සේපාල ඒකනායක - Sepala Ekanayake


ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙන නිසා මා කැමතියි මේ ගැන ලියන්න.
සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට.  අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා.
ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා.
මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා.
ඔහු කීහිප විටක් ම උත්සාහ කරනු ලැබූ මුත් වීසා ලබා ගැනීමට ඔහුට නොහැකි වෙනවා. ඉන්පසුව තමයි ඔහු තීරණය කරන්නේ ඉතාලි ගුවන් යානයක් තමා යටතට ගෙන ඒ හරහා අදාළ ඉල්ලීම කරන්න.
ඒ අනුව 1982 ජූනි 30 ඔහු ඉන්දියාවේ නව දිල්ලියට ගොස් එහිදී ඉතාලියේ සිට ඉන්දියාව හා බැංකොක් හරහා ජපානය බලා යන “අලිටාලියා“ ගුවන් සේවයට අයත් බෝයිං 747 වර්ගයේ ගුවන් යානයකට ගොඩවෙනවා. මෙහි මගීන් 300 පමණ සිට තිබෙනවා.
ගුවන් යානය ගුවන් ගත වී අඩි 35000 ක් පමණ උසකට පැමිණ ස්ථායි වූ පසු සේපාල ගුවන් නියමුවා වෙත ලිපියක් යවමින් තම ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබූවා. පළමු ඉල්ලීම වුණේ ඔහුගේ පුතා සහ බිරිඳ බැංකොක් ගුවන් තොටුපළට ගෙනවිත් දීම. දෙවැන්න වුණේ ඩොලර් 300,000/- මුදලක් කප්පම් වශයෙන් ලබා දීම.
මීට අමතරව ඔහුගේ ලිපියේ පහත කරුණුත් සඳහන් වුණා.
“මෙම ගුවන් යානය බැංකොක් ගුවන් තොටුපළේ නැවැත්විය යුතුයි. සියළු දොරවල් විවෘත නොකළ යුතුයි.සියළුම ඉල්ලීම් බැංකොක් සහ ඉතාලි බලධාරීන් වෙත වහාම දැනුම් දිය යුතුයි. සියළු සන්නිවේදන කටයුතු ගුවන් විදුලි සන්නිවේදන මාර්ගයෙන් පමණක් විය යුතුයි. දැනට අප සතුව ඉතාලියේ නිෂ්පාදිත නවීන බෝම්බ ඇති අතර යම් හෙයකින් අපව මුලා කළ හොත් යානය සියළු මගීන් සමග එම බෝම්බ උපයෝගී කරගෙන පුපුරුවා හරිනු ලබන අතර ඊට සමගාමීව ඉතාලියේ මොඩෙනා නගරයේ සහ වෙනත් නගරයක ද පිපිරීම් සිදු කරනු ඇත.“
සේපාලගේ ලිපිය දුටු විගස ප්‍රධාන නියමු ජියෝර්ගෝ අමරෝසා ගුවන් යානය අඩි 25000 දක්වා පහතට ගනු ලැබූවා. ඒ විනාශය අවම කරන්න.
පැය කීපයකට පසුව ඔහු ඉල්ලා සිටි පරිදි ඔහුගේ බිරිඳ සහ දරුවාත් ඉල්ලූ මුදලත් බැංකොක් වෙත ගෙන එන බවට තොරතුරු ලැබුණා. පැය 30 ට පමණ පසු ඔවුන් බැංකොක් වෙත පැමිණියා. ඉන්පසුව සේපාල විසින් මගීන් මුදා හරනු ලැබු අතර ඔහු ගුවන් යානයෙන් පිටතට පැමිණියා.
නමුත් ඉන්පසුව සේපාලට ගැටළුවක් ඇති වුණා දරුවාත් බිරිදත් අළුතින් ලැබුණ ධනයත් රැගෙන යන්නේ කුමන ස්ථානයට ද කියා. මේ අවස්ථාවේ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන මානෙල් අබේසේකර මහත්මිය පැමිණ  ඔහුට බිය නොවන ලෙසත් ඔහුට ශ්‍රී ලංකාවට යා හැකි බවත් සදහන් කළා.
මේ අතර ඉතාලි රජය විසින් ශ්‍රී ලංකා රජයට බලපෑම් කරමින් සේපාලව ඔවුන්ට භාර දෙන ලෙස ඉල්ලා සිටියා. නමුත් පොදු මතය වූයේ එසේ නොකරන ලෙසයි. මෙහිදී ජේ. ආර්. ජයවර්ධන රජය උභතෝකෝටික ප්‍රශ්ණයකට මුහුණ දුන්නා. පසුව ගාල්ල පොලීසිය විසින් සේපාල ව අත් අඩංගුවට ගෙන වැලිකඩ සිරගෙයට ගෙන එනු ලැබූවා. මේ අතර සේ පාලගේ බිරිද සහ දරුවා ඉතාලිය වෙත යැවීමට ඉතාලි තානාපති කාර්යාලය ට හැකිවුණා.  

