ගුවන් යානා ලියාපදිංචි කිරීම - Aircraft Registration

ඕනෑම රටක එම රටට අයත් ගුවන් යානා ලියාපදිංචි කළ යුතු අතර සාමාන්‍යයෙන් එසේ ලියාපදිංචි කිරීම කරනු ලබන්නේ එම රටෙහි සිවිල් ගුවන් සේවා අධිකාරිය හෝ දෙපාර්තමේන්තුවයි. කෙසේ හෝ මෙම ආයතනය එම රටේ සිවිල් ගුවන් සේවාව සමිබන්ධ රාජ්‍ය ආයතනයක් වෙනවා.


ඒ වගේම රටින් රටට මේ සම්බන්ධයෙන් පවතින නීති රීති ද වෙනස් වෙනවා. ශ්‍රී ලංකාවට අයත් ගුවන් යානා ලියාපදිංචිය කරනු ලබන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියයි. අපේ රටේ පවතින නීතිය අනුව යම් ආයතනයක් බදු පදනම මත හෝ පූර්ණ වශයෙන් මිළ දී ගැනීමකදී හෝ මෙම ලියාපදිංචිය සිදු කළ යුතු වෙනවා. නමුත් එසේ මිලදී ගන්නා හෝ බදු පදනම මත ගන්නා වූ ගුවන් යානය නිෂ්පාදිත දිනයේ සිට වසර 15 කට වඩා පැරණි නොවිය යුතුයි. එසේම එය මිළදී ගැනීමට හෝ බදු පදනම මත ගැනීමට පෙර සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් යානා ඉංජිනේරුවරයෙකු විසින් එහි යෝග්‍යතාවය පරීක්ෂා කර සහතික කළ යුතුයි. ඒ කියන්නේ ඔහු හෝ ඇය එම ගුවන් යානය දැන් පවතින රටට ගොස් එය පරීක්ෂා කළ යුතුයි. ඒ වගේම යම් යානයක කොටස් අපේ රටට ගෙනවිත් ගුවන් යානයක් එකලස් කරන්නේ නම් එම එකලස් කරන අවස්ථාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉංජිනේරුවරයෙකු එම ස්ථානයේ සිටිය යුතුයි. විදේශගත වීමකදී නම් එම ඉංජිනේරුවරයාගේ සම්පූර්ණ වියදම් යානය මිළදී ගන්නා විසින් ගුවන් සේවා අධිකාරියට ගෙවිය යතුයි.


මෙසේ සහතික කිරීමෙන් පසු එම යානය පළමුව එහි මුල් ලියාපචිංචිය හිමි රටේ ලේඛණයෙන් ඉවත් කළ යුතු අතර ඉන්පසුව අපේ රටේ ලියා පදිංචි කළ හැකිය. මෙසේ ලියා පදිංචි කරන විට ඒ සඳහා අංකයක්/කේතයක් ලැබේ.



මෙම කේතයේ මුල් අකුරු දෙක ජාත්‍යන්තරව රටට හිමි වී තිබෙන දෙයකි. උදාහරණයක් ලෙස 4R යනු ලංකාවට අයිති මුල් කේතයයි. ඉන්පසුව ඉංග්‍රීසි අකුරු 3කින් මෙම කේතය සමන්විතවේ. උදාහරණයක් ලෙස 4R-ALA දැක්විය හැක. මෙම අකුරු 3 ගුවන් සාමාගමට රිසි පරිදි යෝජනා කල හැකි අතර එය වෙනත් සමාගමකට ලබා දී නැති නම් එම කේතය ම ලබා දෙයි. නැතහොත් වෙනත් කේතයක් යෝජනා කල යුතුය. ලියාපදිංචිය ඉවත් කළ කේතයක් වුවද මෙසේ ලබා ගත හැකිය.




මෙම කේතය ගුවන් යානයේ බඳෙහි පින්තාරු කළ යුතුය.


එලෙසම බදු පදනම මත ගැනීමේ දී එය Dry Lease පදනම මත ගන්නේ නම් ලියාපදිංචි කිරීම කළ යුතු අතර Wet Lease පදනම මත නම් එසේ ලියා පදිංචි කිරීම අවශ්‍ය නොවේ.


ගුවන් යානා, හෙලිකොප්ටර් සහ බැලූන් මෙලෙස ලියාපදිංචි කිරීම කළ යුතු අතර දැනට ශ්‍රී ලංකාවේ ගුවන් යානා, හෙලිකොප්ටර් සහ බැලූන් 33 ක් ලියාපදිංචි වී ‍තිබේ. මේ සදහා පුහුණු ගුවන් යානා ද ඇතුළත් වේ.

