අපේ නිල් අහස සුරක්ෂිතයි....... ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා විගණනය - 2010

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් ශ්‍රී ලංකාව තුළ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයෙහි ජාත්‍යන්තර ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීමේ මට්ටම සහ සම්බන්ධයෙන් නිරුපද්‍රිතතා සුපිරික්සුම් සිදුකිරීමේ හැකියාව පිළිබඳ විගණනයක් පසුගිය ඔක්තෝබර් 25 සිට නොවැම්බර් 04 දක්වා සිදු කරන ලදී. මෙහිදී  ශ්‍රී ලංකාව ඉහත කර්තව්‍යන් ඉටු කිරීමේ ක්‍රියාවලියෙහි ප්‍රමුඛස්ථානයක ඇති බව තහවුරු විය. ඉහත විගණන ක්‍රියාවලිය හා එහි පසුබිම පිළිබඳව සටහනකි මේ. මෙම ලිපියගුවන්සර“ 3 වන කලාපයේද පළවිය.

1944 වසරෙහිදී චිකාගෝ නගරයේදී අත්සන් කරන ලද ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සම්මුතිය හෙවත් චිකාගෝ සම්මුතිය  (Convention on International Civil Aviation/ Chicago Convention) මගින් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවාව නිරුපද්‍රිතව සහ ක්‍රමානූකූලව පවත්වා ගෙන යාම සහ වැඩි දියුණු කිරීමත්, සියල්ලන්ටම සමාන අවස්ථා ලැඛෙන පදනම මත ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සේවා පිහිටුවමින් සකසුරුවම් අන්දමින් සහ ස්ථාවර භාවයෙන් යුක්තව එම සේවාවන් මෙහෙය වීමත්  බලාපොරොත්තු විය. මෙම සම්මුතිය මගින් ගුවන් සේවාවට අදාළ ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ වෙනත් විධිවිධාන ගණනාවක් සම්මත කර ඇත.

චිකාගෝ සම්මුතිය මගින් ස්ථාපනය කරඇති කරුණූ ක්‍රියාත්මක කිරීමේ භාරකරු ලෙස එක්සත් ජාතීන්ගේ සංගමයට අනුබද්ධව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (International Civil Aviation Organization)පිහිටුවා ඇත. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා  නිරුපද්‍රිතව, සුරක්ෂිතව සහ ක්‍රමවත්ව පවත්වාගෙන යාම සහ වර්ධනය කිරීම පිණිස ජාත්‍යන්තර ගුවන් සංතරණයට අදාළ ප්‍රමිතීන් , නිර්දේශිතයන්, ප්‍රතිපත්ති සහ ශිල්ප ක්‍රම පවත්වාගෙන යාම, යාවත්කාලීන කිරීම සහ අලූතින් හදුන්වා දීම මෙම සංවිධානයේ කාර්භාරයයි. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා පදනම් වී ඇති චිකාගෝ සම්මුතියෙහි ඇමුණුම් දහ අටෙහි (18 annexes) අන්තර්ගත ප්‍රමිතීන් සහ නිර්දේශිතයන් ක්‍රියාත්මක කීරීම සහ අනුගමනය කිරීම සම්මුතියේ පාර්ශවකරුවන් වන සාමාජික රාජ්‍ය 190 විසින් සිදු කළ යුතුය.

ශ්‍රී ලංකාව 1948 ජුනි මාසයේදී චිකාගෝ සම්මුතියට අත්සන් තබා එහි පාර්ශවකරුවකු වී ඇති අතර ඒ අනුව ඉහත කාර්ය්‍යන් රටතුළ ක්‍රියාත්මක කිරීමේ සහ ඊට අනුකූලව කටයුතු කිරීමේ අනිවාර්ය වගකීම භාරගෙන ඇත.

සාමාජික රාජ්‍යයන් විසින් ඉහත භාරගත් වගකීම නිසිසේ ඉටු කරනු ඇත්දැයි පරීක්ෂා කිරීම සදහා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් තම පාර්ශ්ව රාජ්‍යයන්හි නිරුපද්‍රිතතා සුපරික්සුම් විගණන වැඩසටහනක් 1995 වසරේදී ආරම්භ කරන ලදී.

