ලංකාවේ ප්‍රථම ගුවන් ප්‍රදර්ශණය First Air Show in Ceylon (Sri Lanka)

ඔය කට්ටිය අහලා ඇති ලෝකයේ විවිධ රටවල ගුවන් ප්‍රදර්ශණ (Air Shows) පවත්වනවා. මම කියන්නේ ගුවන් සංදර්ශණ නෙමෙයි. ගුවන් යානා ක්ෂේත්‍රයේ නව නිෂ්පාදන ආදිය පාරිභෝගිකයින්ට හඳුන්වාදීම තමයි මේවායේ අරමුණ වන්නේ. මේ ළඟඳි චීනයේත් මේ වගේ ප්‍රදර්ශණයක් තිබුණා. නමුත් ලංකාවේ අපිට නම් මේක එච්චර පළපුරුදු දෙයක් නොවේ. මොකද කොච්චර ප්‍රදර්ශණ තිබුණත් ගුවන් ප්‍රදර්ශණ වගේ දේවල් තියන්නෙ නැහැනෙ.

නමුත් 1911 වගේ ඈත අතීතයේ දී ලංකවේ ගුවන් ප්‍රදර්ශණයක් තිබුණා කියලා තොරතුරු හමු වෙනවා. ඇත්තටම මේක මහා විශාල දෙයක් නොවේ අද කාලේ හැටියට. නමුත් 1903 පළමු ගුවන් ගමන ගියායින් අවුරුදු 7 ට පසුව ලංකාව වගේ රටක මේ වගේ ප්‍රදර්ශනයක් පැවැත්වීම ඉතාම විශේෂිතයි.

ලංකාවට පළමු ගුවන් යානය ගෙනාවේ 1911 සැප්තැම්බර් මස 12 වන දින “රැබෙන් ෆැල්ස්“ (Rabenfels) කියන නැවෙන්. මේ යානය දෙදෙනෙකුට ගමන් කළ හැකි “බ්ලැරියට්“ මොනෝප්ලෙන් (Bleriot Monoplane) වර්ගයේ යානයක් තමයි ගෙනත් තියෙන්නෙ. මේ යානය ගෙනවිත් තිබෙන්නේ කොලින් බ්‍රවුන් (Collin Browne) කියන යුරෝපීය ජාතිකයෙක්. ඒ වගේම ඒ යානය මුලින්ම ගෙනවිත් තියෙන්නේ රු. 7490/- ට. වඩාත් සිත්ගන්නා සුළුදෙය වන්නේ මේ යානය මිළ දී අරන් තියෙන්නේ යම් ආයතනයකින් ලබා ගත් ණය මුදලකින්.
                                   (Ceylon Independence පුවත්පත වාර්තා කර තිබූ අන්දම)

මේ යානය අශ්ව බල 50 කින් යුතු එන්ජිමක් සහිත වූ අතර එන්ජිම සිලින්ඩර් 7 න් යුක්ත වී ඇත. යානයේ පළල අඩි 28 ක් පමණ ද දිග අඩි 32 ක් පමණ ද වී ඇති අතර එක් තටුවක දිග අඩි 13 ක් පමණ විය. යානයේ වේගය පැයට සැලතපුම් 100 ක් පමණ වී ඇත. 

                                          (මේ තියෙන්නේ බ්ලැරියට් වර්ගයේ යානයක්)

සැප්තැම්බර් මාසයේ ගෙන ආ මේ යානය නොවැම්බර් මස ජනාතා ප්‍රර්ශණයට තබා ඇති අතර එය පැවැත්වෙන බවට පුවත්පත් දැන්වීම් පවා පළ කර තිබේ. මෙහි තවත් රසවත් දෙයක් වනුයේ මේ ප්‍රදර්ශණය නැරඹිම සඳහා එක් අයෙකුගෙන් රු. 10/- ක් අයකරනු ලබන බව ඒ දැන්වීම් වල පළ කර තිබේ. ඒ මුදල ඒ කාලයේ හැටියට ඉතා විශාල මුදලක්. කෙසේ වෙතත් මේ ප්‍රදර්ශනය පැවැත් දින 6 ක පමණ කාලයේ දී දෙවන දිනයේ මෙම ගාස්කුව රු. 3/- දක්වා පහළ දමා තිබේ. 

