ධාවන පථයේ රබර් ඉවත් කිරීම Runway Rubber Removal

ගුවන් යානා ඉහළට නැංවීම සහ ගොඩබැස්සවීම සඳහා භාවිතා කරන ධාවන පථ (Runways)කොන්ක්‍රීට් වලින් හෝ “ඇස්ෆාල්ට්“ (Asphalt) වලින් සකස් කිරීම සිදු කරනවා. අපේ ධාවන පථය ගත හොත් එය “ඇස්ෆාල්ට්“ වලින් සකසන ලද එකක්. ඇත්තටම ඇස්ෆාල්ට්-කොන්ක්‍රීට් මිශ්‍රණයක් තමයි තියෙන්නෙ. මේ භාවිතා කරන අමුද්‍රව්‍ය මොනවද කියලා තීරණය කරන්න බොහෝ දේවල් භාවිතා කරනවා. ධාවන පථය පිහිටන ස්ථානයේ දේශගුණය, කාලගුණය, උෂ්ණත්වය, පසේ ස්වභාවය, ගොඩ බැස්සවීමට බලාපොරොත්තු වන යානා වර්ග, එක් කාල පරාසයකදී මෙහෙයුම් කරනු ලබන යානා සංඛ්‍යාව ආදි බොහෝ දේ ඒ අතර වෙනවා. විශේෂයෙන් ශීතල දේශගුණයක් තිබෙන රටවල කොන්ක්‍රීට් ධාවන පථ භාවිතය උණුසුම් දේශගුණයක් තිබෙන රටවලට වඩා වැඩියි.
ධාවන පථයේ ශක්තිමත් බව එය සකස් කරන අවස්ථාවේදී තීරණය කරනු ලබන අතර මෙහිදි යම් විශාල යානයක් ගොඩබැස්සවීමට අවශ්‍ය ශක්තිමත් භාවයක් ඇතිවන විධියට එය සකස් කරනු ලබනවා.
ධාවන පථයක යානයක් ගොඩබැස්සවීමේදී යානයේ රෝද ධාවන පථය හා ගැටීම නිසා රෝදයේ රබර් ධාවන පථය මත තැන්පත් (Rubber Deposit) වීමක් සිදු වෙනවා. සාමාන්‍ය බෝයිං 747 (B747) වර්ගයේ යානයක් එක් වරක් ගොඩ බැස්සවීමේදී රබර් කිලෝ 3 ක් පමණ තැන්පත් වීමක් සිදු වෙනවා. දීර්ඝ කාලීනව මෙසේ රබර් තැන්පත් වීම නිසා ධාවන පථයේ ඝර්ෂණය අඩු වීමක් සිදු වෙනවා. එවිට ඉතිං කියන්න ඕනෙ නැහැනෙ. ලිස්සලා යනවා.

ඔය පහළ තියෙන්නෙ අපේ ධාවන පථයේ චන්ද්‍රිකා ඡායාරූපය (Google Earth). මේකෙ පළමු පින්තූරය තියෙන්නෙ ධාවන පථයේ එක් කොනක රබර් තැන්පත් වීම. බලන්න අනෙක් තැන් වලට වඩා මේ ස්ථාන කළු පැහැය වැඩියි. අනෙක් කොනත් ඒ වගේ. මොකද මේ දෙපසේ තමයි යාන ගොඩ බැස්සවීමේදී පළමුවෙන්ම ගැටීම සිදුවන්නෙ.  යටින් තයෙන්නෙ සම්පූර්ණ ධාවන පථය. එහි දෙපස අනෙක් ස්ථාන වලට වඩා කළු පැහැය වැඩියි. 


මෙන්න මේ තැන්පත් වන රබර් අනිවාර්යයෙන් ඉවත් කිරීමක් සිදුකළ යුතු වෙනවා. මේකට ක්‍රම කීපයක් භාවිතා කරනවා. අධි පීඩන ජල ධාරාවක් එල්ල කීරීම, වැලි වැනි රළු ද්‍රව්‍යක් අධික පීඩනයක් යටතේ එල්ල කිරීම, රබර් දිය වන ආකාරයේ රසායන ද්‍රව්‍ය භාවිතා කිරීම, රබර් ඉවත් කිරීම සඳහා නිපදවා ඇති උපකරණ භාවිතා කිරීම ආදිය මේ ක්‍රම ලෙස දක්වන්න පුළුවන්.

මේ තියෙන්නෙ ඒ වගේ රබර් ඉවත් කරන වාහන. පේනවනේ රබර් තැන්පත් වෙලා තියෙන විධිය. 


මේ පහළ තියෙන්නෙත් ඒ වගේ තරමක් මිළ අධික වාහනයක්.

මේ තියෙන්නෙ අධි පීඩන ජල ධාරා මගින් රබර් ඉවත් කිරීම.

බ්‍රසීලය වගේ නිතර වැසි ලැබෙන රටවල ධාවන පථයේ ලිස්සන සුළු ස්වභාවය අඩු කිරීම සඳහා කුඩා වලවල් (Graves) ඇති කරනු ලබනවා. මේ ධාවන පථ වල රබර් තැන්පත් වීම අධිකයි. ඒවායේ රබර් ඉවත් කිරීම සදහා පහත ආකාරයේ උපකරණයක් භාවිතා කරනවා.

