Prison Break වල D B Cooper මතකද?-ඇමරිකානු ගුවන් ඉතිහාසයේ නොවිසඳුණ ගුවන් මංකොල්ලය......

Prison Break නම් වන ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන ඔබට මතක ඇතිවාට සැකයක් නැහැ. 2009 වසරේ දී ඇමරිකාවේ විකාශය වූ මෙම රූපවාහිනි නාට්‍යය ශ්‍රී ලංකාවේ ද විකාශය විය. මෙම නාට්‍ය මාලාවේ පළමු නාට්‍ය ගොනුවේ (Season 1) සිටි එක් චරිතයක් ඔබට මතක ඇති. චාර්ලස් වෙස්ට්මෝලන්ඩ් Charles Westmoreland යනුවෙන් හැඳින්වූ මෙම චරිතය වැඩිහිටි එකක් වූ අතර නිතරම තනිව සිටියේය. ඔහුගේ තනියට සුරතලයට ඇති කරන බළලෙකු සිටි අතර මෙම නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතය වන මයිකල් ස්කොෆීල්ඩ් විසින් මෙම නිහඬ චරිතය හඳුනා ගන්නේ D.B. Cooper ලෙසිනි.
http://bloggersdelight-dk.bloggersdelight.netdna-cdn.com/wp-content/blogs.dir/81927/files/2015/04/prison-break-season1-episode8.png
(Charles Westmoreland චරිතය)

ඔබ දන්නවාද මේ D.B. Cooper යනුවෙන් හඳුන්වන පුද්ගලයා ඇමරිකානු ගුවන් ඉතිහාසයේ දශක ගණනාවක් තිස්සේ කථා බහට ලක්වන ඒ වගේම කිසිම දිනක හඳුනා නොගත් සත්‍ය ගුවන් මංකොල්ලකරුවෙක් බව. 

ඒ 1971 නොවැම්බර් මාසයේ 24 වන දින සවස් වරුව විය. Dan Cooper යනුවෙන් තමන්ව හඳුනා ගත් මනාව හැඳ පැළදි පුද්ගලයෙක් ඇමරිකාවේ ඔරිගොන් හි පිහිටි පෝට්ලන්ඩ් ගුවන් තොටුපලට පැමිණ වොෂින්ටන්හි සියැටල් වෙතට යාමට “නෝත් වෙස්ට් ඔරියන්ට්“ (North West Orient) ගුවන් සේවයේ අංක 305 දරණ ගුවන් යානයේ ටිකට්පතක් වෙන් කර ගත්තේය. මෙම ගමන සඳහා විනාඩි 30 ක් පමණ ගත වේ. මෙවර ගමන සඳහා යොදවා තිබුණේ බෝයිං 727-100 වර්ගයේ ගුවන් යානයකි. ඔහුට 18 C ආසනය වෙන් වී තිබිණ. අඩි 5 අඟල් 10 ක් පමණ උසවු මෙම පුද්ගලයා වයස අවුරුදු 45 ක් පමණ වුවෙකියි පසුව මගීන් විසින් සඳහන් කරන ලදී.

ගුවන් යානයේ ආසන වලින් තුනෙන් දෙකක් පමණ පිරුණ පසු හරියටම පස්වරු 2 යි30ට යානය ගුවන් ගත විය. මේ අවස්ථාවේ දී කූපර් තම ආසනයට ආසන්නයෙන්ම තිබූ කුඩා ආසනයේ වාඩි වී සිටි ෆ්ලොරන්ස් සැෆ්නර් (Florence Schaffner) නැමති ගුවන් සේවිකාවට යමක් සටහන් කළ කඩදාසි කැබැල්ලක් දුන්නේය. මේ තනිවූ ව්‍යාපාරිකයා තමාට ඔහුගේ දුරකථන අංකය දුන්නේ යැයි සිතූ ගුවන් සේවිකාව එය විවෘත නොකරම අතු බෑගය තුලට දමා ගත්තා ය. මෙය දුටු කූපර් ගුවන් සේවිකාවට කොඳුරමින් පවසා සිටියේ “ඔබ එම සටහන කියවීම සුදුසුයි. මා ළඟ බෝම්බයක් තිබෙනවා“ යනුවෙනි. 

