රාවණාගේ යුගයේදී ලංකාවේ ගුවන ජයගත් බවට පුරාවෘත සහ යම් යම් සාක්ෂි තිබුණත් 1903 දී ඇමරිකාවේ දී ගුවන් යානය සොයා ගැනීමත් සමග ආරම්භ වන යුගයේ දී ලාංකික ගුවන් ක්ෂේත්‍රයේ පිබිදීම පිළිබද සාක්ෂි සහ වාර්තා තිබේ. එනම් ගුවන් යානය සොයා ගැනීමෙන් දශකයකට පසුව ලාංකීය ගුවන පිබිදීම ආරම්භ විය. මුලින්ම 1911 කොලින් බ්‍රව්න් (Colin Browne ) නැමැති ඉංග්‍රීසි ජාතිකයා විසින් බ්ලැරියට් (Bleriot monoplane) වර්ගයේ ගුවන් යානයක් මෙරටට ගෙන්වන ලදී. මෙය ඉතා දුර්වල සහ සැහැල්ලු ගුවන් යානයක් වූ අතර මෙම යානය නැවෙන් ගොඩබාන ලද්දේ 1911 සැප්තැම්බර් 12 වන දින දීය. මෙම යානය එම වර්ෂයේ නොවැම්බර් මස මහජනයා සඳහා ප්‍රදර්ශණය කරන ලද අතර මෙහිදී ද ගුවන් ගත වීමක් සිදු නොකරන ලදී. එහිදී ගුවන් යානය පණ ගන්වා පෙන්වීම පමණක් සිදු කරන ලදී. මේ පිළිබඳව පළකරන ලද දැන්වීම පහත දැක් වේ.
බ්ලැරියට් වර්ගයේ යානයක්
මේ අතරේදී ජර්මානු ජාතිකයෙකු වන හර් ඔස්ටර් (Herr Oster) තවත් ගුවන් යානයක් ගෙන්වන ලද අතර මින් පසුව බ්‍රව්න් මහතා සහ ඔස්ටර් මහතා අතර ලංකාවේ පළමු ගුවන් ගත වීම සඳහා තරඟයක් තිබිණි. කෙසේ වෙතත් මොවුන් දෙදෙනාටම සාර්ථක ගුවන්ගත වීමක් (Take off) සහ ගොඩබෑමක් (Landing) සිදු කිරීමට අපහසු විය. කෙසේ වෙතත් ඔස්ටින් විසින් රාජකීය විදුහලේ දී සාර්ථක ගුවන් ගත වීමක් සිදු කර වටයක් කැරකැවුණ නමුත් ඔහුට ගොඩබෑම සාර්ථක කර ගැනීමට නොහැකි විණි. මෙහිදී අනතුරකට පත් වුණු යානය පිළීසකර කරන ලද්දේ වඩුබාස් කෙනෙකු විසින් බව පුවත්පත් වල සඳහන් වේ. කෙසේ වෙතත් පළමු සාර්ථක ගුවන් ගමනක් සිදු කර ඇත්තේ ප්‍රංශ ජාතිකයෙකු වන මාර්ක් පෝප් (Marc Poupe) විසිනි. ඒ 1911 දෙසැම්බර් 10 බව සදහන් වේ.
මේ කාලය වන විටත් ගුවන් ධාවන පථයක් නොතිබූ අතර 1935 දී නව ධාවන පථයක් රත්මලානේ දී සකස් කරන ලදී. මේ ධාවන පථයට මුලින්ම යානයක් ගොඩ බස්සවන ලද්දේ මදුරාසි ගුවන් සමාජයේ (Madras Flying Club) හැරල්ඩ් ටයන්ඩේල්-බිස්කෝ මහතා (Mr. Harold Tyndale-Biscoe) විසින් වන අතර ඒ 1935 නොවැම්බර් මස 27 වන දින දීය. මෙහි දී ගොඩබස්සවන ලද්දේ “හැවිලන්ඩ් පුස් මොත්“ (Havilland Puss Moth) යානයක් විය.
මේ කාලයේදී ගුවන් යානා ගෙන් වීම වැඩි වීම නිසා සිවිල් ගුවන් යානා ලියා පදිංචි කිරීම ආරම්භ කරන ලද අතර කාන්තාවන් ද පෞද්ගලික නියමු බලපත්‍ර ලබා ගැනීම විශේයෙන් කැපී පෙනිණ. (ශ්‍රී ලංකාවේ ගුවන් ඉතිහාසයේ කාන්තා නියෝජනය පිළිබඳ ලිපියක් ඉදිරියේදී පළ කිරීමට අදහසක් ඇත)
ඉන්පසු 1938 වසරේ පෙබරවාරි මස 28 වන දින ලංකාව සහ එක්සත් රාජධානිය අතර ගුවන් තැපැල් මෙහෙයුම් ආරම්භ කරන ලදී. මේ සඳහා ඉන්දියාවේ “ටාටා“ ගුවන් සමාගමේ (TATA Airlines) “වැකෝ බයිප්ලේන්“ (WACO Biplane) යානයක් උපයෝගී කරන ලදී.
මේ කාලයේ දී ලංකාවේ උපත ලද කාන්තාවක් ද ගුවන් නියමුවරියක් ලෙස රාජකීය ගුවන් හමුදාවට බැඳී ඇත.
මින් පසුව ලංකාවේ ගුවන් ඉතිහාසයේ ඉදිරි දිග හැරුම මාගේ මීට කලින් පළ කරන ලද “එයාර් සිලෝන් ඉතිහාසය“ නැමැති ලිපියේ සඳහන් කර ඇත. දැනට මේ ඇති. තවත් විස්තර ඉදිරියෙදී බලමු.
නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා. ස්තුති
ReplyDeleteකියෙව්වා. විස්තර වලට ස්තුතියි !
ReplyDelete