DC-10 ගුවන් යානයේ සමුගැනීම Final boarding: McDonnell Douglas DC-10 makes last passenger flight

image

නවතම ගුවන් යානා කර්මාන්තයට හඳුන්වා දෙන විට දැනට භාවිතා කරන ගුවන් යානා ‍සේවයෙන් ඉවත් වීම සිදු වෙනවා. ඩීසී-10 ගුවන් යානයත් එසේ සේවයෙන් ඉවත්වන ගුවන් යානයක්. දැනට මෙම ගුවන් යානය මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නේ අපේ අසල් වැසි රටක් වන බංග්ලාදේශයයි. එහි “බිමාන් බංග්ලාදේශ්“ (Biman Bangladesh) ගුවන් සමාගම සතුව මෙම ගුවන් යානා දෙකක් තිබෙන අතර පසුගිය නොවැම්බර් මාසයේ දී එක් ගුවන් යානයක් මගී ප්‍රවාහනයෙන් ඉවත් කරන ලද අතර අනෙක් යානය මෙම වසරේ දෙසැම්බර් 07 වන දින අවසන් ගුවන් ගමන පවත්වනු ලැබූවා.

image

ඔබට මතක ඇති සමහර විට 1974 ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර සිදු වූ දැවැන්තම ගුවන් අනතුර. එසේ නැති නම් ඔබ මේ ගැන කියවා ඇති. 1974 දෙසැම්බර් 4 වන දින මස්කෙළියේ සප්ත කන්‍යා කඳු වැටියේ ගැටීම නිසා සිදු වූ මෙම අනතුරින් එහි ගමන්කළ සියළු දෙනා ම ජීවිතක්ෂයට පත්විය. මෙම අනතුරට පත් වූ ගුවන් යානය DC-8 වර්ගයේ එකකි. ඩීසී-10 යනු ඩීසී-8 ගුවන් යානයට පසුව නිපදවන ලද යානා වර්ගයයි.

මෙම ගුවන් යානා වර්ගය නිපදවූයේ ඇමරිකාවේ “මැක්ඩොනල් ඩග්ලස්“ ගුවන් යානා නිෂ්පාදන සමාගමයි. එවකට තිබූ අති සාර්ථක ගුවන් යානා වර්ගයක් වූ මෙම මැක්ඩොනල් ඩග්ලස් ගුවන් යානා බොහෝ ගුවන් සමාගම් විසින් භාවිතයට ගැණුනා.

මැක්ඩොනල් ඩග්ලස් සමාගම සමන්විත වුනේ සමාගම් දෙකක එකතුවකින්. 1921 පිහිටුවන ලද ඩග්ලස් එයාර්ක්‍රාෆ්ට් කම්පනි (Douglas Aircraft Company ) සහ 1939 දී පිහිටුවන ලද මැක්ඩොනල් එයාර්ක්‍රාෆ්ට් කෝර්පරේෂන් (McDonnell Aircraft Corporation) යන සමාගම් දෙක 1967 දී “මැක්ඩොනල් ඩග්ලස්“ නමින් එක් සමාගමක් බවට පත්විය. පසුකාලීනව මෙම සමාගමත් බෝයිං සමාගම සතු විය.

image

image

image

“ඩීසී 10 “ ගුවන් යානයේ උපරිම මගී ධාරිතාවය 380 ක් පමණ වන අතර මෙම ගුවන් යානය ඔබ දැක තීබේ නම් එය සුවිශේෂි එකක් බව ඔබට සිතේවි. මෙම ගුවන් යානයේ “ටර්බෝ ප්‍රොප්“ එන්ජින් 3ක් තිබීම සුවීශේෂිත්වයයි. මේ හා සමානම ගුවන් යානයක් ලෙස “ලොක්හීඩ්“ සමාගමේ “L-1011 Tri Star“ ගුවන් යානය හැඳින්විය හැක. ඩීසී-10 ගුවන් යානයේ එන්ජින් දෙකක් සුපුරුදු ලෙස පියාපත් යට සවිකර තිබෙන අතර තුන්වන එන්ජිම ගුවන් යානයේ “සිරස් ස්ථායිකාරකය“ (Vertical Stabilizer) තිබෙන ස්ථානයේ සවි කර තිබෙනවා. තවත් සුවිශේෂිත්වයක් වන්නේ මෙම ගුවන් යානයේ නියමුවා (Captain) සහ පළමු නිලධාරියාට (First Officer) අමතරව දෙවන නිලධාරියෙකුත් (Second officer) සිටිය යුතු වීමයි. දැන් භාවිතා වන නව ගුවන් යානා වල සිටිනුයේ නියමුවා සහ පළමු නිලධාරියා පමණී.

