිටිනවා.
දැන් අපි හිතමු යම් කිසි රටක ගුවන් සමාගමකට අපේ රටට හෝ අපේ රටේ ගුවන් සමාගමකට හෝ එම රටට හෝ මෙහෙයුම් ආරම්භ කිරීමට අවශ්‍යයයි කියලා. මෙහිදී අදාළ ගුවන් සමාගම විසින් අනෙක් රටේ තිබෙන ගුවන් සේවාව සම්බන්ධ රජයේ ආයතනයට (අමාත්‍යාංශයට හෝ ගුවන් සේවා අධිකාරියට හෝ දෙපාර්තමේන්තුවට) ලිඛිත ඉල්ලීමක් කරනු ලබනවා. මෙම ඉල්ලීම අදාළ ආයතනය විසින් එම රටවල් දෙක අතර තිබෙන ගුවන් සේවා ගිවිසුම සමග සංසන්දනය කරනු ලබනවා.
අපි හිතමු අදාල රටවල් දෙක අතර එම ගිවිසුමක් තිබෙනවා කියලා. දැන් බලනවා ඒ අදාල ගුවන් සමාගම තම රටට මෙහෙයුම් කිරීම සඳහා ගුවන් සමාගම අයිති රට විසින් එම සමාගම නම් කර තිබෙනවාද යන වග. මේ ගිවිසුමේ අදාල ගුවන් සමාගම නම් කර තිබිය යුතුයි. එසේ නොමැති නම් පළමුව රටවල් දෙක අතර සාකච්ඡා කර දෙපාර්ශ්වයේම එකඟත්වය මත අදාළ නම්කිරීම සිදු කරනු ලබනවා. දැන් ගුවන් සේවා ගිවිසුමේ ප්‍රකාර, එහි සදහන් සීමාවන්ට යටත්ව අදාළ මෙහෙයුම් සඳහා අනුමැතිය ලැපබනවා.
අපි දැන් හිතමු ගුවන් සේවා ගිවිසුමක් නැති රටක් සම්බන්ධයෙන් අදාළ ඉල්ලීම ලැබුණා කියලා. එතකොට වෙන්නේ රටවල් දෙකේ ආයතන දෙක කථා කරලා අවශ්‍යතාවය මත තාවකාලික අනුමැතියක් ලබා දෙනවා. නමුත් යථා කාලයේදී ගුවන් සේවා ගිවිසුමකට යා යුතු වෙනවා.
දැන් මේ විධියට අදාළ අනුමැතිය ලැබුණාට තවත් කරුණු කීපයක් සම්පූර්ණ විය යුතු වෙනවා. ඒ තමයි බලපත්‍ර ලබා ගැනීම. ගුවන් සමාගමේ සුදුසුකම් පරීක්ෂා කර අදාළ මෙහෙයුම් සඳහා සුදුසුකම් සපුරා තිබේ නම් පමණක් අදාළ බලපත්‍ර නිකුත් කරනු ලබනවා. නැති නම් එම අඩුපාඩු සපුරා ගත යුතු වෙනවා.
එසේ බලපත්‍ර ලබා ගත්තායින් පසුව එම සමාගමේ මෙහෙයුම් සඳහා වන කාල සටහනට අනුමැතිය දිය යුතු වෙනවා. එයත් අදාළ ගිවිසුමේ තිබෙන කරුණු පදනම් කර ගනිමින් (වාර ගණන, ගුවන් යානා වර්ගය, අතරමැදි සහ පසුව මෙහෙයුම් කරන ගුවන් තොටුපළ ආදිය) ලබා දෙනවා.
මින් පසුව අදාළ ගුවන් තොටුපළ සඳහා වන ගෙවීම් ආදිය පිළිබඳව එකඟතාවයකට පැමිණියයින් පසුව තම මෙහෙයුම් ආරම්භ කළ හැකිය.
අදාළ බලපත්‍ර, කාල සටහන් අවසරයන් ආදිය කලින් කළට යාවත් කාලීන කළ යුතු වෙනවා.
මේකෙන් යම් කිසි දැනුමක් ලැබන්න ඇති. මේ සම්බන්ධ තවත් දේවල් තියෙනවා. ඒවා වෙලාව ලැබෙන විධියට මම කියලා ලියන්නම්. විශේෂ දෙයක් තියෙනවා නම් හරි ලියමු දේවල් ගැන යමක් කියන්න තියෙනවා නම් හරි දන්වන්න
කියෙව්වා. විස්තරවලට ස්තුතියි !
ReplyDelete