ගුවන් යානයේ මගීන් - Passengers of an Airplane

ගුවන් යානයක ගමන් ගන්නා මගීන් විවිධාකාරයි. සමහර විට ඔහු හෝ ඇය සාමාන්‍ය පුද්ගලයෙක් විය හැකියි. තවත් විටක ආබාධිතයෙක් විය හැකියි. නැතිනම් කුඩා දරුවෙක් විය හැකියි. එසේත් නැතිනම් විශේෂ අවධානයකට ලක්විය යුතු පුද්ගලයෙක් විය හැක. ඒවගේම සමහර මගීන් ප්‍රථම වතාවට ගුවනින් යන්නන් විය හැකියි. මේ කොයි ආකාරයේ මගියෙකු වුවද ඒ සැමට තමන්ගේ අවශ්‍යතාවය ඉටුවන ආකාරය අනුව සේවා සැපයීම ගුවන් සමාගමේ වගකීමක්.
මේ ‍කුමන ආකාරයේ මගියෙකු වුවද ප්‍රවේශයපත්‍රය ලබා ගන්නා අවස්ථාවේදී එම ප්‍රවේශපත්‍රය නිකුත් කරනු ලබන ආයතනය විසින් ඒ මගියාගේ අවශ්‍යතාවය ගුවන් සමාගමට දැනුම් දිය යුතු වෙනවා. මේ සඳහා විවිධ කේත භාවිතා කරනවා. ඒ වගේ මගියාගේ ත් වගකීමක් තමන්ට විශේෂ තත්වයන් අවශ්‍ය නම් ඒබව කල් තියාම දැනුම් දීම. එවිට ගුවන් සමාගමට පහසුවක් වෙනවා ඒ අවශ්‍යතා ඉටු කිරීම. කෙසේ වෙතත් යම් ආකාරයක සංකීර්ණ ඉල්ලීම් තිබෙනවා නම් බොහෝ විට ප්‍රවේශපත්‍ර නිකුත් කරන්නා විසින් අදාළ ගුවන් සමාගම සමග දුරකථනයෙන් සම්බන්ධ වී ඒ තත්වයන්ට අවශ්‍ය ‍දේ සපයා දිය යුතුයි.

කෙසේ වෙතත් විශේෂිත මගීන් වර්ග කිහිපයක් සිටිනවා. ඒවා තමයි,

1.      ළමා මගීන් (Child Passengers)
2.      ගර්භනී මව්වරුන් (Pregnant Mothers)
3.      ළදරුවන් (Infants/Babies)
4.      ආගමික මගීන් ( Religious Passengers)

ළමා මගීන් යනුවෙන් හඳුන්වන්නේ වයස අවුරුදු 12 ට අඩු ඒ වගේම 2ට වැඩි මගීන්. මොවුන්ට තනිව ගමන් කළ හැකි කුඩා අය ලෙස හඳුන්වනවා. කොහොම වුණත් මේ අය සම්බන්ධයෙන් කටයුතු කිරීම ගුවන් සමාගමෙන් සමාගමට වෙනස් වෙනවා. මෙවන් මගීන් ගුවන් යානයෙන් ගෙනයාමට පෙර භාරකරුවෙකු විසින් යම් පෝරමයක් පුරවා ගුවන් සමාගමට භාර දිය යුතු අතර ගමනාන්තයේදී මෙම ළමයා භාර ගන්නාගේ විස්තර ද, භාර දෙන්නාගේ නම, ලිපිනය ආදි විස්තර මෙමහි ඇතුළත් වෙනවා.  ගුවන් කාලය තුළ යානයේ කාර්ය මණ්ඩලය ද ගුවන් තොටුපලේ සිටින අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලය ද ළමයා බලා ගැනීම සිදු කරනවා. මේ දේවල් ලංකාවෙදි නම් දකින්න ටිකක් අමාරුයි.

ගර්භනී මව්වරුන් ගුවනින් ගමන් කිරීමට පෙර වෛද්‍ය වාර්තාවක් ලබා ගෙන යම් අවදානමක් තිබෙනවාද යන්න දැන ගත යුතුයි. කෙසේ වෙතත් සාමාන්‍ය තත්ව යටතේ දී මුල් ගර්භනී අවස්ථා වලදී ගුවනින් යාම එතරම් බරපතල කටයුත්තක් නෙවේ. නමුත් ගර්භනී මාතාවක් ගුවනින් ගෙන යාම යම් අවදානමක් සහිත ක්‍රියාවක් මේ පිළිබඳව මෙතනින් වැඩි විස්තර බලන්න.

වයස අවුරුදු 2 ට අඩු අය ළදරුවන් ලෙස සළකන අතර අනවාර්යයෙන් වැඩැහිටියෙකු සමග ගමන් කල යුතුයි. නමුත් මේ ළදරුවාට ආසනයක් ලැබෙන්නේ නැහැ. අවශ්‍යය නම් ළදරුවා පහසුවෙන් තබා ගැනීමට “බේබි බාස්කට්” (Baby Basket) එකක් ලබා ගත හැකියි. සාමාන්‍යයෙන් ළදරුවන් සමග යන අයට ලබා දෙන ආසනය ඉදිරියෙන් වෙනත් ආසන නොමැති අතර ඉදිරියෙන් තිබෙන්නේ බිත්තියක් වැනි කොටසක්. (ගුවන් යානයේ එක් එක් පන්ති වෙන් වන ස්ථාන) මේවායේ අර කළින් කී “බාස්කට්” එක එල්ලීමට ස්ථාන ද තිබෙනවා. යම් හෙයකින් කුඩා ළදරුවන් දෙනෙකු සිටී නම් එක් ළදරුවෙක් සඳහා ළමුන් සඳහා ගෙවන මුදල ගෙවා ආසනයක් වෙන් කර ගත යුතුයි. ඒ වගේම ළදරු ආහාරත් ගුවන් යානයෙන් කළින් දැන්වීමෙන් ලබා ගත හැකියි. විශේෂිත ආරක්ෂිත කබා ද ඔවුන් සදහා සූදානම් කර තිබේ.

සමහර මගීන් ආගමික සංචාර යන අය වන අතර ඔවුන් ට විශේෂ ආහාර අවශ්‍ය නම් ලබා දෙයි. ඒ වගේම ඔවුන් ට අවශ්‍ය වෙනත් දේ ද නිසි පරිදි බොහෝ ගුවන් සමාගම් සපයයි. විශේෂයෙන් “මක්කම” වන්දනාව දැක්විය හැකියි.

මීට අමතරව ආබාධිතයෙක් හෝ රෝගියෙක් සිටී නම් ඔහුට හෝ ඇයට ‍අවශ්‍ය නම් රෝද පුටුවක් ඉල්ලා සිටිය හැකියි. මේ සෑම දෙදයක් ම සැපයීමට ගුවන් තොටුපළ සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටිනවා.

මං හිතන්නෙ මෙයින් යම් දැනුමක් ලැබෙන්න ඇති. කෙසේ වෙතත් ඔබ යම් අවස්ථාවක මගියෙකු ලෙස ගමන් කරනවා නම් ඔබගේ සියළු අවශ්‍යතා ටිකට් පත වෙන් කරන අවස්ථාවේදී දන්වන්න. ඒ වගේම යානය තුළ දී යම් දෙයක් අවශ්‍යය වුවහොත් ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට ඒ බව දන්වන්න.