වීසා ගන්න ඕනෙ නම් ප්ලේන් පූජා කරන්න Shaheed Baba Nihal Singh Gurdwara in Jalandhar

පුරාතණයේ සිටම විවිධ දේවල වලට වන්දනා මාන කිරීම ලෝ වැසියන්ගේ සිරිත විය. ගස් ගල් පවා දේවත්වයෙන් පිදීමට ඔවුන් යොමු වී තිබිණ. අදටත් ලොව සමහර ප්‍රදේශ වල අප විශ්වාශ නොකරන දේ වලට දේවත්වයෙන් සැළකීමට මිනිසා පුරුදු වී සිටී. විශේෂයෙන් ඉන්දියාවේ මේ තත්වය වැඩි වශයෙන් දැකිය හැක. ඒ වගේම පූජා භාණ්ඩ ලෙසද ඔවුන් විවිධ දේ පූජා කිරීමට පෙළඹී සිටී.

ගුවන් යානා ආදර්ශ පූජා භාණ්ඩ ලෙස යොදා ගන්නා දෙවොලක් ඉන්දියාවේ තිබෙන බව ඔබ විශ්වාස කරනවාද? එය සැබවින්ම පවතී. ඉන්දියාවේ පන්ජාබ් (Panjab) ප්‍රාන්තයේ ජලන්දාර් (Jalandhar) ප්‍රදේශයට කිලෝමීටර් 30 පමණ දුරින් පිහිටා තිබෙන ටල්හාන් (Talhan) නැමති ගමේ මේ දෙවොල පිහිටා තිබේ.

image

යම් පුද්ගලයෙකු විදේශ රටක විසා බලාපොරොත්තු වන්නේ නම් මෙම දොවොලට ගුවන් යානයක ආදර්ශයක් පූජා කළහොත් එම වීසා ලැබීම අනිවාර්යයෙන්ම සිදු වන බව මෙම දෙවොලේ බැතිමතුන් විශ්වාස කරයි. මෙම දොවොල සික් ජාතිකයන්ගේ දෙවොලක් වන අතර එය “ෂහීඩ් බාබා නිහාල් සිං දෙවොල“ නමින් හඳුන්වයි.

මෙවන් මිත්‍යා දෘෂ්ඨික පූජාවන් සිනහවට ලක් වුවද ඉරිදා දිනවල මෙම දෙවොලේ පළමු මහලේ තිබෙන ශාලාවේ සෙල්ලම් ගුවන් යානා 80-100 ත් අතර ප්‍රමාණයක් දැකිය හැකි බව මෙම දේවාලයේ කළමණාකාරීත්වය පවසයි. මෙම දෙවොල දැන් පන්ජාබ් භාෂාවෙන් “හවායිජහජ් “ දොවොල යනුවෙන් හඳුන්වයි. එහි අදහස ගුවන් යානා දෙවොල යන්නයි.

image

මෙම පූජා කිරීම් කවදා කෙසේ ඇති වූවා දැයි නොදන්නා බව පවසන මෙම දේවාලයේ කළමණාකාරීත්වය ඔවුන් මෙම මිත්‍යා දෘෂ්ටික අදහස් වලට අනුබල දීමක් සිදු නොකලත් මිනිසුන්ට එය අවශ්‍යනම් එය එසේ සිදු වීමට ඉඩ දෙන බවයි.

කෙසේ වෙතත් මෙම පූජා කිරීම් නිරන්තරයෙන් සිදු වන අතර ඔවුන්ගේ විශ්වාශය එසේ පූජා කිරීමෙන් තම විසා ලබා ගැනීමට හැකියාවක් ලැබෙන බවයි. එක් අයෙක් පවසා සිටියේ තමා පසුගිය වාරයේ බ්‍රිතාන්‍ය වීසා ඉල්ලූ බවත් මෙම දෙවොලට පූජා පැවැත්වූවත් එය නොලැබුණ මුත් මෙවර ඔහු ඇමරිකාවට වීසා ඉල්ලා ඊට වඩා විශාල, වටිනාකමින් වැඩි ගුවන් යානයක් පූජා කරන බවත්ය.

image

2006 වර්ෂයේ දී මෙම ප්‍රදේශයේ කුල දෙකක් අතර මෙම දෙවොලේ භාරකාරීත්වය උදෙසා ඇති වූ ගැටුම් හේතුවෙන් රජයට පවරා ගෙන තිබෙන අතර මෙම දේවාලයේ නම සඳහන් නිහාල් සිං නැමැත්තා මෙහි කළමණාකාරීත්වයේ සිටින්නකු හෝ සිටියෙකු හෝ මෙම ගම් ප්‍රදේශයේ පුද්ගලයෙක් නොවන අතර ඔහු කවරුන්දැයි කිසි කෙනෙක් නොදනී.

