අහස අපේ ආර්ථික සම්පතක් - Air Space is an economic resource.

සාමාන්‍යයෙන් අප කුඩා කළ සිට පුරුදු පහුණු වී සිටින්නේ රටේ ආර්ථික සම්පත් යනුවෙන් හඳුනා ගන්නා විට සාම්ප්‍රදායික දේ හඳුනා ගැනීමටයි. උදාහරණයක් ලෙස තේ, පොල්, රබර් ආදී වැවිලි බෝග වර්ගත්, මිනිරන්, මැණික් වැනි ඛණිජ සම්පතුත් ජලය වැනි ස්වභාවික සම්පතුත් අපේ සාම්ප්‍රදායික පිළිතුරු අතර වෙනවා. ශ්‍රම බලකාය පවා සමපතක් ලෙස හදුනා ගන්නේ කීයෙන් කී දෙනාද?

ඔබ නොදන්නවාට, නිතර බොහෝ දෙනෙක් කථා නොකළාට අපට ඉහළින් පවතින ගුවන් කලාපය ශ්‍රී ලංකාව සතු සම්පතක්. දැනටත් මෙයින් විශාල ආදායමක් රටට ලැබෙනවා. 1944 දී අත්සන් කළ ගුවන් ප්‍රවාහනය හා සම්බන්ධ චිකාගෝ සම්මුතියෙන් සෑම රටකටම එහි ගුවන පිළිබඳ ස්වාධිනත්වයක් නැතහොත් ස්වෛරීයත්වයක් තිබෙන බවට පිළිගන්නා අතර යම් රටක් තවත් රටක අවසර නොමැතිව එම රටට පිවිසිය නොයුතු බවට ද මෙහි පිළි ගන්නවා.

ඒ අනුව යම් රටක ගුවන් යානයකට වෙනත් රටක ගුවන් සීමාව හරහා යාමට අවශ්‍යය නම් පළමුව එම රටෙන් ඒ සදහා අවසර ලබා ගත යුතුයි. ශ්‍රී ලංකාවේ නම මේ අවසරය රජය වෙනුවෙන් ලබා දෙන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියයි. මෙසේ  අවසර ලබා ගත්තාට පසු එම යානයට එම අවකාශය තරණය කළ හැකියි.

නමුත් මෙසේ ඉහළින් පියාසර කිරීමට නම් එම රටට යම් මුදලක් ගෙවිය යුතුය. උදාහරණයක් ලෙස පකිස්ථානය අයත් ගුවන් සමාගමක් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් සිදු කරන්නේ නම් එම සමාගම ඉන්දියානු ගුවන් කළාපය පසු කිරීමට නැතහොත් ඉහළින් ගමන් කිරීමට ඉන්දියාවේ අවසර ලබා ගත යුතුය.

මෙහිදී ගුවන අයිති රටේ රජයට අවශ්‍ය ය නම් තම රටේ ආරක්ෂාවට තර්ජනයක් වේ යයි සතෙන්නේ නම් එසේ අවසර ලබා නොදී සිටිය හැක. පකිස්ථානු ගුවන් සමාගමට මෙසේ අවසර ලබා නොදීම ඉන්දියාව විසින් කළක් සිදු කළේය.

ලංකාවට ඉහළින් ගමන් කරන යානයක ගුවන් ගත වන විට බර අනුව අයකිරීම් සිදු කරනු ලබයි. මෙය ගුවන් කළාපය නම් වූ සම්පත බාවිතා කිරීම වෙනුවෙන් මෙම අයකිරීම සිදු කරයි. ලෝකයේ සෑම රටක්ම මෙසේ කරයි.
 මෙම අයකිරීම් පහත පරිදි වේ.

ගුවන් ගත වන විට උපරිම බර කි. ග්‍රෑ. 5000 ත් 90000 ත් අතර නම් ඇ.ඩො. 100
ගුවන් ගත වන විට උපරිම බර කි. ග්‍රෑ. 90000 ත් 175000 ත් අතර නම් ඇ.ඩො. 150
ගුවන් ගත වන විට උපරිම බර කි. ග්‍රෑ. 175000ත් 260000 ත් අතර නම් ඇ.ඩො. 100
260000 ට වැඩි නම්  ඇ.ඩො. 250

(ගුවන් ගත වන විට උපරිම බර - Maximum Take Off Weight - MTOW)
 මෙසේ ගුවන් භාවිතය වෙනුවෙන් වසරකට ශ්‍රී ලංකාවට විශාල මුදල් ප්‍රමාණයක් ලැබේ. මෙම මුදල රජය වෙනුවෙන් එකතු කරනු ලබන්නේ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමයි.

