ගුවන් යානයක් ගමන් කරන්නේ කෙසේ ද? How Aircraft Fly

මේසා විශාල යකඩ ගොඩක් ඉහළට නගින්නේ කොහොමද කියන එක ගුවන් යානයක් දකින අපි හැමෝටම ප්‍රශ්ණයක්. ඒ මදිවට තව බඩු ගොඩකුයි, මිනිස්සුයි, ඉන්ධනයි දා ගත්තම කොච්චර බරද?. නිකම් හිතන්න එයාර් බස් 340 වගේ යානයකට ඉන්ධන ලීටර් ලක්ෂ 2 ක් පමණ ඇතුළත් කරන්න පුළුවන්. කොහොම උනත් ගුවන් යානය ඉහළ යාමට භාවිතා කරන්නෙ සරල ක්‍රමයක්. මේ ලිපියෙන් අදහස් කරන්නෙ යානයක් ඉහළ යන්නෙ කොහොමද ආයිත් බිමට ගන්නෙ කොහොමද කියලා සරල දැනුමක් දෙන්න. හැබැයි මේකෙ කියලා තියෙන දේවල් වලට වඩා තව බොහෝ දේවල් සිද්ධ වෙනවා.


බර්නෝලි මූලධර්මය The Bernoulli Principle


ගුවන් යානයේ පියාපත් හරහා ගමන් කරන වාත ධාරාව නිසා ඉහළට ඇති වන බලය ගුවන් යානය පහතට ඇද තබා ගන්නා ගුරුත්වාකර්ෂණ බලය අබිබවා ගිය කල්හි යානය ඉහළ‍ට එසවී ගමන් කරන්නට පටන් ගනී. 
 
මෙම සංසිද්ධිය පසුපස තිබෙන භෞතික විද්‍යාත්මක සිද්ධාන්තය මුලින්ම පැහැදිලි කරන ලද්දේ 18වන ශත වර්ෂයේ විසු ස්විස් ජාතික ගණිතඥයෙකු හා විද්‍යාඥයෙකු වූ සහ තරල (වාතය හෝ ද්‍රවයක්) වල චලිතය පිළිබඳ අධ්‍යයනය කරන ලද “ඩැනියෙල් බර්නෝලී” විසිනි. චලනය වන තරලයක් මගින් ඇති කරන පීඩනය එහි වේගයට ප්‍රතිලෝමව සමානුපාතික වන බව බර්නෝලි විසින් සොයා ගන්නා ලදී. වෙනත් වචන වලින් කියනවා නම් චලනය වන තරලයක (ගමන් කරන තරලයක) වේගය වැඩි වන විට එහි පීඩනය අඩු වන අතර වේගය අඩු වන විට පීඩනය වැඩි වේ. 


එම මූලධර්මයම චලනය වන වාතයට ද අදාළ වේ. අවකාශය තුළින් වාතය වේගයෙන් ගමන් කරන විට වාතයේ පීඩනය අඩුවේ. සෙමින් ගමන් කරන විට පීඩනය වැඩි වේ. ගුවන් යානයක තටු නිර්මාණය වී ඇත්තේ මෙම සිද්ධිය ප්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් වන අතර එමගින් ඉහළට එසවීමේ බලයක් නිර්මාණය වී ගුවන් යානයේ බර ට වඩා වැඩි බලයක් ලැබුණ විගස යානය ඉහළ ට එසවේ. ගුවන් යානා තටු වල යටි පැත්ත වඩා වැඩියෙන් සමතල වන අතර උඩු පැත්ත වක්‍රාකාරයක් ගනී. ඒ වගේම ගුවන් යානා තටු ඉදිරිපස සිට පසු පසට ඇල වූ ස්වභාවයකින් පිහිටා ඇත. මෙම හේතු නිසා පියාපත මතින් ගමන් කරන වාතය වැඩි දුරක් ද යටින් ගමන් කරන වාතය අඩු දුරක් ද ගමන් කරයි. එනම් පියාපතට ඉහලින් ඇති වාතය වැඩි වේගයකින් ද යටින් ඇති වාතය අඩු වේගයකින් ද ගමන් කරයි. සෙමින් ගමන් කරන වාත අංශු එකිනෙක ලංවී ගමන් කරන නිසා පියාපතට යටින් තිබෙන වාතයේ පීඩනයට වඩා අඩු පීඩනයක් පියාපතට ඉහළින් ඇති වාත ප්‍රමාණයේ තිබේ. මෙම පීඩන වෙනස නිසා ඉහළට එසවීමේ බලයක් ඇති කරයි. ගුවන් යානය වේගය වැඩි කරන විට පියාපත් වාතය තුළින් ගමන් කරන වේගය වැඩි වන අතර ඉහළට එසවීමේ බලය වැඩි වේ. අවසානයේ දී පහළට යෙදෙන බල වලට වඩා වැඩි බලයක් ලැබුණ විගස යානය ඉහළට එසවේ.   

 

පියාසැරියේ අවධීන් The Phases of Flight


පසුපසට ගැනීම සහ ටැක්සි මගට ගැනීම  Push-Back and Taxi-Out


ගුවන් ගමනක පළමු අදියර වන්නේ ගුවන් යානයේ සියළුම දොරවල් වසා දැමීමෙන් පසුව යානය පර්යන්ත ගොඩනැගිල්ලෙන් ඉවතට ගැනීම සහ ටැක්සි මාර්ග හරහා ධාවන පථය වෙත ගෙන යාමයි. මෙහි දී ටැක්සි ධාවන පථ යනුවෙන් හඳුන්වන්නේ ගුවන් යානා, ධාවන පථය වෙත සහ ඉන් ඉවතට ගෙන යන මාර්ගයි. සමහර ගුවන් තොටුපල වල යානා මෙසේ ඇදගෙන යාම සඳහා “ටග්” නමින් හඳුන්වන කුඩා වාහන වර්ගයක් ඇති අතර තවත් ගුවන් තොටුපළ වල යානයේ එන්ජින් ක්‍රියාත්මක කර එමගින් ඉවත් කර ගැනීමට අවසර ලැබේ. කෙසේ හෝ අවසානයේ ගුවන් යානය එහි එන්ජින් මගින් ටැක්සි මාර්ග මතින් ගමන් කරයි. සාමාන්‍යයෙන් ගුවන් යානා ගොඩ බිම ගමන් කිරීමට නොව පියසර කිරීමට සකසා ඇති බැවින් ගොඩ බිම ගමන් කරන්නේ ඉතා අඩු වේගයකිනි. කෙසේ වෙතත් ටැක්සි මාර්ග මතින් ගුවන් යානය ධාවනය කර වීමට ගුවන් ගමන් පාලක මැදිරියේ අවසරය ලැබිය යුතු අතර ගමන් කිරීම පාලක මැදිරියේ අධීක්ෂණය යටතේ සිදු විය යුතු ය.

