කියෝස්ක්–Kiosks

 

“කියෝස්ක්“ එකක් කියන්නෙ මොකක් ද කියලා අපේ අය බොහෝ වෙලාවට දන්නෙ නෑ. සමහර විට භාවිතා කරලත් ඇති. ලංකාවෙ නම් තාම ටිකක් අඩුයි. කොළඹ නම් තියෙනවා. එච්එස්බී සී බැංකුවට ගිය අයට දකින්න පුළුවන් යම් යම් ගෙවීම් හා වෙනත් සේවාවන් ලබා ගැනීම සඳහා පරිගණක තිරයක් සහිත පෙට්ටියක් වැනි යමක් ස්ථාන ගත කර තිබෙනවා. මේවා “කියොස්ක්“ යනුවෙන් හඳුන්වනවා. මේවායින් තොරතුරු, සේවාවන් හෝ භාණ්ඩ ලබා දෙනවා.

බොහෝ ගුවන් තොටුපලවල් වල ගුවන් ප්‍රවේශපත් ලබා ගැනීමට, ගමන් මලු පරීක්ෂාවට සහ ගුවන් යානා පැමිණීම සහ පිටවීම පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා “කියෝස්ක්“ පිහිටුවා තිබෙනවා. මෙම යන්ත්‍ර මගින් ගුවන් ටිකට්පත් පරීක්සා කරන කවුළු වල ඇති තදබදය අඩු කිරීමට හැකි වන අතර සමහර කියෝස්ක් මගින් පුවත්පත්, ආහාර වැනි දේත් මිළදී ගත හැකියි.

පරිගණකගත කරන ලද ස්වයං සේවා කියෝස්ක් බොහෝ නවීන ගුවන් තොටුපළ වල ටිකට්පත් පරීක්ෂා කරන කවුන්ටර් අසල දැකිය හැකිය. මෙම කියෝස්ක් වලින් මිළ පරීක්ෂාව, ගුවන් යානා පැමිනෙන සහ පිටත්වන වේලාවල්, පැමිණීම තහවුරු කිරීම, මිළදී ගැනීම ආදි දේ සිදු කළ හැක. බොහෝ කියෝස්ක් boarding pass මුද්‍රණය කිරීම සහ ගමන් මළු පරීක්ෂාව සිදු කරයි. මේ කියෝස්ක් මවුසයක්, පරිගණක තිරයක් සහ යතුරුපුවරුවක් සහිත සාමාන්‍ය පරිගණකයක අංග වලින් සමන්විතය. නවීන කියෝස්ක් වල ‘ටච් ස්ක්‍රීන්‘ පහසුකම අඩංගුය. සමහර විට විවිධ භාෂා තෝරා ගැනීමේ හැකියාවද මෙහි තිබේ.

ස්වයං සේවා කියෝස්ක් වලදී එය භාවිතා කරන්නාගේ අනන්‍යතාවය පරික්ෂා කිරීම සඳහා කලින් ලබා දුන් රහස් අංකයක් හෝ ටිකට්පත මිළදී ගැනීමට භාවිතා කල ණය කාඩ්පත ඇතුලත් කිරීම සිදුකරයි. කියෝස්ක් ගුවන් සමාගමේ ප්‍රධාන පරිගණක පද්ධතියේ දත්ත පාදය හා සම්බන්ධ වන අතර එමගින් ක්ෂණිකව තොරතුරු පරීක්ෂා කිරීම හා තහවුරු කිරීම සිදු කරයි. යම් හෙයකින් කියෝස්ක් වලට අනන්‍යතාවය හෝ තොරතුරු පරීක්ෂා කිරීමට නොහැකි වුවහොත් මගීන් කවුන්ටර් වෙත යොමු කරනු ලැබේ.

මගීන් දිගු පෝලිම් වල රැඳවීම, අනවශ්‍ය තදබදයක් ඇති වීම සහ අනවශ්‍ය ලෙස කවුන්ටර් වල නිලධාරීන්ට කරදර වීම ආදිය මෙමගින් අඩු වේ. මෙම ඉතිරි වන කාලයෙන් මගීන්ට පහසුවක් දැනෙ අතර සේවකයින්ට අපහසුතා ඇති මගීන්ට පිහිට වීමට ඉඩ කඩ ලැබේ.

