නියමුවා දිවි නසා ගැනීම - Pilot Suicide

LAM Mozambique Airlines යනු මොසැම්බික් රාජ්‍යයේ ජාතික ගුවන් සේවයයි. මොසැම්බික් රාජ්‍ය යේ මපුටෝ ගුවන් තොටුපල කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන අතර අප්‍රිකානු මහාද්වීපයේ රටවල් අතර සහ මොසැම්බික් රාජ්‍යය තුළද සිය මෙහෙයුම් සිදු කරනු ලබයි. 1936 දී පමණ ආරම්භ කර ඇති මෙම ගුවන් සමාගම අප්‍රිකානු මහාද්වීපයේ හොඳින් මෙහෙයුම් සිදු කරනු ලබන ගුවන් සමාගමකි.

ගුවන් සමාගම පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී සිදු වූ ගුවන් අනතුරක් නිසා ලොවේ කථා බහට ලක් වුණා. මෙම අනතුර සිදු වූයේ මපුටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ඇන්ගෝලාවේ Quatro de Fevereiro ගුවන් තොටුපලට මොහෙයුමක් සිදු කරන අතරවාරයේ දීයි. යානය අනතුරට ලක් වූයේ නැමීබියාවේ Bwabwata ජාතික වනෝද්‍යානය ඉහළින් පියසර කරමින් තිබිය දීය.

Embraer ERJ-190-100LR 190LR aircraft picture

අනතුරට පත් වූ යානය

මෙම ගුවන් අනතුරින් යානය සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර එහි ගමන් කළ මගීන් 27 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනා ජීවිතක්ෂයට පත් විය. යානය අනතුරට පත් වූ ස්ථානය පරීක්ෂක කණ්ඩායම් ලඟා වූයේ අනතුර සිදු වූ දිනට පසු දින වූ අතර ඒ වන විටත් යානය සම්පූර්ණයෙන් අළු ගොඩක් ව තිබූ බව එම කණ්ඩායම් පවසයි.

ගුවන් අනතුර සිදු වූ ස්ථානයේ තිබී යානයේ කලු පෙට්ටිය ලෙස හඳුන්වන CVR (Cockpit Voice Recorder ) සහ FDR (Flight Data Recorder) හමු වී ඇති මූලික පරීක්ෂණ වලදී ලොමු දැහැ ගන්වන සිද්ධියක් අනාවරනය වී තිබෙනවා.

අනතුරින් ඉතිරි වූ කොටස්

මොසැම්බික් හි මපුටෝ ගුවන් තොටුපලෙන් පෙරවරු 11 26 ට පිටත් වන TM 470 ගුවන් යානය ඇන්ගෝලාවේ ලුවන්ඩා ගුවන් තොටුපළ ට යාමට සැලසුම් කර තිබුණේ පස්වරු 2 10 ට යි. දැනට තිබෙන තොරතුරු අනුව ගුවන් යානය පස්වරු 1:09 ට අඩි 38000 ක උසක සිට පහතට පැමිණීමට පටන් ගෙන තිබේ.

යානය අනතුරට ලක් වී තිබුණේ නැමීබියාව සහ ඇන්ගෝලාව අතර දේශ සීමාවේ ය. දැනට තිබෙන තොරතුරු අනුව මෙම අනතුර හිතාමතා ම කරන ලද අනතුරක් ලෙස විශ්වාස කෙරේ. අනතුරට සුළු වේලාවකට පෙර සහාය නියමුවා වැසිකිළියට ගොස් ඇති අතර ඒ ලද අවසරයෙන් ප්‍රධාන නියමුවා විසින් ගුවන් යානය ගමන් කරන උස අඩි 38000 සිට පොළොව මට්ටමටත් වඩා අඩි 592 ක් පහළට වෙනස් කර ඇත. මෙම උස අඩු කිරීම ඔහු විසින් තෙවරක් සිදු කර තිබේ. එලෙස ම යානයේ වේග පාලක අතහැරීමක් සිදු කර ඇති අතර බොහෝ වාර ගණනක් ඔහු විසින් යානයේ උපරිම වේගය තෝරා ගෙන ඇත. මේ අතර යානයේ නියමු කුටියේ හඬ පටයේ එක් අවස්ථාවක නියමු කුටියේ දොරට තට්ටු කරන හඬ ද ඇසේ.