ගුවන් ගත වීම සහ ඉහළට නැගීම  Takeoff and Climb


යානය ධාවන පථයේ එක් කෙළවරකට ගෙන විත් ගුවන් ගතවීම සඳහා සූදානම් වූ පසු සහ ගුවන් ගමන් පාලක මැදිරියෙන් ඉදිරි කටයුතු කිරීම සඳහා අවසර ලැබුණ පසු ගුවන් නියමුවා හෝ පළමු නිලධාරියා විසින් ගුවන් යානයේ තිරිංග මුදා හැරීම සිදු කරනු ලබයි. ඉන් පසු එන්ජින් වල වේගය වැඩි කර ගුවන් යානය ධාවන පථය වෙත ගමන් කිරීමට සලස්වයි. ගුවන් යානය ධාවන පථය හා සමපාත වූ පසු එය ධාවනය කරවන්නේ යානයේ පිටුපස පිහිටි ‘රඩරය’ මෙහෙයවීම සඳහා යොදා ගන්නා ‘පැඩලයන්’ මගිනි. මෙම ‘රඩරය’ හරහා වේගයෙන් සුළඟ ගමන් ගන්නා විට ‍ධාවන පථය මත තිබෙන ගුවන් යානයේ දිශාව තීරණය කරන  ඉදිරිපස රෝදය කෙළින් තබා ගැනීම සිදු කරනු ලබයි.

ගුවන් යානය වේගයෙන් ගමන් කරන විට එහි පියාපත් මතින් ගමන් කරන ‍සුළ‍‍‍‍ඟේ වේගය ද වැඩි වන නිසා යානය එසවීමට පටන් ගනී. ගුවන් යානය තුළ තිබෙන උපකරණ මගින් මේ සුළ‍‍ඟේ වේගය ද මනිනු ලබන අතර ගුවන් යානයේ පොළවට සාපේක්ෂව වේගයත් ඉදිරි පසින් යානය වෙත පැමිණෙන ( ගුවන් යානය සාමාන්‍යයෙන් සුළඟ පැමිණෙන දිශාවට විරුද්ධ දිශාවට ඉහළ නැංවීම කරයි) විවිධ සුළං වර්ගයන්හි සාධක ද මනිනු ලබයි. සුළ‍ඟේ වේගය කළින් තීරණය කරන ලද ‘පරිභ්‍රමණ වේගයට’ (Rotation Speed) පැමිණි පසු ගුවන් නියමුවා විසින් යානය ඉහළට එසවීම සඳහා යානයේ පසුපස කොට‍සේ ඇති ‘පනේල’ (Panels) මෙහෙය වනු ලබයි. මෙමගින් යානය ඉහළට එසවීම සඳහා තවත් උපකාරයක් ලැබෙන අතර යානය පොළොවෙන් ඉහළට එසවේ.

VR යනුවෙන් හඳුන්වනු ලබන පරිභ්‍රමණ වේගය යනු යානයක් ගුවන් ගත වීමට මත්තෙන් ගණනය කරනු ලබන ඉතා වැදගත් වේගයන් ගෙන් එකකි. එම අවස්ථාවේදී යානය ඉහළ නැංවීම සිදු කරයි. V1 වේගය යනු ධාවන පථය තුළ ම යානය (ගුවන් ගත වීමට ප්‍රථම) නවත්වා ගැනීමට හැකියාව පවතින වේගයයි. ‍අනිවාර්යයෙන් මෙම වේගය VR වේගයට වඩා අඩු වේ. V2 යනුවෙන් හඳුන්වන්නේ යානය ඉහළ නගිමින් පවතින අවස්ථාවේ වේගයයි. මෙම වේගයන් දෙක සඳහා බොහෝ විට බලපානු ලබනුයේ ගුවන් යානයේ මුළු බර, වාතයේ උෂ්ණත්වය සහ ගුවන් තොටුපළේ (ධාවන පථයේ) මුහුදු මට්ටමේ සිට පවතින උස ආදියයි. වඩා බර ගුවන් යානා ගුවන් ගත වීම සඳහා වැඩි වේගයක් අවශ්‍ය වේ. ඒ වගේ ම උෂ්ණත්වය අඩු දිනක දී ට වඩා උෂ්ණත්වය වැඩි දිනක දී වේගයෙන් ගමන් කළ යුතු වේ. හේතුව උණුසුම් වාතයේ ඝණත්වය අඩු නිසා එකම වේගයක දී අඩු ඝණත්වයේ දී ඉහළට එසවීම අඩු වීමයි.  ඒ වගේ මුහුදු මට්ටමේ සිට ඉහළට යන විට ද වාතයේ ඝණත්වය අඩු වේ. උදාහරණයක් ලෙස අනෙකුත් සාධක එක හා සමානව පවතින්නේ නම් රත්මලාන ගුවන් තොටුපළේ දී ට වඩා වැඩි වේගයක් සීගිරිය ගුවන් තොටුපොළේ දී ලබා ගත යුතු වේ. ( රත්මලාන ගුවන් තොටුපළ මුහුදු මට්ටමේ සිට මීටර් 6.2 ක් ද සීගිරිය ගුවන් තොටුපළ මීටර් 192 ක් ද ඉහළින් පිහිටා තිබේ.) V1 වේගය ගණනය කිරීමේ දී ප්‍රධාන සාධකය ධාවන පථයේ දිග වුවද ඉහත සඳහන් කළ සාධක ද මේ සඳහා යොදා ගනී.  


විශාල ජෙට් යානා පැයට සැතපුම් 160 ක පමණ වේගයකින් සහ අංශක 15 ක පමණ ආනතියකින් ඉහළ නගී. ගුවන් යානය ඉහළට එසවීම සඳහා ගුවන් යානයේ පියාපත් මතින් ගමන් කරන සුළ‍ඟ ට සාපේක්ෂව පියාපත් වල ආනතිය ඉතා වැදගත් වේ. මෙම ආනතිය වඩා වැඩි වූ විට පියාපත් හරහා ගමන් කරන වාතය ට බාධා පැමිණීම නිසා යානය ඉහළට එසවීමට බාධා පැමිණේ නැතහොත් නතර වේ.

ගුවන් යානයක් වායු ගති විද්‍යානුකූලව (Aerodynamically)කාර්යක්ෂම වීම සඳහා යානය ධාවන පථයේ දී ගමන් කිරීමට යොදා ගන්නා රෝද ගුවන් ගත වන විට යානයේ බඳ තුළට ඇතුල් කර ගැනීමෙන් ඉදිරියෙන් පැමිණෙන වාතයෙන් ඇතිවෙන ප්‍රතිරෝධය අවම කර ගනී. එමගින් යානයේ වේගය වැඩි කර ගත හැක.  

ගුවනින් ගමන් කිරීම  Cruise


ගුවන් යානය ගුවන් ගත වීමෙන් පසු කලින් ගුවන් නියමුවා විසින් තීරණය කරන ලද සහ ගුවන් ගමන් පාලක විසින් අනුමත කරන ලද උසකට පැමිණේ. මෙම උසින් ගුවන් යානය ඉදිරියට ගමන් කිරීම සිදු කරයි. මෙම අවස්ථාවේ දී යානය ඉහළ නැගීමට ගන්නා ලද බලය අඩු වන අතර යානය ස්ථිර උසක් තීරණය කරනු ලැබේ. මේ අවස්ථාවේ දී යානයේ බර සහ පියාපත් මගින් යානය ඔසවන බලය යන‍ දෙක එක සමාන වේ.  