අපේ රටේ මේ සඳහා කරන්නේ රසායන දුව්‍ය භාවිතා කර අතින් රබර් ඉවත් කිරීමේ ක්‍රමයයි. මේ ක්‍රමයේදී රසායන ද්‍රව්‍ය යොදා පසුව ඒවා සෝදා ඉවත් කළ යුතුයි. එතෙක් ධාවන පථය භාවිතය ගැනීම අනතුරුදායකයි.  අධි තාක්ෂණික උපකරණ භාවිතා කිරීම අධික වියදම් සහිත දෙයක්. අපේ රටට මෙවන් උපකරණයක් ලබා ගැනීම තරමක් අපහසුයි.
වෙනත් රටවල මෙසේ ධාවන පථ වල නඩත්තු කටයුතු සඳහා වෙනම වේලාවක් වෙන් කර තිබෙනවා. තවත් රටවල රාත්‍රියට ගුවන් තොටුපළවල් වසා දමන නිසා රාත්‍රියේ දී ඒ නඩත්තු කටයුතු සිදු කරනවා.   කටුනායක අපේ ගුවන් තොටුපළේ මෙතුවක් කාලයකට මේ සඳහා කාල සීමාවක් වෙන් කර තිබුණේ නැහැ. මේකට බොහෝ හේතු තිබෙනවා. ඒ කියන්නෙ අපේ ධාවන පථයට මෙහෙයුම් අඩු වීම ආදිය තමයි. 

නමුත් දැන් මේ කාල සීමාව වෙන් කර තිබෙනවා.

නොවැම්බර් මස 3 වන දින සිට සෑම බදාදා දිනකම පස්වරු 2.30 සිට 5.30 දක්වා ධාවන පථය වසා දැමීමට තීරණය කර තිබෙන අතර ඒ කාල සීමාවේ දී මේ නඩත්තු කටයුතු සිදු කිරීමට නියමිතයි. මේ නඩත්තු කටයුතු යනුවෙන් අදහස් කරන්නේ රබර් ඉවත් කිරීම පමණක්ම නොව ධාවන පථය මත අදාළ සළකුණු පින්තාරු කිරීම ආදියයි. 

මෙම වේලාව වෙන් කිරීම පිළිබඳව දැනටමත් ගුවන් සමාගම් ඇතුළු අදාළ ආයතන වෙත NOTAM මගින් දැනුම් දී තිබෙනවා. NOTAM යනුවෙන් අදහස් කරන්නේ Notice to Airmen කියන එකයි. මේ වෙලාවෙදි දැනට එන්නෙ ඉන්දියාවෙ සිට පැමිණෙන ගුවන් යානායි. මේ නව ක්‍රමය යටතේ ඒවායේ කාලසටහන් වෙනස් වීමක් සිදු වෙනවා.  

14 ප්‍රතිචාර:

  1. වැදගත් ලිපියක්.

    ReplyDelete
  2. නිකං ඩිස්කවරි චැනල් වගේ. නිකං වැදගම්මකට නැති එහෙන් මෙහෙන් ගත්තු දේවල් ටිකක් බ්ලොගයක ලියනවට වැඩිය කොච්චර වැදගත් ද තමුන් දන්නදේ හරියටම ලියන එක. කලාතුරකින් තමා මෙහෙම වැදගත් තැනක් හමුවෙන්නේ. ඔබට ජය.

    ReplyDelete
  3. niyamy.. hoda lipiyak. gigatama liyanna, api aniwa balanawa.

    ReplyDelete
  4. මොනවා කියන්නද ? වෙනද වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්තා!

    ReplyDelete
  5. වැඩකට නැති බ්ලොග් අතරේ මා දුටුව වැදගත් බ්ලොග් එකක්. මම අද මේ බ්ලොග් එකට ආවේ.දන්නෙම නැති මාතෘකාවක් කථා කරන්නේ. දිගටම කරගෙන යන්න. ගොඩක් වටින බ්ලොග් එකක්. හැදෙනවානම් මේ වගේ බ්ලොග් ලියන්න කවුරුත් හිතට ගන්න ඕන.

    ReplyDelete
  6. බොහොම මහන්සිවෙලා කරපු වැදගත් ලිපයක්. මේවාගේ ඒවා දිගටම පල කරන්න.

    ReplyDelete
  7. හැමදාම වගේ මෙලෝ හසරක් දන්නේ නැති ගුප්ත විෂය පථයක් ගැන ඉතාම සරලම අකාරයට අපිට කියා දෙන වටිනා බ්ලොගයෙන් අදත් අවුරුදු 27ක් පුරාවට නාහපු දෙයක් ඉගෙන ගත්තා. ස්තුති.

    ReplyDelete
  8. Praසන්ன,Anonymous,Chamli,pradeep,budhajeewa,බුද්ධි,කි. අප්පුහාමි,Pandukabaya,ගීත්,
    සියල්ලන්ටම ස්තුතියි. දුන්න ධෛර්ය මාව තව තවත් ලිපි ලියන්න පොළඹවනවා. Ano, කැමතියි නිකං හරි නම දානවනම්. (අවුලක් නැහැ) ස්තුතියි සේරටම

    ReplyDelete
  9. මම කැමතිම ලිපි පෙළක් දිගටම ලියන්න

    ReplyDelete
  10. ගොඩක් දේවල් දැනගත්තා, වටිනා ලිපියක්, බොහොම ස්තුතියි.

    ReplyDelete
  11. කියෙව්වා. විස්තර වලට ස්තුතියි !

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....