                                  (Ceylon Independence පුවත්පතේ පළ කර තිබූ දැන්වීම)


ප්‍රදර්ශනය පවත්වා ඇත්තේ “රැකට් කෝට්“ (Racquet Court)නම් ස්ථානයක වන අතර එහි සකස් කරන ලද ටෙන්ට් (Tent) එකක් තුළ කුඩා වේදිකාවක් මත යානය ප්‍රදර්ශනය සඳහා තබා තිබේ. ඒ වේදිකාවේ සිව් කොණෙහිම මල් පැල තබා අලංකාර කර තිබේ. ප්‍රදර්ශණය කළ කාල සීමාව තුළදී යානය පියාසර කර පෙන්වා නැති අතර එන්ජිම පණ ගන්වා පමණක් පෙන්වා ඇත. එන්ජිම පණ ගැන්වූ පසු යානය ඉදිරියට යාම වැළැක්වීම සඳහා හැඩි දැඩි පුද්ගලයින් කීප දෙනෙක් යානය අල්වා ගෙන සිට ඇත.

කෙසේ වෙතත් යානය නරඹීම සඳහා සිතූ තරම් ජනකායක් නොපැමිණි අතර විශේෂයෙන් යුරෝපීය ජාතිකයින්ගේ නොපැමිණීම කැපී පෙණින. මේ සම්බන්ධයෙන් කණගාටුවට පත් බ්රීවුන් මහතා ඒ සම්බන්ධයෙන් 1911 නොවැම්බර් 13 වන දින Ceylon Observer පුවත් පතට ලිපියක් ලියමින් දැන්වත් එය නැරඹිම සඳහා පැමිණෙන ලෙස ඉල්ලා තිබේ. 

මේ ප්‍රදර්ශණය ලංකාවේ පළමු ගුවන් ප්‍රදර්ශණය ලෙස වාර්තා වූ අතර බ්‍රවුන් මහතා මුලින්ම ගුවන් යානයක් ලංකාවට ගෙන පුද්ගලයා ලෙස වාර්තා පොතට එක්විය. නමුත් ඔහුට යානය ඉහළ නංවා යළි ගොඩබා සම්පුර්ණ ගුවන් ගමනක් සිදු කිරීමට හැකියාව ලැබී නොමැත.

බැලූන් යැවීම - Ballooning



ඔය කට්ටිය දැකලා ඇතිනෙ සමහර විට ලංකාවෙ පළාත්වල විශාල පාට පාට බැලූන් යනවා. ඒවායේ මිනිස්සුත් නැගලා යනවා. අද මම කියන්න යන්නෙ මෙන්න මේ බැලූන් මෙහෙයුම් ගැන.

මේවා හඳුන්වන්නේ “උණු වායු බැලූන්“ (Hot Air Balloons) ලෙස. හේතුව තමයි මේවා ඉහළට යන්න උපයෝගී කර ගන්නේ උණුසුම් වූ වාතය. ඔය කට්ටියට මතක ඇතිනේ අර පොඩි පංති වල විද්‍යාව පාඩමේ ඉගැන්නුවේ රත්වූ වාතය ඉහළ නගිනවා කියලා. මෙන්න මේ සංසිද්ධිය තමයි මෙතනදී උපයෝගී කර ගන්නේ. ඒ කියන්නේ විශාල බැලූන් එකකට අධිවේගී ගිනි ධාරාවක් මගින් රත්වූ සුළං ඇතුල් කරනවා. එම වාතය බර අඩු නිසා බැලූනයත් සමග ඉහළ නගිනවා.

අපි දැන් බලමු බැලූන් එකක් මෙහෙය වන්නේ කොහොමද කියලා.

ඔය පින්තූරෙ තියෙන්නෙ බැලුන් එකක් ඉහළට නැගපු අවස්ථාවක්. මේකෙදි අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් තුනක්. එකක් බැලූන් එක. අනික මගීන් සඳහා වන පැස (Basket). අනෙක පැස හා බැලූනය අතර තිබෙන ගෑස් දාහකය (Gas Burner)