කෙසේ වෙතත් අප රට වැනි කුඩා රටවලට මුහුණු පාන්නට වන ගැටළුවක් වනුයේ බලවත් රටවල ගුවන් සමාගම් මෙම ගෙවීම් බෙහෝ විට පැහැර හැරීමයි.


"ගුවන්සර" සඟරාව දැයේ දරුවන්ට- "Guwansara" for students of Sri Lanka


මම මගේ මීට පෙර Post වලදි සඳහන් කළ පරිදි ඊයේ (නොවැම්බර් 26) ගුවන් සේවා දැනුම අපේ ලංකාවේ සියළුම දරුවන්ට ලබා දීමේ අරමුණින් සකස් කරන ලද "ගුවන්සර" සඟරාව ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එළි දැක්වුණා. මීට අමතරව www.aviationclub.lk කියන වෙබ් අඩවිය ද නිල වශයෙන් දියත් වුණා. මේ තියෙන්නේ එහි ඡායාරූප කීපයක්.


 
 


ගුවන් සේවා සමාජය

මේ සඟරාව මිළ දි ගන්න පුළුවන් ගුණසේන සහ සරසවි පොත්හල් වලින්.
නැතිනම් සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් මිළ දී ගන්නත් පුළුවන්.
වැඩි විස්තර අවශ්‍ය නම් 0112394798 අංකයෙන් රුවන් සාගර අමතන්න.



ගුවන සිංහලෙන් ලිවීම - Aviation in SInhala

මාගේ මීට පෙර Post එකෙත් සඳහන් කල පරිදි අපේ රටේ ගුවන් සේවා දැනුම හා රැකියා අවස්තාවන් සීමා වෙලා තියෙන්නේ සීමා සහති ප්‍රදේශයක් තුළ සහ සීමා සහිත පිරිසක් අතරෙයි. මෙයට තිබෙන ප්‍රධාන ‍හේතු අතර ඉංග්‍රීසි භාෂා දැනුම නොමැති කම ප්‍රධාන වෙනවා. නමුත් අපේ රටේ විශාල ප්‍රමාණයකට මෙම ක‍්සේත්‍රයට පිවිසීමීට හැකියාව තිබෙනවා. දක්ෂයින් සිටිනවා.

අපි කීප දෙනෙක් එකතු වෙලා මේ තත්වයට යම් හෝ පිළියමක් ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තුළ ගුවන් සේවා සමාජයක් පිහිටුවා ගත්තා. මෙහි අරමුන වන්නේ පාසල් ජාලය තුළින් ගුවන් සේවා දැනුම ව්‍යාප්ත කිරීමයි. මේ සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේත් සහාය අපට ලැබෙනවා.

මේ සඳහා අප "ගුවන්සර" නමින් සඟරාවක් අද (26) දින ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් එළි දැක්වීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒවගේම ඊට සමගාමීය අප සමාජයේ නිල වෙබ් අඩවිය වන www.aviationclub.lk ද අද දියත් කිරීමට අදහස් කරනවා.

ඕනෑම පාසැලකට හැකියාවක් තියෙනවා අප ගුවන් සේවා සමාජය හා සම්බන්ධ වෙන්න. වෙබ් අඩවියෙනුත් විමසන්න පුළුවන්.

නැතිනම් 0112394798 න් විස්තර දැන ගන්න පුළුවන්.

මේ සඟරාව ගුණසේන, සරසවි වගේ ආයතන වලදී මිළදී ගැනීමට හැකියාව තියෙනවා.



අපේ රට්ටුන්ගේ ගුවන් සේවා දැනුම - Aviation Knowledge of Sri Lankans

පුංචිම කාලෙ අපි හැමෝටම සිහිනයක් තියෙනවා ලොකු උනාම කවුද වෙන් කියන එක ගැන. දොස්තර කෙනෙක් වෙන එක තමයි ජනප්‍රියම සිහිනය. මේ සෑබෑ කරගන්නේ කීයෙන් කී දෙනාද? කොහොම හරි අද ලංකාවේ වෛද්‍ය විද්‍යාල කීපයක් තියෙන නිසා වසරකට 500-100 ත් අතර ගණනක් ඒ සඳහා තේරෙනවා. සල්ලි වැඩිපුර තියෙන කෙනෙක් නම් විදේශ අධ්‍යාපනයට යොමු වෙනවා.