එම වැඩසටහන යටතේ සාමාජික රාජ්‍යයන් විසින් ස්වේච්ජාවෙන් ඉදිපත් වූ විට චිකාගෝ සම්මුතියට අදාළ ඇමුණුම් තුනක් පිරිස් බලපත්‍ර නිකුත් කිරීම- ඇමුණුම 1 (Personnel Licensing – Annex 1) , ගුවන් යානා මෙහෙයුම් -ඇමුණුම-06 (Operation of Aircraft –Annex 6) සහ ගුවන් යානාවන්හි යෝග්‍යතාව-ඇමුණුම් 08 (Airworthiness of Aircraft – Annex 08) අරබයා විගණනය පැවැත්වීම ආරම්භ කෙරිණ. එම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව තුළ 1997 වසරේදී විගණනයක් සිදු කෙරුණූ අතර එමගින් රටෙහි සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයෙහි පැවති දුර්වලතා සහ අඩුපාඩුකම් රැසක් අනාවරණය කරන ලදී. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව රටතුළ සිවිල් ගුවන් සේවා කර්මාන්තය පවත්වාගෙන යාම සදහා  අත්‍යාවශ්‍ය වූ කාර්යයන් රැසක් ඉන්පසුව ක්‍රියාවට නගන ලදී. එම ක්‍රියාවන් අතර පෙර පැවති නියාමන ආයතනය වන සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව වෙනුවට 2002 අංක 34 දරණ පාර්ලිමේන්තු පනත හරහා ශ්‍රි ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පිහිටුවීම, එම ආයතනය සදහා ප්‍රමාණවත් සේවක මණ්ඩලයක් විශේෂයෙන් තාක්ෂණික නිලධාරීන් බඳවා ගැනීම, අවශ්‍ය පුහුණූ වීම් ලබා දීම, සිවිල් ගුවන් සේවා නියාමන කටයුතු කාර්යක්ෂමව සහ සැලසුම් සහගතව සිදු කිරීම සදහා අවශ්‍ය මාර්ගෝපදේශ සහ සියලූ ක්‍රමවේද යාවත් කාලීන කිරීම සහ අලූතින් හදුන්වා දීම ආරම්භ කිරීම මෙන්ම නොබෝදා පාර්ලිමේන්තුවෙන් සම්මත වී රටෙහි සිවිල් ගුවන් සේවා නීතිය බවට පත් වූ 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනත කෙටුම්පත් කිරීම ප්‍රධාන තැනක් ගනී.

ආරම්භයේදී ස්වේජාවෙන් ඉදිරිපත් වූ සාමාජික රාජ්‍යයන් සදහා සිදු කරන ලද ජාත්‍යන්තර විගණන වැඩසටහන 2005 වසරේදී ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ආයතනය මගින් අනිවාර්යෙන්ම සිදු කරනු ලබන නිරුපද්‍රිතතා සුපරික්සුම් විගණනයක් ( Universal Safety Audit) බවට පරිවර්තනය විය.

එම වැඩසටහන යටතේ සිදු කරන විගණනයේදී සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ නිරුපද්‍රිතතාවයට අදාළ වූ චිකාගෝ සම්මුතියේ ඇමුණුම් 16 ක අඩංගු ප්‍රමිතීන් සහ නිර්දේශිතයන් ප්‍රධාන ක්ෂේත්‍ර අටක් ඔස්සේ දිවයින තුළ ක්‍රියාවට නැංවීමේ සහ නියාමනය කිරිමේ ක්‍රමවේදයන්  විමර්ශනයට ලක් වේ. එම ක්ෂේත්‍ර පහත සදහන් වේ.

·         ගුවන් සේවා මූලික නීතිය -Legislation
·         නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති ආයතික ව්‍යුහය - Organization
·         පුද්ගල බලපත්‍ර නිකුත් කිරීම - Personnel Licensing
·         ගුවන් යානා මෙහෙයුම - Operations
·         ගුවන් යානාවල ගුවන් යෝග්‍යතාව - Airworthiness
·         ගගන නාවික සේවා  - Air Navigation Services
·         ගගන යාත්‍රාංගන - Aerodromes
·         ගුවන් අනතුරු විමර්ශනය - Accident Investigation

 ඉහත සඳහන් ක්ෂේත්‍රයන් සම්බන්ධව පහත අංශ 8 ට අදාළව විගණනය සිදු කරනු ලැබේ.

·         නීති රාමුව - Legislation
·         මෙහෙයුම් රෙගුලාසි - Operating Regulations
·         ආයතනික සැලැස්ම - Organization
·         තාක්ෂණික නිලධාරීන් සංඛ්‍යාව සහ ඔවුන්ට ලබා දී ඇති පුහුණුව -Technical Personnel and Training
·         ලිඛිත මාර්ග උපදේශක  - Guidance Materials
·         පුද්ගලයින් සහ ආයතන සහතික කිරීමේ ක්‍රියාවලිය - Licensing and Certification
·         සහතික කරන ලද්දන්ගේ සහ ආයතන වල කටයුතු විමර්ශනය කිරීම - Surveillance
·         නීති බලාත්මක කිරීම - Enforcement

ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා සම්බන්ධයෙන් වන නිරුපද්‍රිතතා අධීක්ෂණ කටයුතු පද්ධතිය ක්‍රියාත්මක වන අයුරු පරීක්ෂා කිරීම සදහා වූ විගණනය 2010 ඔක්තෝබර් මස 25 වන දින සිට නොවැම්බර් මස 04 දක්වා පවත්වන ලදී. මෙහිදී ප්‍රශ්න 970 පදනම් කරගෙන විගණනය සිදු කරනු ලැබිණ.
ඉහත ඡායාරූපයේ සිටින්නේ ජාත්‍යන්තර විගණන කණ්ඩායමේ ප්‍රධානියා සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්තුමා.
මේ පින්තූරයේ සිටින මහත්වරුන් තිදෙනා තමයි කණ්ඩායමේ අනෙක් සාමාජිකයින්.

