පවුලිස් අප්පුහාමි

සරම ඇඳලා කොණ්ඩෙ බැඳලා ප්ලේන් පැදපු අත්තනගල්ලේ පදිංචිව සිටි පවුලිස් අප්පුහාමි නොහොත් උක්කු මහත්තයා එදා රත්මලාන ගුවන් තොටුපොළට ගියේ ගුවන් යානා ඉහළට නංවන හා පහත බස්සවන හැටි දැකබලාගැනීමට කැමැත්තෙන් සිටි ලොකු පුතා විජිත කුමාරට ඒවා පෙන්වීමටය. එහෙත් ගුවන්යානා සමීපව දුටු වනම ඒවා කෙරෙහි දැඩි ලෙස ආසක්ත වූ පවුලිස් අප්පුහාමිට ‍ෙදාළක් ඇතිවූයේ ගුවන් යානා පැදවීමටය.


1952 අගෝස්තු මාසයේ දිනක් වූ එදාම පවුලිස් අප්පුහාමි රත්මලාන ගුවන් පුහුණු ආයතනයේ පුහුණුකරුවකු වෙත කිට්ටු වූයේ තම ආශාව ඉටුකර ගැනීමට හැකිවේ දැයි විමසීමටය.
'මට ගුවන් යානයක් පදවන්න ආසයි. මටත් උගන්වන්න පුළුවන්ද?'
පුහුණුකරු වෙත ඉතා බයාදු ලෙස ළං වූ පවුලිස් අප්පුහාමි විමසා සිටියේ ලැජ්ජාශීලීවය.


ගුවන්යානා පැදවීම පුහුණුකරන ලෙස තමාගෙන් ඉල්ලා සිටින මෙම තැනැත්තා දෙස පුහුණුකරු හොඳින් බැලුවේය. පුහුණුකරු දුටුවේ කමිසයකින්, කෝට් එකකින් සහ සරමකින් සැරසුණු ගමේ මුදලාලි කෙනෙක් වන් පුද්ගලයකු තමා ඉදිරියේ සිටින බවයි. ඒ මදිවාට ඔහුගේ වැවුණ හිසකෙස් එකතුකොට හිස පිටුපස කොණ්ඩයක්ද බැඳ තිබිණි. මේ ගමරාලට අහස් යානා පැදවීම පුහුණු කරන්නේ කෙසේ දැයි පුහුණුකරුට එකවරම සිතෙන්නට ඇත. එහෙත් පුහුණුකරු ඇසුවේ මේ කොණ්ඩය සමඟ අහස් යානා පදවන්නේ කොහොමද කියාය.


පුහුණුකරු 'කොණ්ඩය' පිළිබඳ ප්‍රශ්නය මතුකිරීමට හේතුවක්ද තිබිණි. ඒ එකල ගුවන්යානා පුහුණු උපදේශකයන් මෙන්ම පුහුණුවන නියමුවන්ද හිසට හොඳින් සවිවන ලෙදර් හිස්වැසුම් පැලඳිය යුතුව තිබීමය. කථන හා ශ්‍රවණ උපකරණ ඇතුළත් සන්නිවේදන කට්ටල සවිකොට තිබුණෙ එම හිස් වැසුම්වලටය. එහෙයින් පිටුපසට බැඳි කොණ්ඩය හිස්වැසුම හිසට හොඳින් තද වීමට බාධාවක් ලෙස පුහුණුකරු දක්නට ඇත.


එහෙත් පුහුණුකරුගේ කියමනෙන් අධෛර්ය වූයේ පවුලිස් අප්පුහාමි නොවේ. පවුලිස් අප්පුහාමි එක්වනම දුන් පිළිතුර වූයේ 'මගේ කොණ්ඩය ප්‍රශ්නයක් නෙවේ. මං තාමත් අහස් යානා පැදවීමට ආසයි' යන්නයි.


කෙසේ වුවත් පුහුණුකරුට තවත් ප්‍රශ්න තිබිණි. ලිහිල් හා සුළඟට එහෙ මෙහෙ යන සරොමක් ඇඳ සිටීම ගුවන් යානයේ නියමු කුටියේදී ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතුවිය හැක්කකි. එසේම ඉංග්‍රීසි භාෂාව නොදත් සිංහල කතාකරන්නකු නියමු පුහුණුවේදී පාඩම්මාලා ග්‍රහණය කරගන්නේ කෙසේද යන්නද පුහුණුකරුට ගැටලුවක් විය.


ටික වේලාවක් කතාබහ කිරීමෙන් පසුව පවුලිස් අප්පුහාමි ගුවන් ගමනකට එකතුවන ලෙසට පුහුණුකරුගෙන් ඇරැයුමක් ලැබිණි. එම කෙටි ගුවන් ගමනේදී පවුලිස් අප්පුහාමි තුළ ගුවන් යානා පැදවීමට තිබූ උනන්දුව අතිමහත් බව පුහුණුකරුට වැටහිණි. එය පවුලිස් අප්පුගේ ගැමි පෙනුමින් යටපත් කළ හැක්කක් නොවීය.