තවත් සිහිනයක් තමයි "පයිලට්" කෙනෙක් වෙන එක. මේක සාර්ථක කර ගන්නේ කීයෙන් කී දෙනාද? ගුවන් නියමුවෙක් නො‍වෙයි ගුවන් සේවා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කීයෙන් කී දෙනාද? අද ගුවන් සේවා ක්ෂේත්‍රය දේශීයවත් විදේශියවත් ඉතා විශාල වශයෙන් ශ්‍රම ඌනතාවයකින් පෙළෙනවා. ලංකාවෙ ගුවන් ක්ෂේත්‍රයේ ඉන්න පුද්ගලයින් දිහා බැලුවම පේන්නේ ඉතාමත් වැඩි ප්‍රමාණය මීගමුවේ සිට පානදුර දක්වා වන ප්‍රදේශ වල ජීවත් වන්නන් බවයි. මේකට හේතුව ඒ ආශ්‍රිත ප්‍රදේශය යම් දැනුවත් වීමක් සිදු වී තිබෙනවා. නමුත් ලංකාවේ අනෙකුත් ප්‍රදේශ වල අය මේක ගැන දැනුවත් බව අඩුයි. සමහරවිට නැති තරම්.

මේකට හේතුව ඔවුන්ට දැනුවත් වෙන්න ක්‍රමයක් නැතිකම. මේ විධියේ ක්‍රමයක් තිබුණානම් වඩා සාර්ථක ශ්‍රම බලකායක් ගුවන් ක්ෂේත්‍රයට පිවිසෙනවා. එයින් අප රටේ ගුවන් කර්මාන්තය දියුණු වෙනවා. ‍බොහෝ දෙනෙක් නෙදන්නවා වුනාට ගුවන් ක්ෂේත්‍රය අපේ රටේ ආර්ථිකයට විශාල සහායක් දෙනවා.

මෙම දැනුවත් වීමේ තත්වය ඉහළ දැමීම සඳහා අප යම් වැඩපිළිවෙලක් සංවිධානය කර තිබෙනවා. ඒක තව දින දෙක තුනකින් ජාතික මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. අපේ අරමුණ වන්නේ වසර 10 ක් අවසානයේ ලංකාවේ දුෂ්කර පළාත් වල ජනයාගේ ගුවන් සේවා දැනුම සාමාන්‍ය මට්ටමකට ගේන එක.

මේ සම්බන්ධයෙන් Post එකක් තව දවස් දෙකතුනකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සිවිල් ගුවන් ගමන් - Domestic Air Transportation in Sri Lanka