සේවිකාව විසින් සටහන කියවනු ලැබීය. ඉතාම පැහැදිලිව ඉංග්‍රීසි කැපිටල් අකුරින් සටහනක් තබා තිබුනේ “මා සතුව බෝම්බයක් ඇත. අවශ්‍ය වුවහොත් එය භාවිතා කිරීමට හැකිය. ඔබ කළ යුත්තේ කලබල නොමැතිව මා අසලින් වාඩි වීමයි. දැනටමත් ඔබව ගුවන් කොල්ලකෑමකට හසු වී ඇත“ යනුවෙනි. 

මෙය කියවූ ගුවන් සේවිකාව ඔහු අසලින් වාඩි වී බෝම්බය පෙන්වන ලෙස ඉල්ලා සිටියා ය. ඔහු අත තිබූ බෑගය විවර කර ගුවන් සේවිකාවට බෝම්බය පෙන්වා යළිත් එය වසා දැමුවේය. ඉන්පසු ඔහුගේ ඉල්ලීම් ඉදිරිපත් කලේය. ඩොලර් ලක්ෂ දෙකක ඇමරිකාවේ හුවමාරු කළ හැකි මුදලකුත්( 2015 වර්ෂයේ වටිනා කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 1.2 ක පමණ ප්‍රමාණයකි) , පැරෂුට් 4 ක් සහ සියැටල් වෙත ගොඩ බෑ පසු යානයට ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන බවුසරකුත් ඔහුගේ ඉල්ලීම් විය. ගුවන් සේවිකාව විසින් ඒ ඉල්ලීම් ගුවන් යානයේ නියමුවාට දැනුම් දෙන ලදී. 

ගුවන් යානයේ නියමුවා ලෙස කටයුතු කල විලියම් ස්කොට් සියැටල් හි ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය හරහා අධිකාරීන් දැනුවත් කළ අතර යානයේ සිටි ඉතිරි මගීන් 36 දෙනාට දැනුම් දුන්නේ සුළු කාර්මික දෝෂයක් හේතුවෙන් යානය ප්‍රමාද වන බවයි. ගුවන් සේවයේ සභාපති වරයා මෙම කප්පම් මුදල ලබා දීම අනුමත කරන ලද අතර සියළුම නිලධාරීන්ට කොල්ලකරුවා සමග සහයෝගයෙන් කටයතු කරන ලෙසට උපදෙස් දෙන ලදී. ගුවන් යානය පැය දෙකක් පමණ ගුවනේ සැරි සරමින් සිටියේ පොලිසියට සහ එෆ් බී අයි නිලධාරීන්ටත් අනෙකුත් හදිසි අවස්ථා නිලධාරීන්ටත් කප්පම් මදුල සහ පැරෂුට් සූදානම් කර ගැනීමට අවස්ථාව ලබා දීම සඳහා ය. 

සැෆ්නර් නැමති ගුවන් සේවිකාවට අනුව මෙම කොල්ලකරුවා ඉතා හොඳින් සහ පැහැදිලිව ඉංග්‍රීසි කථා කල අතර කලබලයකින් තොරව ප්‍රියමනාම ලෙස හැසිරී ඇත. තවත් ගුවන් සේවිකාවක් මෙය ස්ථිර කළාය.සියැටල් හි නිලධාරීන් ප්‍රදේශයේ බැංකු කිහිපයකින් ඩොලර් 20 නෝට්ටු 10,000 ක් ලබා ගෙන කප්පම් මුදල එකතු කළහ. ඒ බොහොමයක් මුදල් නෝට්ටු L අකුරින් ආරම්භ වූ අතර සියළුම නෝට්ටු ඡායාරූප ගත කරගන්නා ලදී. මේ අතර කූපර් විසින් හමුදාවෙන් ලබා දුන් පැරෂුට් ලබා ගැනීම ප්‍රතික්ෂේප කල අතර බලධාරීන් විසින් ප්‍රදේශයේ පැරෂුට් පුහුණු පාසලකින් ඒවා ලබා ගෙන කූපර් ට ලබා දුනි. 

