ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– අවසන් කොටස

 

මෙම ලිපියේ අටවන කොටස මින් පෙර පළ විය

2009

චෙක් රජ්‍යයේ නිෂ්පාදනය කරන ලද “ස්ලින්“ වර්ගයේ සැහැල්ලු ගුවන් යානා දෙකක් වෙනස් කරමින් යුධ මෙහෙයුම් සඳහා යොදා ගන්නා යානා බවට පත් කර ගත් කොටි ත්‍රස්තවාදීන් විසින් 2009 පෙබරවාරි මස 20 වන කොළම නගරයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කළ මුත් ආරක්ෂක අංශ වල දැඩි කැපවීම මත එම ප්‍රහාරයන් ව්‍යර්ථ කිරීමට හැකිව ලැබිණ. මෙම වර්ගයේ ගුවන් යානා තනි එන්ජිමක් සහිත වන අතර නියමුවන් පුහුණු කිරීමේ කටයුතු වලට යොදා ගැනේ. එම ප්‍රහාරය සඳහා පැමිණි එම ගුවන් යානා දෙකම විනාශයට පත් වූ අතර ශ්‍රි ලංකාවේ ගුවනේ අරක්ෂාව පිළිබඳ නැවත සෙයා බැලීමටත් නව ආරක්ෂක උපක්‍රම භාවිතා කිරීමටත් රජය මේ නිසා උත්සුක විය.

image

“ස්ලින්“ වර්ගයේ යානයක්

 

එදා මෙදාතුර ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මෙහෙයුම් සඳහා පැවතියේ එක් ගුවන් තොටුපක් පමණි. හදිසි ගොඩ බෑම් සඳහා ද ඉන්දියාවේ “චෙන්නායි“ ගුවන් තොටුපල භාවිතා වූ අතර විවිධ අවස්ථාවල රටේ විවිධ පළාත් වල නව ජාත්‍යන්තර ගුවන් තොටුපළක් පිහිටුවීම සම්බන්ධයෙන් විවිධ මට්ටමේ කතාබහක් ඇති විය. විශේෂයෙන් පොළොන්නරුව, යාපනය, පුත්තලම ආදී පෙදෙස් මේ සඳහා යෝජනා විය. මේ අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ධාරිතාවය ද ඉක්මවා යෑමට ආසන්න වෙමින් තිබූ අතර රජයේ නව ආර්ථික ප්‍රතිපත්ති අනුව ගුවන් සේවාවට ප්‍රමඛත්තවයක් ලැබී තිබිණ. ඒ අනුව මත්තල ප්‍රෙද්ශයේ නව ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ඉදි කිරීම සඳහා 2009 නොවැම්බර් මස 27 වන දින ආරම්බ කරනු ලැබූ අතර 2012 වර්ෂයේ අවසානයේ ඉදිකිරීම අවසන් කිරීමට සැළසුම් කර තිබිණ. මූලික වශයෙන් භාණ්ඩ ප්‍රවාහනයත් දෙවනුව මගී ප්‍රවාහනයත් මෙම ගුවන් තොටුපලින් සිදු කිරීමට රජය අදහස් කර තිබිණ.

DSC08092

2010

මේ අතර 2010 වසරේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී මෙහෙයුම් මිලියන 5 ක් ඉක්මවූ අතර භාණ්ඩ මෙහෙයුම් මෙට්‍රික් ටොන් 167 ක් සහ ගුවන් යානා මෙහෙයුම් 35000 ක් ඉක්මවා තිබිණ. කටුනායක ගුවන් තොටුපලේ උපරිම මගී ධාරිතාය මිලියන 6 ක් ලෙස ගණන් බලා තිබිණ.

මේ අතර 2010 වර්ෂයේ අප්‍රේල් මස වන විට “එමිරේට්ස්“ සමාගම සමග ලක් රජය පැවති ගිවිසුම අවසන් වීමට නියමිත වූ අතර එය තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳව අදහසක් රජයට නොමැති විය. ඒ අනුව 2010 ජූලි මස 6 වන දින එමිරේට්ස් සමාගම සතුව තිබූ “ශ්‍රීලන්කන්“ සමාගමේ සියළු කොටස් රජය විසින් යළි මිළදී ගන්නා ලද අතර “ශ්‍රීලන්කන්“ ගුවන් සමාගම පූර්ණ රජයේ ආයතනයක් බවට පත්විය.