අප දන්නවා ශ්‍රී ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් (International Airlines)සෑහෙන ගණනක් තිබෙන බව. මේ ගණන වසරින් වසර සෘතු‍වෙන් (Season) සෘතුව වෙනස් වුවද සාමාන්‍යයෙන් එම ගණන 25 ත් 35 අතර ගණනක් වෙනවා. මේ ගණන භාණ්ඩ ප්‍රවාහනයට (Cargo)  සහ සංචාරකයින් පැමිණෙන ගුවන් යානාත් සමග. මම දැන් කථා කරන්න යන්නේ වෙනත් දෙයක් ගැන.
සමහර විට ඔබ දන්නේ නැතිව ඇති අපේ රටේත් අභ්‍යන්තර ගුවන් ගමන් පවතින බවත් එය ඉතාම ජනප්‍රිය බවත්. ශ්‍රී ලංකාව තුළ ගුවන් තොටුපළවල් 15 ක් පමණ තිබෙනවා. මෙයින් එක් ගුවන් තොටුපළක්, ඒ කියන්නේ පුත්තලමේ ඇති ගුවන් තොටුපළ දැනට ක්‍රියාත්මක නැහැ. අනෙක් සියළුම ගුවන් තොටුපළවල් දැනට ක්‍රියාත්මකයි. මෙම සෑම ගුවන් තොටුපළක්ම ගුවන් හමුදාව භාවිතා කරනු ලබනවා. කෙසේ වෙතත් යාපනය (පළාලි), රත්මලාන, ත්‍රිකුණාමලය (චීන වරාය), අම්පාර ආදී ගුවන් තොටුපළවලට අභ්‍යන්තර සිවිල් ගුවන් ගමන්  පෞද්ගලික ආයතන විසින් පවත්වාගෙන යනු ලබනවා. යාපනය සහ රත්මලාන අතර ගුවන් ගමන දෛනිකව සිදු කරනු ලබනවා. දෛනිකව යාපනය සහ කොළඹ අතර ගුවන් ගමන් වාර 10 කට වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන යනු ලබනවා. මෙම ගුවන් ගමන් වල යෙදෙන්නේ එක්ස්පෝ ගුවන් සමාගම (Expo Aviation ) සහ ඩෙකෑන් ගුවන් සමාගමයි (Deccan ). මීට අමතරව දයා ගුවන් සමාගම (Daya Aviation)ද තම පෞද්ගලික ගුවන් ගමන් මෙම ගුවන් තොටුපළට පවත්වාගෙන යනු ලබනවා. මෙම යානයේ වැඩි වශයෙන් ගමන් කරනුයේ එම ආයතනයේ හිමිකරු වන දයා ගමගේ මහතා ඒ මහතාගේ ව්‍යාපාරික කටයුතු සඳහායි.
කෙසේ වෙතත් ඉහත මා කී ගුවන් සමාගම් දෙක යාපනය සහ කොළඹ අතර ඉතාමත් සාර්ථක ලෙස මගී ප්‍රවාහනය කරමින් සිටිනවා. දැනට එක්පෝ සමාගම ආපසු පැමිනෙන ගුවන් ගමනක් සඳහා එක් මගියෙකුගෙන් රු. 19500/- ක් අය කරන අතර එක් දෙසකට පමණක් රු. 10500/- ක් අයකරනු ලබනවා. නමුත් ඩෙකෑන් සමාගම මීට වඩා වැඩි මුදලක් අයකරනු ලබනවා. (රු. 30000/- ක් පමණ) මෙයට හේතුව ඔවුන්ගේ ගුවන් ගමන් ක්‍රමය වෙනස් වීම හා මෙහෙයුම් කරන ගුවන් යානය වෙනස් වන නිසා. ක්‍රමය වෙනස් කියන්නේ ඔවුන් කරන්නේ කුලී පදනම මත තම යානය කණ්ඩායමක් සඳහා ලබා දීමයි. මෙහිදී එක් ගුවන් ගමනක් සදහා මුළු යානයම කුලියට දීම සිදු වනවා.
දෛනිකව මේ සමාගම් දෙක මගින් විශාල මගීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය සිදු කරනු ලබනවා.

රත්මලානේ සිට යාපනයට යාමට සහ ඒමට පැයක් බැගින් වැය වෙනවා. විදේශීය රටවල සිට පැමිණෙන යාපනයේ වැසියන්ට මෙය ඉතාමත් පහසුවක් නිසා ඔවුන් අතර මෙම සේවාව ඉතාමත් ජනප්‍රියයි. මෙම ආයතන දෙක ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය ලත් ආයතන වන අතර නිරන්තරයෙන් ඔවුන්ගේ අධීක්ෂනයට ඔවන් ලක් වෙනවා. මේ නිසා ආරක්ෂාව පිළිබඳ ඉහළ විශ්වාශයක් තැබිය හැකියි. දයා ගුවන් සමාගම පෞද්ගලික ගුවන් ගමන් වල යෙදුන ද ඔවුන් ද මෙසේ අධීක්ෂනය ලක් වනවා.

මෙම මෙහෙයුම් වලට අමතරව ඩෙකෑන් ආයතනය තම හෙලිකොප්ටරය මගින් ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකට මගීන් ප්‍රවාහනය ද සිදු කරනු ලබනවා.

ලබන වසරේ සිට කටුනායක ගුවන් තොටුපලේ සිට යාපනය දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීමට මිහින් ලංකා ආයතනය ද අදහස් කර තිබෙනවා.