යානයේ කාර්ය මණ්ඩලය

පස්වරු 5 24 ට පමණ කූපර්ගේ ඉල්ලීම් සියල්ල සූදානම් බව දන්වන ලද අතර 5 39 ට පමණ ගුවන් යානය සියැටල් ගුවන් තොටුපල වෙත ගොඩ බස්සවන ලදී. කූපර්ගේ ඉල්ලීම පරිදි හුදකලා වූ ස්ථානයක ගුවන් යානය නවත්වන ලදී. ඉන්පසු ඔහු ඉල්ලූ සියල්ල ඒ ආකාරයෙන්ම ඔහුට ලැබිණ. සියල්ල ලැබුණ පසු ඔහු විසින් සියලූ මගීන් සහ ගුවන් සේවිකා සැෆනර්ත් ප්‍රධාන ගුවන් සේවිකා ඇලිස් යන අයත් නිදහස් කරන ලදී. 

ගුවන් යානය ඉන්ධන ලබා ගන්නා අවස්ථාව

කූපර් විසින් ගුවන් සේවා ක්ෂේත්‍රෙය් පරිණත පුද්ගලයෙකු සේ සියළු තාක්ෂණික කරුණු දක්වමින් යානය පැදවිය යුතු ආකාරය පිළිබඳව නියමුවාට විස්තර කරන ලදි. ඒ අනුව පැය කිලෝමීටර් 190 ක පමණ වේගයෙන් අඩි 10000 ක් ඉහළින් පියාසර කළ යුතු වූ අතර “වින්ග් ෆ්ලැප්ස්“ අංශක 15 ක ආනතියට තබා ගත යුතු විය. ඒ වගේ ගුවන් යානයේ රෝද නොහැකිලිය යුතු වූ අතර පසුපස දොර විවෘතව තැබිය යතුය. (මෙම ගුවන් යානයේ පසුපසින් භාණ්ඩ ඇතුලත් කිරීම සඳහා විශාල දොරක් පිහිටා තිබුණේය. ) කෙසේ වතත් එසේ විවෘත ව තබා ගුවන් ගත වීම අනතුරුදායක බව බලධාරීන් සඳහන් කළ අතර කූපර් එය වාසා තබා ගුවන් ගත වීමට එකඟ විය. ගුවන් යානය තුළ වායු පීඩනයක් ඇති නොකල යුතු විය. ගුවන් යානයේ එක් වරක් ඉන්ධන ලබා ගැනීමෙන් පසු ගමන් කළ හැකි දුර කිලෝ මීටර් 1000 ක් පමණ වූ නිසා මෙක්සිකෝවට යාමට පෙර නෙවාඩා හි දී යලි ඉන්ධන ලබා ගැනීමට තීරණය විය. 

(පසුපස දොර බලන්න)

කෙසේ හෝ අවසානයේ දී සියල්ල සැළසුම් කිරීමෙන් පසුව පස්වරු 7 40 ට යානය ගුවන් ගත වූයේ නියමුවා , සහාය නියමුවා. ගුවන් ඉංජිනේරුවා සහ එක් ගුවන් සේවිකාවක් සමග ය. මේ අතර අසල ගුවන් හමුදා කඳවුරෙන් පිටත් වූ යුධ ගුවන් යානා දෙකක් මෙම ගුවන් යානයට ඉහළින් හා පහළින් ගමන් කිරීම සිදු විය. මෙම යානා එසේ ගමන් කලේ කූපර් ට නොපෙනෙන පරිදිය. 

