ලොව තාක්ෂණයට අභියෝග කළ MH370 අතුරුදහන් වීම

MH370 ගුවන් යානය අතුරුදහන් වී අද වන විට මාසයක් ඉක්ම ගොස් ඇති මුත් තවමත් එහි කුමන හෝ තොරතුරක් සොයා ගැනීමට නොහැකි වීම ලොව තාක්ෂණයට අභියෝග කිරීමක් බව පැහැදිලි වෙමින් තිබේ.

1914 දී ඇමරිකාවේ සෙන්ට් පීටර්ස්බර්ග් හා ටැම්පා අතර “ටැම්පා එයාර් බෝට්“ නමින් ගුවන් සේවයක් අරඹමින් වාණිජ ගුවන් සේවාව ආරම්භ වී මේ වසරේ ජනවාරි මාසයට වසර සියයක් සම්පූර්ණ විය. මේ කාල සීමාව තුල වාණිජ ගුවන් ගමන් ක්ෂේත්‍ර යේ දියුණුව ඉතා ඉහළ තාක්ෂණයෙන් සමන්විත වන බව නිරන්තරයෙන්ම කථා බහට ලක් විය. මගීන් හා ගුවන් ක්ෂේත්‍රයේ සිටින්නවුන් පවා මෙම විශ්මය ජනක තාක්ෂණය දෙස බලා සිටියේ විමතියෙනි.

නමුත් මසක් ඉක්ම ගියද මැලේසියානු ගුවන් යානයට සිදු වූ දේ නිශ්චිතව සඳහන් කිරීමට හෝ තාර්කික අනුමානයක් කිරීමට හෝ අඩුම තරමින් එහි කුඩා හෝ කැබැල්ලක්වත් සොයා ගැනීමට නොහැකි වීම පැහැදිලිවම තාක්ෂණයට අභියෝග කිරීමකි.

තාක්ෂණය පිළිබඳව උදම් අනන බොහෝ අය පවසනුයේ නව තාක්ෂණික සොයා ගැනීම නිසා ලොව ඉතා කුඩා වී ඇති බවකි. නමුත් සැබෑවටම එය එසේ සිදුවී ඇති නම් මෙතරම් කාලයක් මෙම යානය සොයා ගැනීමට නොහැකි වූයේ ඇයි?

දැනට සඳහන් කරන පරිදි මෙම යානය අතුරුදන් වූ ඉන්දියානු සාගරය වර්ග කිලෝ මීටර් මිලියන 76.56 ක් පමණ වන අතර එය ලොව තෙවන විශාලම සාගරය වේ. එහි කුඩා කොටසක පමණක් මෙම පිරික්සුම් කටයුතු සිදු කරන ගුවන් යානා වලටද මේ වනතුරුත් එක දිගට පැය කීපයකට වඩා මෙහෙයුම් සිදු කළ නොහැකි වනවා මෙන්ම නව තාක්ෂණය හමුවේ ද නිවැරදි තොරතුර සොයා ගැනීම ඉතා අපහසු වී ඇත.

දෛනිකව බොහෝ ගුවන් යානා තාවකාලිකව අතුරුදන් වීම සිදු වන බව බෙහෝ දෙනෙක් නොදන්නා කරුණකි. නමුත් යළිත් ඒවා රේඩාර් තිර මත දිස්වීමට පටන් ගනී. මේ අනුව පැහැදිලි වන්නේ ද තාක්ෂණය තවමත් නිවැරදිව භාවිතා වී නොමැති බවයි. ඒ වගේම තවත් පැහැදිලි වන කරුණක් වනුයේ චන්ද්‍රිකා තාක්ෂණය පවා ගුවන් සංතරණයේ දී නිවැරදි අයුරින් භාවිතා කර නොමැති බවයි. එසේ වූවා නම් මෙතරම් කලක් අපට බලා සිටීමට සිදු නොවනු ඇත.

කෙසේ වෙතත්  MH370 යානයේ මෙම අතුරුදන් වීම ගුවන් සංතරණයට චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීම පිලිබඳව කතිකාවතක් ගොඩ නැගීමට සමත් වී ඇති අතර නුදුරේ දීම ඒ සඳහා යන ගමන ඉක්මන් වනු ඇතැයි සිතිය හැක.

10 comments:

  1. මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ගුවන් යානා චන්ද්‍රිකා සමග හොඳ සන්නිවේදනයක් තියෙනවා ඇති කියල... මොකක් හරි තාක්ෂණික ගැටලුවක් නිසාද ඔය ජි.පී.එස් දත්ත ගන්න බැරි..

    ReplyDelete
    Replies
    1. පුධාන වශයෙන්ම තියෙන්නෙ දරන්න වෙන අධික වියදම

      Delete
  2. ඔව්, මහ ලොකුවට දියුණුයි, දියුණුයි කිව්වට තාම අඳුරේ අත පත ගාන බව මේ සිද්ධියෙන් පෙන්නුවා.

    ReplyDelete
    Replies
    1. බොහොමයක් දේවල් එහෙම තමා සෙන්නා

      Delete
  3. මේ ලෝකෙ තියෙන දේවල් හොයාගන්න බැරි උනාට අඟහරුවල හරි වෙන ග්‍රහලෝකෙක තියෙන දේවල් හොයාගන්න හරිනං අපේ අය හරි දක්ෂයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා, ඒවත් ඇත්ත ද කියලා අපි දන්නෙ නෑනෙ!

      Delete
    2. ඒක තමයි මාත් කලින් කීප පොලකම කියල තියෙනව ඒවත් විශ්වාස කරන්න අමාරුයි ‍මේ යන හැටියට.

      Delete
  4. ඔව් ඔව්.. වියදම කොච්චර සැර උනත් නිසි සන්නිවේදන ක්‍රමවේදයක් තිබිය යුතුමයි. කළු පෙට්ටි හොයන්න වද නොවී ඒ තොරතුරු එවේලේම ලබා ගත හැකි විදියක් තිබිය යුතුයි..

    ReplyDelete
  5. නැව් වලනම් තියනව Automatic Identification System (AIS) කියල එකක්..එකෙන් නැව තියනතැන වගෙම නැවට ඒ අවට තියන නැව් වල විස්තරත් පෙන්නනව.ඒ අරෙන්න EPIRB (Emergency Position-Indicating Radio Beacon),search and rescue transponder (SART) කියල උපකරන දෙකකුත් තියනව..මම දන්නෙ නෑ ගුවන්යානාවලනම් තියද කියල..

    ReplyDelete
  6. එක යානයක් අතුරුදහන් වෙලා මුහුදට වැටුනාම හොයන්න යන වියදමෙන් මුළු ලෝකෙම තියන ගුවන් යානා වලට අධි තාක්ෂණික GPS උපකරණ හයි කරන්න පුළුවන් ඇති. එහෙම දුරදිග කල්පනා කරලා වැටුනම මුළු සාගරේම පීර පීරා හොයන්නේ නැතුව දියුණු තාක්ෂණික උපකරණ හයි කරානම් අඩුම තරමේ වැටුන තැන හරි නිශ්චිතව දැනගෙන හොයන්න තිබුන. දැන් වෙන්නේ එකේ අනික් පැත්ත.

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....