බැලූනයක් ඉහළ නැංවීමට සූදානම් කිරීමේ දී පළමුව බැලූනය යමකට ගැට ගසනවා. මෙය බොහෝ විට වාහනයකි. ඉන්පසුව විශාල පංකාවක් මගින් සුළං යම් ප්‍රමාණයක් බැලූනයට ඇතුළත් කර යම් පමණයකට බැලූනය පිමිබීමකට ලක් කරනවා. ඉන්පසුව එල්. පී. ගෑස් දාහකය මගින් රත්වූ වාතය බැලූනය තුලට ඇතුල් කරනවා. එවිට ක්‍රමයෙන් බැලුනය කෙළින් වීමට පටන් ගන්නවා. සුදුසු පරිදි බැලූනය වාතය පිරුණ පසුව මගීන් පැස තුළට නංවා අර මම කළින් සඳහන් කළ ලණුව නිදහස් කර බැලූනය ඉහළට ගමන් කිරීමට ඉඩ හරිනවා.     දැන් බැලූනය ක්‍රමයෙන් ඉහළට ගමන් කරන අතර අඩි 2000 ක්පමණ ඉහළ ගිය පසු සුළං හමන දිශාවට ගමන් කරනු ලබනවා.


අධික සුළඟක් පවතින විටත් සුළං නොමැති විටත් බැලූන් යැවීම කළ නොහැකි වෙනවා. සාමාන්‍යයෙන් නොට් 2—3 අතර සුළං වේගයක් බැලූන් යැවීම සඳහා සුදුසුයි. බැලූනයක ගමන් කරන දිශාව අපට අවශ්‍ය පරිදි වෙනස් කළ නොහැකියි. සුළඟ හමන දිශාවට එය ගමන් කරනු ලබනවා. නොට් 3 ක පමණ වේගයකදී බැලූනයක් උපරිමව කි.මී. 10 ක් පමණ ගමන් කරනු ලබනවා. ගොඩබෑමට අවශ්‍ය වූ විට එයට රත් වූ වාතය ලබා දීම අඩු කිරීම හෝ නතර කිරීම සිදු කරනවා. ඒ වගේම බැලූනයේ තිබෙන කවුළුවක් විවෘත කිරීම මගින් එහි තිබෙන රත් වූ වාතය ඉවත් කිරීමත් සිදු කරනවා. මේ ආකාරයට ක්‍රම ක්‍රමයෙන් බැලූනය පහතට ගෙන ඒම සිදු කරනවා.


බැලූනයේ ගමන් කරන නියමුවාට අනිවාර්යයෙන් පැදවීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වෙනවා. දැනට ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයෙකු සඳහා මේ බලපත්‍රය නිකුත් කර තිබෙනවා. ඊට අමතරව විදේශීය බලපත් දරන්නන්ගේ බලපත්‍ර අපේ රටේ මෙහෙයුම් සඳහා බලාත්මක කිරීමත් කරනවා.

බැලූනයේ ගමන් ගන්නා නියමුවාත් ගුවන් මෙහෙයුම් පාලක මැදිරියත් අතර ගුවන් විදුලි පණිවිඩ සම්බන්ධතා පවත්වා ගත යුතු වෙනවා. යම් හෙයකින් සම්බන්ධතා බිඳ වැටුනොත් පහළ සිටි අය වාහනයක් මගින් බැලූනය පසු පස ගමන් කරමින් දුරකථනය මගින් බැලූනයත් මෙහෙයුම් මැදිරියත් අතර සම්බන්ධතාවය පවත්වා ගත යුතුයි.

දැනට ලංකාවේ බොහෝ ප්‍රෙද්ශ වල බැලූන් මෙහෙයුම් සිදු කළ හැකි අතර ඉදිරි සති කීපය තුළ මෙය තව දුරටත් ලිහිල් වීම සිදු වේවි.


වැදගත්ම කරුණ තමයි බැලුන් මෙහෙයුම් සිදු කරන දවසේ කාල සීමාව. ලංකාවේදී නම් උදෑසන 5ත් 6ත් අතර සිට පැය දෙකක් පමණ කාලයක් මේ සදහා සුදුසුයි. ඒ වගේම සමහර ප්‍රදේශ වල සවස් කාලයෙත් සිදු කළ හැකියි. අනික් වේලාවන්ට කළ නොහැක්කේ අවට වාතයෙත් උණුසුම ඉහළ යන නිසා මෙහෙයුම් අපහසු වන නිසා.

බැලුන් මෙහෙයුම් සිදු කරන්නේ විනෝදාත්මක කටයුතු සදහායි.