යානය ගුවන් ගත වී ස්වල්ප වේලාවකින් සියළු දෙනාටම නියමු කුටියේ රැඳෙන ලෙස උපදෙස් දුන් කූපර් යානයේ පසුපසට ගියේය. රාත්‍රී 8 ට පමණ පසුපස දොර විවෘත වන බවට නියමු කුටියේ අනතුරු සංඥා දැල් විණ. ටික වේලාවකින් යානයේ පීඩන වෙනසක් සිදු වූයේ පසුපස දොර විවෘත වූ බව පසක් කරමින්.

කෙසේ හෝ රාත්‍රී 8 13 ට පමන යානයේ පසුපස කොටස ඉහළට එසවුණ බවක් නියමුවාට දැනී තිබිණ. අවසානයේ දී රාත්‍රී 1015 ට පමණ යානය කළින් සැළසුම් කළ පරිදි නෙවාඩා හි Reno ගුවන් තොටුපළ ට ගොඩ බැස්ස වීමට නියමුවන් ට හැකි විය. ඒ විගසම පොලිසියෙන් සහ අනෙක් නිලධාරීන් ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් විසින් යානය වට කර ගත් අතර ක්ෂණිකව සිදු කරන ලද පරීක්ෂෘවකින් පසුව කූපර් තව දුරටත් යානයේ නොමැති බව තහවුරු කර ගන්නා ලදී. 

ඉන්පසුව FBI නිලධාරීන් විසින් දිගින් දිගටම පරීක්ෂණ සිදු කරන ලද අතර බොහෝ තොරතුරු රැස් කර ගන්නා ලදී. බොහෝ පුද්ගලයින්ගෙන් ප්‍රශ්ණ කරන ලදී. D’ B Cooper යනුවෙන් හැඳින් වූ පුද්ගලයෙකුගෙනුත් ප්‍රශ්ණ කරන ලද අතර මාධ්‍යෙව්දියෙක් විසින් මේ බව විගසින් වාර්තා කරන ලදී. ඉන් පසු දිගින් දිගටම මෙම නම D.B. Cooper ලෙසටම භාවිතා කළ අතර අවසානයේ දී සෑබෑ කොල්ලකරුවා ටිකට් පත ලබා ගැනීමේ දී ලබා දුන් නම වූ Dan Cooper යන්න D B Cooper ෙලසටම ස්ථිර විය.

මේ අතර කොල්ලකාරුවා සමග කථා බහ කළ අය දුන් තොරතුරු අනුව FBI ආයතනය විසින් ඔහුගේ රුව සිතුවමට නගන ලදී. ලොව පුරාම මෙම රූපය ප්‍රසිද්ධ කළ අතර එයින්ද ඔවුන්ට හෝඩුවාවක් සොයා ගැනීමට අපහසු විය. 

DBCooper.jpg
1975 දී ඇමරිකානු අධිකරණයක් විසින් ගුවන් සමාගමේ රක්ෂණ නියෝජිතයාට ලබා දුන් උපදෙස් අනුව ඔවුන් විසින් ගුවන් සමාගමට ඩොලර් 180,000 ක මුදලක් වන්දි වශයෙන් ලබා දෙන ලදී. 

කෙසේ වෙතත් ඉතා පුළුල් ලෙස පරීක්ෂණ සිදු කල අතර අද වන තුරුත් මේ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගැනීමට ඇමරිකාව අසමත් වී ඇත. 1980 දී පමණ බ්‍රයන් ඉන්ග්‍රම් නැති පිරිමි ළමයෙක් මුදල් නෝට්ටු වලින් ඩොලර් 20 නෝට්ටු 100 ගොනු දෙකක් හා 90 සහිත ගොනුවක් වොෂින්ටනයේ කොළොම්බියා ගඟ අසලින් සොයා ගන්නා ලදී. ඉන්පසු ඒ ප්‍ර දේශයේ ද පිරික්සුම් කටයුතු සිදු කළද කිසිදු තොරතුරක් හමු නොවීය. 