මේ අතර 2010 වර්ෂයේ දී “ශ්‍රීලන්කන්“ ගුවන් සමාගම යළිත් “එයාර් ටැක්සි“ ගුවන් සේවාව ආරම්භ කරන ලදී. මේ සඳහා ද පෙර පරිදිම “ටිවින් ඔටර් ටර්බෝ ප්‍රොප්“ වර්ගයේ ගුවන් යානා දෙකක් යොදා ගන්නා ලද අතර නුවරඑළිය, නුවර, ගාල්ල, කොළඹ ආදී විවිධ ප්‍රෙද්ශ වලට දේශීය ගුවන් ගමන් සිදු කරනු ලැබීය.

2010 ඔක්තෝබර් මස 24 වන දින ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා සහ එහි නියාමනය පිළිබඳ විගණනයක් ආරම්භ කරන ලද අතර මෙයින් ඉතා විශිෂ්ඨ ප්‍රතිපල ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. කලාපයේ ඉතාමත් ඉහළ සුරක්ෂිතතාවයක් ශ්‍රී ලංකාවේ පවතින බව පසක් වූ අතර එය ලෝකයේ ඉතාම ඉහළ පිළි ගැනීමකට ලක් විය. මෙම තත්වය ලබා ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ගුවන් මෙහෙයුම් වල සරක්ෂිත බව ඉතා ඉහලින් තහවුරු වූ අතර එය කර්මාන්තයේ දියුණුවට එය මහත් පිටිවහලක් විය.

2011 වර්ෂයේ දී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විශේෂ සිදු වීමක් ලෙසට වාර්තා වූයේ එහි ධාරිතාවය වූ මිලියන 6 ක මගී මෙහෙයුම් සිදු කිරීමයි. මෙමගින් ගුවන් තොටුපලෙහි කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමටත් මීළඟ සංවර්ධන පියවරයන් වෙත යොමු වීමටත් රජයේ අවධානය යොමු විය. විකල්ප ගුවන් තොටුපළක අවශ්‍යතාවය ද මෙයින් තව දුරටත් තහවුරු වීම විශේෂත්වයකි. භාණ්ඩ මෙහෙයුම මෙට්‍රික් ටොන් 200 ක් ද ගුවන් යානා මෙහෙයුම 43600 ද ඉක්මවීම 2011 වසරේ දී සිදු විය.

සිවිල් ගුවන් සේවා සම්බන්ධයෙන් මෙතෙක් කල් පැවතියේ 1955 දී සම්මත කර ගන්නා ලද පණත වූ අතර නව අවශ්‍යතාවයන්ට ගලපෙන පරිදි නීති රීති සම්පාදනය කිරීමෙ අවශ්‍යතාවයක් ඇති විය. ඒ අනුව පාර්ලිමේන්තුව විසින් 2010 අංක 14 දරණ ගුවන් සේවා පණත බලාත්මක කිරීම 2011 වර්ෂයේ පෙබරවාරි මස 4 වන දින සිදු කරන ලදී.

2011

2011 වර්ෂයේ අප්‍රේල් මස 24 වන දින මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මගී පර්යන්තයට මුල් ගල තැබීම සිදු වූ අතර එහි උපරිම වාර්ෂික ධාරිතාවය මගීන් මිලියනයක් විය.

2011 වර්ෂයේ සිදු වූ සිවීශේෂිම සිද්ධීන් අතර මුල් තැනක් ගන්නේ ලොව විශාලම මගී ගුවන් යානය වන “එයාර්බස් 380“ වර්ගයේ යානාවක් ඉන්ධන ලබා ගැනීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමයි. මෙම ගුවන් යානය ඕස්ට්‍රේලියාව සිට ඩුබායි යන අතර තුරේ දී මෙම ගොඩ බැස්සවීම සිදු කරනු ලැබු අතර එය “එමිරේට්ස්“ ගුවන් සමාගමට අයත් විය. මෙම යානය දෙවරක් ශ්‍රී ලංකාට ගොඩ බැස්සවීය.

image

2012

2012 මැයි මස 24 වන දින ජාත්‍යන්තර ගුවන් සේවා සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ආරක්ෂණය පිළිබඳව විගණනයක් පවැත් වූ අතර එයින් ඉහළම තත්වයන් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙමගින් තව දුරටත් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍ර යේ ප්‍රගමණය තවදුරටත් තහවුරු විය.