මේ සමග ඇති ඡායාරූපයේ පසුපස මෙම අංකය බලන්න.


 මේකෙ අහල තියෙන කමෙන්ට්ස් (Coments) වලට උත්තර පහත දැක්වෙනවා.

  • ගුවන් හමුදාවේ ගුවන් යානා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි කළ යුතු නැහැ. මොකද ඒවා සිවිල් කටයුතු සඳහා භාවිතා නොවන නිසා. නමුත් ඔවුන්ටත් අවශ්‍යයනම් වෙනම සමාගමක් ලෙස ලියාපදිංචි වී මේ කටයුත්ත කළ හැකියි.
  • Wet Lease හා Dry Lease කියන්නේ බදුගැනීමේදී භාවිතා කරන ක්‍රම දෙකක්. මේ ගැන පසුව විශාල විස්තරයක් කරන්නම්. ඒත දැනට පොඩි විස්තරයක් කරන්නම්. 
    • Wet Lease -මෙහිදී ගුවන් යානය එහි කාර්ය මණ්ඩලය සමගම බදු ගැනීම සිදුවෙනවා. ඒව‍ගේම යානයේ නඩත්තුව, කාර්ය මණ්ඩල නඩත්තුව ආදිය යානයේ හිමිකරු (බදු දෙන්නා) විසින් කළ යුතුයි. මෙහිදී යානය අපේ රටේ ලියාපදිංචි කිරීම අවශ්‍ය නොවේ. 
    • Dry Lease  වලදී යානය පමණයි අපට ලැබෙන්නේ නමුත් එය අපේ රටේ ලියාපදිංචි කළ යුතුයි. කාර්ය මණ්ඩලය හා නඩත්තුව බදුගන්නා විසින්ම කළ යුතුයි.  දැනට මිහින් ලංකා සමාගම ගෙනවිත් තිබෙන ගුවන් යානය සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සතු ගුවන් යානා මේ අයුරින් බදුගන්නා ලද ඒවායි.
    • මේ කොයි ආකාරයෙන් බදු ගත්තත් ඒ සමග පවතින ගිවිසුම අනුව ගෙවීම්, අනතුරකදී ක්‍රියා කළ යුතු ආකාරය ආදිය එහි සදහන් වෙනවා.
  • දැනට ලංකාවේ බැලුන් ක්‍රියාකරුවන් දෙදෙනෙක් ලියා පදිංචි වී ඇති අතර ඔවුන් විසින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ බැලුන් 3 ක් ලියා පදිංචි කර තිබෙනවා.
(තව දෙයක්, මේ කමෙන්ට්ස් වලට එතනම උත්තර බඳින්නේ කොහොමද කියලා මම දන්නේ නැහැනේ. කවුරු හරි කියන්නකෝ)


6 comments:

  1. 1.ගුවන් හමුදාවේ යානා වලට මේ ලියාපදිංචිය අදාල නැද්ද?
    2.Dry Lease , Wet Lease මොනවාද ?
    3.ශ්‍රී ලංකාවේ ලියාපදිංචි බැලුම් බෝල සංඛ්‍යාව කීයද ?

    ReplyDelete
  2. ඔව්.පොස්ට් එකට ස්තුතියි.ඒත් අර උඩින් අහල තියෙන ප්‍රශ්නවලින් 3 වෙනි එක හැර අනෙක් ප්‍රශ්න දෙක මටත් අහන්න ඕනෙ.

    ReplyDelete
  3. හොඳ ලිපියක්.., chanaka අසා තිබෙන 1 වෙනි ප්‍රශ්නයට පිළතුරු දැනගැනීමට මමත් කැමතියි.

    පෝස්ට් එකේ අකුරු Italic නොකර සාමාන්‍ය ලෙස තබන්නට හැකි නම් අගය කරමි.

    ReplyDelete
  4. සෙල්ලම් අහස්යාත්‍රාත් ලියාපදිංචි කරන්න ඕනෙද?

    ReplyDelete
  5. ඔව්. හැබැයි අපි ඒවා හඳුන්වන්නේ "Model Aircrafts" යන නමින්. ඒකට වෙනම අයදුම් පත්‍රයක් තිබෙන අතර වෙනම ලියාපදිංචි කිරීමකුත් අවශ්‍යයි. නමුත් එය ඉහත සදහන් කරන ලද ලියාපදිංචි කිරීමෙන් වෙනස් වෙනවා. මේ ආදර්ශ ගුවන් යානා ක්‍රියා කරවන ගුවන් සමාජ අපේ රටේ තිබෙනවා.

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....