ගුවන් යානය ඉහළින් ගමන් අවස්ථාවේ ඒ සඳහා සම්මත උසක් නැත. එම උස සාමාන්‍යයෙන් අඩි 35000 ක් පමණ වන අතර ‍යානයේ වර්ගය, ගුවන් ගමනේ දුර, කාලගුණික තත්වය, වායු කැලඹුම් ස්වභාවය, වෙනත් ගුවන් යානා වල ගුවනේ පිහිටීම් ආදිය මෙම උස තීරණය කිරීම සඳහා බලපානු ලැබේ. නමුත් ගුවන් යානා දෙකක් අතර උස පරතරය අඩි 1000 ක් තබා ගෙන ගමන් කිරීමට සුදුසුකම් ලැබූ යානා වලට පමණක් අඩි 29000 ත් 41000 ත් අතර දේශීය ගුවන් සීමාවේ ගමන් කළ හැකිය. මෙසේ ගමන් කරන අවස්ථාවේ වේගය සාමාන්‍යයෙන් ශබ්ධයේ වේගයෙන් 82% පමණ වේ. මෙය ගොඩ බිමේ වේගය බවට පරිවර්තනය කළොත් එය පැයට සැතපුම් 550 ක් පමණ වන අතර එය ද ඉදිරියෙන් පැමිණෙන සුළ‍‍ඟේ වේගය, යානයේ පසුපස කොටස මත බලපවත්වන සුළඟ සහ එවන් වූ අනෙකුත් සාධක මත වෙනස් වේ.


ගුවන් ගමන අතරතුරේ දී ගුවන් නියමුවන් විසින් ගුවන් යානය කලින් නම් කරන ලද ගුවන් මාර්ග සහ අධිවේගී ගුවන් මාර්ග ඔස්සේ ගමන් කිරීම සිදු කරනු ලබන අතර මෙම මාර්ග සිතියම් ගත කර තිබේ. නැතහොත් ඒවා ගුවන් යානය විසින් රේඩියෝ තරංග ආධාරයෙන් හඳුනා ගනී. සමහර ගුවන් යානා වල මාර්ග සොයා ගැනීම සඳහා උපයෝගී කර ගන්නා විද්‍යුත් උපකරණ තිබේ. මෙම උපකරණ මගින් ගුවන් යානය පිටත් වූ ස්ථානයේ සිට ගුවන් යානය පවතින ස්ථානය, යානයේ දිශාව, වේගය හා අනෙකුත් සාධක උපයෝගී කර ගනිමින් ගණනය කිරීම සිදු කරයි. සමහර ගුවන් යානා චන්ද්‍රිකා ආශ්‍රයෙන් මෙම තොරතුරු සොයා ගනී. මෙම ක්‍රමය ගෝලීය ස්ථාන ගත පද්ධතිය ‍(Global Positioning System GPS) ලෙස හඳුන්වයි. බොහෝ ගුවන් සමාගම් දැන් මෙම ක්‍රමය භාවිතා කරමින් ගුවන් පාලකවරුන්ගේ ද උපදෙස් මත මාර්ග සොයා ගැනීම සඳහා යොමු වී ඇති අතර එමගින් වඩා ආරක්ෂාකාරී ගුවන් ගමන් සිදු කළ හැක. ‍එලෙස ම වඩා කාර්යක්ෂම සහ නම්‍යශීලි ගුවන් ගමන් පවත්වා ගැනීමට ද එමගින් හැකියාව තිබේ.
 

ගුවන් නියමුවන් විසින් ගුවන් යානයේ පියාපත් වල සහ පසුපස කොටසේ ඇති පැනල මෙහෙය වීම මගින් යානය ගුවනේ දී හැසිරවීම සිදු කරයි.

පහත බැස්ස වීම සහ ගොඩ බැස්සවීම  Descent and Landing


මෙම අවධියේ දී ගුවන් නියමුවා විසින් එන්ජින් වල බලය සහ යාන‍යේ වේගය අඩු කරමින් හා යානය ඉහළට එසවීම අඩු කරමින් යානයේ පසුපස කොටස පොළොව දෙසට පහත් කිරීම සිදු කරයි.  මෙම අවසාන ප්‍රවේශය ගුවන් තොටුපොළට සැතපුම් කීපයක් ඈත සිට ඇරඹේ. මෙම අවස්ථාවේ සිට ගුවන් ගමන් පාලකවරුන් විසින් යානය ගුවන් තොටුපොළින් පිටත් වන සහ ගුවන් තොටුපොළට ඇතුළු වන වෙනත් යානා වලින් වෙන් කරමින් ක්‍රමානුකූල ගොඩ බෑමකට මග පාදයි.  දැන් ගුවන් යානයේ රෝද ක්‍රම ක්‍රමයෙන් පහතට ගැනීම සිදු කරන අතර යානයේ වේගය තව දුරටත් අඩු කරනු ලැබේ. ඒ වගේම යානයේ පියාපත් වල සහ පසුපස පසුපස පිහිටි ‘ෆ්ලැප්ස්’ (Flaps)මෙහෙයවීම මගින් යානයේ වේගයත් පවතින උසත් තවදුරටත් අඩු කරනු ලැබේ. තවද යානයේ ‘රඩරය’ සහ ‘එලිවේටර්ස්’ (Elevators) මගින් යානය ඍජුව ඉදිරියට ‍ගමන් කිරීම පවත්වා ගනු ලබයි. එම ගොඩ බෑම උපකරණ මගින් සිදු කරන්නක් නම් ඒ සඳහා යොදා ගන්නා උපකරණ ක්‍රියාත්මක ව තබනු ලැබේ. කෙසේ හෝ අවසානයේ යානය ධාවන පථයේ අවසානය දක්වා මෙහෙයවනු ලබයි. පළමු ව යානයේ පසුපස රෝද ධාවන පථය හා ගැටීම සිදු වන අතර ඉදිරිපස රෝද ඉන් පසු ගැටේ.


යානය ධාවන පථය මත පැයට කිලෝමීටර් 120 ක පමණ වේගයෙන් ගමන් කරන අතර යානයේ පියාපත් මත තිබෙන ‘ස්පොයිලර්ස්’ (Spoilers) ඉහළට එසවීම මගින් පියාපත් මතින් ගමන් කරන වාත ධාරාවට  බාධා කිරීම මගිනුත් එන්ජින් වලින් ඉදිරියට යොදන බලය පසුපසට යෙදීම මගිනුත් යානයේ වේගය තවදුරටත් අඩු කරනු ලැබේ. ඒ වගේම තිරිංග ද භාවිතා කරනු ලබයි.

ටැක්සි මගට ඇතුළු කිරීම සහ නැවැත්වීම  Taxi-In and Parking


අවසානයේ දී සිදු කරනුයේ මුල් අවධියේ දී සිදු කරනු ලැබූ දෙයෙහි අනෙක් පැත්තයි. යානය එහි එන්ජින් වල බලය මගින් ක්‍රමයෙන් ‘ටැක්සි’ මාර්ග ඔස්සේ ගමන් කරමින් යානය නවතනු ස්ථානය කරා මෙහෙයවා නවතනු ලබයි.   