අඩු මිල ගුවන් මෙහෙයුම් පර්යන්ත Budget Terminals

සාමාන්‍ය ගුවන් සේවා මෙහෙයුම් පවත්වාගෙන යනු ලබන ගුවන් තොටුපල වල ගුවන් යානා මෙහෙයුම් සඳහා එම ගුවන් තොටුපළ විශාල මුදලක් අය කරයි. ගුවන් යානාවේ වර්ගය අනුව සහ එහි ගුවන් ගත වන අවස්ථාවේ බර අනුව (MTOW – Maximum Takeoff Weight) මෙම මුදල තීරණය කරනු ලබයි. මෙම මුදල් ප්‍රමාණය වැඩි නම් ගුවන් සමාගම් එම ගුවන් තොටුපළට මෙහෙයුම් කිරීමට මැළි කමක් දක්වයි. මීට අමතරව තවත් විවිධ අය කිරීම් මෙහෙයුම් සම්බන්ධව තිබේ.

මීට අමතරව නව ප්‍රවණතාවක් වන්නේ මිළ අඩු ගුවන් සමාගම් (Low Cost Carriers – LCC) බිහි වීමයි. ලංකාවේ මිහින් ලංකා ගුවන් සමාගම(Mihin Lanka Ltd), එයාර් ඇරබියා ගුවන් සමාගම (Air Arabia), එයාර් ඒෂියා ගුවන් සමාගම(Air Asia), ටයිගර් ගුවන් සමාගම (Tiger Airways) ආදිය උදාහරණ ලෙස දැක්විය හැක. මේවා‍යේ මෙහෙයුම් වියදම් අවම කර ගනිමින් පාරිභෝගිකයාට අඩුම මිළට ගුවන් ටිකට්පත් සපයනු ලබයි.

මෙම මෙහෙයුම් කරනු ලබන අඩු මිළ ගුවන් සමාගම් වල අවශ්‍යතාවයක් වූයේ තම මෙහෙයුම් වලට ගැළපෙන අඩු මිළ ගුවන් මෙහෙයුම් පර්යන්ත (Budget Terminals) ලබා ගැනීමයි.

මෙම තත්වයට ප්‍රතිචාර දැක්වූ සමහර රටවල් අඩු මිළ ගුවන් මෙහෙයුම් පර්යන්ත සකස් කළ අතර සිංගප්පූරුවේ අඩුමිළ ගුවන් මෙහෙයුම් පර්යන්තය උදාහරණ ලෙස දැක්විය හැක. 
 
සිංගප්පූරුවේ මෙම පර්යන්තයේ මෙහෙයුම් කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන්ම ටයිගර් ගුවන් සමාගමයි. මෙම අඩු මිළ මෙහෙයුම් පර්යන්තයේ සැකසුම පවා ඉතාම සරල වන අතර පාරිභෝගිකයාට ද වියදම අඩු වන ආකාරයට මෙය සකසා තිබේ.

මෙම පර්යන්තයේ ගුවන් යානයට ගොඩ වීමට ගුවන් පාලම් (Aero Bridges) නොමැති අතර සාමාන්‍යයෙන් ගුවන් පාලම් භාවිතයට යන වියදම් ද එමගින් අඩු කර තිබේ.

මේ සමග ඇති ඡායාරූප බලන්න. එකක දැක්වෙන්නේ මෙහෙයුම් පර්යන්තයට බොහෝ දුරින් නවතා ඇති ගුවන් යානාවකුයි. වැසි දිනකදී මෙම දුර ගමන් කිරීම ස‍දහා හදුන්වාදී ඇති සරල ක්‍රමයක් අනෙක් ඡායාරූපයේ දැක්වෙනවා. (කුඩ භාවිතය) මෙවන් ක්‍රමද වියදම අඩු කර ගැනීම සදහා ඔවුන් භාවිතා කරනවා.



කෙසේ වෙතත් දැනට ශ්‍රී ලංකාවේද මෙවන් වූ අඩු වියදම් ගුවන් මෙ‍හෙයුම් පර්යන්තයක් සකස් කිරීම සදහා සාකච්ඡා වෙමින් පවතිනවා. ඒවගේම මේ සදහා ඉල්ලුම ද ක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. නුදුරේම මෙම පර්යන්තය සකස් කිරීම ළගදීම ආරම්භ වේවි.