සේපාල අත් අඩංගුවට ගත්ත ද ඔහුට විරුද්ධව නඩු පැවරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන එවකට තිබුණේ නැහැ. රජයට සිදු වුණා අළුතින් ම නීති සම්පාදනය කරන්න. ඒක තමා ලාංකීය ඉතිහාසයේ අතීතයට බලපාන ලෙස සකස් කරන ලද පළමු නීතිය.
සේපාල ගේ නඩුව නීතිපති වෙනුවෙන් ඉහළ උසාවියේ විනිසුරු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජේ. ජේ. එස්. ඒ. ඩයස් උපවංශ යාපා ඉදිරියේ විභාග කරනු ලැබූ අතර සේපාල ඒකනායක වෙනුවෙන් සුප්‍රසිද්ධ නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න පෙනී සිටියා. යානයේ ප්‍රධාන නියමුවා වූ අමරෝසා මහතා ද සාක්ෂි සදහා ශ්‍රී ලංකාවට පැමැණියා.
නඩු විභාගය අවසානයේදී සේපාල ඒකනායකට වසර 5 ක සිර දඬුවම් නියමු වුවා. සිර ගතව සිටින කාලයේ දී ඔහු විසින් නාට්‍ය නිෂ්පාදනය කරනු ලැබූ අතර ඒවා සිරකරුවන් අතර ඉතා ජනප්‍රිය වූවා. කෙසේ වෙතත් 1987 වසරේදී ඔහුව නිදහස් කරනු ලැබූවා.
පසුව ඔහු ඉංග්‍රීසි ගුරුවරියක් වූ යසංගනී මධුපාලි සමග විවාහ වූ අතර ඔවුන්ට දියණියක් සහ පුතෙක් සිටිනවා. පසුව ඔහු විසින් “උට සහ තොට“ නමින් පොතක් ද ලියා පළ කළා. ඔහු දැන් ව්‍යාපාරිකයෙක්.
මේ සිද්ධියේ යථාර්ථය වන්නේ ඔහු මේ කාර්ය සිදු කර තිබෙන්නේ දරුවාටත් බිරිඳටත් තිබූ අසීමිත සෙනෙහස නිසා. ඒ ආකාරයෙන් විමසා බලන කළ ඔහු යම් අගය කිරීමකට ලක් කළ යුතු පුද්ගයෙක්. ඒ වගේම 1982 වාගේ කාලයකදී ඔහු විසින් එය මැනවින් සංවිධානය කර තිබෙන බවත් පැහැදිලි වෙනවා.  එකළ පළවූ පුවත් පත් වලට අනුව ඔහු ලබා ගත් මුදල ලංකා බැංකුව විසින් තැන්පතුවක් ලෙස භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. නමුත් පසුව යම් කොටසක් ඔහු තැන්පත් කර තිබෙන බවටත් වාර්තා වී තිබෙනවා.

මේ ලිපිය සකස් කිරීමේ දී ගුණදාස ලියනගේ මහතා විසින් 1997 මැයි 04 වන දින සන්ඩේ ටයිම්ස් පුවත් පතට සපයන ලද ලිපිය ද උපයෝගී කර ගනු ලැබිණ.
මෙතනින් එම ලිපිය බලන්න 

42 comments:

  1. නොදත් කරුණු ගොඩාක් දැන ගත්තා

    ReplyDelete
  2. මමත් මේ පුද්ගලයා ගැන යම් කරුණු ප්‍රමාණයක් රූපවාහිනී වැඩසටහනකින් අසා තිබුණා. මෙපමණ විස්තර දැනගත්තේ මේ ලිපියෙන්. බොහොම ස්තූතියි...