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළෙහිත් මෙවන් කියෝස්ක් සවි කිරීමට සැළසුම් කර ඇති අතර මුල් කාලයේ මේ කියෝස්වලට සහයකයින්ද පත් කරනු ඇති. එය ඉතාමත් පහසුවක් වන අතර කටුනායක ගුවන් තොටුපලේ උපරිම මගී හැසුරුම් ධාරිතාවට ආසන්න වී සිටින අවස්ථාවක එය ඉතා වැදගත් ක්‍රියා මාර්ගයකි.

ගුවන් යානයට ඇතුළු කිරීම ප්‍රතික්ෂේප කිරීම DENIED BOARDING

bumped-on-a-bench
වැඩි මගීන් සංඛ්‍යාවක් සඳහා ආසන වෙන් කිරීම නිසා බොහෝ විට ගුවන් යානයේ තිබෙන ආසන ප්‍රමාණයට වඩා වැඩි මගීන් සංඛ්‍යාවක් සිටින තත්වයක් ඇතිවේ. මෙසේ වැඩි මගීන් සංඛ්‍යාවක් සඳහා ආසන වෙන් කිරීම යම් නීත්‍යානුකූල බවක් සහ සම්මතයක් වුවද මෙම මගීන්ට ආසන පැනවීමට ගුවන් සමාගමට නොහැකි වේ. මෙම තත්වය ගුවන් යානයට ඇතුළු කිරීම ප්‍රතික්ෂේප කිරීම යනුවෙන් හඳුන්වයි.
කෙසේ වෙතත් ගුවන් සමාගම් මෙසේ කිරීම සම්බන්ධයෙන් තොරතුරු සැපයීම එතරම් පැහැදිලි නොවේ.
මෙම තත්වය ඇති වෙන්නේ ඇයි?
Passenger_rights-200x
ගුවන් යානයේ ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා මගීන් කිහිප දෙනෙකු බොහෝ විට ගමන් කිරීම සඳහා නොපැමිනෙන බව ගුවන් සමාගම අත්දැකීමෙන් දනී. මෙය බොහෝ විට ඉහළ යන්නෙ ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් ගමන් කරනා අවස්ථා වලයි.
සමහර අවස්ථාවලදී ව්‍යාපාරිකයින් ආසනයක් වෙන් කර ගත්තද අවසාන මොතේදී වෙනත් රැස්වීමක් හෝ වෙනත් මොනයම් කාරණයක් නිසා හෝ ගමන අවලංගු කරයි. යම් හෙයකින් ගුවන් සමාගම ආසන ගණනටම පමණක් මගින් වෙන්කර ගතහොත් ඉහත පරිදි නොපැමිනෙන මගීන් හේතුවෙන් හිස් ආසන ඉතිරි වේ. එයින් ආදායමක් නොලැබෙන නිසා ගුවන් සමාගමට පාඩු විඳීමට සිදු‍වේ.
මෙ නිසා වැඩිපුර මගීන් සඳහා ආසන වෙන් කිරීම නීති විරෝධි කරුණක් ලෙස නොසලකන මුත් එය වාණිජමය වශයෙන් යම් සාධාරණ බවක් තිබෙන ක්‍රියාවකි. ගුවන් සමාගම් පවසන්නේ එලෙස කිරීමෙන් ඇති විය හැකි පාඩුව අවම කර ගන්නා නිසා ගුවන් ප්‍ර වේශපත්‍ර මිළ ඉහළ දැමීමට සිදු නොවන බවයි.
කෙසේ වෙතත් ගුවන් යානාවේ ආසනයක් වෙන් කර, ගමන් කිරීම ට නොපැමිණේ යයි අනුමාන කරන මගීන් සංඛ්‍යාව අඩු වෙමින් පවතින අතර එයින් වැඩිපුර ආසන වෙන් කිරීමට භාජනය වු මගීන් අපහසුතාවයට පත් වේ. මෙවන් අවස්ථා වලදී මගියාගේ අහිමි වන ගුවන් ගමන වෙනුවෙන් යම් ක්‍රියා මාර්ගයක් ගැනීමට ගුවන් සමාගමේ ප්‍රතිපත්තියක් තිබේ.
