සිවිල් ගුවන්යානා අනතුරු විමර්ශනය - Civil Aircraft Accident Investigation


අද මම කියන්න යන්නේ ගුවන් යානා අනතුරු විමර්ශණය ගැන කියලා මාතෘකාව දැක්කම පේනවානේ. හැබැයි මේ සටහන මම උපුටා ගත්තේ ගුවන් යානා අනතුරු විමර්ශණ නිලධාරී (Aircraft Accident Investigation Officer) විසින් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහා සකස් කරන ලද ලිපියකිනුයි. ඒ සඳහා ඇයට ස්තුතිවන්ත විය යුතුයි. 



ශ්‍රී ලංකාව තුල සිවිල් ගුවන්සේවාවෙහි නිරූපද්‍රිතතාව හා සුරක්ෂිතතාව (Safety and Security) ප්‍රවර්ධනයට බැඳී සිටින ආයතනය ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය (Civil Aviation Authority of Sri Lanka) වේ. සිවිල් ගුවන්සේවා අධිකාරිය පිහිටුවීමේ පනතෙහි සහ ගුවන්සංතරණ රෙගුලාසීන් හි අඩංගු නීතිමය කරුණු අනුව, ශ්‍රී ලංකාව තුළ සිදුවන සියලු සිවිල් ගුවන් අනතුරු විමර්ශනය කිරීමේ (Accident Investigation) සහ පිරික්සුම් හා මුදවාගැනීමේ (Search & Rescue) සංවීධානයක් ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ බලය පැවරී ඇත්තේ,  සිවිල් ගුවන් සේවා අධිකාරියටයි.
ගුවන් අනතුරක් විමර්ශනය කිරීමෙහි මූලික අරමුණ වන්නේ, අනතුරට පාදක වූ හේතූන් සහ තත්වයන් හෙලිදරවු කර ගැනීම සහ එවැනි කරුණු මත අනාගතයේදී සිදුවිය හැකි අනතුරු මඟහැරවීමට නිසි පිළියම් යෙදීමය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන්යානා (Military Aircraft) සම්බන්ධයෙන් සිදුවන අනතුරු වලදී විමර්ශනය කිරිමේ බලතල පැවරී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවටය.  
සිවිල් ගුවන්යානා යනුවෙන් අදහස් කරනු ලබන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන්යානා ලියාපදිංචි ලේඛණයේ ලියාපදිංචි කරන ලද ‍‍‍හෝ විදේශ රටක ලියාපදිංචි කරනු ලැබූ, මඟීන් හා භාණ්ඩ ප්‍රවාහනයේ යෙදෙන ගුවන් යානා වේ.
එවැනි සිවිල් ගුවන් යානාවකට ශ්‍රී ලංකාව තුල කිසියම් අනතුරක් සිදුවූ වහාම එම ස්ථානයට වාර්තා කර එහි විමර්ශන කටයුතු ආරම්භ කිරීම ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නොපමාව සිදුකළ යුතු අතර, සිද්ධියට අදාල සියලුම තොරතුරු (ලිඛිත, ද්‍රව්‍යමය, වාචික හා අනෙකුත් සියලු) හැකි ඉක්මනින් රැස්කර ගැනීම සහ ඒවා ආරක්ෂාකර ගැනීමද  අත්‍යවශ්‍යවේ.

එබැවින් එවැනි අනතුරක් සිදුවූ වහාම ඒ පිළිබඳව දන්නා සියලු තොරතුරු තම අනන්‍යතාවයද තමන් නැවත සම්බන්ධකර ගත හැකි දුරකථන අංකයන්ද සහිතව හැකි ඉක්මනින් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියට සහ ළඟම ඇති පොලිස් ස්ථානයට දැන්වීම මහජනතාවගෙන් කාරුණිකව අපේක්ෂා කරනු ලැබේ.
ඒ සඳහා පහත සඳහන් දුරකථන අංක ඔස්සේ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය සම්බන්ධ කර ගත හැකි වේ.
කාර්යාල වේලාවේදී
0815-1615 පැය (සති අන්ත හා නිවාඩු දිනවල හැර)
011 2333447 / 011 2391462 / 011 2 433213 දිගුව - 801/804
කාර්යාල වේලාවෙදී හෝ නොවන වේලාවේදී (පැය 24 තුළ)
0777 352081 / 0777 352082 / 0777 352083
ෆැක්ස් - 011 2424540 / 011 2440231

තවද, බොහෝ විට සිවිල් ගුවන් සේවා අධිකාරියේ විමර්ශන කණ්ඩායම අදාල ස්ථානයට ළඟාවීමට පෙර, අදාල ප්‍රදේශයේ පොලිස් නිලධාරි මහතුන් එම ස්ථානයට පැමිණෙන බැවින්, ඔවුන් පැමිණෙන තෙක් අනතුරු සිදුවූ ස්ථානයේ ඇති, විමර්ශන සඳහා වැදගත් වන සියලු ද්‍රව්‍යයන් (ගුවන්යානයේ කොටස්, වැනි දෑ) රැගෙනයාමට ඉඩ නොතබා එම ස්ථානය උපරිමයෙන් ආරක්ෂා කර දීමෙන් ඔබ‍ගේ දායකත්වය ලබාදීම මෙම විමර්ශන කටයුතු සාර්ථක කර ගැනීමට මහත් පිටිවහලක් වනු ඇත.    

1 comment:

  1. අහම්බෙන් මේ පැත්තට ආවේ. ලිපි ටික ඔක්කොම කියෙව්වා. ඉතාම වටිනවා. දිගටම ලියන්න.
    ජය ශ්‍රී!!!

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....