1986 දී පමණ ඉහත සොයාගන්නා ලද මුදලින් අඩක් ඉන්ග්‍රම් ට ලබා දෙන ලද අතර ඉතිරි මුදල රක්ෂණ සමාගමට ලබා දෙන ලදී. FBI විසින් නෝට්ටු කීපයක් පරීක්ෂණ සඳහා තබා ගන්නා ලදී. ඉන්ග්‍රම් ට ලබා දෙන ලද මුදල් නෝට්ටු අතරින් 15 ක් වෙන්දේසි කරමින් ඩොලර් 37,000 ක් ලබා ගන්නා ලදී. 

අද වනතුරුත් මෙම කොල්ලකරුවා සොයා ගැනීමට ඇමරිකාව අසමත් වී ඇති අතර මුදල් නෝට්ටු වලින් 9710 ක් තවමත් සොයා ගෙන නොමැත. FBI ආයතනය විසින් තවමත් මේ පරික්ෂණය සිදු කරනු ලබන අතර පහත වෙබ් අඩවියෙන් මෙම මුදල් නෝට්ටු වල අංක පරීක්ෂා කිරීම සිදු කළ හැක.


ඩී බී කූපර් යන චරිතය ඇමරිකාව තුල තවමත් කථාවන එකකි. සමරු ඵලක, රාත්‍රී භොජන ආදිය ඔහු වෙනුවෙන් සිදු කරන දේවල් අතර වේ. ඒ වගේම Prison Break, White Collar, NewsRadio, සහ Numb3rs වැනි රූපවාහිනි මාලා නාටක වලට ඔහුගේ චරිතය දායක වී ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ ගුවන් යානය 1978 දී නෝර්ත් වෙස්ට් ගුවන් සමාගම විසින් වෙනත් ගුවන් සමාගමකට විකුණා දමන ලදී. ඔවුන්ද එය 1984 දී තවත් ගුවන් සමාගමකට විකුණන ලද අතර 1996 දී මෙම ගුවන් යානය අමතර කොටස් ලබා ගැනීම සඳහා කැබලි කරන ලදී. 

ඇමරිකානු ගුවන් සේවා අධිකාරිය විසින් මෙම ගුවන් යානා වර්ගයේ පසුපස දොර ගුවනේ දී විවෘත කිරීමට නොහැකි වන සේ තාක්ෂණ ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස බෝයිං සමාගමට දන්වන ලද අතර ඒ අනුව ඔවුන් විසින් ඒ සඳහා ස්විචයක් සකසන ලදී. ඒව නියමුවන් හා නිලධාරීන් අතර ජනප්‍රිය වූයේ “ඩී. බී. කූපර් “ ස්විචය ලෙසයි. ඉතා කුඩා ගුවන් සමාගම් ප්‍රමාණයක් මෙම හඳුන්වා දීම ඇතුලත් කර ගත් මුත් බොහෝ ගුවන් සමාගම් පසු පස දොර වෙල්ඩින් කර සම්පූර්ණයෙන් වසා දමන ලදී.

16 comments:

  1. කූපර් මාර බඩුවක් නේ.. ඇත්තටම නොවිසුදුනු අබිරහසක්.. ඒක නෙමෙයි අපේ බස් එකේ පස්ස දොරත් කූපර් කරල දාන්න ඕන බං. මල වදේ යන කොට බස් එකේ වායු පීඩනය වැඩි වෙනවා දොර බාගෙට ඇරෙන නිසා.. හැක්.. ජය

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දේශක අයින් කරලා කූපර් කරලා දාන්න. හී හී

      Delete
  2. හොද විස්තරයක් ඉෂාර.දැන් ආයෙමත් ප්‍රිසන් බ්‍රේක් නැවත විකාශනය වෙනවා.

