උඩදි බබා හම්බ උනොත්? - If Baby Delivered On Board?

පසුගිය ඔක්තෝබර් මාසයේ  Air Asia ගුවන් සමාගමේ ගුවන් යානයකදී මවක් දරුවෙකු බිහි කිරීම පිළිබඳ පුවතක් අසන්න ලැබුනා. ගුවන් යානය තුළදී දරුවෙකු බිහි කිරීම බොහෝ දුරකට අවදානම් සහිත ක්‍රියාවක්. Air Asia  සමාගම මෙසේ ඉපදුන දරුවාට මුළු ජීවිත කාලයටම නො‍මිලේ එම ගුවන් සමාගමේ ගුවන් ගමන් යාම සඳහා පහසුකම් ලබා දෙන බව නොබෝ දා නිවේදනය කර තිබුණා. 

අපි දැන් බලමු මේ දරු උපත් හා සබැඳි තත්වය කුමක්ද කියලා. 
දරු ගැබක් දරණ මවකට ගුවනින් යාම සඳහා ටිකට් පත් නිකුත් කිරීම සහ එසේ යාම සඳහා වන තත්වයන් ගුවන් සමාගමෙන් සමාගමට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ගර්භනී මවක් ගුවනින් යනවා නම් පළමුව වෛද්‍යවරයෙකුගේ වාර්තාවක්/නිර්දේශයක් ලබා ගත යුතු වෙනවා. ඒ මත ගුවන් සමාගම තීරණය කරනවා ගමන් කිරීමට දෙනවාද නැද්ද යන වග. සාමාන්‍යයෙන් British Airways එසේ ගමන් කිරීමට ඉඩ ලබා දෙන්නෙ නැහැ. සාමාන්‍ය තත්ව යටතේ ගර්භණී මවක් ගුවනින් යාම ඇයට නම් අහිතකර දෙයක් නොවේ කියලයි වෛද්‍ය මතය. 

කොහොම හරි ගුවනින් යද්දී බබා ලැබෙන්න ආවොත් එම කටයුත්ත සඳහා ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සූදානම්. ඒ කියන්නෙ ඔවුන්ට ඒ සඳහා මනා පුහුණුවක් ලබා දී ති‍බෙනවා. එසේ පුහුණුව ලබා ගැනීම අනිවාර්ය දෙයක්. එය ඇතුලත් වන්නේ ප්‍රථමාධාර පුහුණුවට. මේ පුහුණුව සෑම වසර  3 ටම වරක් ගුවන් යානා කාර්ය මණ්ඩලය ලබා ගතු වෙනවා. ප්‍රශ්ණය තියෙන්නේ ගුවනේ දී යම් අසාමාන්‍ය තත්වයක් ඇති ගර්භණි මාතාවන්ට ඒ සඳහා ගුවන් යානය තුළ පහසුකම් නැති කමයි. 

මෙසේ ගුවනේ දී ඉපදෙන දරුවන්ගේ පුරවැසි බව පිළිබඳව ද යම් යම් ගැටළු පවතිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ ගුවන් යානය ලියාපදිංචි කර ඇති රටේ පුරවැසි භාවය එම දරුවාට හිමි වන බවයි. ඒවගේම ඇමරිකාව පවසන්නේ තමන්ගේ දේශසීමාව තුළ ඉහළ අහසේ දරුවෙකු ඉපදුනහොත් එම දරුවාට ඇමරිකාවේ පුරවැසි බවත් හිමි වන බව. ඊට අමතරව එම දෙමව්පියන්ගේ පුරවැසිබවත් හිමි වෙනවා. නමුත් මැද පෙරදිග රටවල තත්වය මීට වෙනස්. අනිවාර්යයෙන් පියාගේ රටේ පුරවැසි බවයි ඔවුන්ට හිමි වන්නේ. තවත් රටවල් කියන්නේ එම මව මීළගට ගොඩ බැසීමට නියමිත රටේ පුරවැසි බව ලැබෙන පවයි. කෙසේ වෙතත් මෙම නීති රීති පිළිබඳව යම් යම් ගැටළු පවතිනවා. 

දැනට අපේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානා වලත් මෙසේ දරුවන් ඉපදී තිබෙනවා. එය සංඛ්‍යාවෙන් 6 ක් පමණ වන අතර විශේෂත්වය වන්නේ ඔවුන් සියළු දෙනාම මැදපෙරදිග සිට පැමිණි අපේ රටෙන් ගිය ගෘහ සේවිකාවන්. තවත් විශේෂත්යක් වන්නේ මෙම දරුවන් එම මව්වරුන් විසින් භාර ගෙන නැහැ. ඔවුන් සියළු දෙනාම ගුවන් තොටුපලේ දී තම දරුවන් අතහැර ගොස් තිබෙනවා. මෙසේ පළමු දරු උපත වාර්තා වන්නේ මීට වසර 15 කට පමණ පෙර. 

අවසාන වශයෙන් සඳහන් කරන්න ඕනෙ දරුවෙකු ලැබෙන්න ඉන්න මවක් ගුවනින් යා යුත්තේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා පමණයි. මොකද උඩදි තියෙන පහසුකම් අඩුයිනෙ. හැබැයි එසේ යන්න උනොත් බිය විය යුතු නැහැ. මොකද කාර්ය මණ්ඩලය ඒ සදහා මැනවින් පුහුණුව ලබලා තියෙන නිසා.