දැනට ලෝකයේ ගුවන් සමාගම් කීපයක් මෙම ගුවන් යානය භාවිතා කරනු ලබන අතර බොහෝ සමාගම් මෙම යානය භාණ්ඩ ප්‍රවාහන යානයක් ලෙස භාවිතා කරයි. “බිමාන් බංග්ලාදේස්“ ගුවන් සමාගම පමණක් මගී ප්‍රවාහනය සඳහා මෙම යානය භාවිතා කළ අතර මින් පෙර සඳහන් කළ පරිදි ඔවුන් විසින් ද දැන් මෙම යානය මගී ප්‍රවාහනයෙන් ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් එම ගුවන් සමාගම පවසන පරිදි මෙම යානය 2014 වර්ෂයේ පෙබරවාරි මාසයේ අවසන් නිල ගුවන් ගමන බංග්ලාදේශයේ ඩකා සිට එංගලන්තයේ බර්මින්හැම් වෙත සිදු කරනු ලබන අතර ඉන්පසුව ඇමරිකාවේ කෞතුකාගාරයකට එය යැවීමට නියමිතය. මෙම කෞතුකාගාරයේ නම සඳහන් නොවේ. පෙබරවාරි මාසයේ මෙම අවසන් ගුවන් ගමන සඳහා මගීන්ට ආසන වෙන් කර ගැනීමට හැකි බව එම සමාගම පවසයි.

image

(DC10 යානයේ ඇතුලත)

ඩීසී -10 ගුවන් යානයේ මුල්ම මගී ප්‍රවාහන ගමන සිදු වූයේ 1971 අගොස්තු 15 වන දින ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හා චිකාගෝ අතරයි. මෙම යානය ඇමරිකන් එයාර්ලයින්ස් (American Airlines) ගුවන් සමාගමට අයත් වුණා. ඩීසී-10 ගුවන් යානා 446 ක් එම සමාගම විසින් නිෂ්පාදනය කර ඇති අතර අවසන් ගුවන් යානය 1989 වර්ෂයේ නිෂ්පාදනය කර ඇත. ඒ නයිජීරියා එයාර්වේස් (Nigeria Airways) ගුවන් සමාගම වෙනුවෙනි.

ඩීසී 10 ගුවන් යානය මගී ප්‍රවාහනයෙන් ඉවත් වුවද “ෆෙඩෙක්ස්“ වැනි භාණ්ඩ ප්‍රවාහන ගුවන් සමාගම් වල තවදුරටත් මෙම යානය භාවිතා වනු ඇත. දැනට මෙම යානය භාවිතයෙන් ඉවත් කිරීමට ප්‍රධාන හේතු අතර ඉන්ධන කාර්යක්ෂමතාවය පහළ මට්ටමක පැවතීම එක් හේතුවකි.

2 comments:

  1. අහ් ඒක ඩි සී අට අහස් යන්තරේ නේද? මෙච්චර කල් මට ඇහුනෙ මම කිව්වෙ ඊ සී අට අහස් යන්තරේ කියලා..
    ඇන්ටන් ජෝන් ඕක සිංදුවක් කලේ නැත්තං අපි ඔය සිංදුව ගැන දන්නෙත් නැහැ.

    ReplyDelete
  2. හොඳයි ඒවා අයින් කරණ එක. මම හිතන්නෙ මේ යානා ගොඩක් අනතුරුවලට ලක් වුනා.

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....