එයාර් සිලෝන් ඉතිහාසය - History of "Air Ceylon"

1997 දෙසැම්බර් මස 07 වන දින "Sunday Times" පුවත් පතේ ඉංග්‍රීසි භාෂාවෙන් පළවූ ලිපියක් සිංහලට  පරිවර්ථනය කර ඔබගේ දැනුම උදෙසා ‍මෙසේ පළ කරමි. මෙම ලිපිය ලියන ලද්දේ රොජර් තීද්මන් (Mr. Roger Thiedeman) මහතා විසින් වන අතර පහත සබැඳියෙන් මෙම මූලික ඉංග්‍රීසි ලිපිය වෙත යොමු විය හැක. 

 මෙමලිපිය තරමක් දිගු වුවත් කොටස් දෙකකට නොකඩා ඇතුළත් කරනු ලැබූවේ එහි තිබෙන වැදගත් කම නිසායි.

http://sundaytimes.lk/971207/plus10.html


අධිරාජ්‍යවාදීන්ගෙන් අළුතින් නිදහස ලැබූ බොහෝ රටවල තමාට ආවේණික වූ ජාතික ගුවන් සේවයක් ඇරඹීම සාම්ප්‍රදායික  කරුණක් ලෙස සිදුවිය. ශ්‍රී ලංකාවට ද (එවකට ලංකාව) මෙම කරුණින් බැහැර යාමට අවස්ථාවක් නොතිබුණි. කෙසේ වෙතත් 1948 නිදහස ලැබීමටත් ප්‍රථම ශ්‍රී ලාංකීය ගුවන් සේවාවේ ආරම්භයේ සලකුණු සටහන් වන්නට විය.
මේ සඳහා මූලික අඩිතාලම දැමීම සිදු කරනු ලැබූවේ ඉතාමත් ක්‍රියාශීලී නායකයෙකු වූ සහ පසුව ප්‍රවාහන හා වැඩ අමාත්‍ය ලෙස පත් වූ ජෝන් කොතලාවල (පසුව “සර්”) මහතා විසිනි. ගුවන් සේවාව පිළිබඳව ඉතාම ඉහළ උද්යෝගයකින් කටයුතු කරන ලද කොතලාවල මහතා විසින් “එයරෝ ක්ලබ් ඔෆ් සිලොන්” නැමති ගුවන් සමාජය හරහා 1930 දී පමණ පෞද්ගලික ගුවන් යානා මෙහෙයුම් ඇරඹීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලද අතර මෙම සමාජය හරහා ශිෂ්‍ය ගුවන් නියමු බලපත්‍රය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ද එයින් අවස්ථාව උදාකර තිබිණ. යුද්ධය කෙමෙන් වර්ධනය වන විට රාජකීය ගුවන් හමුදාව සඳහා තරුණ ලාංකිකයින් බඳවා ගැනීමට ක්‍රියාකාරී දායකත්වයක් ලබා දීමට ද කොතලාවල මහතා මූලිකත්වය ගෙන  කටයුතු කරන ලදී.  

නිදහස ලැබීමේ අරුණළු 1947 දී පහළ වන විට අළුතින් නිදහස ලබන ජාතියකට එයටම අයිති වාණිජ ගුවන් සේවාවක් උරුම කර දීමට කොතලාවල මහතා සූදානම් වෙමින් සිටයේය. මුලින්ම එතුමා විසින් අළුතින් ආරම්භ කරන ලද සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව සඳහා ප්‍රධානියා ලෙස එල්. එස්. බී. (ලෙස්ලි) පෙරේරා මහතාවත් එතුමාගේ ලේකම් ලෙස පළපුරුදු සිවිල් සේවකයෙකු වන එම්. චන්ද්‍රසෝම මහතාවත් පත් කරන ලදී.
මීළඟට යුද්ධයෙන් ඉතිරි වූ “ඩග්ලස් ඩී. සී. -3 ඩකෝටා” ගුවන් යානා තුනක් මිළදී ගන්නා ලදී. එම යානා තුන “සීතා දේවී”, “විහාරමහා දේවී” සහ “සුනේත්‍රා දේවී” ලෙස නම් කරන ලදී.
නමුත් තවමත් මෙම ගුවන් සේවාව ආරම්භ වී නොමැති බැවින් එම ගුවන් යානා තුන සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව යටතේ තබා ගනිමින් ගුවන් නියමුවන් පුහුණු කිරීමටත් ගුවන් මාර්ග තහවුරු කිරීමේ කාර්ය සඳහාත් යොදා ගන්නා ලදී. එසේම විනෝදාත්මක ගුවන් ගමන් පැවැත්වීම මගින් දේශීය ප්‍රවාහනය සඳහා මෙම ගුවන් යානා ජනප්‍රිය කිරීම ද සිදු කරන ලදී. එසේම 1947 අගෝස්තුවේ දී ඇතිවූ මහා ගංවතුර අවස්ථාවේදී හදිසි මුදවා ගැනීමේ ගුවන් මෙහෙයුම් සඳහා ද භාවිතා කරන ලදී.

1947 ජූනි මාසයේදී “විහාරමහා දේවී” යානය ජොන් කොතලාවල මහතාගේ යෝජනාවක් අනුව මැතිවරණ නාමාවලියක් ගෙන ඒම සඳහා ලන්ඩන් බලා පියාසර කරන ලදී. දින 9 ක ඓතිහාසික ගුවන් ගමනක් වූ මෙම ගමන ලාංකිකයින්ගේ ගුවන් කේෂේත්‍රයේ හැකියාවන් සහ “ඩී සී - 3” ගුවන් යානයේ විශ්වාසනීය බව තහවුරු කිරීමට මහෝපකාරී විය. මෙම සියළුම පෙර සූදානම් ගුවන් ගමන් වල කූඨප්‍රාප්තිය 1947 දෙසැම්බර් 10 වන බදාදා දින “එයාර් සිලොන්” නම් නව ගුවන් සමාගමේ ප්‍රථම ගුවන් ගමන මගින් සටහන් කරන ලදී. ගුවන් නියමු පීටර් ප්‍රනාන්දු මහතා විසින් මගීන් 16 දෙනෙකු සමගින් මෙහෙයවන ලද “සීතා දේවී” ගුවන් යානය පෙරවරු 08 පසුවී මිනිත්තු කීපයකදී රත්මලාන ගුවන් ධාවන පථයේ සිට කන්කසන්තුරේ ගුවන් ධාවන පථය වෙත පියාසර කරන්නට යෙදින. සුළු වේලාවක් එහි නවතා තිබූ “ඩකෝටා” ගුවන් යානය මදුරාසි ගුවන් තොටුපළ වෙත පියාසර කර එදිනම යළි ලංකාව බලා ආපසු පියාසර කරන ලදී. 
ප්‍රධාන ගුවන් නියමු ප්‍රනාන්දු මහතාට සහාය වීම සඳහා ගුවන් නියමු සී. එච්. එස්. අමරසේකර මහතාත් ප්‍රධාන නිළධාරී ලෙස එමිල් ජයවර්ධන මහතා සහ ගුවන් විදුලි නිලධාරී ලෙස ජෝන් වේදවනම් මහතාත් කටයුතු කරන ලදී. “එයාර් සිලෝන්” ගුවන් සමාගමේ පළමු ගුවන් සේවිකාව වීමේ ගෞරවය මේවිස් විජේරත්න මෙනවිය විසින් හිමි කර ගන්නා ලදී.
පළමු ගුවන් ගමන සඳහා නම් කරනු ලැබ සිටි ගුවන් සේවිකාව හදිසියේ රෝගාතුර වීම නිසා විජේරත්න මෙනවිය ඒ වෙනුවෙන් යොදවන ලදී. ශ්‍රී ලාංකීය ගුවන් ඉතිහාසයට එක් වනු ලැබූ එම ඓතිහාසික ගුවන් ගමනින් පසු මෙවිස් විජේරත්න මෙනවිය යළි කිසි දිනක ගුවන් සේවිකාවක ලෙස කටයුතු නොකළ අතර ඇය කළින් කටයුතු කරන ලද පිළිගැනීමේ නිළධාරී තනතුරේම රාජකාරි කරන ලදී.

