අපි නුවර!

දැයට කිරුළ කියන්නෙ ජාතික ප්‍රදර්ශණයක්. මේ ප්‍රදර්ශණය මම දකින්නේ අධ්‍යාපනික වටිනාකම පැත්තෙන් වටින දෙයක් විධියට. මොකද නිකම්ම සංගීතයක් බලනවට වඩා එළියට එනකොට අඩු තරමින් නොදන්න එක දෙයක් හරි ඉගෙන ගන්න පුළුවන්නෙ. 
දැයට කිරුළ මේ සැ‍රේ තියෙන්නෙ නුවර  පල්ලෙකැලේ. මේකෙදි මම වැඩ කරන තැන වන සිවිල් ගුවන් සේවා අධිකාරියත් ප්‍රදර්ශණ කුටියක් පවත්වාගෙන යනවා. වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ තමයි තියෙන්නෙ. හරියටම කියනවා නම් F1 කොටසේ. මමත් එතන කාර්යාවලියට සක්‍රියව දායක වෙනවා. තවත් සරලව කියනවානම් පළවෙනිදා ඉඳන් දිගටම මමත් මේ ප්‍රදර්ශණ කුටියේ ඉන්නවා. (ප්‍රදර්ශණ භාණ්ඩයක් නම් නෙමේ) නුවර අයටත් ළගපාත ඉන්න අයටත් මම මේ ප්‍රදර්ශණ කුටියටත් එන්න කියලා කියනවා. පුංචිම දෙයක් හරි ඉගෙන ගෙන යන්න පුළුවන්නෙ.

ලෝකයේ විශාලතම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩ බැස්සවිය හැකිද? Can the largest passenger aircraft land safely at Katunayake Airport?

මේ දවස්වල කණ පිරෙන්න තියෙන්නේ පොරොන්දු නෙ. අපි දන්නවා හැම පොරොන්දුවක්ම එක ලෙසට ඉටු කරන්නත් බැහැ. කරන්නෙත් නැහැ.මේ සමහර පොරොන්දු අතර තියෙනවා මත්තල නව ගුවන් තොටුපළක් සකස් කිරීම හා එයට ‍එහි ධාවන පථය ලෝකයේ විශාලම ගුවන් යානා ගොඩබැස්සවීමට හැකි පරිදි සකස් කිරීමට. මම අද කථා කරන්න අදහස් කරන්නේ මත්තල නව ගුවන් තොටුපළවත් එහි ධාවන පථය ගැනවත් නොවේ.

දැනට අප රටට තිබෙන එකම ජාත්‍යන්තර ගුවන් තොටුපළට මෙවන් වූ විශාල මගී ගුවන් යනාවක් ගොඩ බැස්සවිය හැකි ද නොහැකිද යන්න සරලව පැහැදිලි කිරීමයි.

ඔබ සියළු දෙනාම දන්නා පරිදි ගුවන් යානයක් ගොඩ බැස්සවීමත් ගුවන් ගත වීමත් යන දෙකම සඳහා භාවිතා වන්නේ ගුවන් ධාවන පථයයි (Runway). මෙම ධාවන පථය සකස් කිරීමේ දී විශේෂ තාක්ෂණික ක්‍රම භාවිතා කරන අතර ඉතාම ඉහළ මට්ටමේ තා‍ක්ෂණයක් සහ අමුද්‍රව්‍ය භාවිතා කිරීම සිදු වෙනවා. ඒ වගේම ඒවා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කළ යුතු වෙනවා. මෙසේ භාවිතා කරන අමුද්‍රව්‍ය හා තාක්ෂණ ක්‍රම අනුව ඒ ඒ ධාවන පථ වල ගොඩ බැස්සවිය හැකි යානා වර්ග වෙනස් වෙනවා.

දැනට ඇපේ ගුවන් ධාවන පථය ඇස්පාල්ට් (Asphalt) භාවිතා කර සකස් කර ඇති අතර ජාත්‍යන්තර පිළිගත් ප්‍රමිතීන්ට එය අනුගත වෙනවා. ඒ වගේම බොහෝ ගුවන් යානා එහි ගොඩ බැස්ස වීම කළ හැකියි.

තවත් දෙයක් සඳහන් කළ යුතුයි. ගුවන් ධාවන පථයක දිග හා පළල ද ගුවන් යානා ගොඩ බැස්සවීමේදී බලපානවා. වැඩි දිගක් සහිත ධාවන පථ වල වැඩි බරක් සහිත ගුවන් යානා එසවීමට ඇති හැකියාව වැඩියි. (තවත් බොහෝ කරුණු බලපානවා) ඒ වගේම පලලත් ඒ සදහා බලපානවා. සාමාන්‍යයෙන් ගුවන් ධාවන පථයක මැද සිට යම් පළලක් දක්වා ඉතා ශක්තිමත්ව සකස් කරනු ලබන අතර එහි සිට තවත් දුරක් සඳහා සාපේක්ෂව අඩු ශක්තියක් සහිතව සකස් කරනු ලබනවා. (හරියට අධිවේගී මාර්ගයක් වගේ, වාහන ගමන් නොකරන ප්‍රදේශ සකස් කිරීම වැනි) මෙම කොටස් දෙක Runway Shoulders ලෙස හඳුන්වනු ලබන අතර මෙම කොටස් දෙක ද ගුවන් යානා ගොඩ බැස්සවීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක්.