පළමුවෙන්ම මගීන් අතර තම ගමන අතහැරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නන් සිටී නම් ඔවුන් ව වෙන් කරනු ලබයි. මෙහිදී අත්හරිනු ලබන ආසනය වෙනුවෙන් මගියාට වෙනත් ගුවන් ගමනක් හෝ වටිනා තෑගි වවුචරයක් එසේත් නැති නම් ගමන් කිරීමට අදහස් කළ පන්තියට වඩා ඉහළ පන්තියකට ගුවන් ටිකට්පතේ වටිනාකම වැඩි කර දීම ආදිය සිදු කරනු ලබයි.
නමුත් සමහර අවස්ථා වලදී මෙවන් ක්‍රියාමාර්ග ගැනීමට ගුවන් සමාගමේ ප්‍රතිපත්තියක් නොමැතිනම් හෝ ස්වේච්ඡාවෙන් ඉවත් වීමට මගීන් නොමැති නම් ගුවන් සමාගම අපහසුතාවයට පත් වේ. එවිට බලෙන්ම මගීන් ගුවන් යානයට ඇතුළු කර ගැනීම ප්‍රතික්ෂේප කරනු ලබයි.
බොහෝ විට මෙසේ නංවා ගැනීම ප්‍රතික්ෂේප කරනු ලබන්නේ අඩු වටිනාකමක් ඇති මගීන්ය. නැතහොත් ව්‍යාපාරික හෝ පළමු පන්තියේ මගීන්ට වඩා පිරිමැසුම් දායක පන්තියේ මගීන් ප්‍රතික්ෂේප කිරීම සිදුවේ. එලෙසම නිරන්තරයෙන්ම ගුවන් ගමන් වල නිරත වන මගීන්ද වෙනත් ගුවන් සමාගමක සේවය ලබාගැනීමට පෙලඹීමට ඉඩ ඇති මගීන්ද මෙලෙස ප්‍රතික්ෂේප නොකරන මගීන්ට උදාහරණ වේ. මෙම මගීන් වෙන් කර ගැනීම සඳහා ගුවන් සමාගම ක්ෂණික ඇගයීමක් සිදු කිරීමට සිදුවන අතර මෙම තීරණ ගුවන් සමාගමේ වාණිජමය අගයටත් වෙනත් තරඟකාරී ගුවන් සමාගම් සමග තිබෙන තරගකාරීත්වයටත් යම් බලපෑමක් එල්ලවිය හැකි බැවින් මෙසේ මගීන් ප්‍රතික්ෂේප කිරීම පිලිබඳ වැඩි විස්තර ගුවන් සමාගම් අණාවරනය නොකරයි. අපේ රටෙත් විශේෂයෙන් මැදපෙරදිග බලා යන කාන්තාවන්ට මෙම තත්වයට මුහුණු පෑමට සිදු වේ.
මෙම අවස්ථාවට මුහූන දෙන මගීන් ලැබෙන අයිතීන් ලෝකයේ කලාප අනුව සහ ගුවන් සමාගම් අනුව වෙනස් වේ.
උදාහරණයක් ලෙස යුරෝපීය සංගමයේ රටකට ගමන් ගන්නා මගීන්ට යුරෝපීය සංගමයේ අංක 261/2001 යන රෙගුලාසි අනුව ක්‍රියා කළ හැක. මෙම රෙගුලාසි වල ගුවන් සමාගමට එරෙහිව පැනවිය හැකි බදු සහ ගුවන් මගියාගේ අයිතීන් විස්තර වේ. එක්සත් ජනපදයේදී මේ සඳහා වන දේශීය නීති තිබේ.
කෙසේ වෙතත් බෙහෝ ගුවන් සමාගම් තමන්ට ආවේණික වූ විවිධ ක්‍රම මෙසේ ප්‍රතික්ෂේප වන මගීන්ට සාධාරණය ඉටු කිරීම සඳහා යොදා ගනී. මගීන් මේ සම්බන්ධයෙන් දැනුවත් වී සිටීම ඉතා වැදගත් වේ. මෙම තෙරතුරු ගුවන් සමාගමේ වෙබ් අඩවියෙන් ලබා හැක.
කෙසේ වෙතත් “අපේ අහස“ ඔබට දැනුම් දෙන්නේ ගුවන් ගමනකට පෙර එහිදී මගියාගේ වරප්‍රසාද හා අනෙකුත් කරුණු පිලිබඳව පවතින ගුවන් සමාගමේ ප්‍රතිපත්තිත් හා ජාත්‍යන්තර නීති හා දේශීය නීති පිළිබඳවත් දැනුවත් වීම සුදුසු බවයි.
ශ්‍රීලංකාවේදි ඔබට යම් අපහසුතාවකට පත්වීමක් සිදුවුවහොත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට දැනුම් දීම සිදුකිරීම මගින් සාධාරණයක් ඉටු කර ගත හැකිවේ.