එසේ ඇරඹුන එයාර් සිලොන් නම් වූ ශ්‍රී ලාංකීය වාණිජ ගුවන් ක්ෂේත්‍රයේ සාඩම්බර ආයතනය එහි වසර 32 ක ඉතිහාසය තුළ එකදු මගියෙකුට හෝ කිසිදු අනතුරක් සිදු නොවී සේවා පවත්වාගැනීම හේතුවෙන් ලෝකයේ වඩා සුරක්ෂිතම ගුවන් සේවය ලෙසට  ගෞරවය හිමි කර ගැනීමට සමත්විය.
නොබෝ දිනකින් ම “ශ්‍රී ලංකා දේවී” නමින් තවත් ඩී.සී. 3 වර්ගයේ යානයක් ගුවන් යානා එකතුවට එක් විය. ළදරු අවධියේ පැවති ගුවන් සමාගම නිත්‍ය සේවා (Scheduled services) පවත්වා ගැනීමට අමතරව විවිධත්වයකින් යුතු වූ කුලී ගුවන් ගමන් ද (Charter Flights) ලෝකයේ නන් දෙසට ක්‍රියාත්මක කළාය. 1948 වසරේ දී ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකිකයින් ගෙන් සැදුම්ලත් කාර්ය මණ්ඩලයක් සමග ලංකා නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් රැගෙන ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර වෙත පියාසර කරන ලදී.
එම වසරේදීම කපිතාන් රෙක්ස් ද සිල්වා ගේ මෙහෙය වීම යටතේ බුරුමයේ (දැන් මියන්මාරය) රැන්ගුන්, මැණ්ඩලේ සහ අකියාබ් යන නගර වල පැවැත්වීමට නියමිතව තිබූ දන්ත දාතු ප්‍රදර්ශණයක් සඳහා සාංචි බුද්ධ ධාතූන් වහන්සේ ගුවනින් බුරුමය වෙත වැඩම කරවන ලදී.
හජ් සමයේදී මුස්ලිම් භක්තිකයින් මක්කම වන්දනාව සඳහා රැගෙන යාමට සහ ඒමට කුලී ගුවන් ගමන් කීපයක් සංවිධානය කිරීමට ද එයාර් සිලෝන් සමාගම සමත් විය.

  කෙටි කලකින්ම සාමාන්‍ය මාර්ග ජාලය ත්‍රිකුණාමලය, ට්‍රිචිනාපොලි, බොම්බාය (දැන් මුම්බායි) සහ කරච්චිය වෙත පැතිරවීමට සමත්විය. පසුව සඳහන් කළ නගර 3 තාක්ෂණිකව ජාත්‍යන්තර ගමනාන්ත වුව ද ඒවා කලාපීය ගමනාන්නත ලෙස හැඳින්වීය.
 1949 දී ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් සේවයත් (ANA-Australian National Airways)  සමඟ එයාර් සිලෝන් සමාගම එක් වී‍මෙන් පසුව ජාත්‍යන්තර දිගු ගුවන් ගමන් සේවා ආරම්භ කරන ලදී. ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් සමාගමේ කළමණාකරන සහ තාක්ෂණික දායකත්වය හේතුවෙන් “ඩග්ලස් ඩී. සී. 4 ස්කයිමාස්ටර්ස්” ගුවන් යානා දෙක උපයෝගී කර ගනිමින් කොළඹ සිට බොම්බාය, කරච්චි, ටෙල් අවිව් සහ රෝමය හරහා ලන්ඩන් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට එයාර් සිලෝන් සමාගම සමත් විය. පසුව මෙම සේවය සිංගප්පූරුව සහ ජකර්තා හරහා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙත ද ක්‍රියාත්මක විය.
ඩී. සී. 3 ගුවන් යානයේ වැඩි මහළු සහෝදරයා ලෙස සළකනු ලබන ඩී. සී. 4 ස්කයි මාස්ටර්ස් ගුවන් යානා දෙක ශ්‍රී ලංකාවේ පළමු ජල විදුලි බලාගාරය වන ලක්ෂපාන සහ ලාංකීය ගුවන් ක්ෂේත්‍රයේ තිඹිරි ගෙය වන රත්මලාන ලෙස භෞතීස්ම කරන ලදී.
1953 දී ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් සමාගම එයාර් සිලෝන් සමාගම සමග තිබූ ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසුව එම සහකාරීත්වය “කේ.එල්. එම්. රාජකීය ඩච් ගුවන් සමාගම විසින් හිමි කර ගන්නා ලදී. 1956 දී කේ. එල්. එම්. සමාගමෙන් කල්බදු ක්‍රමයට ලබා ගන්නා ලද “ලොක්හීඩ් කොන්ස්ටලේෂන්” යානයෙන් “සැෆායර් සර්විස්” ලෙස හඳුන්වනු ලැබූ සේ‍වයක් ලෙස  යළි ආරම්භ කළ ජාත්‍යන්තර ගුවන් සේවාවන් නව ගමනාන්තයක් වන ඇම්ස්ට්‍රඩෑම් වෙත සිදු කිරීමට එයාර් සිලෝන් සමාගම සමත් විය.