    ReplyDelete
  3. read article

    http://www.nation.lk/2007/07/15/newsfe5.htm

    ReplyDelete
  4. http://www.nation.lk/2007/07/15/newsfe1.htm
    http://sundaytimes.lk/970504/plus10.html

    ReplyDelete
  5. හරවත් යමක් ලිවීම ගැන ස්තුතිය.

    පොඩි එකතුවක් කරන්න අවසර.

    සේපාල ඒකනායක මහතා කටුනායක ගුවන් තොටුපලින් ලංකාවට ගොඩ බසිද්දී එවකට රජයේ ප්‍රබල ඇමැති වරුන් ඔහු පිලිගන්න ගොස් සිටී බවත් කියැවුනා. ඉන් පසු ඔහු හරසරින් පිරුණ පිලිගැනීම් මැද උපන් ගමට යමින් සිටියදී නිකුත් කල හදිසි නියෝගයක් නිසා ගාල්ල පොලීසිය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ.

    ඔහුව අත් අඩංගුවට ගැනීම, අත්තිතයට බලපාන සේ නීති ගෙන ඒම ආදී සියල්ලට එවකට සිටි රජයට තිරිඟු පරිත්‍යාගයක් ඉතාලි රජයෙන් කල බව ඒ කාලයේ ප්‍රකට වූ කරුණකි.

    ReplyDelete
  6. වැදගත් ලිපියක්! සේපාල ඒකනායක ගැන ලංකාවෙ මීට වඩා කතාබහක් ඇතිවෙන්න ඕනෙ කියලා හිතනවා!

    ReplyDelete
  7. ලංකා ඉතිහාසයේ වැදගත් සිදුවීමක්..දන්නේ නැති හුගක් දේවල් දැන ගත්තා..

    ReplyDelete
  8. අතීතයට බලපාන ලෙස නීති සකස් කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. Yes retrospective legislation enacted because it enabled British courts to hear over war crimes committed during the Second World War.

      Delete
  9. ගොඩක් දේවල් දැන ගත්තා එල එල

    ReplyDelete
  10. වටිනා ලිපියක් මිත්‍රයා. මේ වගේ දෙයක් ගැන දන්න කියන අයත් හරි අඩුයි. මේ විදිහට හරි එයාලව දැනුවත් කරන එක වටිනවා.
    http://en.wikipedia.org/wiki/Sepala_Ekanayake

    @ Anonymous -
    මම දන්න විදිහට අතීතයට බලපාන විදිහට නීති පනවන්න නම් බැහැ තමා. ඒත් ජේ. ආර් රජය බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කලෙත් ඔය විදිහටම අතීතයට බලපාන විදිහට නීති පනවලා තමා.

    ඊට පස්සේනේ මේක වුණේ. 5/6 ක් බලයක් හිමිවෙලා තිබුණු රජයකට ඒවා ඒ කාලේ සුලු වැඩ වෙලා තිබ්බේ.....

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75වගන්තිය අතීතයට බලපාන පරිදි නීති සැකසිය හැකිය.

      Delete
  11. වටිනා ලිපියක්. දැන නොසිටි දේවල් දැන ගන්නට ලැබුනා.

    අතීතයට බලපාන නීති විතරක් නෙමෙයි ජයවර්දන ජනාධි පති තුමා කියල තිබ්බෙ ඒ කාලේ ගෑනියෙක් මිනිහෙක් කරන්නත් මින්හෙක් ගෑනියෙක් කරන්නත් විතරයි බැරි කියලා.

    ReplyDelete
  12. මට හිතෙන විදිහට මේ ලිපිය,මිට අවුරැදු කිපයකට කලින් ලංකාදිප පත්‍රයේ දියත අතිරේතයේ ගිය කථාවෙ සංක්ෂිප්තයක්...

    ReplyDelete
  13. වටිනා ලිපියක් මිත්‍රයා.

    ReplyDelete
  14. පොදුවේ සියළුම අදහස් වලට ස්තුතියි.
    සාමාන්‍යෙයෙන් අතීතයට බලපාන විධියට නීති සකස් කිරීමට නොහැකියි තමා. එහි යම් සදාචාර විරෝධී බවක් තිබෙන බව බැලු බැල්මට පෙනෙනවා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාත්‍යන්තර ප්‍රජාවට එරෙහිව සිදු කරන වැරැද්දක් සඳහා මෙවන් තත්වයක නීති සකස් කිරීමට ප්‍රතිපාදන තිබෙනවා.