 මේ සමග පහළින් දැක්වෙන්නේ කටුනායක ගුවන් පථයේ ඡායාරූපයක්. ඔබට එහි දෙපසින් දැක්වෙන අඛණ්ඩ සුදු රේඛා දෙකට දෙපසින් ලා පැහැයෙන් දැක්වෙන තීරු දෙක පෙනෙනවා ඇති.

මේ තීරු දෙක තමයි Runway Shoulders ලෙස හඳුන්වන්නේ.

අපේ මේ ධාවන පථය මීටර් 45 ක් පළලයි. ලෝකයේ බොහෝ රටවල මෙම පළලම සහිත ධාවන පථ තිබෙනවා. අර මම කිව්ව Runway Shoulders දෙක අපේ ධාවන පථයේ දී එකක් මීටර් 7.5 ක් බැගින් වෙනවා. ඒ කියන්නේ අපේ ධාවන පථයේ භාවිතා කළ හැකි මුළු පළල මීටර් 60 ක් පමණ වෙනවා. මීට අමතරව ධාවන පථයේ මැද තිබෙන සුදු පැහැති කඩ ඉරේ සිට දෙපසට මීටර් 150 බැගින් වන පළලක් Graded Area ලෙස හඳුන්වනවා. තවත් දෙයක් අපේ කටුනායක ධාවන පථය කි. මී. 3.35 ක් පමණ වෙනවා.

දැන් අපි බලමු ලෝකයේ විශාලම ගුවන් යානය වන එයාර් බස් 380 වර්ගයේ මගී ගුවන් යානයේ දිග පළල. (මෙම යානය තමයි දැනට භාවිතයේ පවතින විශාලම මගී ගුවන් යානය). පහත දැක්වෙන රූපය බලන්න.



මේකෙ කලු පැහැයෙන් දැක්වෙන්නේ A380 වර්ගයේ යානාවක විස්තර. තව පැහැදිලි කරනවානම් දිග මීටර් 73 කුත් එක් පියාපතක සිට අනෙක් පියාපතට පළල මීටර් 79.8 කුත් වෙනවා. ඊට අමතරව මෙම ගුවන් යානය එන්ජින් 4 කින් සමන්විත ‍වන අතර පිටත එන්ජින් දෙක අතර පළල මීටර් 64 ක් පමණ වෙනවා.


දැන් මෙම එන්ජින් ගැන කිව්වොත් ඒක ක්‍රියාත්මක වීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වන මුත් සරලව කියනවානම් එයට තුළ ට ඉදිරියෙන් වාතය උරා ගැනීමෙන් ඉන්ධන දහනයෙන් ශක්තිය නිපදවීම කරනවා.

දැන් අපි මෙවන් පළලක් සහිත ගුවන් යානයක් අර වගේ පළලක් සහිත අපේ ධාවන පථයට ගොඩ බැස්සවීම ගැන බලමු.

අපේ ධාවන පථයේ මුළු පළල මීටර් 60 යි (Asphalt සහිත) යානයේ පියාපත් අතර පළල මීටර් 79.8යි. ඔබට හිතෙන්න පුලූවන් යානයේ රෝද තිබෙන පෙදෙස ධාවන පථයේ තිබෙනවා නම් මේ අනෙක් කොටස් බිම ගෑවෙන්නේ නැති නම් මෙම ගොඩ බැස්සවීම කළ හැකියි කියා. නමුත් ගැටළුව වන්නේ පිටත එන්ජින් පිහිටන සීමාවයි.  දැන් පැහැදිලියි මෙම ගුවන් යානය අපේ ධාවන පථයට පැමිණියහොත් එහි පිටත් එන්ජින් දෙක Runway Shoulders වලටත් පිටින් පිහිටන බව. ඒ කියන්නේ එන්ජින් ක්‍රියාත්මක වන විට ඇද ගන්නා වාතයත් සමග අවට තිබෙන අපද්‍රව්‍යත් එය තුළට ඇද ගැනීම සිදු වෙනවා. එතනින් පස්සේ වෙන දේ කියන්න ඕනෙ නැහැනෙ.

මේ ගුවන් යානය ගොඩ බැස්සවීමට නම් අපේ Runway Shoulders තවත් මීටර් 7.5 ක් වත්  බැගින් පළල විය යුත් වෙනවා. ඒ කියන්නේ Runway Shoulders වල මුළු පළල එකක් මීටර් 15 ක් වත් විය යුතුයි. මැද තිබෙන මීටර් 45 ක ප්‍රමාණය එලෙසම තීබීම  ප්‍රමාණවත්.