ඕමාන් එයාර් යළිත් ලංකාවට - Oman Air Back to Sri Lanka

"ඕමාන් එයාර්" (Oman Air) කියන්නේ ඕමාන් (Oman) රාජ්‍යයේ ජාතික ගුවන් සේවය. ඕමාන් රාජ්‍යය තුළ දේශිය ගුවන් ගමනුත් ඕමානයේ සිට අන්තර්ජාතික ගුවන් සේවාවනුත් පවත්වාගෙන යනවා.

"ඕමාන් එයාර්" කියන්නේ ලංකාවට අළුත් ගුවන් සමාගමක් නොවේ. මීට පෙරත් ශ්‍රී ලංකාවට මෙහෙයුම් කරා. අන්තිමට ලංකාවට මෙහෙයුම් කරනු ලැබුවේ 2005 මාර්තු මාසේ. ඉන්පසුව මෙහෙයුම් නවතනු ලැබුවා. ඒකට හේතු වුනේ මගීන් නොමැති කම. කොහාම උනත් යළිත් ඔවුන් උත්සහ කරනවා තම මෙහෙයුම් පවත්වාගෙන යන්න.

දැනට අනුමත කර ඇති කාලසටහනට අනුව සතියකට ගුවන් වාර 04 (04 Frequencies) පවත්වා ගෙන යා හැකියි. දැනට එකඟ වී ඇති ආකාරයට ලබන මාර්තු මාසයේ සිට මෙම සංඛ්‍යාව 7 දක්වා ඉහළ දැමීමට නියමිතයි.

ඕමානයේ දැනට ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් ‍සේවය කරනු ලබනවා. මෙම ගුවන් සේවා ආරම්භය ඔවුන්ට පහසුවක් වේවි. දැගන්නට ලැබී තිබෙන ආකාරයට ගුවන් ප්‍රවේශ පත් ගාස්තුව "ශ්‍රීලන්කන්" (Srilankan) ගුවන් සේවයේ මිළටම ආසන්නයි. "ශ්‍රීලන්කන්" ගුවන් සේවයත් ඕමානයේ "මස්කට්" (Muscat - MCT)අගනුවර වෙත ගුවන් ගමන් පවත්වාගෙන යනවා. නමුත් එය සෘජු ගුවන් ගමනක් නොවේ. යන්නේ "දෝහා" (Doha - DOH) හරහා.

"ඕමාන් එයාර්" ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ "ශ්‍රීලන්කන්" ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන "පීටර් හිල්"  මයි.(Peter Hill)

මේ මාසේ 14 වෙනිදා ඔවුනගේ මෙහෙයුම් ආරම්භ වීමට නියමිතයි.


ගුවන් මගීන්ගේ ගමන් මළු - Baggage and Hand Luggage

පසුගිය සිකුරාදා රාජකාරී කටයුත්තකට ගුවන් තොටුපලට ගිය අවස්ථාවේදී මට පොඩි Post ලියන්න අදහසක් ආවා. මා මාගේ කටයුතු වල නිරත වෙමින් සිටියේ මැදපෙරදිග බලා ගමන් ගන්නා ගුවන් යානයක් සම්බන්ධවයි. කියන්න ඕනෙ නැහැනෙ අනිවාර්යයයෙන් මෙහි මගීන්ගෙන් අතිමහත් බහුතරය මැද පෙරදිග බලා ගමන් ගන්නා ශ්‍රමිකයින්. ඔවුන් තම ඥාතීන්ගෙන් සමුගත්තේ ඉතාමත්ම දුකින්. තම අඹු දරුවන්ගෙන් වෙන් වූයේ හද සසල කරමින්.(අපිට මේක දැන් දැකලා පුරුදු වෙලා) හැබැයි මේ ගැන වෙනමම ලියන්න දේවලුත් තියෙනවා. මේවා කිය කියා ඉඳලා මම කියන්න හදන දේත් අමතක වෙනවා.

මගේ මීට පෙර Post එකෙත් කිව්වා ගුවන් මගීන්ගේ භාණ්ඩ ගෙන යාමට ඇති හැකියාව ගැන. සාමාන්‍යයෙන් එක් මගියෙක් සඳහා වර්ග දෙකක ගමන් මළු ගෙන යාමේ හැකියාව මගියාට ලැබෙනවා. ඒ ගුවන් යානයේ ගමන් මළු ගෙන යාම සඳහා වෙන් වන කොටසේ අසුරා ගෙන යන ගමන් මල්ල සහ අතේ ගෙන යා හැකි ගමන් මල්ල ලෙස.