කෙසේ වෙතත් යානය අවසානයේ අනතුරට ලක් වී ඇති අතර සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. යානය 2012 වර්ෂයේ පළමු ගුවන් ගමන සිදු කර ඇති අතර පැය 2905 පමණ අඩු ප්‍රමාණයක ගුවන් කාලයක් වාර්තා කර ඇත. එම්බ්‍රේයර් වර්ගයේ යානයක් වන මෙම යානයේ එන්ජින් දෙකකින් සමන්විත විය.

යානය අනතුරට ලක් වන අවසන් විනාඩි කිහිපයේ තොරතුරු විශ්ලේෂණය කිරීමේ දී තවමත් නිවැරදි නිගමනයකට එළඹිය නො හැකි බව පරීක්ෂණ කණ්ඩායම් පවසන අතර නිල නොවන වාර්තා අනුව මෙය “නියමුවා දිවි නසා ගැනීමේ“ (Pilot Suicide) වර්ගයේ අනතුරක් බව පැවසේ. මෙම අනතුර වන අවස්ථාවේ කටයුතු කර ඇති නියමුවාගේ දරුවා පසුගිය වසරේ මියගොස් සිටි අතර ඔහුගේ පවුලේ ගැට‍ළු තිබූ බව පැවසේ. මේ නිසා ඇති වූ මානසික ව්‍යාකූලතාවකින් මෙම අනතුර සිදු කරන්නට ඇති බව එම නිල නොවන වාර්තා සඳහන් කරයි.

මේ ගණයට අයත් අනතුරු කිහිපයක් ඉතිහාසයේ වාර්තා වී ඇති අතර මෙතැනින් ඒවා බලන්න.

දැන් ඉතින් බය වෙන්න එපා. හැම කෙනාම එක වගේ නෑහැ.