    මේ ලිපිය සකස් කිරීමේදී මා අධ්‍යයනය කළ ලිපියේ සබැඳුම මා ලිපියට යටින් සදහන් කර තිබෙනවා. “දියත“ අතිරේකයේත් මෙය පළවන්නට ඇති.

    සේපාල ඒකනායක කියන පුද්ගලයා පිළිබඳව රටේ මීට වඩා සුභදායී කතිකාවක් ඇති විය යුතුයි කියලා මමත් අදහස් කරනවා.

    ReplyDelete
  15. සේපාල ඒකනායක ගැන මමත් මේ විස්තර අහල තිබුනා. මේ ලිපිය හුඟක් සාර්ථකයි. ඔහුගේ වර්තමාන තත්වය කෙසේදැයි දැන ගැනීමට කැමතියි...

    ReplyDelete
  16. සේපාල කියන්නේ පොඩිකාලේ මගේ වීරයන්ගේන් ලංකාවේ හිටපු එකම කේනා...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මා නම් එවන් තොරතුරක් නොදනී. තොරතුරක් දන්නා කෙනෙකු වේ නම් විස්තර දෙන්න.

      Delete
  17. ආ මෙන්න රොබ්න් හුඩුත් ඇවිල්ලා. සාදරයෙන් පිළිගන්නවා. ඇත්තටම බුද්ධි මගේ පෞද්ගලික අදහස නම් එයා අපේ සදාකාලික වීරයෙක් වෙන් ඕන කියන එකයි.

    ReplyDelete
  18. හැබැයි තව දෙයක්. සේපාල ගැන මමත් දන්නෙ ඔච්චරයි! පස්සෙ කාලෙකදී ෆී ත් ලංකාවට ආවානේද තාත්තා බලන්න. තව විස්තර දන්නැද්ද ඔයා..... මේ වගේ පුද්ගලයෙක්ගෙ පුද්ගලික ජීවිතේ ගැන හෙව්වට කමක් නැ මම හිතන්නේ. මෙයා රටක් වටින මිනිහෙක්නෙ.. අර ඔයා කියන්නැහේ සිය පවුල වෙනුවෙන්නෙ මේ ඔක්කොම කලේ.. හැබැයි බිරිද ආවේ නැ නේද ආයෙත්.....
    .......................
    මම කමෙන්ට් නොකලාට මේක බුක්මාක් කරං කියෝනවා. ආයේ කියෝලා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න ඕනැ. නැත්තං ඒක අත්මාර්ථකාමී වැඩක් කියල හිතෙනවා....

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/100001262764719/posts/1981371148581625/

      Delete
  19. ඇත්ත. ෆ්‍රී ලංකාවට ආවා. ජාලයේ බැලුවොත් ඒ වෙලාවෙ ගත්ත ෆොටෝ තියෙනවා. සේපාල මහතා ටික කාලයකට පෙර නුවරඑළියෙ සෆාරි ජීප් වගයත් කරලා තියෙනවා. තවත් කාලයකදී බන්දුල ගුණවර්ධණ මහතාගේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් දැන්නම් මොනවා කරනවා ද දන්නෙ නැහැ. මමත් එතුමා දකින්න හරිම අශාවෙන් ඉන්නෙ. මම මේ දවස්වල ලංකාවෙ ගුවන් ඉතිහාසය පිළිබඳ ලොකු වැඩකට අත ගහලා ඉන්නෙ. ඒකට අනිවාර්යයෙන් එයාවත් අවශ්‍යයි. මම එයාව හමු වුනොත් මේ කමෙන්ට්ස් ටික පෙන්නවා.

    ස්තුතියි කමෙන්ට කරනවට. ඒක තමා ඇත්තටම ශක්තිය. සතුට.

    ReplyDelete
  20. අඩේ මේක මම දක්කේ දැන්නේ... මාත් එකක් ලියුවා මේ ගැනම....

    ReplyDelete
  21. තව එකක් ... ඔබ මගේ ලිපියට කමෙන්ට් එකකුත් දාලා තියනවා.. නිකන්වත් මේ ගැන සඳහනක්වත් නොකරම..