නමුත් මේ දිග පළල තිබුණත් මේ යානය ගොඩ බැස්සවීමට හා යළි ගුවන් ගත වීමට නොහැකියාවක් පවතිනවා. ඒ කට හේතුව තමයි මෙම ධාවන පථය එම ගුවන් යානය ගුවනට එසවීමේ දී තිබෙන උපරිම බරට (Maximum Take Off Weight - MTOW) ඔරොත්තු දෙන මට්ටමේ විය යුතු වෙනවා. ඒ වගේම ධාවන පථයේ ඝර්ෂණය ද මෙවන් වූ දැවැන්ත යානයක් හැසිරවීමට තරම් විය යුතු වෙනවා. තවත් දෙයක් යානයේ බර වැඩි වන විට ඉහළ නැංවීමට ගමන් කළ යුතු දුරද වැඩි වෙනවා. ඒ කියන්නේ ධාවන පථයේ දිග පිළිබඳව ද සැළකිලිමත් විය යුතුයි.

මේ කරුණු සියල්ල සැළකීමේදී දැනට තිබෙන තත්ව යටතේ දී, ලෝකයේ භාවිතා කරන විශාලම මගී ගුවන් යානය වන A380 වර්ගයේ යානාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබැස්සවීම කළ නොහැකි බව පැහැදිලි වෙනවා නේද?









සෙස්නා ගුවන් යානය - Cessna Aircraft

සාමාන්‍යයෙන් ගුවන් යානා පැදවීමට පුහුණු වන්නන් හෝ ගුවන් යානා ඉංජිනේරුවරුන් ලෙස පුහුණු වන්නන් විසින් බහුල ලෙස භාවිතා වන සැහැල්ලු ගුවන් යානයකි සෙස්නා (Cessna) වර්ගයේ ගුවන් යානා. පහත ඡායාරූපයේ දැක්වෙන්නේ ‍Cessna 152 වර්ගයේ ගුවන් යානයක්.


ලෝකයේ ඉතා බහුලව යොදා ගන්නා පුහුණු ගුවන් යානය වන්නේ ද මෙම සෙස්නා 152 වර්ගයේ ගුවන් යානාවයි.
 සෙස්නා යානය මුලින්ම නිෂ්පාදනය කරන ලද්දේ 1911 දී පමණ "ක්ලයිඩ් සෙස්නා" ( Clyde Cessna) විසිනි. මුලින්ම ඔහු විසින් කිලෝ වොට් 45 පමණ බලයක් සහිත යානයක් දැව, වානේ සහ රෙදි වර්ග යොදා සකස් කරන ලදී.
                Clyde Cessna


ඔහු කීප දෙනෙකු සමගම වරින් වර එක්ව ගුවන් යානා නිෂ්පාදන සමාගම් ආරම්භ කලද ඔහුගේ හවුල් කරුවන් ඔහුව හැර ගිය අතර 1927 දී ඔහු Cessna Aircraft Company  නමින් නිෂ්පාදන සමාගමක් පිහිටුවන ලදී.

 සෙස්නා ගුවන් යානයේ එක් වරකට ගමන් කළ හැක්කේ නියමුවාත් සමග ‍දෙ‍දෙනකුටයි. සාමාන්‍යයෙන් පැයට කි.මි. 200 ක පමණ වේගයෙන් ගමන් කළ හැකි අතර ගුවන‍ට එසවීමේදී සාමාන්‍යයෙන් කි.ග්‍රෑ. 750 ක පමණ (මාදිලියෙන් මාදිලියට වෙනස් වේ) උපරිම බරක් සහිතව වුවද සිදු කළ හැක.

මෙම සැහැල්ලු ගුවන් යානා වලට අමතරව ‍සෙස්නා සමාගම විසින් ජෙට් යානා ද නිපදවා ඇත. දැනට පිස්ටන් එන්ජින් සහිත සැහැල්ලු සෙස්නා යානා 100000 ට වඩා නිපදවා ඇති අතර ‍ජෙට් යානා 2000 පමණ නිපදවා ඇත.

වඩා සිත්ගන්නා සුළු දෙය නම් මෙම යානා නිෂ්පානයේ පුරෝගාමියා වන ක්ලයිඩ් සෙස්නා පස්වන ශ්‍රේණිය දක්වා පමණක් ඉගෙන ගත් පුද්ගලයෙකු වීම සහ ඔහුට ගුවන් යානා පැදවීමේ මූලික බලපත්‍රය පවා සම්පුර්ණ කරගැනීමට නොහැකි වීමයි.

තවත් දෙයක් පසුගිය දිනවල කොටි ත්‍රස්තවාදීන් විසින් භාවිතා කරන ලද්දේ ද වෙනස් කරන ලද සෙස්නා වර්ගයේ සැහැල්ලු ගුවන් යානායි.