මෙම දෙවොල අසල තිබෙන සාප්පු වල එයාර්බස්, බෝයිං වැනි ගුවන් යානා ආදර්ශ විකිණිමට තබා ඇති අතර දිනකට 100 ක් පමණ විකිනෙන බව වෙළඳසැල් හිමියන් පවසයි. කෙසේ වෙතත් මෙම දේවාලයේ කළමණාකාරීත්වය ඉඩකඩ පිළිබඳ ගැටළුවකට මුහුණ දෙන අතර විශාල වශයෙන් ලැබෙන මෙම ගුවන් යානා නිසා ඔවුන්ගේ පූජා මන්දිර ඉඩකඩ ඇහීරී ඇත. මේ නිසා මෙසේ එකතුවන ගුවන් යානා ප්‍රදේශයේ දුප්පත් ළමුන් අතර බෙදා දෙන බව දේවාලයේ කළමණාකාරීත්වය පවසයි.

මෙවන් වු දෙවොලක් සම්බන්ධයෙන් ඉන්දියාවෙන් වාර්තා වීම සම්බන්ධයෙන් පුදුම විය යුතු නැත. මන්ද ඔවුන් විවිධ දේවල් වලට වන්දනා මාන කිරීමට පෙළඹී ඇති නිසාය. වරක් එක් ඉන්දියානුවෙක් බැල්ලක විවාහ කර ගත් බවටත් වාර්තා විය. කෙසේ වෙතත් මෙම තොරතුරු ඔබ හා මා බෙදා ගත්තේ ඔබගේ දැන ගැනීම උදෙසා පමණක් වන අතර එම වැඳුම් පිදුම් කරන්නවුන්ට සිනහා වීමට නොවේ. ඒ වගේම මෙම විශ්වාසයන් අවඥාවෙන් බැහැර කිරීමට තරම් ශක්තියක් මේ ස්වාභාව ධර්මයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ හරිහැටි අවබෝධයක් නැති අපහට කිසිසේත්ම කළ හැකි දෙයක් නොවේ.

DC-10 ගුවන් යානයේ සමුගැනීම Final boarding: McDonnell Douglas DC-10 makes last passenger flight

image

නවතම ගුවන් යානා කර්මාන්තයට හඳුන්වා දෙන විට දැනට භාවිතා කරන ගුවන් යානා ‍සේවයෙන් ඉවත් වීම සිදු වෙනවා. ඩීසී-10 ගුවන් යානයත් එසේ සේවයෙන් ඉවත්වන ගුවන් යානයක්. දැනට මෙම ගුවන් යානය මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නේ අපේ අසල් වැසි රටක් වන බංග්ලාදේශයයි. එහි “බිමාන් බංග්ලාදේශ්“ (Biman Bangladesh) ගුවන් සමාගම සතුව මෙම ගුවන් යානා දෙකක් තිබෙන අතර පසුගිය නොවැම්බර් මාසයේ දී එක් ගුවන් යානයක් මගී ප්‍රවාහනයෙන් ඉවත් කරන ලද අතර අනෙක් යානය මෙම වසරේ දෙසැම්බර් 07 වන දින අවසන් ගුවන් ගමන පවත්වනු ලැබූවා.

image

ඔබට මතක ඇති සමහර විට 1974 ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර සිදු වූ දැවැන්තම ගුවන් අනතුර. එසේ නැති නම් ඔබ මේ ගැන කියවා ඇති. 1974 දෙසැම්බර් 4 වන දින මස්කෙළියේ සප්ත කන්‍යා කඳු වැටියේ ගැටීම නිසා සිදු වූ මෙම අනතුරින් එහි ගමන්කළ සියළු දෙනා ම ජීවිතක්ෂයට පත්විය. මෙම අනතුරට පත් වූ ගුවන් යානය DC-8 වර්ගයේ එකකි. ඩීසී-10 යනු ඩීසී-8 ගුවන් යානයට පසුව නිපදවන ලද යානා වර්ගයයි.

මෙම ගුවන් යානා වර්ගය නිපදවූයේ ඇමරිකාවේ “මැක්ඩොනල් ඩග්ලස්“ ගුවන් යානා නිෂ්පාදන සමාගමයි. එවකට තිබූ අති සාර්ථක ගුවන් යානා වර්ගයක් වූ මෙම මැක්ඩොනල් ඩග්ලස් ගුවන් යානා බොහෝ ගුවන් සමාගම් විසින් භාවිතයට ගැණුනා.