කෙටි ගුවන් ගමන අවසානයේදී පවුලිස් අප්පුව ප්‍රධාන ගුවන් උපදේශක කපිතාන් සී.එච්.එස්. අමරසේකර හා තවත් උපදේශකයකු වූ සුසන්ත (සුස්) ජයසේකර වෙත හඳුන්වා දීමට පුහුණුකරු කටයුතු කළේය. රත්මලාන ගුවන් තොටුපොළේ අනෙකුත් උදේශකයන් කෙසේ වුවත් ගැමි පෙනුමැති පවුලිස් අප්පුහාමි වෙත ගුවන් පුහුණු සිසුවකු ලෙස විශ්වාසය තැබීමට අමරසේකර හා ජයසේකර යන උපදේශකවරුන්ට හැකි වී තිබිණි. එහෙයින් පවුලිස් අප්පුහාමිට ගුවන් යානා පැදවීම පුහුණුවීමේ අවස්ථාව ලබාදීමට තීරණය විය.


ගැමි පෙනුමැති ඉංග්‍රීසි බස හැසිරවිය නොහැකි පවුලිස් අප්පුහාමි අත්තනගල්ලේ ගරු කටයුතු හා පාරම්පරික පවුලකින් පැවැත එන්නකු බව ඒ අවස්ථාවේ රත්මලාන ගුවන්තොටුපොළේ උපදේශකයෝ නොදැන සිටියහ. ගමේ හැදී වැඩුණත් පවුලේ මිතුරකු වූ ඩී.සී. සේනානායක මහතා හරහා කොළඹ ආනන්ද කොලීජියේ ඉගෙන ගැනීමට ඔහුට අවස්ථාව හිමිව තිබිණි. 1905 දෙසැම්බර් 21දා අත්තනගල්ලේදී උපන් පවුලිස් අප්පුහාමිට පසු කලෙක ඔහුගේ පියාගේ පෞද්ගලික බස් සමාගම හිමිවිය. ඒ වනවිට එය බස් 36ක් හිමිව තිබූ සාර්ථක බස් සමාගමක් වූ අතර අත්තනගල්ලේ සිට කොළඹ, මහනුවර, කුරුණෑගල හා හංවැල්ල යන ගමනාන්තවලට බස් ධාවනය සිදු කළේය. 1940දී පමණ පවුලිස් අප්පුහාමි බස් මුදලාලි ඔහුට වඩා වසර ගණනාවකින් බාල ඒ වනවිට 17 හැවිරිදි වියේ සිටි ඇනෙට් ඩී සේරම් හෙවත් ඇනෙට් වික්‍රමාරච්චි මෙනෙවිය සමඟ විවාහ දිවියට ඇතුළත් විය. විවාහයෙන් එම දෙපළට පුතුන් දෙදෙනකු හා දියණියන් දෙදෙනකු ලැබිණි.


කුඩා කල සිට යාන්ත්‍රික ශිල්පයෙහි නිපුණයකු වූ පවුලිස් අප්පුහාමි සිය බස් රථවල, මෝටර් රථවල යාන්ත්‍රික දෝෂ සකසාගත්තා පමණක් නොව බිරියගේ රෙදි විවීමේ යන්ත්‍රවල දෝෂද සැකසීය. එසේම පවුලිස් අප්පුහාමි ඡායාරූපකරණයටද විශේෂ ඇල්මක් දක්ෂතාවක් දැක්වූ අතර වටිනා හා දුර්ලභ කැමරා රැසක එකතුවක් ඔහු සතු විය.


අහස් යානා පුහුණුවේදී තමා ලබා තිබූ යාන්ත්‍රික දැනුම පවුලිස් අප්පුහාමිට අනගි පිටිවහලක් විය. ඉංග්‍රීසි කතා කිරීමට නොදත්, සරොම ඇඳි, කොණ්ඩය බැඳ සිටි සිසුවා ගුවන් නියමු කුටියේ අනෙකුත් සිසුන් සමඟ තරගකාරී ලෙස පුහුණුව නිමා කරමින් සාර්ථක නියමුවකු වන අන්දම උපදේශක සුස් ජයසේකරට ඉමහත් ආස්වාදයක් ගෙන දෙන්නක් වී තිබිණි.