මෙම කොන්ස්ටලේෂන් යානය “මහා දේවී” ලෙස නම් කරන ලද අතර කේ. එල්. එම්. සමාගම 1958 දී වඩා විශාල යානයක් වන “සුපර් කොන්ස්ටලේෂන්” බවට යාවත්කාලීන කර “සෝමා දේවී” ලෙස නම් කරන ලදී.
1960 නොවැම්බර් මාසයේදී “සෝමා දේවී” යානය වෙනුවට නව ඉලෙක්ට්‍රා ප්‍රොප්ජෙට් වර්ගයේ ගුවන් යානයක් කේ.එල්. එම්. සමාගම විසින් සපයන ලදී. “කොන්සටලේෂන්”. “සුපර් කොන්ස්ටලේෂන්” සහ “ඉලෙක්ට්‍රා” වර්ගයේ ගුවන් යානා කැලිෆෝනියාවේ ‍”ලොක්හීඩ්” සමාගම විසින් නිෂ්පාදනය කරන ලද අතර පසුව වර්ෂ ගණනාවක් “එයාර් ලංකා” සමාගමේ ප්‍රධාන මෙහෙයුම් යානා වර්ගයක් වූ “ට්‍රයිස්ටාර්” යානා නිපදවන ලද්දේ ද මෙම සමාගම විසිනි.   
1962 දී එයාර් සිලෝන් සමාගම  “ඩච්” ගුවන් සේවයත් සමග සම්බන්ධ වූ අතර විදේශීය ගුවන් මෙහෙයුම් සඳහා සහය ලබා ගැනීමට “බ්‍රිටිෂ් ඕවර්සීස් එයාර්වේස් කෝපරේෂන් (British Overseas Airways Corporation - BOAC) සමග සම්බන්ධ විය.
එයාර් සිලෝන් සමාගම BOAC සමාගමේ “කොමට් 4 ජෙට්ලයිනර්ස්” යානා උපයෝගී කර ගනිමින් එහි ජාත්‍යන්තර මෙහෙයුම් කරච්චිය, කයිරෝ, සහ රෝමය හරහා ලන්ඩනයටත් ක්වාලාංපූර් හරහා සිංගප්පූරුවටත් ආරම්භ කරන ලදී. පසුව BOAC සමාගම විසින් “කොමට්” යානා වෙනුවට “විකර්ස් වීසී -10” (Vickers VC-10) යානා ජාත්‍යන්තර මෙහෙයුම් සඳහා ආදේශ කරන ලදී.

.1964 දී එයාර් සිලොන් සමාගම එහි තනි අයිතිය ඇතිව ටර්බෝ ප්‍රොපෙලර් එන්ජින් සහිත “හෝකර් සිඩ්ඩලේ (ඇව්රෝ) එච්.එස්. 748” (Hawker Siddeley (Avro) HS 748) යානාවක් මිළදී ගන්නා ලදී. එම නවතම ගුවන් යානා කපිතාන් පී.බී. මාවලගෙදර සහ ස්ථාන භාර නිලධාරී ජෝර්ජ් ෆර්ඩිනන්ඩ් විසින් රත්මලාන ගුවන් තොටුපළට ගෙන ආ දිනයේදී විශාල ජනතාවක් එය දැක බලා ගැනීමට පැමිණ සිටියහ. ඉන්පසුව 1967 දී තවත් ටර්බෝ ප්‍රොපෙලර් එන්ජින් සහිත “නෝර්ඩ් 262” (Nord 262) වර්ගයේ යානයක් ප්‍රංශයේ සිට ගෙන්වන ලදී. නමුත් මෙම පසුව ගෙන ආ යානය දේශීය තත්වයන්ට නොගැලපෙන නිසා වසර දෙකකට පසුව ආපසු යවන ලදී.
එයාර් සිලෝන් සමාගම විසින් 1969 දී “හෝකර් සිඩ්ලේ ට්‍රයිඩන්ට් ජෙට්ලයිනර්”  යානාවක් මිළ දී ගැනීම ලාංකීය ගගන ඉතිහාසයේ ඍජු නැග්මක් ඇති කිරීමට සමත් විය. මෙම යානාව කලාපීය ගුවන් සේවා ජාලය අවසානයේ දී ෆර්සියන් ගල්ෆ් කලාපයේ සාර්ජා දක්වා ව්‍යාප්ත කිරීමට  යොදා ගැණින.
 1972 දී ලංකාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය බවට පත්විය. එම වසරේදීම එයාර් සිලෝන් සහ BOAC  අතර තිබූ සම්බන්ධතාවය ද අවසන් විණ. පසුව 1971 අවසන් කාලයේ දී ලාංකීය ගුවන් මෙහෙයුම්කරු UTA ප්‍රංශ ගුවන් සේවය සමග සම්බන්ධ විය. 
වසර විසිපහක ඉතිහාසයේ දී එයාර් සිලෝන් සමාගමේ 4 වන සහකරු බවට පත් වූ UTA සමාගම දිගු ගුවන් ගමන් සඳහා “ඩග්ලස් ඩීසී - 8 ජෙට්” යානයක් සපයන ලදී. මුලින්ම ඩීසී 8 ගුවන් යානය UTA නියමුවන් විසින් පදවන ලද අතර අනෙක් කාර්ය මණ්ඩලය ශ්‍රී ලාංකිකයින් විය. පසුව මෙම යානය එයාර් සිලොන් සමාගම විසින් මිළ දී ගෙන සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකිකයින් විසින් මෙහෙය වන ලදී.
එයාර් සිලෝන් සමාගම ජාත්‍යන්තර ග්‍රහණයෙන් ඉවත් වීමට දරණ ලද උත්සාහයක් ලෙස මෙම මිළදී ගැනීම අගය කිරීමට ලක් විය. එයාර් සිලෝන් සමාගම අවසානයේදී වැඩි වියට පත්විය. දෙවන ඇව්රෝ 748 යානය මිළ දී ගැනීමත් සමග අවසන් ඩීසී 8 යානය ද සේවයෙන් ඉවත් කරනු ලැබිණ.
නමුත් මෙම කාලසීමාවේදී ජාතික ගුවන් සේවයේ අසාර්ථකත්වයේ සළකුණු පහළ වන්නට විය. බහුල වශයෙන් පැතිරී තිබූ දූෂණය, මූල්‍යමය අස්ථායි බව සහ දුර්වල කළමණාකාරීත්වය මෙයට හේතු විය. ඉන්ධන බිල් පත් නොගෙවීම නිසා යුරෝපා බලධාරීන් විසින් ඩීසී - 8 ගුවන් යානයක ට අවහිර කරන ලද අතර ජාත්‍යන්තර මෙහෙයුම් 1977 අවසන් භාගය වන තෙක් නතර කිරීම නිසා කාර්ය මණ්ඩලයේ චිත්ත ධෛර්යය ද හීන විය. කෙසේ වෙතත් ට්‍රයිඩන්ට් යානය සහ ඇව්රෝ යානා දෙක උපයෝගී කර ගනිමින් දේශීය සහ කලාපීය ගුවන් මෙ‍හෙයුම් සිදු කිරීමට එයාර් සිලෝන් සමාගමට හැකි විය.
1978 සැප්තැම්බර් මාසයේ එක් උදෑසනක ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් සිදු විය. යාපනය බලා ගොස් පැමිණි විගස රත්මලාන ගුවන් තොටුපලේ නවතා තිබූ ඇව්රෝ යානා දෙකෙන් එකක් දැවී අළු ඉවට පත් වූයේ එහි පුපුරා ගිය බෝම්බයක් හේතුවෙනි. පුදුම සහගත කරුණ වූයේ මින් ජීවිත හානි සිදු නොවීමයි.
ඉතිරි වූ ට්‍රයිඩන්ට් යානය සහ ඇව්රෝ යානය මෙහෙයුම් යථා පරිදි පවත්වා ගැනීමට මහත් උත්සාහයක් දරණ ලදී. 1979 සැප්තැම්බර් මස 1 වන දින “එයාර් සිලෝන්” සමාගම “එයාර් ලංකා” බවට පත් වූ පසුව ද මෙම යානා දෙක තබා ගන්නා ලදී. නමුත් කෙටි කාලයකට පමණි. කලක් මහත් ව්‍යාධියකින් පෙළෙමින් තිබූ සහ කලක් මහත් සාඩම්බරයෙන් වැජඹුණ එයාර් සිලෝන් සමාගම 1979 වසර අවසාන වන විට ක්‍රමයෙන් ඉතිහාස‍යට එක් වෙමින් වර්ථමානයෙන් මැකී යන්නට විය.  
කෙසේ වෙතත් වඩාත් ධනාත්මක සිද්ධිය වන්නේ එයාර් සිලෝන් සමාගමේ මිනිසුන්, ගැහැණුන් සහ යන්ත්‍ර සූත්‍ර අපගේ උරුමය දශක 3 ක් පුරාවට ගොඩ නැගීම සහ නව තාක්ෂණය සහ නව නැම්මක් ඇති කරමින්  ශ්‍රී ලාංකීය වාණිජ ගුවන් සේවාවන් සියතට ගත් “එයාර් ලංකා” නම් වූ නව සමාගමකට අඩිතාලම දැමීමයි.