ගුවන් යානයේ ගමන් මළු ගෙන යන කොටසේ යැවිය හැකි බෑගය (හෝ කීපය) පළමුවෙන්ම ගනිමු. මේ සඳහා සාමාන්‍යයෙන් නොමිලේ ගෙන යා හැකි ප්‍රමාණය ගුවන් සමාගමෙන් සමාගමට වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස දැක්වුව හොත් Qatar Airways වල එය කි.ග්‍රෑ. 20 ක් පමණ වන විට Air Arabia සමාගමේ ගුවන් යානයක එය කි.ග්‍රෑ. 30 ක් පමණ වෙනවා. නමුත් මේ ප්‍රමාණයත් මගියාගේ ස්වභාවය අනුව වෙනස් වෙනවා. දීර්ඝ කාලයක් සඳහා විදේශ ගත වන ශිෂ්‍යයෙක් නම් වඩා වැඩි ප්‍රමාණයක් ගෙන යාමේ හැකියාවක් තිබෙනවා. එසේ නැතිනම් වදේශයක පදිංචියට යන්නේ නම් ද වැඩි ප්‍රමාණයක් ගෙන යා හැකියි.

මෙම බෑගයේ ආරක්ෂක අංශ වලින් ඉඩ ලබා දෙන ඕනෑම දෙයක් ගෙන යා හැකියි. නමුත් මෙහිදී අන්තර්ජාතික ගුවන් සේවා සංවිධානය මගින් පනවා ඇති නීති රීති ද සැලකිල්ලට ගත යුතු වෙනවා. එම ආයතනය මගින් සමහර භාණ්ඩ ගෙන යාමත් සමහර භාණ්ඩ වලින් ගෙන යා හැකි ප්‍රමාණයනුත් සීමා කර තිබෙනවා. (ඒක වෙන දවසක ලියන්නම්) මෙම බෑගය සැකසීමේදී සැළකිය යුතු විශේෂ කරුණ වන්නේ එක් බෑගයක් 32kg වලට වඩා ඉක්ම නොවිය යුතුය. එයට හේතුව ජාත්‍යන්තර කම්කරු නීති වලට අනුව එක් කම්කරුවෙකුට එසවිය හැකි බර ප්‍රමාණය 32kg වලට සීමා කර තිබිමයි. ඒ අනුව යම් අයෙකුට 32kg වලට වඩා ගෙන යාමට අවශ්‍යය නම් එය කොටස් වලට වෙන් කර (32kg කොටස්) සකසා ගත යුතුය.

යම් අයෙකුට වැඩිපුර භාණ්ඩ ගෙන යාමට අවශ්‍ය නම් ඒ සදහා කිසිදු තහනමක් නැති මුත් ගුවන් සමාගමට ඒ සඳහා වීශාල මුදලක් ගෙවිය යුතු වෙනවා. මෙම මුදල් ප්‍රමාණය ගමනාන්තය සහ ගුවන් සමාගම අනුව වෙනස් වෙනවා. එම මුදල සමහර විට එක් කිලෝ ග්‍රෑමයක් සඳහා රු. 800/- සිට රු. 3000/- පමණ වෙනවා.

අතේ ගෙන යා හැකි ගමන් මල්ලේ උපරිම බර 7kg පමණයි. මෙම බෑගයේ ආහාර වර්ග ආදියත් තහනම් නොවන ගුවන් භාණ්ඩත් ගෙන යා හැකියි.

මා අත් දැක ඇති ‍දෙයක් තමයි බොහෝ මගීන් හැකි සෑම දෙයක්ම තමාගේ ගමන් මළු වලට ඔබාගෙන පැමිණීම. නමුත් අවාසනාව වන්නේ බොහෝ මගීන් මෙම භාණ්ඩ අවසානයේදී ගුවන් ‍තොටුපලේම හැර දමා යාමයි. එලෙසම ඔවුන් කාර්ය මණ්ඩලයට ද කරදර කරනවා තම බෑගය කෙසේ හෝ භාරගන්නනා ලෙසට. නමුත් ඔවුන්ට එසේ කළ නොහැකිය. නැතහොත් තමන් සමග ගමන් ගන්නා වෙනත් මගියෙකුට මෙම භාණ්ඩ ඔහුගේ පුමාණයට ඇතුලත් කිරීමට උත්සහ කරනවා. මෙය නම් යම් සධාරණ ක්‍රියාවක්. නමුත් එසේ භාණ්ඩ ලබා ගන්නා පුද්ගලයා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. මන්ද එය සමහර විට අනවශ්‍ය කරදරයක් විය හැකියි.