මැක්ඩොනල් ඩග්ලස් සමාගම සමන්විත වුනේ සමාගම් දෙකක එකතුවකින්. 1921 පිහිටුවන ලද ඩග්ලස් එයාර්ක්‍රාෆ්ට් කම්පනි (Douglas Aircraft Company ) සහ 1939 දී පිහිටුවන ලද මැක්ඩොනල් එයාර්ක්‍රාෆ්ට් කෝර්පරේෂන් (McDonnell Aircraft Corporation) යන සමාගම් දෙක 1967 දී “මැක්ඩොනල් ඩග්ලස්“ නමින් එක් සමාගමක් බවට පත්විය. පසුකාලීනව මෙම සමාගමත් බෝයිං සමාගම සතු විය.

image

image

image

“ඩීසී 10 “ ගුවන් යානයේ උපරිම මගී ධාරිතාවය 380 ක් පමණ වන අතර මෙම ගුවන් යානය ඔබ දැක තීබේ නම් එය සුවිශේෂි එකක් බව ඔබට සිතේවි. මෙම ගුවන් යානයේ “ටර්බෝ ප්‍රොප්“ එන්ජින් 3ක් තිබීම සුවීශේෂිත්වයයි. මේ හා සමානම ගුවන් යානයක් ලෙස “ලොක්හීඩ්“ සමාගමේ “L-1011 Tri Star“ ගුවන් යානය හැඳින්විය හැක. ඩීසී-10 ගුවන් යානයේ එන්ජින් දෙකක් සුපුරුදු ලෙස පියාපත් යට සවිකර තිබෙන අතර තුන්වන එන්ජිම ගුවන් යානයේ “සිරස් ස්ථායිකාරකය“ (Vertical Stabilizer) තිබෙන ස්ථානයේ සවි කර තිබෙනවා. තවත් සුවිශේෂිත්වයක් වන්නේ මෙම ගුවන් යානයේ නියමුවා (Captain) සහ පළමු නිලධාරියාට (First Officer) අමතරව දෙවන නිලධාරියෙකුත් (Second officer) සිටිය යුතු වීමයි. දැන් භාවිතා වන නව ගුවන් යානා වල සිටිනුයේ නියමුවා සහ පළමු නිලධාරියා පමණී.

දැනට ලෝකයේ ගුවන් සමාගම් කීපයක් මෙම ගුවන් යානය භාවිතා කරනු ලබන අතර බොහෝ සමාගම් මෙම යානය භාණ්ඩ ප්‍රවාහන යානයක් ලෙස භාවිතා කරයි. “බිමාන් බංග්ලාදේස්“ ගුවන් සමාගම පමණක් මගී ප්‍රවාහනය සඳහා මෙම යානය භාවිතා කළ අතර මින් පෙර සඳහන් කළ පරිදි ඔවුන් විසින් ද දැන් මෙම යානය මගී ප්‍රවාහනයෙන් ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් එම ගුවන් සමාගම පවසන පරිදි මෙම යානය 2014 වර්ෂයේ පෙබරවාරි මාසයේ අවසන් නිල ගුවන් ගමන බංග්ලාදේශයේ ඩකා සිට එංගලන්තයේ බර්මින්හැම් වෙත සිදු කරනු ලබන අතර ඉන්පසුව ඇමරිකාවේ කෞතුකාගාරයකට එය යැවීමට නියමිතය. මෙම කෞතුකාගාරයේ නම සඳහන් නොවේ. පෙබරවාරි මාසයේ මෙම අවසන් ගුවන් ගමන සඳහා මගීන්ට ආසන වෙන් කර ගැනීමට හැකි බව එම සමාගම පවසයි.

image

(DC10 යානයේ ඇතුලත)

ඩීසී -10 ගුවන් යානයේ මුල්ම මගී ප්‍රවාහන ගමන සිදු වූයේ 1971 අගොස්තු 15 වන දින ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හා චිකාගෝ අතරයි. මෙම යානය ඇමරිකන් එයාර්ලයින්ස් (American Airlines) ගුවන් සමාගමට අයත් වුණා. ඩීසී-10 ගුවන් යානා 446 ක් එම සමාගම විසින් නිෂ්පාදනය කර ඇති අතර අවසන් ගුවන් යානය 1989 වර්ෂයේ නිෂ්පාදනය කර ඇත. ඒ නයිජීරියා එයාර්වේස් (Nigeria Airways) ගුවන් සමාගම වෙනුවෙනි.

ඩීසී 10 ගුවන් යානය මගී ප්‍රවාහනයෙන් ඉවත් වුවද “ෆෙඩෙක්ස්“ වැනි භාණ්ඩ ප්‍රවාහන ගුවන් සමාගම් වල තවදුරටත් මෙම යානය භාවිතා වනු ඇත. දැනට මෙම යානය භාවිතයෙන් ඉවත් කිරීමට ප්‍රධාන හේතු අතර ඉන්ධන කාර්යක්ෂමතාවය පහළ මට්ටමක පැවතීම එක් හේතුවකි.