    ReplyDelete
    Replies
    1. නැවත විකාශයක් නෙමේ ගිම්හානි දැන් යන්නෙ සීසන් 4 මම හිතන්නෙ.

      Delete
  3. මාර චරිතයක්නෙ.
    ඔය ප්ලේන් එකට පහළින් ගිය ෆයිටර් ජෙට් එකටවත් මිනිහ පනිනව පෙනුනෙ නැද්ද?

    දොර අරින වෙලාවට වායු ඇතුලෙ පීඩනය වැඩි කරල තිබුණනං කට්ටියටම එකපාර එලියට යන්න තිබුණ.

    ReplyDelete
    Replies
    1. ෆයිටර් ජෙට් දෙකටම පෙනිලා නැහැ කරුවල නිසා

      Delete
  4. මාර කථාවන්නේ ඒක?
    මෑන් මක් කරන්න ඇතිද???

    ReplyDelete
    Replies
    1. තිසා FBI එකත් තාම හොයනවා මොකද වුනේ කියලා.....

      Delete
  5. prison Break එකේ cooper ගෙයි, මේ ම්ංකොල්ල කාරයගෙයි සම්බන්ධයක් තියනවද ? මට එතන පැහැදිලි මදි...

    මූ නම් නියම මංකොල්ල කාරයෙක්... අර කලින් පෝස්ට් එකේදි කියපු මෝඩ හැත්ත වගේ නෙමේ.. සේපාල ෆලෝ කළේ මෙයාවද දන්නෑ...!

    අඩි 10000ක් උඩදි යානයේ දොරවල් විවර කළෑකිද ? පීඩන වෙනස යානය විනාශ කරන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. සෙන්නා මට මතක විධියට Prison Break වල කථාව යන්නෙ කූපර් අත් අඩංගුවට අරන් බන්ධනාගාරයට යවපු විධියට තමා. (ඇමරිකාවෙ කතා එහෙමනෙ. මතකනෙ වියට්නාම් යුද්ධෙ ගුන හැදුණ කථා)
      හෙහ් සේපාලගෙ ක්‍රමය වෙනස් එකක් නේද?
      ඒ යානය පීඩනයකට ලක් නොකර තමයි යන්නෙ. අනික අඩ 10000 ක උසින් තමයි පියාසර කරන්නෙ. සාමාන්‍යයෙන් ගුවන් යානයක පීඩන අවුලක් වුණොත් ආරක්ෂක පියවරක් විධියට අඩි 10000 ට අඩු උසකට ගෙන එනවා. ඇතුලෙ පීඩනයක් නැති නිසා මේ කථාවෙදි යානයේ දොරවල් අරින්න පුළුවන් වෙලා තියෙන්නෙ.

      Delete
    2. // හෙහ් සේපාලගෙ ක්‍රමය වෙනස් එකක් නේද? //
      මුල හරිය දෙන්නගෙම සමානයි නේද ?

      Delete
    3. මේක සෙන්නාගෙ කතාවක් වගේ..... ඇත්තට අර මනුස්සයා මක් කරනවාද දන්නෑ.... බොහිම ස්තූතියි ඉශාර මහත්මා... කාලෙකින් බ්ලොග් ලිපි ටිකක් කියවන්න වෙලාවක ආවේ....

      Delete
    4. මේක සෙන්නාගෙ කතාවක් වගේ..... ඇත්තට අර මනුස්සයා මක් කරනවාද දන්නෑ.... බොහිම ස්තූතියි ඉශාර මහත්මා... කාලෙකින් බ්ලොග් ලිපි ටිකක් කියවන්න වෙලාවක ආවේ....

      Delete
  6. එල ද බ්‍රා
    පරන සටහන් ටික බලන්න ඔනේ..
    සේපාල මට නම් එල ද බ්‍රා කොල්ලෙක්.

    ReplyDelete
    Replies
    1. පෞද්ගලිකව සේපාල මගෙත් වීරයෙක්....

      Delete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....