බැලූන් යැවීම - Ballooning



ඔය කට්ටිය දැකලා ඇතිනෙ සමහර විට ලංකාවෙ පළාත්වල විශාල පාට පාට බැලූන් යනවා. ඒවායේ මිනිස්සුත් නැගලා යනවා. අද මම කියන්න යන්නෙ මෙන්න මේ බැලූන් මෙහෙයුම් ගැන.

මේවා හඳුන්වන්නේ “උණු වායු බැලූන්“ (Hot Air Balloons) ලෙස. හේතුව තමයි මේවා ඉහළට යන්න උපයෝගී කර ගන්නේ උණුසුම් වූ වාතය. ඔය කට්ටියට මතක ඇතිනේ අර පොඩි පංති වල විද්‍යාව පාඩමේ ඉගැන්නුවේ රත්වූ වාතය ඉහළ නගිනවා කියලා. මෙන්න මේ සංසිද්ධිය තමයි මෙතනදී උපයෝගී කර ගන්නේ. ඒ කියන්නේ විශාල බැලූන් එකකට අධිවේගී ගිනි ධාරාවක් මගින් රත්වූ සුළං ඇතුල් කරනවා. එම වාතය බර අඩු නිසා බැලූනයත් සමග ඉහළ නගිනවා.

අපි දැන් බලමු බැලූන් එකක් මෙහෙය වන්නේ කොහොමද කියලා.

ඔය පින්තූරෙ තියෙන්නෙ බැලුන් එකක් ඉහළට නැගපු අවස්ථාවක්. මේකෙදි අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් තුනක්. එකක් බැලූන් එක. අනික මගීන් සඳහා වන පැස (Basket). අනෙක පැස හා බැලූනය අතර තිබෙන ගෑස් දාහකය (Gas Burner)

බැලූනයක් ඉහළ නැංවීමට සූදානම් කිරීමේ දී පළමුව බැලූනය යමකට ගැට ගසනවා. මෙය බොහෝ විට වාහනයකි. ඉන්පසුව විශාල පංකාවක් මගින් සුළං යම් ප්‍රමාණයක් බැලූනයට ඇතුළත් කර යම් පමණයකට බැලූනය පිමිබීමකට ලක් කරනවා. ඉන්පසුව එල්. පී. ගෑස් දාහකය මගින් රත්වූ වාතය බැලූනය තුලට ඇතුල් කරනවා. එවිට ක්‍රමයෙන් බැලුනය කෙළින් වීමට පටන් ගන්නවා. සුදුසු පරිදි බැලූනය වාතය පිරුණ පසුව මගීන් පැස තුළට නංවා අර මම කළින් සඳහන් කළ ලණුව නිදහස් කර බැලූනය ඉහළට ගමන් කිරීමට ඉඩ හරිනවා.     දැන් බැලූනය ක්‍රමයෙන් ඉහළට ගමන් කරන අතර අඩි 2000 ක්පමණ ඉහළ ගිය පසු සුළං හමන දිශාවට ගමන් කරනු ලබනවා.


අධික සුළඟක් පවතින විටත් සුළං නොමැති විටත් බැලූන් යැවීම කළ නොහැකි වෙනවා. සාමාන්‍යයෙන් නොට් 2—3 අතර සුළං වේගයක් බැලූන් යැවීම සඳහා සුදුසුයි. බැලූනයක ගමන් කරන දිශාව අපට අවශ්‍ය පරිදි වෙනස් කළ නොහැකියි. සුළඟ හමන දිශාවට එය ගමන් කරනු ලබනවා. නොට් 3 ක පමණ වේගයකදී බැලූනයක් උපරිමව කි.මී. 10 ක් පමණ ගමන් කරනු ලබනවා. ගොඩබෑමට අවශ්‍ය වූ විට එයට රත් වූ වාතය ලබා දීම අඩු කිරීම හෝ නතර කිරීම සිදු කරනවා. ඒ වගේම බැලූනයේ තිබෙන කවුළුවක් විවෘත කිරීම මගින් එහි තිබෙන රත් වූ වාතය ඉවත් කිරීමත් සිදු කරනවා. මේ ආකාරයට ක්‍රම ක්‍රමයෙන් බැලූනය පහතට ගෙන ඒම සිදු කරනවා.


බැලූනයේ ගමන් කරන නියමුවාට අනිවාර්යයෙන් පැදවීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වෙනවා. දැනට ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයෙකු සඳහා මේ බලපත්‍රය නිකුත් කර තිබෙනවා. ඊට අමතරව විදේශීය බලපත් දරන්නන්ගේ බලපත්‍ර අපේ රටේ මෙහෙයුම් සඳහා බලාත්මක කිරීමත් කරනවා.

බැලූනයේ ගමන් ගන්නා නියමුවාත් ගුවන් මෙහෙයුම් පාලක මැදිරියත් අතර ගුවන් විදුලි පණිවිඩ සම්බන්ධතා පවත්වා ගත යුතු වෙනවා. යම් හෙයකින් සම්බන්ධතා බිඳ වැටුනොත් පහළ සිටි අය වාහනයක් මගින් බැලූනය පසු පස ගමන් කරමින් දුරකථනය මගින් බැලූනයත් මෙහෙයුම් මැදිරියත් අතර සම්බන්ධතාවය පවත්වා ගත යුතුයි.

දැනට ලංකාවේ බොහෝ ප්‍රෙද්ශ වල බැලූන් මෙහෙයුම් සිදු කළ හැකි අතර ඉදිරි සති කීපය තුළ මෙය තව දුරටත් ලිහිල් වීම සිදු වේවි.


වැදගත්ම කරුණ තමයි බැලුන් මෙහෙයුම් සිදු කරන දවසේ කාල සීමාව. ලංකාවේදී නම් උදෑසන 5ත් 6ත් අතර සිට පැය දෙකක් පමණ කාලයක් මේ සදහා සුදුසුයි. ඒ වගේම සමහර ප්‍රදේශ වල සවස් කාලයෙත් සිදු කළ හැකියි. අනික් වේලාවන්ට කළ නොහැක්කේ අවට වාතයෙත් උණුසුම ඉහළ යන නිසා මෙහෙයුම් අපහසු වන නිසා.

බැලුන් මෙහෙයුම් සිදු කරන්නේ විනෝදාත්මක කටයුතු සදහායි.

4 comments:

  1. හුලං ඇරලා බැළුම බාද්දි අර පැස පොළවත් එක්ක දැඩිව ගැටිලා අනතුරු එහෙම සිදුවෙන අවස්ථාත් ඇති නේද?

    ReplyDelete
  2. ඔව් සමහරවිට වෙන්න පුළුවන්. ඒත් මෙය මෙහෙයවන අය හොඳ පළපුරුදු අය. ඒ අය දන්නවා අවම ගැටීමකින් බිමට පහත් කරන්න. අනෙක එකපාරටම හුළං අරින්නෙ නැහැනෙ. ක්‍රමක්‍රමයෙන් තමයි ඒ දේ කරන්නෙ.

    ReplyDelete
  3. මාරයි. ඇත්තටම වටිනවා.

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....