අභ්‍යන්තර ගුවන් ගමන් වල අනාගත අර්බුධය - Future Conflict of Domestic Aviation

මා මින් පෙරත් සඳහන් කළා ලංකාවේ අභ්‍යන්තර ගුවන් ගමන් යාපනය හා තවත් නගර කීපයකට සිදු වෙන බව. විශේෂයෙන්ම යාපනයේ කන්කසන්තුරෙයි ගුවන් තොටුපලට සිදු වන ගුවන් ගමන් සඳහන් කළ හැකියි. මෙම ගුවන් ගමන් පසුගිය කාලයේ ඉතාමත් ජනප්‍රිය වී තිබිණ. ඒ වගේම මුල් කාලයේ ගුවන් සමාගම් කීපයක් මේ ගුවන් ගමන් වාර පවත්වාගෙන ගියා. ලයන් එයාර්, එයරෝ ලංකා, එක්ස්ෆෝ ඒවි‍යේෂන්, ඩෙකෑන් ඒවියේෂන්  ඒ වගේ ගුවන් සාමාගම්. 

පසු කාලීනව ඉතිරි වුනේ ඩෙකෑන් ගුවන් සමාගම සහ එක්ස්ෆෝ ඒවයේෂන් සමාගමයි. එක්ස්ෆෝ සමාගම දෛනිකව ගුවන් ගමන් වාර 10 ක් පමණ යාපනයට පවත්වාගෙන ගියා. ඒත් ලබන 12 වෙනිදා සිට ඒ ගුවන් ගමන් වාරත් නැවැත්වීමට තීරණය කරලා. හේතුව මම කියන්න ඕ‍නෙ නැහැනෙ. මොකද දන්නවානේ A9 පාර ඇරලා තියෙන නිසා සේරම කට්ටිය බිමින් යන්න පටන් අරන්. අපේ කට්ටියට කාලය ට වඩා මුදල් වටිනවානේ.බිමින් යන්න පැය 8 කට වඩා ගන්නවා. මුදල් ප්‍රමාණය නම් අඩුයි. ගුවනින් යනවා නම් රු. 20000/- ක් විතර යනවා. හැබැයි යන වෙලාව පැයක් විතර.


කොහොම උනත් මේ ගුවන් ගමන් වාර නැවැත්වු එකනම් මම දකින්නෙ දේශීය ගුවන් ගමන් කර්මාන්තයට හොඳ දෙයක් විධියට නොවේ. මොකද යාපනය තමා කොළඹ ඉඳන් දුරම ගුවන් ගමනාන්තය. ඒ කියන්නෙ වැඩි මගීන් සංඛ්‍යාවක් සිටිය හැකි යයි උපකල්පනය කළ හැක්කේ එම මාර්ගයේ. පසුගිය වර්ෂයේ යාපනය වෙත ගුවනින් 55000 ක් පමණ මගීන් ගමන් කර තිබෙනවා. පසුගිය යුධ සමයේ මේ සංඛ්‍යාව මීටත් වැඩියි. ඉතින් එවන් සාර්ථක ගමනාන්තයක් නැති වෙන කොට අනික් ඒවා ගැන මොන කථාද? ඒ වගේම යාපනයට දුම්රිය ගමන් ආරම්භ කළ පසු මේ තත්වය තවදුරටත් බරපතල වෙනවා. මේ ගුවන් ගමන් ගමන් කර්මාන්තය හරහා ඉතා විශාල සංඛ්‍යාවක් යැපෙනවා. විශාල රැකී රක්ෂා ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවා. ඒ සේරම මේ කඩා වැටීමත් සමග නැති වෙනවා. එතකොට අර්බුදය තවත් උත්සන්න වෙනවා.

තවමත් ඩෙකෑන් සමාගමේ හෙලිකොප්ටරය නම් ක්‍රියාත්මකයි. ඒ වගේම එක්ස්ෆෝ සමාගමේ ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් තවදුරටත් පවත්වාගෙන යනවා.

මේ තත්වය මග හැරීමට අපට ක්‍රියා මාර්ග කීපයක් ගත හැකි වෙනවා. එකක් තමයි මේ පෞද්ගලික සමාගම් වලට ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දීම. ඒ වගේම යාපනය ගුවන් තොටුපළ හරහා ඉන්දියාවේ යම් යම් ගමනාන්ත වෙත ගුවන් ගමන් පවත්වාගෙන යාමට අවසර ලබා දීම තවත් එක් විසඳුමක් ලෙස දැකිය හැකියි. ඒ වගේම වෙනත් ගුවන් මෙහෙයුම් වර්ග, ඒ කියන්නෙ විනෝදාත්මක කටයුතු සදහා පවත්වා ගැනීමට අවසර දීමත් හොඳ දෙයක්.

දැන් අහන්න පුළුවන් ඇයි මේ අයට ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වලට අවසර දෙන්න බැරිද කියලා. දැනට කීප දෙනෙක් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවා. නමුත් ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් පවත්වාගෙන යාම ඉතා බැරෑරැම් දෙයක්. විවිධ නීතී. ආරක්ෂණ ක්‍රම, රට රටවල ආගමන විගමන නීතී, ගුවන් මෙහෙයුම් සම්බන්ධ නීති ආදියත් ඉල්ලුම් කරන සමාගමේ ධාරිතාවය ආදී දේත් සැලකිල්ලට ගනිමිනුයි මේ අවසර ලබා දීම කළ හැක්කේ.

ඉතින් මේ තියෙන්නේ අපේ රටේ අභ්‍යන්තර ගුවන් ගමන් වල තත්වය. මේක දියුණු කරන්න එහෙම නැත්තන් මේ පැන නඟිමින් පවතින අර්බුධය විසඳීමට ඔයාලටත් අදහස් තිනෙවා නම් Comment එකක් දාන්න කෝ.