ගුවන් යානා පැදවීමේදී මට කොණ්ඩය බාධාවක් වුණේ නැහැ යනුවෙන් පවුලිස් අප්පුහාමි පසුව පවසා තිබේ. තමාගේ පළමු ගුවන් යානා පැදවීමේ සැසිය හමාර වී අත්තනගලේ පිහිටි 'සිරි මැඳුර' නම් වූ තම නිවෙසට ගොඩවැදුණු පවුලිස් අප්පුහාමි සිය බිරියට කියා තිබුණේ මැණිකේ මම පියාසර කරන්න බය නැහැ. මම කොහොම හරි ගුවන් යානා පැදවීමේ බලපත්‍රය ගන්නවා යනුවෙනි. සරොම ඇඳ, කොණ්ඩය බැඳි මේ මිනිසා එලෙස ගුවන් යානයක් පදවමින් ගුවන් යානා ඉතිහාසයේ අපූරු පෙරළියක් කළාක් මෙන්ම නිල පුහුණුවෙන් අනතුරුව ගුවන්යානයේ පැඩලයන් මත නිරාවරණ දෙපා තබමින් සමහර අවස්ථාවලදී ගුවන් යානය පදවා තවත් ආකාරයකින් සම්මතය අභිභවා තිබේ.


වික්‍රමාරච්චි මිල්ලවල්ලගේ ‍ෙදාන් ජෝන් හෙවත් පවුලිස් අප්පුහාමි නමට 1953 ඔක්තෝබර් 5දා පෞද්ගලික ගුවන් නියමු අංක 139 දරන බලපත්‍රය නිකුත් කෙරුණේ සරොම ඇඳ කොණ්ඩය බැඳ ගුවන් යානයක් පැදවූ පළමු පුද්ගලයා ඔහු බවට පත් කරමිනි.


පවුලිස් අප්පුහාමි එදා බලපත්‍රය ලබාගැනීමේ උත්සවයේදී බලපත්‍රය ලබාගත්තේද සිංහල සිරිතට අනුව සිය උපදේශකයාට බුලත් හුරුල්ලක් පිළිගන්වා ගෞරවය දක්වමිනි.


ගුවන්යානා අධ්‍යාපන ආයතනයට අලුතින්ම ලැබුණු ටයිගර් මොත් (Tiger Moth) නවීන යානයෙන් වැඩිදුර පුහුණුව ලබාගැනීමටත් එසේම ඊටත් වඩා තාක්ෂණයෙන් දියුණු කළ  de Havilland DHC-1 සහ Chipmunk monoplane යානා පැදවීමටත් අනතුරුව ගුවන් මගීන් ගෙන යෑමටත් පවුලිස් අප්පුහාමිට අවසරය ලැබිණි.


විනෝදජනක ගුවන් සවාරිවලට පවුලිස් අප්පුහාමි සිය පුතු විජිත කුමාරවද බොහෝ විට එක්කර ගත්තේය. එවැනි දිනක පවුලිස් අප්පුහාමිට ගුවන් ගමන්මඟ වැරැදිණි. රත්මලාන ගුවන් තොටුපොළේ පිරිස පවුලිස් අප්පුහාමි ගැන විපරම් කරන්නට වූ අතර පුත්තලම - පලාවි ගුවන්තොටුපොළේ ආරක්ෂිතව යානය ගොඩ බස්වා සියලු දෙනාට සැනසිලි හුස්මක් ගෙන දෙමින් නැවත රත්මලානට පැමිණීමට පවුලිස්ට හැකිවී තිබිණි.


පෞද්ගලික ගුවන් කපිතාන්වරයකු ලෙස බලපත්‍රය ලබාගෙන නිදහසේ විනෝද වුවද පවුලිස් අප්පුහාමි ඔහුගේ පෞද්ගලික බස් ව්‍යාපාරයද හොඳින් කරගෙන ගියේය. කෙසේ වුවද 1958 ජනවාරි 1දා ශ්‍රී ලංකාවෙ සියලුම බස් සමාගම් බණ්ඩාරනායක රජය ජනසතු කළේය. ඒ සමඟම පවුලිස් අප්පුහාමිටද සිය පවුලේ ව්‍යාපාරය වන බස් සමාගම අහිමිවීම විශාල පාඩුවක් විය.


පවුලිස් අප්පුහාමි 1963දී වැලඳුණු ආඝාතයක් හේතුවෙන් බෙලහීන වූ අතර 1973 පෙබරවාරි 23 දින සදහටම නෙත් පියා ගත්තේය. එහෙත් ඔහුගේ නම ශ්‍රී ලංකාවේ ගුවන් ඉතිහාසය තුළ තබා ඇත්තේ නොමැකෙන සටහනකි.

 

මෙම ලිපිය රොජර් තීද්මන් මහතා විසින් “සන්ඩේ ටයිම්ස්“පුවත් පතේ ඉංග්‍රීසි භාෂවෙන් පළ කරන ලද අතර එම ලිපිය පහත සබැඳියෙන් කියවිය හැක

http://www.sundaytimes.lk/050306/plus/1.html

මෙම සිංහල ලිපිය උපුටා ගනු ලැබුවේ “මව්බිම“ පුවත් පතෙනි. එම සබැඳිය පහත දක්වා ඇත.

http://www.mawbima.lk/55-68218-news-detail.html