    ReplyDelete
  22. අතීතයට බලපාන විදියට හිතුමතයේ නීති සම්මත කිරීම- ex post facto වැරදිසහගතයි .ඒය පිලිගන්නවා නමුත් මේ කතාවේ ඉමෝශනල් දේවල් පැත්තක තියලා වෙන විදියකට බැලුවොත් මෙතැනින් වුන හොඳ දෙයක් තියෙනවා . ඒ අපි රටක් හැටියට ජාත්‍යන්තර නීතිය පිලිගත්තු වෙලාවක්

    ලංකාව ජාත්‍යන්තර නීතී සහිත සම්මුති වලට අත්සන් කලාට ඒ එකකින් වත් බැඳෙන්නේ නෑ. හේතුව අපිට තියෙන්නේ dual ලීගල් සිස්ටම් එකක් . අපි ජාත්‍යන්තර සම්මුති අත්සන් කලත් පාර්ලිමේන්තු පරමාධිපත්‍ය පිලිගන්නවා . ඒ අනුව ඕනෑම නීතියක් පාර්ලිමේන්තුවෙන් සම්මත විය යුතුයි . ඒ එක්කම හැත්තෑ අටේ ව්‍යවස්ථාවේ තියෙන ව්‍යතිරේකය තමයි ජාත්‍යන්තරව ප්‍රජාව කාලයක් තිස්සේ පිලිගත්තු යම් චාරිත්‍රමය කරුණු - international customary law අරභයා අතීතයට බලපාන ආකාරයේ නීති /පනත් පසුකාලීනව ඇතිකල හැකි බව .

    සේපාල මේ සිද්ධියට මුල් වෙනකොට ලංකාවේ එයාර් පයිරසි - air piracy ගැන නීති තිබ්බේ නෑ . නමුත් රටක් විදියට එයාර් පයිරසි ගැන ඒ වෙනකොට තියෙන ජාත්‍යන්තර සම්මුති 3 කට අපි අත්සන් කරලා තිබුණා . ඒවා දිහා බැලුඉව නීති වේදීන් කිව්වේ ඒ සම්මුති වලින් කියවෙන නීතිමය කාරණා ගොඩාක් ජාත්‍යන්තර චාරිත්ත්‍ර නීතියට අයිති නිසා අපිට පුලුවන් වෙනවා කියලා අතීතයට බලපාන විදියට සේපාලට දඬුවම් කරන්න පනතක් සම්මත කරන්න අපෙ රටේ

    ඔහුට අසාධාරණයක් වුනා වෙන්න පුලුවන් .නමුත් තව පැත්තක් තියෙනවා රටක් විදියට අපි මේ දේ නොකලනම් අපිට ජාථ්‍යන්තර බලපෑම් ගොඩාක් එල්ල වෙන්න පුලුවන් කම තිබුණා . මොකද අපි එයාර් පයිරසි වලට උදවු කරන රටක් කියලා .

    අනික් කාරණේ සේපාලට අසාධාරනයක් වුනත් මේක ලංකාවේ jurisprudence වල හොඳ example එකක් වෙනවා අපි ජාත්‍යන්තර චාරිත්‍රමය නීතියෙන් බැඳීම නිසා . අපිට තියෙන කිසිම ජාත්‍යන්තර සම්මුතියකි නියම ප්‍රයෝජන ගන්න බැරි අපේ ඩුවල් ලීගල් සිස්ටම් එකයි . ඒක ටිකක් වෙනස් විදියට දැකපු තැනක් මේ

    ReplyDelete
    Replies
    1. ඔයාගේ අදහස මමත් පිළි ගන්නවා. ඒ අවස්ථාවෙ අපේ රට ඒ දේ නොකරා නම් සමහර විට අපේ ගුවන් ක්ෂේත්‍රයේ යම් අර්බුදයකට මුහුණ පාන්න ඉඩ තිබුණා ජාත්‍යන්තරව. ඒ වගේම තව දුරටත් යම් සිද්ධි සිදුවන්න ඉඩ තිබුණා.
      තවත් දෙයක් ඔබ නම දාලාම ආවා නම් තවත් අගෙයි. ඒත් ඒක එච්චර ගැටළුවක් නෙමේ ඔබේ අදහසුත් එක්ක

