ලොව තාක්ෂණයට අභියෝග කළ MH370 අතුරුදහන් වීම

MH370 ගුවන් යානය අතුරුදහන් වී අද වන විට මාසයක් ඉක්ම ගොස් ඇති මුත් තවමත් එහි කුමන හෝ තොරතුරක් සොයා ගැනීමට නොහැකි වීම ලොව තාක්ෂණයට අභියෝග කිරීමක් බව පැහැදිලි වෙමින් තිබේ.

1914 දී ඇමරිකාවේ සෙන්ට් පීටර්ස්බර්ග් හා ටැම්පා අතර “ටැම්පා එයාර් බෝට්“ නමින් ගුවන් සේවයක් අරඹමින් වාණිජ ගුවන් සේවාව ආරම්භ වී මේ වසරේ ජනවාරි මාසයට වසර සියයක් සම්පූර්ණ විය. මේ කාල සීමාව තුල වාණිජ ගුවන් ගමන් ක්ෂේත්‍ර යේ දියුණුව ඉතා ඉහළ තාක්ෂණයෙන් සමන්විත වන බව නිරන්තරයෙන්ම කථා බහට ලක් විය. මගීන් හා ගුවන් ක්ෂේත්‍රයේ සිටින්නවුන් පවා මෙම විශ්මය ජනක තාක්ෂණය දෙස බලා සිටියේ විමතියෙනි.

නමුත් මසක් ඉක්ම ගියද මැලේසියානු ගුවන් යානයට සිදු වූ දේ නිශ්චිතව සඳහන් කිරීමට හෝ තාර්කික අනුමානයක් කිරීමට හෝ අඩුම තරමින් එහි කුඩා හෝ කැබැල්ලක්වත් සොයා ගැනීමට නොහැකි වීම පැහැදිලිවම තාක්ෂණයට අභියෝග කිරීමකි.

තාක්ෂණය පිළිබඳව උදම් අනන බොහෝ අය පවසනුයේ නව තාක්ෂණික සොයා ගැනීම නිසා ලොව ඉතා කුඩා වී ඇති බවකි. නමුත් සැබෑවටම එය එසේ සිදුවී ඇති නම් මෙතරම් කාලයක් මෙම යානය සොයා ගැනීමට නොහැකි වූයේ ඇයි?

දැනට සඳහන් කරන පරිදි මෙම යානය අතුරුදන් වූ ඉන්දියානු සාගරය වර්ග කිලෝ මීටර් මිලියන 76.56 ක් පමණ වන අතර එය ලොව තෙවන විශාලම සාගරය වේ. එහි කුඩා කොටසක පමණක් මෙම පිරික්සුම් කටයුතු සිදු කරන ගුවන් යානා වලටද මේ වනතුරුත් එක දිගට පැය කීපයකට වඩා මෙහෙයුම් සිදු කළ නොහැකි වනවා මෙන්ම නව තාක්ෂණය හමුවේ ද නිවැරදි තොරතුර සොයා ගැනීම ඉතා අපහසු වී ඇත.

දෛනිකව බොහෝ ගුවන් යානා තාවකාලිකව අතුරුදන් වීම සිදු වන බව බෙහෝ දෙනෙක් නොදන්නා කරුණකි. නමුත් යළිත් ඒවා රේඩාර් තිර මත දිස්වීමට පටන් ගනී. මේ අනුව පැහැදිලි වන්නේ ද තාක්ෂණය තවමත් නිවැරදිව භාවිතා වී නොමැති බවයි. ඒ වගේම තවත් පැහැදිලි වන කරුණක් වනුයේ චන්ද්‍රිකා තාක්ෂණය පවා ගුවන් සංතරණයේ දී නිවැරදි අයුරින් භාවිතා කර නොමැති බවයි. එසේ වූවා නම් මෙතරම් කලක් අපට බලා සිටීමට සිදු නොවනු ඇත.

කෙසේ වෙතත්  MH370 යානයේ මෙම අතුරුදන් වීම ගුවන් සංතරණයට චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීම පිලිබඳව කතිකාවතක් ගොඩ නැගීමට සමත් වී ඇති අතර නුදුරේ දීම ඒ සඳහා යන ගමන ඉක්මන් වනු ඇතැයි සිතිය හැක.