මෙසේ එක් මගියෙකුට ගෙන යා හැකි බර ප්‍රමාණය ටිකට් පතේ මුද්‍රණය කර තිබෙනවා. එය උදාහරණයක් ලෙස 20K හෝ 20kg ලෙස සටහන් වෙනවා. මේ සියළුම විස්තර ගුවන් ටිකට් පත ලබා ගන්නා නියෝජිත ආයනයෙන් ලබා ගත හැකියි.

ඒවගේම යම් බිඳෙන ‍සුළු දෙයක් ගෙන යාමට අවශ්‍ය නම් එය වෙනම අසුරා ගුවන් ටිකට් පත් පරීක්ෂා කරන නිලධාරීන්ට එය දැන්විය යුතුය. එවිට එය ඔවුන් බිඳෙන සුළු භාණ්ඩයක් ලෙසට සදහන් කර ගුවන් යානය වෙත යොමු කරනු ඇත.

තවද සෑම බෑගයකම වීවෘත කර හැකි ස්ථාන ඉබි යතුරු දමා ආරක්ෂා කර තිබීම සුදුසුය. තවත් අවශ්‍ය වන්නේ නම් මූළු බෑගයම සෙලේෆේන් වලින් ආවරණය කර ගත හැකිය. මේ සඳහා අවශ්‍ය පහසුකම් ගුවන් තොටුලළේ සපයා ඇති අතර එක් බෑගයක් සඳහා රු. 500/- ක් අයකෙ‍රේ.

තවත් දෙයක් සඳහන් කිරීමට අවශ්‍යයි. තමාට අතේ ගෙන යාමට ලැබෙන ගමන් මල්ලේ අත්‍යවශ්‍යම දෙයක් දමා ගන්න. මගේ පෞද්ගලික මතය නම් ඇඳුමකුත් එහි අඩංගු විය යුතු බවයි. මන්ද හදිසියේවත් විශාල ගමන් මල්ල අස්ථාන ගත වුවහොත් එය පිහිටක් වන බැවිනි.(හදිසියේවත් ගමන් මල්ල අස්ථාන ගත වුවහොත් එය වහාම අදාල ගුවන් සමාගමට දන්වන්න. එය සොයා දීමට ඔවුන් අපොහොසත් වුව හොත් ඒ සඳහා වන්දියක් ඔවුන් ගෙවාවි. එසේ ප්‍රතික්ෂේප කල හොත් ඒ බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් ප්‍රවාහන සහ නීති කටයුතු අංශය‍ට ලිඛිතව දන්වන්න. 0112441522)

අවසාන කිරීමට පෙර එක් සිද්ධියක් ඔබට සදහන් කිරීමට කැමතියි. දිනක් මා සිටින අවස්ථාවක එක් මගියෙක් පැමිණි අතර ඔහුගේ ගමන් මල්ල අනුමත ප්‍රමානයට වඩා වැඩි විය. ඒ බැව් රාජකාරියේ සිටි නිලධාරිනිය පැවසූ විට ඔහු කිසිත් නොකියා පසෙකට ගොස් ගමන් මලලේ වූ ඇඳුම් එළියට ගෙන බර හරියන තුරු ඒවා ඇඟ ලා ගත්තේය. පසුව පැමිණි විට ඔහුගේ ගමන් ම‍ල්ලේ බර ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට අඩු වී තිබිණ. එය අප කා හටත් විනෝදය ‍ගෙන දෙන්නක් විය.

කෙසේ වෙතත් අවසානයේ සඳහන් කළ යුත්තේ තමන්ට ගෙන හා හැකි බර ප්‍රමාණයත් ගෙන යා හැකි දේවලුත් පිළිබදව දැනුවත් වීම මගින් අනවශ්‍ය ප්‍රමාදයන් වලක්වා ගත හැකි බවයි.