      Delete
    2. බොහොම ස්තුතියි .නමින් මම බ්ලොග් ස්පියර් එකට එන්න වැඩිය ආසා නැහැ වර්චුවල් වර්ල්ඩ් එකේ පුදගලිකත්වය තිබ්බොත් හොඳ නිසා .ඒ වගේම ටිකක් වෙනස් අදහසක් නමින් ලිව්වම සමහර කියවන්නො ඒ බ්ලොගර් ගෙ බ්ලොග් එක සොයන් ඇවිත් පහර දෙන ගතියකුත් තියෙනවා පහුගිය කාලේ .ඒ නිසා නමින් නොආවෙ. නමුත් කිව්ව කාරණාව ෆැක්චුවල් දෙයක් නිසාත් සභ්‍ය විදියට ලිව්ව නිසාත් ,මේකෙ තියෙන නීතිමය පැත්ත මොනවගේ ද කියලා කිව්වොත් හොඳ නිසාත ( ඒ ගැන අඩුයි ලියවිලා තියෙනවා ) ඇනොනිමස් කමෙන්ට් එකකින් ආවට කමක් නෑ කියලා හිතුවා . ඒ අදහසට ඉඩ දුන්නට ස්තුතියි

      Delete
    3. ඔබගේ කැමැත්තට ඉඩ ලැබෙනවා. ඒ කමෙනට් එකත් එක්ක මගේ ලිපිය තවත් සාරවත් වුණා. මට අවශ්‍ය වුණේ සිද්ධිය සරලව සඳහන් කරන්නත් කට්ටිය දැනුවත් කරන්නත් විතරයි. ඒත් ඔබගේ කමෙන්ට් එකත් එක්ක අඩුපාඩු සම්පූර්ණ වුණා. අනික මට නීතිමය කරුණු පිළිබඳ දැනුම ටිකක් අඩුයි. ස්තුතියි.

      Delete
  23. සේපාල වීරයෙක්. හැබැයි ඒ කාලෙ හිටපු මෝඩ මිනිස්සු හින්දා මෙයාට මෙයාගෙ මුළු පවුලම නැති වුනා. මේ ප්‍රශ්ණෙ දිහා මීට වඩා සාධාරණව බලන්න තිබ්බ

    ReplyDelete
  24. හරිම අපූරු, ඒ වගේම බොහොම වටිනා සඳහනක්! ලංකාවේ නම තිබ්බ කෙනෙක් ගැන මේ වගේ ගොඩක් ය නොදන්නා දේවල් දැනගන්න දෙන එක ගොඩක් වටිනවා..

    ReplyDelete
  25. good work...

    ReplyDelete
  26. model aircraft හදන හැටි ගැනත් ලිපි ටිකක් දාන්න.... :)

    ReplyDelete
  27. Mama law student kenek.mama me case eka study kale ape interpretation law walata.retrospective legslation sri lankawe start une me case eken passe.really he is a hero.ekanayaka committed this offence between june 29 and july 01 ,1982.at that time there was no legislation to prosecute Ekanayake for the crime he committed.

    ReplyDelete
  28. මමත් විස්තර අහල තිබුනා. මේ ලිපියෙන් ගොඩක් ඒව දැනගත්ත​. Thanks :)

    ReplyDelete
  29. දිනුකා චතුරංගනී ආරියතිලක20 February 2016 at 12:03

    ගොඩක් වැදගත් ලිපියක්. කතාව අහලා තිබුනට සම්පුර්ණ විස්තරේ දැනගත්තේ මේ ලිපියෙන්.

    ReplyDelete
  30. ඉතාම වැදගත් ලිපියක්. කතාව අහලා තිබුනට මෙච්චර විස්තර දැනගෙන හිටියේ නැහැ. ඇත්තටම ඊට පස්සේ අර ඉතාලියේ බිරිදටයි එයගේ පුතාටයි ඉතාලියට යැව්වට පස්සේ මොකද වුණේ දන්නේ නැද්ද කවුරුවත්ම? මේක ගොඩක් ආස හිතේන ඒ වගේම ගොඩක් interesting සිදුවීමක්.

    ReplyDelete
  31. මට දැනගන්න ලැබුනා සේපාල ඒකනායක පිළිබඳව ජපන් ජාතිකයෙකු කෘතියක් ලියන්න තොරතුරු හොයනව කියලා..ඒ ජපන් ජාතිකයා පිළිබදව යමක් දන්නවද?

    ReplyDelete
  32. You can check his fb account.After her divorce he got married to an English teacher from Sri Lanka and has a daughter calles Sally and a son called Virama.

    ReplyDelete
  33. වැදගත් ලිපියක්.ස්තූතියි.

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....