තැඹිලි පාට "කළු පෙට්ටිය" - Orange Colour "Black Box"


අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී “කළු පෙට්ටිය” යනුවෙන් හඳුන්වන උපකරණයක් ගුවන් යානයක තිබෙනවා. මේ ගැන  බොහෝ වෙලාවට කථා කරන්නේ ගුවන් අනතුරක් සිදු වුනාම. මෙම උපකරණයේ තාක්ෂණික නම තමයි Flight Recorder. සැබවින්ම මෙවන් උපකරණ 2ක් ගුවන් යානයක දැකිය හැකියි. එකක් Flight Data Recorder (FDR) ලෙස හඳුන්වන අතර අනෙක Cockpit Voice Recorder යනුවෙන් හඳුන්වනවා. මෙයින් FDR යන උපකරණයෙන් සිදු වන්නේ ගුවන් යානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව වන තොරතුරු තැන්පත් කර ගැනීම. අ‍නික් උපකරණය වන CVR එකෙන් වෙන්නේ ගුවන් නියමු කුටියේ හඬ තැන්පත් කර ගැනීම කියලා නමින්ම තේරෙනවනේ. CVR එකේ තැන්පත් වෙන්නේ ගුවන් නියමුවන් එකිනෙකා කථා කරන දේවල් ඒ වගේම ගුවන් නියමුවන් සහ ගුවන් ගමන් පාලකවරුන් කථා කරන දේවල් සහ ඊට අමතරව අවට හඬද ආදියයි. කෙසේ වෙතත් සමහර ගුවන් යානා වල මෙම උපකරණ දෙක ම එක් කොට එක් උපකරණයක් ලෙසත් දකින්න පුළුවන්.
ඡායාරූපය: FDR සහ CVR (විකිපීඩියා)
කළු පෙට්ටිය ලෙස හඳුන්වනු ලබන මෙම උපකරණයේ මූලිකම කාර්යය වන්නේ ගුවන් අනතුරක දී එම අනතුරට හේතුව සොයා ගැනීමට ඉවහල් වන දත්ත ලබා ගැනීම. ඊට අමතරව යානයේ එන්ජින් වල සහ වෙනත් උපකරණ වල ක්‍රියාකාරීත්වය පිළිබඳව අධ්‍යයනය කිරීම, ගුවන් යානා සුරක්ෂාව සඳහා වන යම් යම් පරාමිතීන් පරීක්ෂා කිරීමටත් මෙම උපකරණය යොදා ගන්නවා. මම අහල තියෙනවා සමහර ගුවන් නියමුවන් සම්මත වේගයට වඩා වැඩි වේගයකින් පැමිණ තම සේවා මුරය ඉක්මනින් අවසන් කිරීමට උත්සහ කරන බව. මේක නීති විරෝධී ක්‍රියාවක්. මේ වගේ දේවලුත් මේකෙන් බලා ගන්න පුළුවන්.  
මෙම උපකරණය සකස් කර තිබෙන්නේ ඉතා ඉහළ විනාශකාරී තත්වයන්ට පවා ඔරොත්තු දෙන ආකාරයටයි. ඒ කියන්නේ අධික උෂ්ණත්වයට, පීඩනයට, ශීතලට, ගින්නට ආදී තත්වයන්ට. ඒ වගේම මෙම උපකරණය කළු පෙටිටි‍ය කියා හැඳින්වුවා ට මේ කොහොමටවත් කළු නම් නැහැ.  ඒකෙ තියෙන්නේ ගින්නට පවා ඔරොත්තු දෙන දොඩම් ගෙඩියේ පාටට හුරු තැඹිලි පාටක්. මොකද මේ පාට ඕනෙම තැනක සොයා ගැනීමට හැකියාවත් තියෙනවානේ.
ඒ වගේම කළු පෙට්ටිය සවි කරලා තියෙන්නේ ගුවන් යානයේ පිටිපස කොටසට (වලිගෙ ට) හේතුව ගුවන් අනතුරකදී හානිය අවම වන්නේ මෙම ප්‍රදේශයට නිසා.
කළු පෙට්ටියේ ඉතිහාසය ගැන කථා කරනවා නම් මුලින්ම කළු පෙට්ටිය ගැන තොරතුරු සඳහන් වන්නේ 1939 වගේ ඈත අතීතයේ ප්‍රංශයෙන්. මෙම නිෂ්පාදනය ඡායාරූප ක්‍රමය පදනම් වූ පටිගත කිරීමක් ලෙසයි විකිපීඩියා වල සදහන් වන්නේ. ක්‍රමයෙන් මේක දියුණු වෙලා තියෙන්නේ විශාල පුද්ගලයින් සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන්. මේ ගැන විස්තර හොයාගන්න පුළුවන් විකීපීඩියා වල මෙන්න මෙතනින්
මා මුලිනුත් සඳහන් කළා මේ කළු පෙට්ටි විශාල බලයන්ට ඔරොත්තු දෙන බව. මෙම උපකරණ සකස් කර තිබෙන්නේ මළ නොකන වානේ වලින් හෝ “ටයටේනියම්” කියන ලෝහයෙන්. ඒ වගේම තමයි මෙම උපකරණය අනතුරක දී සොයා ගැනීමට හැකි වන පරිදි සංඥාවක් නිකුත් වන ආකාරයෙන් සකස් කර තිබෙනවා. මෙම සංඥාව දින 30 ක් පමණ කාලයක් නිකුත් වන ආකාරයට සකස් කර තිබෙන අතර මීටර් 6000 ක පමණ ගැඹුරකට ගිලුනා වුවද එය ක්‍රියාත්මකයි. 

තවත් දෙයක් කියන්න අමතක වුනා දැන් එන අළුත් උපකරණ වල දත්ත ගබඩා කිරීමේ කාලය පැය 24 ක් පමණ වෙනවා. ඒ කියන්නේ සෑම අවස්ථාවකදී අළුත් පැය24 දත්ත මෙහි ගබඩා වෙනවා. පරණ ඒවා මැකෙනවා.
මුල් කාල වලදී දත්ත ගබඩා වුනේ “චුම්බක පටි” වල උනත් අළුත් ඒවායේ නම් “මයික්‍රෝ චිප්ස්” තමයි භාවිතා කරන්නේ.

තවත් දෙයක් තමයි මෙම උපකරණ අනතුරකදී සොයා ගත්තත් අපේ රටේදී නම් ඒවා කියවීමේ හැකියාවක් නැහැ. ඒවා කියවන්න නම් ඉන්දියාවට හරි නිෂ්පාදකයා ගාවට හරි ගෙනියන්න වෙනවා. නිෂ්පාදකයා ගාවට ගෙන ගියොත් සිදු වුන වැරැද්ද ඒ ‍අයගේ අතේ නම් ලැබෙන වාර්තාව ටිකක් සැක සහිතයි නේද? මොනාවා වුනත් ඒ වැරැද්ද ඊට පස්සේ හදාගන්න නම් පුළුවන්.  

කොහොම උනත් උඩදී අනතුර ගැන දකින කෙනෙක් නැති නිසාත්, බ්‍රේක් ගහල නවත්තලා බැහැලා දුවන්නත් බැරි නිසා මේ කළු පෙට්ටියේ තොරතුරු ඉතාම වැදගත් මොනවා හරි වුන දේ හොයා ගන්න.