අපේ රටට ගුවන් යානයක් ඇවිත් අදට වසර 100 - (2011 සැප්තැම්බර් 12)

අපි අද අපේ රටේ ගුවන් ක්ෂේත්‍රයේ දියුණුව සහ දියුණු කළ යුතු ආකාරය පිළිබඳ විවිධ දේ සාකච්ඡා කරනු ලබනවා. දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළත් ඉදි වෙමින් පවතිනවා. අපේ ගුවන් සේවා ඉතිහාසය රාවණා යුගය දක්වා වූ ඈත ඉතිහාසයකට දිව යනවා. ලෝකයේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමීන් අපි කියලා කිව්වොත් නිවැරදියි. මේ සඳහා යම් යම් සාක්ෂිත් තිබෙනවා. 

කොහොම වුනත් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශේෂ දිනයකට උරුම කම් කීමට අද දිනය සමත් වෙනවා. ඉතිහාස ගත සටහන් අනුව ලංකාවට මුලින් ගුවන් යානයක් ගෙනවිත් තිබෙන්නේ අද වැනි දිනකයි. එනම් 1911 සැප්තැම්බර් මස 12 වන දිනයේදී යි. 

මේ ගුවන් යානය ලංකාවට ගුවනින් ගෙන ඒමට හැකියාව තිබී නැහැ. මොකද ඒ කාලයේ එතරම් දියුණු මට්ටමේ ගුවන් යානා තිබිලා නැහැනෙ. එය ගෙනවිත් තිබෙන්නේ “රැබෙන් ෆැල්ස්“  (Rabenfels)  කියන නැවෙන්.  මේ යානය දෙදෙනෙකුට ගමන් කළ හැකි “බ්ලැරියට්“ මොනෝප්ලෙන් (Bleriot Monoplane) වර්ගයේ යානයක් තමයි ගෙනත් තියෙන්නෙ. මේ යානය ගෙනවිත් තිබෙන්නේ කොලින් බ්‍රවුන් (Collin Browne) කියන යුරෝපීය ජාතිකයෙක්. ඒ වගේම ඒ යානය මුලින්ම ගෙනවිත් තියෙන්නේ රු. 7490/- ට. වඩාත් සිත්ගන්නා සුළුදෙය වන්නේ මේ යානය මිළ දී අරන් තියෙන්නේ යම් ආයතනයකින් ලබා ගත් ණය මුදලකින්.
මේ තියෙන්නෙ ඒ පිළිබඳ පුවත් පත් වාර්තාව
මේ යානය අශ්ව බල 50 කින් යුතු එන්ජිමක් සහිත වූ අතර එන්ජිම සිලින්ඩර් 7 න් යුක්ත වී ඇත. යානයේ පළල අඩි 28 ක් පමණ ද දිග අඩි 32 ක් පමණ ද වී ඇති අතර එක් තටුවක දිග අඩි 13 ක් පමණ විය. යානයේ වේගය පැයට සැලතපුම් 100 ක් පමණ වී ඇත. 

මේ වගේ ගුවන් යානයක් තමයි එද ගෙනවිත් තිබෙන්නෙ.

ඉතින් මේ වසර 100 ක කාලය තුල ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය ඉතා විශාල දියුණුවක් ලබලා තියෙනවා. අද ජාත්‍යන්තර මට්ටමේ මගී ගුවන් සමාගම් දෙකකුත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් සමාගම් දෙකකුත් සේවයේ යෙදෙනවා. මීට අමතරව අභ්‍යන්තර ගුවන් ගමන් සදහා ගුවන් සමාගම් කීපයක් තිබෙනවා. තවත් කීපයක් ආරම්භ කිරීමට කටයුතු සම්පාදනය වෙමින් තිබෙනවා. ඒවගේම දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉදිකෙරෙමින් පවතිනවා.  තවද රත්මලාන ගුවන් තොටුපල නවීකරණය වෙමින් තිබෙනවා. අනෙකුත් අභ්‍යන්තර ගුවන් පථ ද වැඩි දියුණු කිරීමට අවශ්‍ය කටයුතු දැන් සිදු කරමින සිටිනවා. ඒ කියන්නේ මේ වසර 100 ක කාල සීමාව තුල අපේ ගුවන් ක්ෂේත්‍රය දියුණු වෙලා තියෙනවා.

ඉතින් මේ සටහන  වසර 100 ක් සිපිරෙන අපේ ගුවන් සේවා ඉතිහාසය “අපේ අහස“ හි සනිටුහන් කිරීමටයි.

මේ ඉතිහාසය ගැන වැඩිදුර මෙතනින් කියවන්න පුළුවන්.


2 comments:

  1. වැදගත් තොරතුරක්. ස්තුතියි.

    ReplyDelete
  2. කියෙව්වා. විස්තර වලට ස්තුතියි !

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....