උඩදි ඉස්සුවොත් පයිලට් කරන දේ Squawk Codes

අද (17/02/2014) අළුයම 1230 ට පමණ ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපලින් පිටත් වූ ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් අංක ET702 දරණ ගුවන් යානය ගුවනේ දී පැහැර ගැනීමක් සිදු වී ඇති බව වාර්තා වුණා. සුඩානය ඉහළින් පියාසර කරමින් තිබිය දී මෙම සිදු වීම වාර්තා වූ අතර ගුවන් යානය ගමන් කිරීමට නියමිත වූ ගුවන් තොටුපල වූයේ රෝමයේ “ලියනාඩෝ ඩාවින්සි“ ගුවන් තොටුපලයි. නමුත් එය ගොඩබා තිබුනේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා ගුවන් තොටුපලටයි. මගීන් සහ කාර්ය මණ්ඩලය 200 ක් පමණ මෙහි ගමන් කරමින් සිටි අතර ඔවුන් සියළු දෙනාම නිරුපද්‍රිතව සිටි බව ට වාර්තා ලැබී තිබේ.
ගුවන් යානයෙන් මගීන් ඉවත් කර ගන්නා අයුරු (නියමුවා බැසිගිය ලණුව වම්පස එල්ලෙමින් තිබේ)
මෙම සිද්ධියේ ජුගුප්සාජනකම කාරණය වන්නේ සහාය නියමුවා විසින් මෙම පැහැර ගැනීම සිදු කර තිබීමයි. ප්‍රධාන නියමුවා වැසිකිලියට ගිය  අවස්ථාවේ දී මෙම පැහැර ගැනීම සිදු කළ බව දැනට තොරතුරු අනාවරණය වී ඇති අතර ජිනීවා ගුවන් තොටුපලේ දී යානය නැවැත් වූ පසු සැකකාර සහාය නියමුවා ඉදිරිපස සුළං මුවාව විවර කර ලණුවක් ආධාරයෙන් පිටතට පැමිණ තිබේ. (හදිසි අවස්ථාවක එසේ පැමිණිමට පහසුකම් තිබේ) පසු ඔහුව අත් අඩංගුවට ගැණුන අතර ඔහු පවසා සිටයේ තම රට තුළ තමාට තර්ජන ඇති බැවින් මෙලෙස විදෙස් රටක රැකවරණ පැතීමට උත්සාහ කළ බවයි.  කෙසේ වෙතත් නීති තත්ව යටතේ දී ඔහුට විරුද්ධව ක්‍රියා කර වසර 20 ක සිර දඬුවම් ලබා දිය හැකියි.
ප්‍රවාත්තිය මෙතනින් බලන්න
යම් හෙයකින් මෙසේ ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීමට ලක් වුවහොත් එය ගුවන් ගමන් පාලක වරුන්ට දැනුම් දීමට විශේෂ සංඥාවක් භාවිතා කරයි. ගුවන් යානයේ තිබෙන “ට්‍රාන්ස්පොන්ඩන්ට්“ නැමති විද්‍යුත් උපරණයෙන් මෙම සංඥා නිකුත් කිරීම හා හඳුනා ගැනීම සිදු කරයි. ගුවන් යානා දෙකක් ගැටීම වැළැක්වීමට, යම් අනතුරු දායක තත්වයක් දැනුම් දීමට මෙම උපකරණයේ විවිධ කේත භාවිතා කරමින් යොදා ගනී.
සෙස්නා ගුවන් යානයේ ට්‍රාන්ස්පොන්ඩන්ට් උපකරණය
මෙම ක්‍රමයට සංඥා සැකසීමේ දී squawk යන වචනය සමගින් කේතය භාවිතා කරයි. මෙලෙස භාවිතා කිරීමට අවශ්‍ය වන කේත හඳුන්වා දී ඇති අතර ඒ ඒ අවස්ථා වල මෙම කේත භාවිතා කරයි. මෙම කේත භාවිතා කිරීම දෙවන ලෝක යුද්ධ සමය තෙක් දිව යන අතර සතුරු යානා සහ මිතුරු යානා හඳුනා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව විසින් මෙම ක්‍රමය භාවිතා කරන ලදී. පසු කාලීනව මෙය සිවිල් ගුවන් යානා වල භාවිතයට ගැණින. ප්‍රාථමික රේඩාර් වල දී මෙම බීකනය මගින් යානා හඳුනා ගැනීම පහසු කරයි.
ඉහත වචනයත් සමග භාවිතා කරන මෙම කේතය ඉලක්කම් හතරකින් යුක්ත වන අතර 0000 සිට 7777 දක්වා පරාසයක විහිදේ.
උදාහරණයක් ලෙස squawk 7700 යනු හදිසි අවස්ථාවක් බව දැන්වීමයි. squawk 7600 යනු රේඩියෝ සංඥා වල බිඳ වැටීමක් වාර්තා කිරීමයි.
ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීමක් සිදු වුවහොත් ඒ බව දැනුම් දීම සඳහා squawk7500 යන කේතය භාවිතා කරයි.
ඉහත අප කථාවේ සඳහන් සහාය නියමුවා මුල සිටම මෙම සංඥාව නිකුත් කරමින් ගමන් කර ඇත.
squawk කේත මෙතනින් බලන්න
මේ සම්බන්ධයෙන් ඉතා විශාල තාක්ෂණික විස්තරයක් ඉදිරිපත් කිරීමට වඩා මෙම සරල කරුණු පැහැදිලි කිරීම පුමාණවත් යයි සිතමි. එළෙසම මෙම ප්‍රවෘත්තය කියවන හෝ අසන විට දැන් ඔබට එය වඩාත් පැහැදි වනු ඇත.