විගණනය අවසනදී විගණන කණ්ඩායම විසින් සිදු කරන ලද සමාලෝචනයේදී ශ්‍රී ලංකාව තුළ ඉතා ඉහල මට්ටමෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන් ක්‍රියාත්මක වීමද, නිරුපද්‍රිතතා විමර්ශන නියාමනයද සිදුවන බව අනාවරණය විය. තවද විගණන කණ්ඩායම විසින් කෙටුම්පත් කොට ඇති සොයාගැනීම් අනුව විගණන ක්ෂේත්‍ර අටෙහි රට තුළ ක්‍රියාත්මක වීමේ මට්ටම 91.22% ක ඉහළ මට්ටමකද ,විගණන අංශයන්හි සාර්ථකත්වය 89.88% ක ඉහළ මට්ටමක ඇති බව වාර්තා විය.

පහත තිබෙන්නෙ ඉහත ප්‍රශ්ථාරයේ කෙටි යෙදුම්.

LEG- මූලික නීතිය 
REG - මෙහෙයුම් රෙගුලාසි
ORG - ආයතනික සැලැස්ම
PER - තාක්ෂණික නිලධාරීන්ගේ ප්‍රමාණාත්මක බව සහ ලබා ඇති පුහුණුව
GUD - ලිඛිත මාර්ගේපදේශ
CER - පුද්ගල, ආයතනික සහතික කිරීමේ ක්‍රියාවලිය
SUR - නිරුපද්‍රිතතා විමර්ශණය
ENF - නීතිය බලාත්මක කිරීමේ ක්‍රියාවලිය

මෙම මහඟු ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකාවෙහි සිවිල් ගුවන් සේවා කටයුතු ලෝක තත්වය හා සැසඳීමේදී ඉතා ඉහළ මට්ටමක පවතින බවද දකුණු ආසියාතිකර රටවල් අතර ප්‍රමුඛත්වය ලබා ඇති බවද පෙනී යයි.මීට අමතරව ශ්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය ලෝකයේ බොහෝ දියුණු රටවල් හා කරට කර සිටීමක් ලෙස සඳහන් කළ හැකිය.
මේ ලබා ගත්ත සාර්ථකත්වය පිටුපස තිබෙන්නේ නිවැරදි නායකත්වය සහ කණ්ඩායම් හැඟීම. ඒ වගේම රටට යමක් කිරීමේ අවශ්‍යතාවයත් මේ පිටුපස අනිවාර්යයෙන් තිබෙනවා. ඒ වගේම තමයි සේවයට තිබෙන කැපවීම. මේ විගණනයට සම්බන්ධ වූ සියළුම නිලධාරීන් දෛනික රාජකාරී කාලසීමාව නොසලකා සේවයට කැපවී කටයුතු කළා.



3 comments:

  1. අද එක නම් එ් තරම් රස නැහැ....ඇයි දැන් අඩුවෙන් ලියන්නේ. අපි ආසවෙන් කියවන හින්දා පාඨක දොලදුක වැඩි කරලා ලියන එක අඩු කලාද? :D

    ReplyDelete
  2. හැමදාම වගේ අදත් ඔයා පළවෙනියා. මම දන්නවා මේ රසවත් නැහැ කියලා. ඒත් මේ ලබා ගත්ත ජයග්‍රහණය නිසා අපේ රට ජාත්‍යන්තරයේ විශාල කීරතියකට පත් වුණා. ඒ වගේම ගුවන් සේවා ක්ෂේත්‍රයට ලැබෙන ආර්ථික වාසි ඉතාම වැඩියි. මේ ගැන සිංහලෙන් අන්තර්ජාලයට එකතු වෙලා නැහැ. ඒකයි මම ලිව්වෙ. කොහොම උනත් මම ලිපි ලියන්න ප්‍රමාද වුනේ ඔය වැඩ වලට කාලය කැප කරන්න වුණ නිසා. තවත් රසවත් මාතෘකා පෙළ ගස්වා තියෙනවා. ඉක්මනටම දාන්නම්

    ReplyDelete
  3. රසවත් නැතිඋනත් ලිපිය කියෙව්ව.
    තවත් ලිපි ඉක්මනින් ලියන්න.

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....