2012 වර්ෂයේ ඔක්තෝබර් මස 16 වන දින මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ තාක්ෂණ උපකරන පිරික්සීම සඳහා පකිස්තානු ගුවන් සේවා අධිකාරියට අයත් අධිතාක්ෂණ ගුවන් යානයක් මත්තල නව ගුවන් පථයට ගොඩබස්සවන ලදී. එය එම ගුවන් ධාවන පථයට ගුවන් යානයක් නිල වශයෙන් ගොඩ බස්සවන ලද ප්‍රථම අවස්ථාව විය.

 

වැඩ අවසන් කළ පාලක කුළුණ (ගීත් ජයශංක)

වැඩ අවසන් කරමින් තිබෙන පර්යන්ත ගොඩනැගිල්ල(ගීත් ජයශංක)

ගුවන් පාලම් සවිකරමින් (ගීත් ජයශංක)

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කර්මාන්තය ආරම්භ වී 2012 ට වසර 100 සම්පූර්ණ වේ. මෙම සැමරීම සඳහා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයත් සිවිල් ගුවන් සේවා අධිකාරියත් අනෙකුත් ගුවන් සමාගම් සහ සේවා සපයන ආයතනත් එක්ව මෙම වසර 100 සැපිරීම සමරනු වස් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙන අතර එය එළඹෙන 2013 වසර පුරාවටම සිදු වනු ඇත.

100 years logo

නව ලොව දියුණුවත් සමග මෙම ක්ෂේත්‍රය විවිධ වෙනස්කම් වලට සීඝ්‍රයෙන් පාත්‍ර වනු අතර ඉතිහාසයට නව පිටු ඉතා ඉක්මනින් එක් වනු ඇත. ඒ අනුව මෙම ලියවිල්ල ද අතීතයේ එක් සටහනක් වනු ඇති අතර කර්මාන්තය ඉදිරියට ගමන් කරනු ඇත.

නිමි.

8 comments:

  1. Thank you very much for nice articles.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි ඉෂාර - ඔක්කොම එකතු කරල PDF File එකක් හදල upload කරමුද? -
    බොහොම විරල තොරතුරු නේ - සිංහලෙන් එකතුවක් වෙන ඇත්ද මන්ද මෙහෙම

    ReplyDelete
    Replies
    1. ඔව් තිසා දැන් හදාගෙන යනවා තව මත්තල පින්තූර ටිකකුත් දාලා ටිකක් ලස්සනට හදලා දාන්නම්.

      Delete
  3. ඉතාව හොඳ වැඩක් ඉෂාර ඔබ කළේ.. මේ ලිපිය මේ සම්බන්ධයෙන් අන්තර්ජාලයේ තිබිච්ච අඩුවක් පිරෙව්වා කියලයි මට හිතෙන්නෙ.. දැන් මේ ගැන හොයන ඕනා කෙනෙකුට ටක් ගාලා විස්තර ටික අතේ..

    මහන්සිය ගොඩාක් අගය කරමි.

    මත්තල කවදද අරින්නෙ ?

    ReplyDelete
    Replies
    1. සෙන්නා...බොහොම ස්තුතියි අගය කිරීමට. ඇත්තටම සිංහල ලියවිල්ලක් තිබුණේ නැති තරම්. මේක යම් තරමක් දුරට හෝ වැදගත් වේවි.

      මත්තල මාර්තු 18 අරිනවා. මත්තල ගැන අළුත් ෆොටෝත් එක්ක ලිපියක් ලියනවා. ඉක්මනට දාන්නම්

      Delete
  4. මේ වගේ තොරතුරු අන්තර්ජාලයේ තිබුනේ නෑ,,,ඒ අතින් ඉශාරගේ මේ වැඩේ ගොඩක් අගය කරනවා

    ReplyDelete
  5. http://lankacnews.com/sinhala/news/92708/ What a waste of public money.

    ReplyDelete
  6. ලොකු දැනුමක් ගත්ත. බොහෝම ස්තූතියි.

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....